හෂාන් රංදික ඩයස්
මිනිසා ස්වභාවයෙන්ම සංචාරය ප්‍රිය කරන්නෙකි. ලැබෙන කුඩා හෝ විවේකයෙන් අපි බලන්නෙ කොහේ හෝ ඇවිදින්න යාමටයි. මේ සංචාරය කිරීම, පරිණාමිකව මිනිස් වර්ගයාට උරුම වුණු නම්යතාවයකි. හෝමෝ සේපියන් මානවයා මේ නොදුටු ඉසව් සොයා ගමන් යාමේ කුතුහලයෙන් නොපෙළී, ගුහාවාසීව පහසුවෙන් සොයා ගත හැකි සුලු අහරකින් යැපීමට හුරු වූ බව සිතන්න. එසේ නම් අප්‍රිකා මහද්වීපයේ එක් අඳුරු මුල්ලකින් බිහි වුණු මේ මානවයා අන්දමන් දූපත් සිට ඇලස්කාව දක්වාත්, සයිබීරියාවේ සිට මැඩගස්කරය දක්වාත් මේ මුළු පොළෝ තලය පුරා විසිරී පැතිරී යන්නට ඉඩකඩක් නොමැත්තේම ය. නමුත් නිතර අලුත් දෑ කෙරෙහි කුතුහලෙන් පසුවූ ඔහු තම පැවැත්ම සංකීර්ණත්වයෙන් වඩා සංකීර්ණත්වයට ගෙන ගියේ ය. ඒ නිසා අද මිනිසුන්ගේ මේ ගමන් බිමන් ද වඩා පැතිරුණු අරුමුණු අනුව විසිරී ඇත. බොහෝ විට මේ ගමන් මාර්ග වැටී ඇත්තේ මිනිස් වර්ගයාම නිර්මාණය කරගත් එකිනෙකට මුළුමනින්ම වෙනස් ද නොවන සමාන ද නොවන නොයෙකුත් සංස්කෘතීන් හරහා ය. භෞතික වශයෙන් දූපතකට සීමාවීම නිසා ලාංකික අපට මේ සංස්කෘතික විවිධත්වය අත්විඳගන්න ඉඩ ලැබෙන්නේ, මහද්වීපික වැසියන්ට සාපේක්ෂව අඩුවෙනි.
ශමෙල් ජයකොඩි ලේඛිකාවගේ, “කුමර කොබෙයි” නවකතාව පදනම් කරගන්නේ ශ්‍රී ලංකාවේ ඉපදී පසුව මාතෘ භූමියෙන් වෙන්ව ඇමරිකාවේ විප්රවාසගතව දිවිගෙවන ඉන්දිකා නම් මැදි වයස් ගැහැනිය සිය පෙම්වතා මුල්වරට මුණගැසීමට ඇමරිකානු මහද්වීපය හරහා යන දීර්ඝ සංචාරයයි..
ඇමරිකාවේ නිව් ජර්සි නගරයෙ දිවි ගෙවන ඉන්දිකාට තවමත් ගැලපෙන සහකරුවෙක් නොසිටීම ඇගේ ඇමරිකානු සමාජයට ද යම් ආකාරයක ගැටලුවක් වෙයි. අඩුවශයෙන් ඇය මැදිවයස ඉක්මයාමට පෙර දරුවෙකු හෝ සිටිය යුතු බව ඒ සමාජයෙන් ඇයට ලැබෙන අවවාදයයි. ඉන්දිකා එය ප්‍රතික්ෂේප කරන්නේ නැත. නමුත් ඈ පැතූ ලෙස ආදරය ඇගේ ජීවිතය තුළ හටනොගැනීම ඇයව වේදනාවට පත්කරයි. ඉන්දිකා වැඩිපුරම බියවන්නේ නිසි වයස ඉක්මගොස් දරුවෙකු ලැබීමට නොහැකිවේ යන කරුණටයි. ඇමරිකාවේ වැනි අතිශ්‍ය නිදහස්කාමී සමාජයක වුවද මවක වීමට ගැහැනියක සතු ස්වභාවික නම්‍යතාව වැදගත් ලෙස පිලිගැනෙයි.
ඇමරිකාවේ බටහිර ඉවුරේ සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ වෙසෙන අනවසර පදිංචිකරුවෙකු වන කාලිංගව ඉන්දිකාට දැන හඳුනා ගන්නට ලැබෙන්නෙ මේ අතරයි. ඇමරිකානු මහද්වීපයේ ඒ කොන සහ මේ කොන වෙසෙන ඔවුන් දෙදෙනාට හමුවන්නට ඉඩ ඇත්තේ දුරකතන මාර්ගයෙන් පමණි. සැතපුම් පන්දහසක් පමණ දුර ගෙවා කාලිංගව මුණගැසීමට යාමට ඉන්දිකා සූදානම් වෙයි. මේ ගමනට ඇය හා එක් වන්නෙ ඇගෙ හොඳම මිතුරිය නිර්මලා ය. නිර්මලාගේ මිතුරියක් වන අරුන්දතී ද ඔවුන් හා එක්වෙයි. “කුමර කොබෙයි” මේ ගැහැනු තුන්දෙනා ඇමරිකානු මහද්වීපය හරහා කරන සංචාරයේ වෘතාන්තයයි.
