මහාචාර්ය සසංක පෙරේරා
දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය
බුද්ධික දමයන්තගේ ‘බෝනිකි ගෙදර 2’ නාට්‍යයෙ මංගල දැක්ම මාර්තු 12 හවස එල්ෆින්ස්ටන් රඟහලේදී බැලුවා. සිංහල වේදිකා නාට්‍යය ක්ෂේත්රයට සමීපයෙකු නොවන අයෙක් ලෙස එහි රඟපෑ නළුනිළියන් ගැන මම ඊට ඉස්සර අහලා තිබුණේ නෑ. ඒක ලොකු ප්‍රශ්නයක් නෙවේ. රංගනය වගේ කරුණු ගැන කියන්න නොයෙක් දේ තිබුණත්, මේ උත්සාහයට යම් දායකත්වයක් කළ අයෙක් හැටියට ඒ කරුණු ගැන ප්‍රසිද්ධ අවකාශයේ විමර්ශනයක් කරන එක ආචාරධර්ම විරෝධී කටයුත්තක් හැටියටයි මම තේරුම් ගන්නේ. වෙලා ඇති විටෙක ඒ ගැන අදාළ උදවිය සමග පුද්ගලිකව කතාකිරීම ප්රමාණවත්ය කියන එකයි මගේ වැටහීම.
මේ වෙනුවට මට සරලව මේ වෙලාවේ කියන්න ඕනෑ මේ උත්සාහය නියෝජනය කරන විධික්රමික විභවයන් ගැනයි. පර්යේෂකයෙකු සහ ගුරුවරයෙකු හැටියට මගේ හිතට ආපු ප්‍රධානම කාරණය වුණේ, විශේෂයෙන්ම කෝවිඩ් 19 වසංගතයෙන් වසර දෙකක් තිස්සේ බැට කාලා හිටිය මොහොතක, ඒ සෞඛ්‍යය-සමාජයීය තර්ජනවලින් තවමත් හරි හැටියට මිදිලා නැති වෙලාවක කොහොමද සාම්ප්‍රදායික අර්ථයෙන් නාට්‍යයක් කරන්නේ කියන එක. බුද්ධික මේ නාට්‍යය පරිවර්තනය කරන්න කියලා මට ආරාධනා කළේ කෝවිඩ් 19 වසංගතයෙන් ඉන්දියාව සහ නව දිල්ලිය මහා පරිමාණයෙන් වේදනා විදිමින් හිටිය 2020 වසරේදී. නොමැරී ජිවත් වීමට සෑහෙන උත්සාහයක් මමත් මගේ භාර්යාවත් ගනිමින් හිටිය ඒ මොහොතේ, මම ඇහුව පළමු ප්රශ්නය තමයි, ‘මේ තියෙන ප්‍රශ්න අස්සේ කොහොමද නාට්‍යයක් ගැන හිතන්නේ’ කියක එක. බුද්ධිකගේ පිළිතුර වුණේ, ‘කොහොම හරි කරමු’ කියායි. ව්‍යූහාත්මකව සහ තර්කය මත පදනම් වෙලා මගේ වෘත්තීය වැඩ කරන්න පුරුදු වෙලා හිටිය මට, මේක පිළිතුරක් වුණේ නැහැ. ඒකට හේතුව, මේ නාට්‍යය, මේ අතිශයින් අමාරු කාලේ කරන්නේ කොහොමද කියන එක ගැන විධික්රමික සහ කළුසුදු හා තාර්කික පිළිතුරක් මට නොලැබුන නිසා. කොහොම වුණත්, සියලුම විශ්වවිද්‍යාල කටයුතු නවතා දමා තිබුණ මොහොතක, නිවසේ සැඟවී, ගෙවත්තටවත් එච්චර නොබැස හිටිය වෙලාවක, ශාස්ත්‍රීය කටයුතු සඳහා හිත යෙදවීම බොහෝ දුරට අමාරු වී තිබුණ වෙලාවක, මේ වැඩේට කාලය හොයාගන්න බැරිකමක් නම් තිබ්බේ නෑ. මේ නිසා කෝකටත් කියලා, බුද්ධික ලබා දුන් තොරතුරු අනුව ඇමසන් කොම්පැනිය හරහා නිව් යෝක් නගරෙයේ සිට ලූකස් නත්ගේ නාට්‍යයේ පිටපතක් සතියක් පමණ ඇතුළත ගෙන්වාගන්න හැකිවුණා. එහි පිටපත් ඉන්දියාවේ කොහෙවත් ඒ වෙලාවේ තිබුණේ නෑ.
