සිහින පාරාදීසයේ අශ්ලීල ෆැන්ටසියට වෙඩි තැබීම ඇයගේම වරදක්ද? (සාලිය ඉඳුරුවිතාන)

සිහින පාරාදීසයේ අශ්ලීල ෆැන්ටසියට වෙඩි තැබීම ඇයගේම වරදක්ද? (සාලිය ඉඳුරුවිතාන)

Paradise කියන වචනය ඇසූ සැනින් අපිට එකවරම සිහියට නැගෙන්නේ පුර්ණ ලෙස සැප සම්පත් තියෙන, සියළුම මිනිසුන් සතුටින් සමාදානයෙන් සිටින, එකිනෙකා ආදරයෙන් තම හැගීම් බෙදාගන්න ස්වර්ගීය තැනක් ලෙසයි. අම්රිතා හා කේශව් තමන්ගේ විවාහ සංවත්සරය සඳහා ඉවාඩුවක් ගතකරන්න එන්නේ පාරාදීසයක් බඳු ලංකාව නැමැති මේ පුංචි දිවයින ගැන “ඇතුලත සිට බලනා ” ෆැන්ටසිමය සෞන්දර්යාත්මක මානයකිනි

සාලිය ඉඳුරුවිතාන

මිනිස් ජීවිතවලට වඩා ඔබේ මහා වටිනාකමේ ආශාව සැඟවී ඇත්තේ ෆැන්ටසි භාණ්ඩ තුළද ?

හැගීම් දැනීම් හා හදවතේ සාක්ෂි වල් වැදුණු, ගල් ගැසුණු ලෝකයක, මිනිස් ජීවිතවල වටිනාකම් ක්ෂය වී යන අතර, සේවා හා භාණ්ඩ අතර සැඟවුණු වාණිජමය හිංසනය Paradise තුළින් දකින්න.

අපගේ නිසොල්මන් ජීවිතවලට යටින් සැඟවී ඇති සෞන්දර්යාත්මක නියෝජනය, අප සිතනා තරම් සෞන්දර්යාත්මක නොවන බව වටහා ගැනීමට නම් මිනිස් විෂය පිළිඹඳ විද්‍යාවක් අවශ්‍යයි. එම නිසා මනෝවිශ්ලේෂණය (Psychoanalysis) නම් විශ්වීය මිනිස් විෂය, මිනිසා පිළිඹඳව හා ලෝකය පිළිඹඳ දැනගැනීමට අවශ්‍ය වෙන විද්‍යාවයි. ලෝකයේ පවතින විවිධ දෘෂ්ටිවාදයන්, සමාජ සංස්කෘතික හා දේශපාලන ක්‍රියාකාරකම් වටහා ගන්නට මානව විද්‍යාව (Anthropology), සමාජ හා සංස්කෘතික මානව විද්‍යාව (Socio – Cultural Anthropology), දේශපාලන මානව ඉද්‍යාව (Political Anthropology), ආගමික මානව විද්‍යාව (Anthropology of Religion), සමාජ ආර්ථික මානව විද්‍යාව (Economic Anthropology), වැනි විෂයන් ගණනාවක් තිබුණත් මිනිසාගේ අවිඥානය, අවිඥානික ආශාවන් අගතීන් හා මිනිස් ක්‍රියාකාරකම් තේරුම් ගන්නට උපකාර වෙන විද්‍යාව මනෝවිශ්ලේෂණය කියන විෂයයි. මෙය මිනිසාගේ අවිඥානික ක්‍රියාවන් තේරුම් ගැනීමට පමණක් නෙවෙයි, මිනිසා විසින් නිර්මාණය කරන කලා කෘති විශ්ලේෂනාත්මකව කියවා ගන්නට මනෝවිශ්ලේෂණය මහත්සේ උපකාර වෙනවා. මනෝවිශ්ලේෂණය හරියට මිනිසා පිටුපසින් ලුහුබඳීනා අඳුරු සෙවනැල්ලක් වගේ මිනිසාගේ පැවැත්ම හාරගෙන යනවා. මිනිස් ජීවිතවල ඇති අඳුරු පැල්ලම් සහිත ආත්මය මනෝවිශ්ලේෂණය හරහා විනිවිඳීම නිසා, එයින් ජනිත වන බිහිසුණු බව නිසාත් මනෝවිශ්ලේෂණය වැනි විෂයක් බොහෝ දෙනෙක් සමාජයෙන් බැහැර කරන්න හැදුවත්, සමාජ දේශපාලන කාරණා හා නිර්මාණාත්මක කලා කෘති විශ්ලේෂනාත්මකව අර්ථකථනය කරන්නට, මනෝවිශ්ලේෂණය මහත්සේ උපකාර වෙන නිසා එය බැහැර කරන්නට බැහැ වගේම, එය මිනිස් අවිඥානයේම ප්‍රකාශනයයි. මෙය හරියට මිනිස් අවිඥානයට අයත් චලනයන් පාලමක භූමිකාවක් මෙන් ඉටු කරයි. මිනිස් අවිඥානය හැම විටම අපව යොමු කරන්නේ අපට දෘශ්‍යමානව දකින දෙය වෙත නොව, අප නොදකින දෙය වෙතයි. ප්‍රසන්න විතානගේ නවතම සිනමා කෘතිය වන Paradise හරහා අපට කියන්නේ මිනිස් අවිඥානයේ නොකියවෙන දෙයෙහි චලනයයි.

