නන්දන වීරරත්න
අද සිටින සිංහලයන්ගේ කුල වෙනස්කම් ගැන ලියවෙන පොත් කීපයක් තියෙනව [ ‘නුතන සිංහලයන්ගේ කුල වෙනස්කම්’, ‘කුලය හා ප්රචන්ඩත්වය’, සඟ සසුනේ කුල දසුන’] මේ පොත් එළියට ගන්න තව අවුරුද්දක්වත් ඕන වෙනව. ඒ අතරේ මේ සටහන ලියන්න හිතුනේ කින්නර කුලය ගැන මේ මොහොතේ කතාබහක් තියෙන නිසයි. ‘කින්නර ඉකිබිදුම’ මම ‘රාවයට’ ලියපු කුල ලිපි පෙලේ 6 වැන්න. මම පටන්ගත්තේ ‘ධර්ම චක්‍රයේ ඇණ ගැසූ බෞද්ධයෝ’ ලිපියෙන්.
මම කුල වෙනස්කම් හා හිරිහැර ලියන්න ගත්තේ 1991 දී. ඒ කාලේ මම බිබිලේ අරවාකුඹුර විදුහලේ අභ්‍යාසලාභි ගුරුවරයෙක්. මම පත්තර වාර්තාකරුවෙක් බව දැන සිටි ධර්මදාස කියන අපේ ගුරු මණ්ඩලයේ කෙනෙක් අපුරු කතාවක් මට කීව.
“බදුල්ලේ ‘නිල්මල්පොත’ ගමයි පංසලයි අතරේ ලොකු ආරවුලක් තියෙනව. පංසලේ නායක හාමුදුරුවො මරණයක් වූ නිවසකින් හත්දොහේ දානේ ගන්න බෑ කීමෙන්. ඒ මිනිස්සු රෝඩී කුලේ මිනිස්සු. ගමේ සෙසු කුල හාමුදුරුවො ‘රෝඩී කුප්පායමෙන්’ දානේ වළඳනවට විරුද්ධයි.”
පාතයෙක් වෙච්චි මට ඌවේ මේ සිදුවීම් විශ්වාස කරන්න අමාරු වුණා. මොකද අපේ ගම්වල හැම කුලේකටම පංසල් තියෙනව. අපි කුලේ පංසලට කියන්නේ ‘අපේ පංසල’. අනෙක් පංසල කියන්නේ ‘ගමේ පංසල’. එතකොට මගේ ගුරු පඩිය රුපියල් 1500. මම බෝඩින්කාරයෙක්. දරු පවුලකුත් ඉන්නව. මෙහෙම දෙයකට ඒ වෙනකොට මම ලියපු පත්තරෙන් [යුක්තිය]ගමන් වියදම් ගන්න බෑ. මම මිත්‍රයෙකුගේ උපකාරය පැතුව. ඔහු සමන්සිරි බෙන්තරආරච්චි. පස්සර තේ පර්යේෂණ ආයතනයේ වැඩ. ඔහුට රාජකාරි යතුරු පැදියක් තිබුන. මම කතා කළ ගමන් ආව, එක පයින්ම. අපි නිල්මල්පොත ගම හොයා ගෙන ගියා. ගමට ගිය ගමන් කීවේ
“අපිට බඩගිනියි ….! කන්න දෙයක් උයල දෙන්න..!”
පැය භාගයක් යන්න කලින් සාඩින් සම්බලක් හා පරිප්පු වෑන්ජනයක් එක්ක බත් ලැබුණ. ඒක සාංගික දානයක් වගෙයි අපට දුන්නේ…!
ගමක් කීවට නිල්මල්පොත තිබුනේ පැල්පත් 20 -25 විතර. මොකක්ද වුණේ ඇහුව. විස්තරේ කීව.
ගමේ මහ හුලවාලිය [ ගම් නායකය] ඊට සතියකට කලින් මැරිල. ඔහු මැරෙද්දී කරපු අවසාන ඉල්ලීම හරිම ඛේදනීය එකක්.
“මම මළාට පස්සේ ලොකූ දානයක් පංසලට දීපල්ල. මේ ආත්මේ අඩු කුලයක ඉපදීමෙන් වෙච්චි වෙනස්කම් ලබන ආත්මේ විඳවන්න බෑ. ඒ නිසා දානේ දීල මට පිංදීපල්ල ලබන ආත්මේ උසස් කුලයක උපදින්න”
අපි දෙන්නටම මල පැනල කෙලිම ගියා පංසලට. ලොක්ක උඩරට අමරපුර නිකායේ එක පාර්ශවයක නායකය. දන්ඩ නමස්කාර කරල ලොක්කට මම කීව,
‘අපි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන්. පැමිණිල්ලක් විභාග කරන්න ආවේ. ඇයි ඔබවහන්සේ අර දුප්පත් මිනිස්සුන්ගේ දානේ ගන්නේ නැත්තේ?’
“ මහත්තය ටිකක ඉන්න මම වෙච්චි දේ කියන්න. ඊට කලින් ගිමන් ඇරල තේ එකක් බීල ඉම්මු”
සංග්‍රහයෙන් පස්සේ ලොක්ක මෙහෙම කියපි.
“මහත්තයල, මේ ගමේ ගොවි කුල පවුල් 220 ඉන්නව. වහුම්පුර කුලේ පවුල් 170 ඉන්නව. එතකොට ඔය රොඩියන්ගේ දානේ කෑවෝත් අනික් කුලවල එවුන් මට දානේ දෙන්නේ නෑ. එතකොට මටයි පොඩි උන්නාසේලාටයි රොඩී දානෙන් පස්සේ බඩගින්නේ ඉන්න වෙන්නේ”
කතාව අරගෙන ඇවිත් ලීව ලිපියක් රාවයට. ඒ තමා ‘ධර්ම චක්‍රයේ ඇණ ගැසූ බෞද්ධයෝ’ එතනින් තමයි ලංකාවේ පත්තරේක කුල වෙනස්කම්වලට විරුද්ධ මුල්ම ලිපිය පළ වුණේ.
රාවය සාමන්‍යයෙන් ආවේ සිකුරාද උදේට. ජනාධිපති ප්‍රේමදාස සිකුරාද හවස් වෙද්දී නිවාස ඇමති සිරිසේන කුරේ නිල්මල්පොතට යැව්ව. සෙනසුරාදා උදේ මඩිහේ ලොක්ක [ පඥ්ඥාසීහ] පිරිවරක් එක්ක ඒ ගමට ගියා. හැබැයි වෙච්චි දෙයක් නෑ. එකම දෙයයි වුණේ. ‘යුක්තිය’ ට ලියමින් සිටින් මම ‘රාවය’ ට ලියන්න පටන් ගත්ත.
දන් ඉතින් පටන් ගත්තු නිසා කුල කතා පෙළ ලියන්න ගන්නම්.
උපුටාගැනීම – facebook/ Nandana Weerarathne (ඡායාරූපය සහ සටහන)