ඩිල්ශානි චතුරිකා දාබරේ
“ඉලාමන් වීදියේ කෙළවර නිවස රාමන්ගේය”
“තා නානා තනා නනා නා” වාද්‍ය ඛණ්ඩය ඇසෙන ඇසිල්ලෙන් ලෝකයක් හඳුනාගත් දකුණු ඉන්දීය ලේඛකයෙකු වූ, ආර්.කේ. නාරායන්ගේ සිතෙහි මැවුණු කල්පිත නගරයක් වූ මල්ගුඩිය, පරිවර්තන සාහිත්‍යයෙන් පණ ලැබූ ලාංකේය පාඨකයා වැඩිමනත් වැළඳගත්තේ, ටයිටස් තොටවත්තගේ හඬකැවීමක් ලෙස, ‘මල්ගුඩි දවස’ යනුවෙන් රූපවාහිනියෙන් විකාශනය වීමත් සමඟමැයි කීම අසත්‍යයක් නොවේ. මල්ගුඩි මිනිසුන්ගේ ජීවිතය රැගත් කතා එකතුවක් ලෙස පළ වූ මෙය හා සබැඳිව නාරායන් තවත් නවකතා රචනා කළේ, රසකැවිලි වෙළෙන්දා, ඉංග්‍රීසි ගුරුතුමා, අකුරු මෝස්තරකාරයා, මාර්ගෝපදේශකයා ඈ වශයෙන් එම නගරය ම කේන්ද්‍ර කරගනිමිනි. විවිධ වෘත්තීන්හි නියැලුණු මිනිසුන් තේමාවට ගනිමින් ලියූ ඒ අතරට අයත් වන්නකි, “සැරිසරන සිත්තරා”. ආරියදාස සෝමතිලක, බොබී.බී.බොතේජු, ගුණතිලක මැටියගේ, සිරිල් චන්ද්‍රසේකර ඇතුළු පරිවර්තකයන් විසින් හෙළ බසට නගන ලද නාරායන්ගේ කතා අතරට කුලසේන පොන්සේකාගේ දායකත්වය හඳුනාගත හැකි කෘතියක් වශයෙන් ද ‘සැරිසරන සිත්තරා’ වැදගත් වේ.
රාමන් නම් සිත්තරෙකු ප්‍රධාන වන ‘The Painter of Signs’(සැරිසරන සිත්තරා) කෘතිය කුලසේන පොන්සේකා විසින් පරිවර්තනය කරනු ලබන්නේ ඉහත දැක්වෙන වාක්‍යය එහි මුල හොවමිනි. ‘Raman’s was the last house in Ellaman Street; a little door on the back wall opened, beyond a stretch of sand, to the river’ යනුවෙන් ඉංග්‍රීසි කෘතියේ දැක්වෙන වාක්‍යය පොන්සේකා, සිංහල බසට නැගීමේ දී සුගම ව පැහැදිලි ව චිත්තරූප මවන වාක්‍යයක් ව ගනිමින්, ඉංග්‍රීසි වැකිය මැදින් කඩා තනි වාක්‍යයක් ලෙස මුල් වාක්‍යය ගෙන, දෙවනු වාක්‍යය ලෙස එහි ඉතිරිය ගෙන තිබේ. මෙම වාක්‍ය නිශ්චිත තානයක් අරා සිටිනවා පමණක් නොව, පූර්ණ අදහසක් ද සහිත ය. එම තානය මට සිහිකළේ, හර්මන් හෙසගේ ‘සිද්ධාර්ථ’ කෘතිය පරිවර්තනය කළ දයාරත්න ගරුසිංහ විසින්, “උණ වන හිසින් කොකෙක් පියඹා ගියේය” යනුවෙන් ලියූ වැකිය සම්බන්ධයෙන්, හෂිත අබේවර්ධන (අම්බලවානර් සිවානන්දන්ගේ ‘මතක මියැදෙන සඳ’ ප්‍රතිරචනය කරමින් පෙරවදනෙහි) කළ සඳහනයි.