පිටපත කියෙව්වම ඒකේ තිබුණ මතවාදීමය හා දාර්ශනික අදහස් හුඟක් වැදගත් කියලා මට පෙනුනා. ඒකට හේතුව විවාහය, ආදරය, පුද්ගලික නිදහස, විමුක්තිය, චින්තනයේ නිදහස වගේ එකිනෙක හා බැඳුණු අදහස් අපේ රටේ ගැඹුරින් කතාකරලා තිබුණ බව මට පෙනුනේ නැති නිසාත්, ඒ පිළිබඳ කතාබහක් මේ නාටකයෙන් සාර්ථකව දියත් කරල තිබුණ බව මට පෙනුන නිසාත්ය. මේ සමස්ත පසුබිම ගැන මගේ අදහස් කැටිකරගත් කෙටි ලිපියක් ‘Marriage and Passion: On Public Performance and Private Thoughts’ යන තේමාව මත 2021 ඔක්තෝබර් 17 වනදා ‘සන්ඩේ ඔබ්සර්වර්’ පුවත්පතේ පළකලා. මේ නාට්‍යය ගැන බුද්ධික උනන්දුවක් දැක්වුවේ ඇයි කියන එක මට තේරුම්ගන්න අමාරු වුණේ නැහැ. මේ මතවාදීමය සහ බුද්ධිමය එකඟතාව මේ පරිවර්තන උත්සාහයේ පදනම වුණා. විධික්රමික වශයෙන් මට වැදගත් වන පළමු කරුණ මේකයි. මොකද, මේ එකගතාව නැතිව මේ උත්සාහය මෙතනින් එහාට ගෙනයන්න හැකියාවක් තිබ්බේ නැති නිසා.
ලූකස් නත්ගේ ඇමරිකානු ඉංග්‍රීසි පෙළ සිංහලයට ගෙන එන්නේ කොහොමද කියන එක මට ආමන්ත්‍රණය කරන්න සිදුවුණ ඊළඟ විධික්රමික ප්රශ්නයයි. නත්ගේ නිමිත්ත හෙන්රික් ඉබ්සන්ගේ ‘බෝනිකි ගෙදර’ නාටකයෙන් හඳුන්වා දුන් චරිත වුණත්, ඔහු එම චරිත තත්කාලීන ඇමරිකානු සමාජයේ ස්ථානාගත කළ හැකි බවත්, ඔවුන්ට තත්කාලීන ඇදුමින් සැරසී හිටිය හැකි බවත් පවසා තිබුණා. ඒ වගේ ම නත්ගේ බස නෝරා ජීවත් වූ 19 වන සියවසට වඩා අයත් වුණේ 21 වන සියවසටයි. බුද්ධික මේ උත්සාහය ලංකාවේ වේදිකාගතකරන විට නත්ගේ අදහස් පිළිනොගෙන, කතාව වගේම එහි දෘශ්‍යය සාධක (ඇඳුම් පැළදුම්) 19 වන සියවසට ම නැවත ආදේශ කර තිබුණා. මම හිතන්නේ ලංකාවවේ සන්දර්භය තුළ වැඩි ව්‍යාකූලත්වයක් නැතිව නාට්‍යය නිෂ්පාදනය කරන්න සුදුසු ප්‍රවේශය මේකයි.