Photo by www.imdb.com

ලාංකීය සිනමාවංශ කතාවේ සුසමාදර්ශී සිනමා කරුවන් දෙතුන් දෙනා අතර, ප්‍රසන්න විතානගේට හිමිවන්නේ සුවිශේෂ තැනකි. ඒ ඔහු රූපරාමු හරහා මිනිස් ආත්මය විනිවිඳිමින්, ජීවිතය හා සමාජ දේශපාලන වටපිටාව රූප රාමුවට බලයක් අත්පත්කර දෙන නිසාවෙනි. සිසිල ගිණි ගනී වෘතාන්ත සිනමා ගමනින් ආරම්භ කල ප්‍රසන්නගේ සිනමාගමනය අනන්ත රාත්‍රිය, පවුරු වළලු, පුරසඳ කළුවර, ඉර මැදියම, ආකාස කුසුම්, උසාවිය නිහඬයි. ඔබ නැතිව ඔබත් එක්ක, සහ ගාඩි කියන සිනමා කෘති හරහා සුවිශේෂ සිනමා සලකුණක් ලාංකීය සිනමාවට දායාද කළේය. ඔහුගේ නවතම සිනමා කෘතිය වන Paradise හරහා ලාංකීය සමාජයට මෙන්ම, කලාත්මක සිනමාවේ ශානරයට අයත් ලෝක සිනමාවටද නවමු අත්දැකීමක්‌ එක්කරයි. ප්‍රසන්නගේ සිනමාව ප්‍රේක්ෂකයින්ට පරිපුර්ණ සිනමා අත්දැකීමක්‌ ලෙස ගෙන එන්නට සමත්ව ඇත්තේ ඔහු තෝරාගන්නා කතා තේමාව ශබ්ද හා සංගීතය, එයට සරිලන තිර රචනය, නළුනිලියන් තෝරාගැනීම, කැමරාකරණය හරහා රූපරාමු සකස් කර සිනමාව සිනමා භාෂාවක් ලෙස ගොඩ නගමින්, සිනමා රූපය හරහා එහි භාවාත්මක ව්‍යාක්ත බව Emotional facility ප්‍රේක්ෂකයින්ට දානවන්න හැකි වෙන්නේ, ඔහුට ඇති නිර්මාණාත්මක ප්‍රතිභාව නිසයි.