ඉහත දැක්වෙන ඉංග්‍රීසි වැකියට කළ හැකි උපරිම සාධාරණය පරිවර්තකයා කර ඇත. මින් එහා එය පරිවර්තනය කළ නොහේ. ‘Raman’s යන්න රාමන්ගේ මිස රාමන්ගේ නිවස ලෙස නොගැනීම එනම්, “රාමන්ගේ නිවස පිහිටියේ ඉලාමන් වීදියේ කෙළවරය” යනුවෙන් නොගෙන, එය පිහිටා තිබූ තැන පළමුව කියා දෙවනුව නිවස වෙතට ගොස් එහි අයිතිය රාමන්ගේ බව කීම සඳහා “ඉලාමන් වීදියේ කෙළවර නිවස රාමන්ගේය” යනුවෙන් සිංහල බසට පෙරළීම සාධනීය ප්රවේශයකි. කුෂ්වන්ත් සිංගේ ‘අන්තිම දුම්රිය’ පරිවර්තනය කළ කුලසේන පොන්සේකාගේ සමත්කමට මෙවැනි කෘතියක් වුව යළි දෙස් දෙයි.
මේ ආරම්භක වැකියෙන් ඔහුගේ නිවස පිහිටි ස්ථානය ඉහළ සිට බලන පක්ෂී ඇසකින් පාඨකයාට දක්වන්නට කතුවරයා සලස්වයි. නොඑසේ නම් වීදිය දිගේ වේගයෙන් පාඨකයාව ගෙන ගොස් එහි කෙළවර තැන ඔහුව නවතා “මේ වීදියේ අන්තිම ගේ රාමන්ගේ” යැයි පෙන්වන්නාක් බඳු ය. සිත්තරෙකු බව කීවද රාමන්ගේ කාර්යය නම්, ආලේඛ්‍ය සිතුවම් ඇඳීම නොව, නගරයේ වෙළඳසැල් සහ වෙනත් ආයතන සඳහා වුවමනා නාමපුවරු පින්තාරු කරදීමයි. කෙසේ වෙතත්, මෙයින් පසුව එන දෙවන වැකියෙන් නාරායන් වෙනත් සාහිත්‍යකරුවන් සේ රාමන්ගේ නිවසට ගොඩ වී පාඨකයාට නිවසේ ඇතුළත ගැන කියන්නට නොයයි. ඒ වෙනුවට ඔහු රාමන්ගේ නිවසේ පිටුපස කරා එළඹ එයින් පිළිකන්නට බැස එතැන සිට බලද්දී පෙනෙන දර්ශනය; වැලි තලාවට ඔබ්බෙන් පෙනෙන ගඟ ගැන කියයි. රාමන් තීන්ත ගෑ ලෑලිපුවරු වේලෙන්නට තබන්නේ මේ වැලි තලාව මත වන බැවිනි. පිළිකනු තාප්පයේ කුඩා දොර සඳහා පොන්සේකා යොදන ‘දොර පිංච’ බුහුටි නොවේද?
“ගෙයි පිළිකනු තාප්පයේ දොර පිංච විවෘත කළ කෙනෙකුට වැලි තලාවට ඔබ්බෙන් පෙනෙන්නේ නිසලව ගලා බසින ගඟයි. රාමන් කළු හෝ සුදු තීන්ත ගෑ ලෑලි පුවරුවක් වේලෙන්නට තබන්නේ මේ වැලි බිම මතයි”
තමා මල්ගුඩි කතා ලිවීමට පටන් ගත්තේ, පහත වාක්‍යයෙන් බව නාරායන් සඳහන් කර තිබිණි. එය, අප පෙර දවසක කී ‘හදිසියේ කතාව පටන්ගන්නා ආකාරයක් ගැන තෝල්ස්තෝයි කියූ දෙය’ සිහිකරවන්නකි. “නවකතාවක් ආරම්භ කළ යුත්තේ මෙසේ ය…”
“The train had just arrived at Malgudi Station”