කොහොම වුණත්, සිංහල උත්සාහය සඳහා මම යොදාගත්තේ තත්කාලීන සිංහල භාෂාව. නමුත් මෙහිදී ඉංග්‍රීසි හා සිංහල සම්මිශ්රිත ‘code mixing’ වගේ උපක්‍රම මම යොදාගත්තේ නැහැ. ඒකට ප්‍රධානතම හේතුව බස පිළිබඳ මා දරන තරමක් දුරට පාරිශුද්ධවාදී අදහස. ඒ කියන්නේ, සරලව කිව්වොත්, සිංහල නම් සිංහල, ඉංග්‍රීසි නම් ඉංග්‍රීසි වගේ අදහසක්. නමුත්, සිංහල පෙළ සැකසීමේදී සන්දර්භයීය සංස්කෘතික තත්ත්ව සැලකිල්ලට අරගෙන, ඇතැම් අදහස් දනවන්න ඉංග්‍රීසි පෙලේ නොතිබුන, නමුත් සිංහල භාවිතයේ බහුලව පවතින ඇතැම් වචන හා යෙදුම් මම යොදාගත්තා. මෙනිසා අරුත් සුන්වුනා කියල මම හිතන්නේ නෑ. නමුත් එනිසා මේ කතාව සිංහල වහරන උදවියට වඩාත් සමීප වේය කියන විශ්වාසය මා තුළ තියෙනවා. කොහොම වුනත්, නාට්‍යය බැලුවම මට හිතුන, සිංහල හා ඉංග්‍රීසි මිශ්‍ර කළ, ඔය හුඟක් දෙනා දැන් කාලේ කතාකරනවා වගේ බසක් යෙදුවානම් වඩාත් හොද ද කියලා. නමුත් මෙය මා අතින් සිදුවෙන්න තියෙන ඉඩකඩ අඩුයි. මේ සම්බන්ධයෙන් මතුකළ හැකි විවේචනයක් තමයි, නාට්‍යයේ පෙළ සඳහා යොදාගෙන තියෙන බස නොවේ සාමාන්‍ය සමාජයේ පාවිච්චි වෙන්නේ කියලා. නමුත් නාට්‍යයයි, සමාජ යථාවයි කියන්නේ දෙකක්. නාට්‍යයකින් සමාජ දේශපාලනික කරුණු ආමන්ත්‍රණය කළ හැකි වුනත්, ඒකෙන් සමාජයේ තියෙන හැම දෙයක්ම නියෝජනය කරන්න අවශ්‍ය නැති බවත්, එසේ කළ නොහැකි බවත් අපි හොදින්ම දන්නවා. මෙතනදී අහන්න ඕන වඩාත් වැදගත් ප්‍රශනය තමයි, මම යොදාගෙන තියෙන මේ පෙළ සහ වචන, මේ නාටකයේ දේශපාලනය කතිකාවක් බවට පරිවර්තනය කිරීමේ කාර්යයට බදා කරනවාද නැද්ද කියන එකයි. ඒ ප්‍රශ්නයට පිළිතුරු සැපයීම මගේ වැඩක් නෙවේ. ඒක ප්‍රේක්ෂකයින්ට සහ විචාරකයින්ට බාර කටයුත්තක්.
මට උන්දුවක් ඇති ඊළඟ විධික්රමික ප්‍රශ්න නිෂ්පාදනය හා සම්බන්ධ දේ. එනම්, මේ වගේ වසංගත තත්ත්වයක් තුළ, එහෙම තත්ත්ව නොතිබුන කාලයක ගොඩනගාගත් ප්‍රවේශ තවදුරටත් යොදාගන්න පුළුවන් ද කියන එක. ඉන්දියාවේ සහ නේපාලයේ 2020 ස 2021 යන වසරවල කළ යුතුව තිබුන ක්ෂේත්‍ර පර්යේෂන සම්බන්ධයෙන් මට මේ වගේ විධික්රමික ප්‍රශ්න ගණනාවක් විසදන්න සිදුවුනා — මගේ ක්ෂේත්රය සම්බන්ධයෙන්. ඇතැම් පර්යේෂණ කොටස් අපගේ සැලසුමෙන් ඉවත් කිරීම, තවත් ඒවා කෝවිඩ් තත්ත්වය සමතයකට පත්කිරීමෙන් පසු කාලයකට කල් දැමීම සහ සමහර ශිල්ප ක්‍රම තාක්ෂනය යොදාගෙන ප්‍රතිනිර්මාණය කිරීම වගේ දේවල් කරන්න සිදුවුනා. මේ වගේම දේවල් මේ නාට්‍ය සම්බන්ධයෙන් යොදාගත්ත බව තමයි මට ආරංචි. එයෝන් එකක් තමයි, නළු නිලියන් සහ අධ්‍යක්ෂකවරයා නොයෙකුත් තැන්වල ඉඳන් සූම් වගේ ලාබ තාක්ෂනයක් ඔස්සේ, අන්තර්ජාලයේ තත්‍යාසන්න අවකාශයේදී මුණගැහිලා පුහුණුවීමේ කටයුතු කිරීම. ඒ මාස තුනක් විතර කාලයක් මුළුල්ලේ. රංගන පුහුණුව කෙසේ වෙතත්, පෙළ පිළිබඳ මේ මගින් යම් සමීපතාවක් ලබාගැනීම සිද්ධ වෙන්න ඇති. මම මේක දකින්නේ බොහොම අමාරු කාලයක හදාගත්ත ශිල්පීය නව්‍යකරණයක් හැටියට. මින් පස්සේ තමයි, 2021 දෙසැම්බර් මාසෙන් පස්සේ, යම් දුරකට හෝ මුහුණට මුහුණ දී පුරිදු පරිදි පුහුණුවීම් කටයුතු කරලා තියෙන්නේ. මෙච්චර අමාරු තත්ත්ව යටතේ මේ නාට්‍යය මේ මටටමට ගෙනාපු එකට බුද්ධිකට සහ එයාගේ කණ්ඩායමට මම ස්තූතිවන්ත වෙනවා. නමුත් මගේ ස්තුතියේ පදනම මේ නාට්‍යයේ අවසන් ප්‍රතිපලය නෙවේ. එහි පදනම, ඒ තත්ත්වයට මේක ගෙනෙන්න උදව්වෙච්ච විධික්රමික නව්‍යකරණ සහ මේ කටයුත්තට දායක වෙච්ච උදවියගේ ජවයයි.
