කේ. ඩී. දර්ශන
රැයිපියෙල් තෙන්නකෝනුන්ගේ සක් පුබුදුව හෙවත් පඬු ඇඹුලේ පුවත කියවන විට අපූරු කවක් හමුවිය. සක්‍රයා පඬුපුල් අසුන උණු වී ඉන් නැගිට ඇස් හැර බලා කළ දෑ මේ කවි පොතේ වෙයි.
පහතින් උපුටන කවිය සංදේශ කාව්‍යයකවත්, මොනම කාව්‍යයකවත් මෙපරිද්දෙන් මා දැක නැත. බොහෝ කවි වනන්නේ දෙවඟනන්ගේ, ස්ත්‍රීන්ගේ පුන් පියොවුරුය. මෙහි කියවෙන්නේ මහලු දෙවඟනන්ගේ එල්ලෙන පියයුරු ගැනය. ඔවුන් දිව එන විට වැහැරී ගිය පයෝධර එල්ලෙන ආකාරයයි.
මේ බලන්න.
“සුළඟට සැලෙන වැටකොළු පල බඳුවැ ගත
වෙහෙසට පමුණුවා තලමින් දෙඇළ පත
ලොට තන වන වනා වන් දෙවඟනෝ ඉත
රුදු නෙතගින් දැවූ නව පියඹුවන් වත”
-(13 වන සර්ගය, 16 කවිය)-
සක්‍රයා ලෙඩ වෙයි. ඔහුගේ සුවදුක් බැලීමට විවිධ තරාතිරමේ ඈයෝ පැමිණෙති. මහ බලගතු දෙවිවරු, සෘෂිවරු පැමිණෙති. සුරඟනෝ පැමිණෙති. මහලු සුරඟනෝ එන්නේ ඉහත අයුරිනි.
ඒ කෙසේද?
වැහැරී ගිය තන් වැටකොළු සේ එල්ලෙයි. ඔවුන් එනවිට ඒවා සුළඟින් සැලෙන වැටකොළු මෙන් මහළු සුරඟනන්ගේ ඇලපත්වල “තපහ්… තපහ්…” ගා වදියි. ඉතින් ඇලපත් රිදෙයි.
මහලු දෙවඟනන් සක්‍රයාගේ සුව බැලීමට දුවමින් එන ආකාරය, තරමක් සෝපාහාසාත්මකව මෙහි යෙදෙයි.
කෝලම්වල නොංචි අක්කා ලොට තන වනමින් එන්නේ ද මෙසේය.