Photo by www.imdb.com

අපි දන්නවා සිනමාව කියන්නේ සාමුහික කලාවක් (Collective Art) මෙන්ම එය දෘශ්‍ය අලංකාර (Vishual elegance) සංඥාකාරක පද්ධතියකින් සමන්විත කලාත්මක ශානරයක් කියලා. සිනමාව කියන්නේ රූපය මුල්කරගෙන රූපභාෂාව හරහා අවට ලෝකය හා ජීවිතය සිත්තම් කිරීමයි. සිනමාත්මක භාෂාව පදනම් කරගෙන පිරිපුන් සිනමා කෘතියක් නිර්මාණය කිරීමට හැකියාවක් ඇත්තේ සිනමා න්‍යාය විදිමත් ලෙස අධ්‍යයනය කල සිනමා කරුවෙකුට පමණයි. එහෙත් සිනමා න්‍යාය පමණක් අධ්‍යනය කල පමණින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සමත් වන්නේ නැහැ. දේශීය මෙන්ම ලෝක සාහිත්‍ය පරිශීලනය හා සමාජ දේශපාලන තත්වයන් පිළිඹඳව හා ජීවිතය ගැන ගැඹුරු අවබෝධයක් මෙන්ම, ප්‍රතිභාපුර්ණ නිර්මාණාත්මක ජීව ගුණයක්ද නිර්මාණය කරුවෙකුට තිබිය යුතුයි. ප්‍රසන්න විතානගේ කියන්නේ එවන් ප්‍රතිභාවයෙන් යුත් සිනමා කරුවෙකි.

සිනමා ශබ්දකෝෂයේ අපට හමුවෙනවා Mis- en- scene කියලා ප්‍රංශ වචනයක්. එහි ඉංග්‍රීසි යෙදුම Refractive science වන අතර, එහි සිංහල යෙදුම වර්තන විද්‍යාව ලෙස හැඳින් වෙයි. ඒ අනුව Mis- en – scene කියන්නේ දර්ශනය සකස් කිරීම සහ දර්ශනය රූප ඛණ්ඩය තුලට ඇතුලත් කිරීම Putting in the frame යන අදහස ගෙන දෙනවා. මෙයින් අදහස් වෙන්නේ දර්ශන තලයට අවශ්‍ය පසුතල භාණ්ඩ, ඇඳුම් පැළඳුම්, අංග රචනයන්, නළුනිලියන්, සහ ආලෝකකරණය යන සියල්ල ඇතුලත් වන දර්ශනයට සිනමාවේදී Mis- en – scene යන සංකල්පය යොදනවා.

Photo by www.thepublicdiscourse.com

ප්‍රසන්නගේ සෑම සිනමා නිර්මාණයක්ම මේ Mis-en- scene කියන දර්ශනයට ඇතුලත් කරනවා පමණක් නෙවෙයි එය ඉතාමත් නිර්මාණශීලීව රූපරාමු හරහා ප්‍රේක්ෂකයාගේ ජීවිතවලට ප්‍රභල බලපෑමක්‌ ඇති කරනවා. ප්‍රසන්නගේ නවතම සිනමා කෘතිය වන Paradise චිත්‍රපටය පුරාවටම රූපමය ප්‍රකාශනය ඉතාමත් තීව්‍ර හා භාවාත්මකව රූපයට නගන්නට ප්‍රසන්න ගෙන ඇති උත්සාහය ඉතාමත් ප්‍රභලයි වගේම සිනමාත්මකයි. Paradise සිනමා කෘතියේ කතා තේමාව සැකවින් ගත්තොත් මෙහෙමයි.

අම්රිතා හා කේශව් (දර්ශනා රාජෙන්ද්‍රන්, රෝෂන් මැතිව් ) කියන විවාහක යුවල, ඔවුනගේ පස්වන විවාහ උත්සවය සැමරීම සඳහා ලංකාවට පැමිණෙන අතර, එම කාල වකවානුව ලංකාවේ ගෑස්, තෙල්, ආහාර සහ විදුලි බලයද නොමැතිව අර්බුදයට ගිය අරගලකාරී සමයයි. අම්රිතා හා කේශව් ඔවුනගේ සංචාරය සඳහා තෝරාගන්නේ කන්ද උඩරට ප්‍රදේශයක් වන අතර, ඔවුනගේ නිවාඩු නිකේතනය ලෙස තෝරා ගන්නේ දමිළ ජනතාව වෙසෙන වතු ආශ්‍රිතව ඇති සුන්දර නවාතැනකයි. ඔවුන්ගේ මග පෙන්වන්නාද, රියදුරාද වන ඇන්ඩෘ (ශ්‍යාම් ප්‍රනාන්දු ) නිහතමානී හොඳ සිතක් තියෙන පුද්ගලයෙකු බව, ඔහුගේ හැසිරීමෙන් හා කතා බහෙන් පෙනී යයි. අම්රිතා පරිසරයට ආදරය කරන සුන්දර යුවතියක් බව පෙනෙන අතර, කේශව් තරමක් ආත්මාර්ථකාමී පුද්ගලයෙක් බව ඔහුගේ කතා බහෙන් හා හැසිරීමෙන් පෙනී යනවා වගේම මේ දෙදෙනාගේ ප්‍රතිවිරුද්ධතාවයන් දක්කනට ලැබෙයි. ඔවුන්ගේ දෙබස් උච්චාරණය කරන විදිය හා එහි භාවයන් ඉස්මතු වෙන ආකාරය ප්‍රේක්ෂකයින්ව රඳවා ගන්නේ ඔවුන් රංගනයක යෙදෙනවා කියන කාර්‍යද ප්‍රේක්ෂකයින්ට අමතක වෙන ආකාරයෙන් සහ එහි භාව විශෝධනයන් Catharsis හා ඒ හා සමානව සංසිද්ධීන් ප්‍රේක්ෂකයින්ට දෘශ්‍ය අත්දැකීමේ කොටසක් බවට පත්කරවමිනි.