“කුමර කොබෙයි” ප්‍රධාන වශයෙන් ගැහැනු තිදෙනෙක් මුල් කරගෙන ලියවී තිබෙයි. එයිනුත් කතාව අපට ඉදිරිපත් වන්නේ ඉන්දිකාගේ දෘෂ්ටිකෝණයෙනි. ඒ නිසා එය නිරායාසයෙන්ම ස්ත්‍රීත්වය ආත්මය කොටගන්නා නවකතාවකි. මාතෘත්වයද එයින් වෙන් නොකළ හැකි කොටසක් බවට පත්වෙයි. ඉන්දිකා, නිර්මලා සහ අරුන්දතී මේ තිදෙනාම ජීවිතේ මැදි විය ගෙවාදමමින් ඉන්නා අය යි. ජීවිතේ බොහෝ කඩඉම් පසුකර අත්දැකීම් ලබා සිටින අය යි. මේ තිදෙනාගේම එකිනෙකට වෙනස් අරුම ආදර කතා ගමන අතර මැද ක්‍රමයෙන් නිරාවරණය වෙයි. එවිට ක්‍රමයෙන් ඉන්දිකාත්, නිර්මලාත් අරුන්දතීත් ශමෙල් ජයකොඩි ලේඛිකාවගෙන් මිදී ඇය ලවා ඔවුන්ගේ කතාව තමන්ම කියවාගන්නා තිදෙනෙක් බවට පත්වෙයි. චරිත නිර්මාණය කිරීමේදී ඔවුන් මහපොළව මත පය ගසා සිටින සැබෑම මිනිසුන් බවට පත් කිරීමට කතුවරිය සමත්වී ඇත්තේ ඒ ආකාරයට යි.
කිසියම් ආකාරයකට මහා මාවතක සිදුවන ගමනක් කේන්ද්‍රකොට ගෙන නිර්මාණය වෙන චිත්‍රපට Road movies ලෙස හැඳින්වෙන්නා සේ ම මේ නවකතාවද Road novel ලෙස හැඳින්වීම සුදුසු දැ යි නොදනිමි. නමුත් මෙය ලාංකික නවකතාව තුළ අලුත් අත්දැකීමක් බව සහතික ය. මේ ගමන තුළ නගරයෙන් නගරයට සිදුවන පාරිසරික වෙනස්කම් මැනවින් චිත්රණය කරන කතුවරිය පාථකයාටද ඉන්දිකාලාගේ මෝටර් රථයේ අසුනක් වෙන්කර ඔවුන් සමග මේ ගමන යාමට ඉඩ සලස්වයි. මේ ගැහැනු තිදෙනාගේ කතා අතර ඔවුන්ගේ ජීවිතාන්දර මෙන්ම තවත් අතකින් ඇමරිකානු සමාජයද නිරාවරණය වෙයි. එරට පවතින අති දියුණු ආර්ථිකයේ බර දරා සිටින කුලුණු වන සැලසුම් සහගත උන්නතිකාමී පුරවැසි ජීවතයේ සැබෑ ඇතුළාන්තය ඒ සංවාදයන් ඔස්සෙ මතුවෙයි. ඉන්දිකා මේ ඇමරිකානු දියුණුවේ ආලෝකධාරාවන් ගෙන් දෑස් අඳ කර නොගන්නට වෙර දරන තැනැත්තියකි. නමුත් මේ ගැහැනු තුන්දෙනාම පොදුවේ මාතෘභූමියෙන් වියෝ වීමේ සියුම් වේදනාවකින් පෙළෙති.
ගමනක නම් දිශානතියක් අරමුණක් සේම යන මාර්ගයද වැදගත් වෙයි. ඉන්දිකාගේ සැන් ෆ්රැන්සිස්කෝ ගමනද ඒ අතර අරුන්දතී සහ නිර්මලාගේ ජීවනාන්දර වෙත නිරාවරණය වීමෙන් ආත්මිකව ඇය අත්විඳින වෙනස නවකතාවේ මතුවෙයි. අවසානයේ සැන් ෆ්රැන්සිස්කෝහි නතර වන්නේ නිව් ජර්සි නගරයෙන් පිටත්වන ඉන්දිකා නොව, වඩා බලාපොරොත්තු සහගත, ආදරය අබිමුව ජීවිතේ ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් මනසකින් යුත් වෙනස්ම ඉන්දිකා කෙනෙකි. පිලා කෝෂයක සිට උපත ලබන සමනලියක සේ ඇයට අලුතෙන් ජීව්තට මුහුණපෑමට පන්නරය වන්නේ ඇගේ හොඳම මිතුරිය නිර්මලාත් අතරමග හමුවූ අරුමැසි ගැහැනිය අරුන්දතීත් බව කීම වරදක් නොවේ. “කුමර කොබෙයි” නවකතාව ඇමරිකානු සමාජය මෙන්ම ආදරය, විවාහය, මාතෘත්වය සබැඳිව ගැහැනියකගේ ආත්මයේ සියුම් ජීවන කම්පනයන් නිරාවරණය කරයි.
ශමෙල් ජයකොඩි මහත්මිය මුණගැහුණු මොහොතක ඇය කීවේ “කුමර කොබෙයි” පොතට ගැහැනු පාර්ශවයෙන් වැඩිපුර හොඳ ප්‍රතිචාර ලැබුණු බවයි. ගැහැනියකගේ ජීවිතය මුල් කරගෙන ඇයගේ සියුම් සිතුම් පැතුම් නිරාවරණය කරමින් ලියවී ඇති නිසා එය එසේ වූ බවට උපකල්පනය කල හැකියි. නමුත් පොදුවේ එය මිනිස් ජීවිතයේම එක් පැතිකඩක් නිසා වෙනසකින් තොරව විඳගත හැකිවූ බව කියමි. ශමෙල් ජයකොඩි මහත්මියගේ කිසිදු ලේඛනයක් මින් පෙර කියවා නොතිබීම ගැන මටම දොස් පවරගමි. ඇය මඟ නොහැර කියවාගත යුතු ලේඛිකාවක බව සිතමි.