මට කතාකරන්න අවශ්‍ය අන්තිම විධික්රමික ප්රශ්නය තමයි, මේක පරිවර්තනයක සිට අනුවර්තනයක දක්වා පැමිණීමේ ගමන පිළිබඳව. මගේ උත්සාහය වුනේ, මුල් පෙළ ට හැකි පමණ සමීපවන අයුරින් ලූකස් නත් ගේ වචන සිංහලයට ගෙන ඒමයි. නමුත් මම පරිවර්තනය කළ ඒ සිංහල පෙළ නාට්‍යයක් හැටියට කියවන්නට පැය තුනක පමණ කාලයක් ගතවුන බව බුද්ධික මට කිව්වා. ඉංග්‍රීසි පෙළ නාට්‍යයක් හැටියට මුලින්ම එළිදක්වපු වෙලාවේ පැය දෙකක පමණ කාලයක් තුළ එය කල හැකි වුන බව තමයි මම අහල තියෙන්නේ. නමුත් සිංහල වචන හා වාක්‍යය භාවිතයේ ඇති සංකීර්ණතා නිසා මේ දික්වෙච්ච කාලය නාට්‍යයකට හුඟක් දිග වැඩියි. මෙතනදී තමයි, බුද්ධික බොහොම නිර්මාණාත්මක ලෙස, තෝරාගත් කොටස් ඉවත් කරමින්, අන් ප්‍රධාන කොටස් වෙත වැඩි අවධානයක් දක්වමින් මුල් සිංහල පිටපත වේදිකාවට සුදුසු හැටියට සකසාගත්තේ. මම දකින්නේ ලූකස් නත් ගේ පෙළ අනුවර්තනයක් බවට පත්වෙන්නේ මේ ව්‍යායාමය හරහා බවයි.
විධික්රමික ප්‍රශ්නයක් නොවුනත් නිෂ්පාදනය, ඒ කියන්නේ මේකට මුදල් යෙදවීම සහ සංවිධානය කිරීම ගැනත් යමක් කියන්න ඕන. මේ වගේ වසංගතයකින් සහ අදූරදර්ශී දේශපාලනික තීරණවලින් රට හොදටම ඇදවැටිලා තියෙන වෙලාවක කව්ද නාට්‍යයකට මුදල් වැය කරන්නේ? මට තේරුණ විදියට මේ උත්සාහයට උරදුන්නේ නිරෝෂ් කවිරත්න. එතුමා මම පුද්ගලිකව අදුරන්නේ නැහැ. ඒ නිසා, මේ වැඩේට අත දැම්මේ ඇයි කියල කියන්න මම දන්නේ නෑ. නමුත් දැනුවත් ව හෝ නොදැනුවත්ව, කවිරත්න මහත්තයා කරලා තියෙන්නේ බෙහෙවින් වැදගත් සභ්‍යත්වමය ව්‍යාපෘතියකට අත දැමීමයි. එනම්, සමාජය බොහෝ හෙම්බත් වෙලා තියෙන වෙලාවක යම් සංස්කෘතික නැගිටීමකට අත්වැලක් හැටියටත්, අනිවාර්යයෙන් බුද්ධිමය සහ ජනප්‍රිය මට්ටම් දෙකේම කතාකළ යුතු තේමාවක් සංස්කෘතික දේශපාලන අවකාශයට මුදාහැරීමත් ය. මේ දැරූ ආයෝජනයේ ප්‍රතිලාබ ඉදිරියේදී ලැබේවාය යන්න මගේ පැතුමයි.
වැඩි කල් නොගොස්, මේ නාට්‍යයෙන් මතුකරණ ප්‍රශ්න ගැන ගැඹුරු සහ ශිෂ්ටසම්පන්න කතාබහක් සමාජයේ ඇතිවෙනවානම් හොදයි.