Photo by www.imdb.com

කේශව්ගේ හා අම්රිතාගේ චරිත ස්වභාවයන්වල ඇති ප්‍රතිවිරුද්ධතාවයන් කතා වින්‍යාසයේ මුල්ම ලක්ෂයේදී ප්‍රේක්ෂකයින්ට දනවන්නේ ඉතාමත් සිනමා රූපී ආකාරයෙනි. කේශව්, අම්රිතා සහ ඇන්ඩෘ නිවාඩු නිකේතනයට ඇවිත් එහි සිටින සේවකයාගෙන් කේශව් අහනවා මෙහි දඩමස් තියෙනවද කියලා. ඔහු කියනවා “අපි හිතුවේ සර් ල වෙජිටරියන් කියලා, අවශ්‍යනම් දැන් ගිහින් දඩයමක්‌ කරගෙන එන්න පුළුවන්” කියලා එතකොට කේශව් කියනවා ඒක නියම අත්දැකීමක්‌ වේවි යමු කියලා. ඊටපස්සේ ඔවුන් කැලේට ගිහින් එහි ඉන්න මුවෙක්ට සේවකයා විසින් වෙඩි තියන්න කුරුමානම් අල්ලද්දී අම්රිතා එයාගේ ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගන්න ගමන් අම්රිතා කියනවා “ලස්සන දේවල් මරන්න එපා” කියලා. අම්රිතා කියන මේ දෙබස් ඛණ්ඩය, සිනමා කෘතියේ එන Plot Twist කියන සිනමා භාෂාවේ එන සිනමාත්මක සංසිද්ධිමය සංකල්පයක්. මෙහි දළ තේරුම වන්නේ චිත්‍රපටයක් ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙන අවසානයකට වඩා හාත්පසින්ම වෙනත් අවසානයක් කරා අපිව රැගෙන යාමයි. එවැනි කතා තේමාවන් සහ එයට සරිලන තිර රචනයක් ලිවීමට හැකි වන්නේ, සිනමාකරණය, ජීවිතය හා සමාජ දේශපාලනය ගැන සබුද්ධිකත්වයක් ඇති නිර්මාණශීලී කලා කරුවෙකුට පමණයි. ප්‍රසන්න විතානගේ සහ අශෝක හඳගම කියන්නේ අපේ රටේ සිටින නිර්මාණශීලී කලා කරුවන් දෙදෙනෙකි.

දඩයමේ සිද්ධියෙන් පස්සේ රාත්‍රියේ කේශව් සහ අම්රිතා එයාලගේ Laptop එකෙන් Tab එකෙන් සහ Phone එකෙන් කලයුතු වැඩ කර නින්දට යන අතර, හොරු කීපදෙනෙක් ඇවිත් ඔවුනව බිය ගන්වා ඔවුනගේ Laptop එක, Tab එක phone එක රැගෙන යනවා. මේ සිද්ධිය පොලිසියට පැමිණිලි කල පසු, පොලිසියෙන් වතුකරයේ දමිළ තරුණයින් තුන්දෙනෙක්ව අත්අඩංගුවට ගෙන, පොලිසියට ගෙනවිත් අම්රිතාගෙන් සහ කේශව්ගෙන් අහනවා මෙයාලාද හොරු කියලා. අම්රිතා කියනවා එයාට අඳුරන්න බැහැ කියලා. එහෙත් කේශව් කියනවා එයාල තමයි හොරකම් කලේ කියලා. ඊටපස්සේ එයාල ඉන්න තැනම කිසිම වගවිභාගයක් නොකර, ඉතාමත් අමානුෂික විදියට පහර දෙනවා. ඉන්පසු එක් තරුණයෙක් මිය යනවා. මේ සිද්ධියේදී කේශව් හැසිරෙන්නේ ඉතාමත් ආත්මාර්ථකාමී විදියට වගේම හදවතේ කිසිම තෙතමනයක්‌ නැති විදියට.

