නීතීඥ අජානා රණගල
ලංකාව සමාජ දේශපාලන ආර්ථික අර්බුදයේ පතුලත හිඳිද්දී පවා ස්වකීය සිහින දේශය මෙයමැයි ඇදැහූ එය හැර නොයන්නෙමුයි සපථ කළ දරුවන්ය අපට උන්නේ. අපිමයි එලෙස සිතන්නැයි දරුවන්ට අනුබල දුන්නේ. අද අපි දරුවන්ගෙන් මුහුණු සඟවාගන්නට වෙස්මුහුණු සොයමු.
2004 පෙබරවාරියේ උපන් මගේ වැඩිමහල් පුතා ලබන පෙබරවාරියේ විසිවිය සපුරයි. විභාගය නැවත කල් ගියහොත් ඔහු විසිවිය සපුරන්නේද උසස් පෙළ විභාග අපේක්ෂකයෙකු ලෙසයි. ආර්ථිකය ගොඩ දැමිය හැක. ණය ගෙවා දැමිය හැක. දරුවන්ගේ ජීවිතවල මේ නිස්කාරණයේ ගෙවී යන අවුරුදු, අගිස්සෙන් ඇමිණිය හැකිද? විභාගයට හොඳින් සූදානම් වෙමින් සිටින දරුවෙකු විභාගය කල් යාමෙන් කෙතරම් ඉච්ඡාභංගත්වයකට පත් වන්නේද යන්න මැන බැලූ මාපකයක් වේද? එය නැවත නැවතත් සිදුවන විට දරුවෙකු පත්වන මානසිකත්වය හිස අතගා ඔවා දී සිඹ සනසා සමනය කළ හැකිද?
දේශීය විශ්වවිද්‍යාලයකට යෑමේ අභිප්‍රායෙන් දේශීය විෂයධාරාවෙන් උසස් පෙළ කිරීමට තෝරාගැනීම වෙනුවෙන් මගේ දරුවා අද, දින සති මාස මතු නොව අවුරුදු වලින් වන්දි ගෙවමින් සිටියි. ජාත්‍යන්තර විෂයධාරව හදැරූ ඔහුගේ මිතුරෝ උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගත වෙති.
මගේ දියණිය තවමත් අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින අතර ජාත්‍යන්තර විෂයධාරව හදැරූ ඇයට දෙවසරක් බාල ඇගේ ඥාති සහෝදරිය සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළ අධ්‍යන කටයුතුද ආරම්භ කර දැන් කලකි.
තවත් වටයකින් උසස් පෙළ කල් ගියහොත් මේ දරුවන්ගේ ජීවිත තවත් වටයකින් පසුපසට යනු ඇත. නැවතත් ධෛර්යය උපදවාගෙන බලාපොරොත්තු ඇහැරවාගෙන විභාගයට මුහුණ දීම දරුවන්ට පහසු නොවනු ඇත.
මෙය මගේ ගෙදර ප්රශ්නයකැයි නොතකා නොහරින්න. දේශිය විෂය ධාරාව යටතේ උසස් පෙළට ලියාපදිංචි වන, විභාගයට අයැදුම් කරන සිසුන්ගේ සංඛ්‍යාත්මක අඩු වීමේ ප්‍රමානය රතු එළි දල්වයි. අර්බුදය නිර්මාණය වී අවසන්.
වැඩිහිටියන්ගේ දේශපාලන අදේශපාලන විප්‍රකාරයන් වෙනුවෙන් මේ රටේ දරුවන් වන්දි ගෙව්වා මදැයි.
වීර්යයෙන් සහ විශ්වාසයෙන් තවමත් මේ රට තුළ සිය අනාගත සිහින පැළ කරන්නට නතරවූ ඉතිරිවූ මේ රටේ දරුවන්ගේ ජීවිත ඉතින් නැවතත් කල්නොතබන්න.
(උපුටා ගැනීම – Ajana Ranagala – facebook)