මේ සිද්ධිදාමයත් එක්ක අම්රිතා හා කේශව් අතර එතෙක් පැවති සම්බන්ධතාවය බිඳී යනවා. අම්රිතාට තේරුම් යනවා මේ තරුණයින් මේ හොරකමට සම්බන්ද නැහැ පොලිසිය කියන්නේ බොරු කියලා. දමිළ තරුණයාගේ මරණයත් එක්ක මුළු වතුකර ජනතාවම උද්ගෝෂණ කරමින් පොලිසියට පහර දෙනවා. එයින් සාජන් බණ්ඩාර (මහේන්ද්‍ර පෙරේරා ) කියන පොලිස් නිලධාරියට කෙටේරි පහරක් වැදී සිහිසුනව ඇදගෙන වැටෙනවා. වතු ජනතාව කෝපකාරී ලෙස කේශව්ට පහර දීමට ලඟට එන අතර, කේශව් වැටී සිටින සාජන් බණ්ඩාරගේ ගිණි අවිය අරගෙන වතුකරයේ උද්ගෝෂණ කරන ජනතාවවට වෙඩි තියන්න ගන්නවා. මෙවැනි විනාශයක් වෙන්න හේතුව කේශව් නිසා බව අම්රිතා මුල ඉඳලම දන්න නිසා, අවුරුදු පහක් එකට එච්චර ආදරයෙන් සිටිය කේශව්ට වෙඩි තියෙනවා. චිත්‍රපටයේ එන මේ සංකීර්ණ දර්ශනය ප්‍රේක්ෂකන්ගේ සිත් සසල කරන දර්ශනයක්‌ වගේම, මෙහි ඇති සමාජ දේශපාලන පසුබිම රටක් සමාජයක් හැටියට අපිට මගහැරයා නොහැකි වාර්ගික මෙන්ම, පංති අරගලයක්ද තිබෙනවා. අවුරුදු පහක් එකට ආදරයෙන් ජීවත් වෙලා, තම ස්වාමිපුරුෂයාට එරෙහිව මෙවැනි තීරණයක්‌ ගැනීම සමාජ දේශපාලනිකව මෙන්ම, මනෝවිශ්ලේෂනාත්මකව කියවා ගත යුතු සංකීර්ණ සංසිද්ධියක්. මෙවැනි සංකීර්ණ මනෝභාවයක් කෙනෙක්ට පිහිටන එකට මනෝවිශ්ලේෂනාත්මක අරථයෙන් කියන්නේ Approach avoidance Conflict කියලා. ඒ කියන්නේ එකම මොහොතක් තුළ දෙවියෙක් සහ යක්ෂයෙක් යන දෙලක්‍ෂණයන් පවතින එකට. මේ අම්රිතාගේ මනෝභාවයන් වැඩ කරන්නේ මේ දෙලක්‍ෂණයෙන් කෝකද තෝරාගන්නේ කියන ද්විත්ව භාවය (Duality) මතයි. මෙතැනදී අපි කාටවත් නිගමනය කරන්න බැහැ කෝකද හරි, කෝකද වැරදි කියලා. සමහරවිට අම්රිතාගේ මනෝභාවය තුළ ඒ මොහොතේ යක්ෂයෙක් මුසුවුණු දේවි කෙනෙක්ද, දේවි කෙනෙක් මුසුවුණු යක්ෂයෙක්ද සිටිය හැකියි. ඒත් අම්රිතාගේ හදින් ලෝකය දැක, ඒ ලෝකයේ අවමානුෂික කරණයට වෙඩි තියන්නේ, මානව දයාවෙන් ඇය අනෙකා දෙස, තමන්ගේ බැල්ම හෙලන්නේ වාර්ගීක හා පංති අතර ඇති පසමිතුරුතාවයන් (Antagonism) හා ආධිපත්‍යයේ දෘෂ්ටිවාදයන්ට එරෙහි වීමක් ලෙසිනි.

Photo by www.imdb.com

Paradise කියන වචනය ඇසූ සැනින් අපිට එකවරම සිහියට නැගෙන්නේ පුර්ණ ලෙස සැප සම්පත් තියෙන, සියළුම මිනිසුන් සතුටින් සමාදානයෙන් සිටින, එකිනෙකා ආදරයෙන් තම හැගීම් බෙදාගන්න ස්වර්ගීය තැනක් ලෙසයි. අම්රිතා හා කේශව් තමන්ගේ විවාහ සංවත්සරය සඳහා ඉවාඩුවක් ගතකරන්න එන්නේ පාරාදීසයක් බඳු ලංකාව නැමැති මේ පුංචි දිවයින ගැන “ඇතුලත සිට බලනා ” ෆැන්ටසිමය සෞන්දර්යාත්මක මානයකිනි (A fantasy aesthetic dimension seen from within). එහෙත් එම සිතුවිලි ෆැන්ටසිකරණය තව දුරටත් යතාර්ථයක්‌ නොවී අද්භූතකරණයට පත්වන්නේ අප සිතනා දෙයෙහි ෆැන්ටසි ලෝකය, එළියේ යතාර්ථත් සමග කිසිම සම්බන්දයක් නැති නිසාවෙනි. ඔවුන්ගේ සංචාරක ගමන එනවිට පෙනෙන්නේ අවට පරිසරය සොබා සෞන්දර්යෙන් හා තුරු ලතාවලින් පිරුණු සුන්දර පරිසරයකි. ඔවුන් ඒ පරිසරයේ ඇති සුන්දරත්වය විඳින්නේ සිහින පාරාදීසයක අතරමන්ව සිටිමින් මහත් වූ සතුටක් විඳිමිණි. ඒත් ඒ සිහිනය ඒක රැයක් ගතකිරීමටත් පෙර බොඳවී යන්නේ ඔවුන් නොසිතු විලසිනි. මහා රෑ නින්දේදී ඔවුන් ව බිය ගන්වා ඔවුනගේ Phone, Tab Laptop සොරුන් විසින් රැගෙන ගිය පසු අම්රිතාගේත්, කේශව්ගේත් ජීවිත පමණක් නොව අර්බුධයට යන්නේ, ඒ හා බැඳුනු මිනිස් ජීවිත හා සමාජ පද්ධතියම අර්බුද්ධයෙනුත් අර්බුධයට ගොස් බොහෝ මිනිස් ජීවත තුලින්ද වන්දි ගෙවීමට සිදුවෙන අතර, එය ඛෙදවාචකයකින් අවසන් වෙනවා.

Photo by www.imdb.com

ප්‍රසන්නගේ මේ Paradise සිනමා කෘතිය හරහා අපට කියන සමාජ දේශපාලන හා සිංහල සමාජයේ දෘෂ්ටිවාදී ආධිපත්‍යය ආයතන ආකෘතීන් හරහාද අවිඥානිකව වාර්ගීක අනෙකාව කෙතරම් පීඩාවට පත්කරනවාද කියන කාරණය Paradise සිනමා කෘතිය හරහා ඉතාමත් නිර්මාණාත්මකව ප්‍රේක්ෂකයාගේ හෘදසාක්ෂිය අවුලවන්න සමත්ව සිටිනවාද කිව්වොත් එය සිනමා කෘතියක් නොව, අපේම අශ්ලීල යතාර්ථය අපිට අභිමුඛව යතාර්ථයක්‌ ලෙසම අභිමුඛ කරන්නට අධ්‍යක්ෂකවරයා සමත්ව ඇත.

දෙදහස් පන්සීයක ස්වර්ණමය ඉතිහාසයක්‌ ඇතැයි සහ එය තළුමරණ ජාතිවාදී කඳවුරේ ඔලුගෙඩිවල තියෙන ජාතිවාදී වාර්ගීක අවිඥානය කෙතරම් බිහිසුණුද කියනවානම්, පොලිසිය විසින් ඉතාමත් අමානුෂික කෘර ලෙස පහරදී මියගියේ වටිනා මිනිස් ජීවිතයක් නොව, ඡන්දේ කාලෙට ඡන්දේ දෙන නිකම් එක් ඡන්දයක් විතරක්‌ බවට ලඝු කරමින් තරුණයාට පහර දී මරණයට පත්කළ පොලිස් නිලධාරියා ඉතාමත් සැහැල්ලුවෙන් කියා සිටිනවා. රටක නීතියේ ආධිපත්‍යය රකින ආයතනයක් වන පොලිස් දෙපාර්තුමේන්තුවේ උසස් නිලධාරියෙකුට අනෙකාගේ ජීවිත මෙතරම් සැහැල්ලුවට ගත හැකිද කියන කාරණය ප්‍රසන්න විසින් හමුවේ තබයි.

චිත්‍රපටයක් සිනමාත්මක කියවීමක් හරහා දෘෂ්ටිවාදී කියවීමකට වෘතාන්ත සිද්ධාන්තයක් (Narrative theory) හරහා අධ්‍යක්ෂකවරයා සමත් වෙනවානම්, එය පෙරටුගාමී සිනමාවක (Avant – Garde Cinema) ලක්ෂණයක්. ප්‍රසන්න ඔහුගේ සිනමා භාවිතය හරහා මේ පෙරටුගාමී සිනමාව කියන වෘතාන්ත ආකෘතිය (Narrative structure) ජයගෙන තිබෙනවා.

Paradise සිනමා කෘතියේ ආරම්භය සහ අවසානයේ ඇති සිනමාත්මක විසංවාදී ස්වභාවය (The dissonant Nature of cinema) චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන අම්රිතා, ඇයගේ දෙබස් ඛණ්ඩ හරහා ගොඩ නගයි. අම්රිතා ඇතුළු පිරිස දඩයම් කරන්න කැලේට ගිහින් හෝටල් සේවකයා විසින් මුවාට වෙඩි තියන්න ගිය විට අම්රිතා කියනවා “ලස්සන දේවල් මරන්න එපා ” කියලා. එම දෙබස් ඛණ්ඩය තිර රචනයේ Plot Twist කියන සිනමාත්මක හරයුම, ඒ කියන්නේ ප්‍රේක්ෂකයා බලාපොරොත්තු නොවෙන අවසානයකට වඩා හාත්පසින්ම වෙනස් අවසානයක් වෙත ප්‍රේක්ෂකයාව රැගෙන යනවා කියන අදහස හා බැඳුනු අවසාන දෙබස් ඛාණ්ඩය වන ඇන්ඩෘගෙන් අහන “ඔයාට ෂුවර් ද ඔය පොලිසියේදී දුන්න කට උත්තරය හරියි කියලා.” මේ විසංවාදී දෙබස් ඛණ්ඩය සිනමාත්මක භාෂාවේ තීව්‍රතාවයත් (The intensity of the cinematographic language) චරිත ස්වභාවයේ එන විරෝධභාෂායත් (Character Paradox) දනවන දෙබස් ඛාණ්ඩයත් වගේම එම චරිත් ස්වභාවයේ අවිඥානික පැතිකඩක් තියෙනවා කියන එක ප්‍රේක්ෂකයාට ඒත්තු ගෙන දෙන මොහොතක් වගේම, ප්‍රේක්ෂකයාව කුටප්‍රාත්තියකට ක්‍රමයෙන් ගෙන ගොස් ප්‍රේක්ෂකයාව ඉච්ඡාභංගත්වයකට පත්කර විරුද්ද කුටප්‍රාත්තියකින් (Anti – Climax) චිත්‍රපටය අවසන් කරන්නේ තම ස්වාමි පුරුෂයාගේ මරණය වෙනුවෙන් අනෙකාගේ පැවැත්ම තහවරුකර ඇයගේ ආත්මීයත්වය මුදුන් පමුණුවා ගනිමිණි.

ඉතිං, මේ සිහින පාරාදීසයේ අශ්ලීල ෆැන්ටසියට වෙඩි තැබීම ඇයගේම වරදක්ද..? ඔබගේ හෘදසාක්ෂියට ඔබම එබී බලන්න. ඔබේ හදවත මුමුණන්නේ කුමක්ද කියලා.

ආමේන්

Photo by www.imdb.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *