මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
මා ලිවීමට සූදානම් වෙන්නේ නිහාල් නෙල්සන් පිළිබදව නොව, මා පිළිබදවයි. වඩාත් නිවැරදිව කියනවා නම් නිහාල් නෙල්සන් මගේ අත්දැකීම් ලෝකයේ ඓන්ද්‍රීය සාධකයක් වූ ආකාරය පිළිබඳවයි.
මගේ ජීවිතයේ මොරටු අවධියේ නිහාල් නෙල්සන් වැදගත් සාධකයක් වූ බව නිසැකය. මා ඉපදී ජීවිතයේ මුල් වසර හය ගත කළේ කුමාරි ජයවර්ධනගේ වචනයෙන් කියනවා නම් යටත්විජිත යුගයේ සම්බොඩීස්ලා (ලොක්කන්) ගේ ආධිපත්‍යයේ කේන්ද්‍රස්ථානයක් වූ අත්තනගල්ලේ පහළම පංති ස්ථරයකට අයත් නෝබොඩි (සොක්කන්) කෙනෙක් ලෙසයි. ඉන්පසුව ජීවිතයේ අවස්ථා දෙකක් අත්තනගල්ලේ සිට යටත්විජිත යුගයේ දී නෝබොඩීස්ලා සම්බොඩීස්ලා බවට පත් වූ ආර්ථික සමාජ ක්‍රියාවලියේ කේන්ද්‍රස්ථානයක් වූ මොරටුවට සංක්‍රමණය වීමි. මේ අවස්ථා දෙකෙන් තීරණාත්මක වූයේ 1979 සිට 1984 අවධියයි.
නිහාල් නෙල්සන් මගේ සංස්කෘතික (අ)විඥානයේ වැදගත් සාධකයක් වන්නේ මේ අවධියේය. මුල් අවධිය වූයේ 1972 හා 1973 වර්ෂයි. මේ කාලය වන විට කැසට් රෙකෝඩරය පැමිණ තිබුණේ නැත. මා නවාතැන් ගෙන සිටි ඥාති නිවසේ රේඩියෝවක් තිබුණි. එය රෙඩිෆියුෂන් වර්ගයේ එකක් ද යන්න මතක නැත. ඒ හරයා පැමිණි ගීත ජෝතිපාල, මිල්ටන් මල්ලවාරච්චි වර්ගයේ ය. නිහාල් නෙල්සන් ගැන ඒ අවධියට අදාළව එහෙමට ම මතකයක් නැත.
නමුත් දෙවෙනි අවස්ථාවේ මා මොරටුවට සංක්‍රමණය වූ විට මගේ නවාතැන වූ නිවසේ කැසට් රේඩියෝවක් තිබුණි. එවිට කැසට් රේඩියෝ යුගය ආරම්භ වී තිබුණි. සංගීත සංදර්ශන ද යහමින් තිබුණි. කටුබැද්ද ක්‍රීඩාංගණයේ එක්ස්පෝ 80 මහා කානිවල් එක අපූරු සංස්කෘතික අත්දැකීමක් විය. එහි පැවැති සංගීත සංදර්ශනවල ප්‍රධාන නිවේදකයෙක් වූයේ නිහාල් නෙල්සන්ට වැඩිවශයෙන් ගීත ලියූ හේමසිරි හල්පිටයි.
ඒ නිහාල් නෙල්සන් මොරටු සංස්කෘතික විජිතයේ රජ කළ යුගයයි!!!
ඒ කාලයේ කටුබැද්ද මොරටුව අවට ප්‍රදේශවල තවත් නිහාල් කෙනෙක් සිටියේය. ඔහු ප්‍රසිද්ධ ස්ථානවල නිහාල් නෙල්සන් මෙන් රඟමින් වීදි සංදර්ශන පැවැත්වී ය. නිහාල් නෙල්සන්ගේ හිසකෙස් මෙන් සකස්කළ විග් එකක් ඔහු සතු විය. නිහාල් නෙල්සන් මෙන් බොරු මයික්‍රෆොනයක් උඩ විසිකරමින්, නිහාල් නෙල්සන් අනුකරණය කිරීමට ඔහුට අපූරු හැකියාවක් තිබුණි. කටුබැද්දදේ ක්‍රීඩාංගණය අසල වූ බස්නැවතුම් පොළ අසල මේ “නළු නිහාල්ගේ“ වීදි සංදර්ශනය නිතර දක්නට ලැබුණි. මේ බස් නැවතුම් පොල තිබුණේ මගේ දේශපාලන ආකර්ශනය දිනාගත් තැනක් වූ, රෝහණ විජේවීර නිතර ආ ගිය කටුබැද්දේ “නන්ද ටේලර්ස්“ ආසන්නයේය. නිතර දක්නට නොලැබුණු නිහාල් නෙල්සන්ගේ දර්ශනය මේ “නළු නිහාල්“ අප වෙත රැගෙන ආවේය.
රාවත්වත්තේ අපගේ පාසල ආසන්නයේ පැවැති සල්ගාදු හෝටලය මේ කාලයේ නිහාල් නෙල්සන්ගේ කල්ලිය නිතර මුණ ගැසෙන සථානය විය. මේ හමුව ඇසින් දකින්ට ලැබීම වරප්‍රසාදයක් ලෙස හැඟුනු බව දැන් මට නිසැකවම කිව හැක.
මගේ ජීවිතයේ තීරණාත්මක සිදුවීමක් වූ 1983 දී අප විසින් පහර දෙනු ලැබූ කුඩා දෙමළ කෙසෙල්කැන් බුලත්විටි කඩය පිහිටියේ සල්ගාදු හෝටලයට අල්ලපු ඉඩමේ ය. එසේම ජවිපෙ පූර්ණකාලිකයෙක් අප කීපදෙනක් රැගෙන ජවිපෙ පංති පහට අප සහභාගී කරවීම සඳහා ඇවිද ගියේ ද සල්ගාදු හෝටලය ඉදිරිපිටිනි.
මේ සල්ගාදු හෝටලය ඉදිරිපිට රැස් වූ නිහාල් නෙල්සන්ගේ කල්ලියේ මට මතක තුන් දෙනෙක් සිටියහ. ඒ නිහාල් නෙල්සන්, හේමසිරි හල්පිට හා “වීනී“ නමැත්තෙකි. විනී අපේ යාළුවෙකි. හවස් යාමයේ ඇතැම් දිනවල පාසැලේ ක්‍රීඩාගාරයේ වාඩිවී අප සමග අල්ලාප සල්ලාපයේ යෙදීමට විනී පැමිණියේය. විනී කොණ්ඩය සකසා තිබුණේ ද නිහාල් නෙල්සන්ගේ කොණ්ඩය මෙනි. විනීට තිබුණේ නිහාල් නෙල්සන්ට වඩා රළු හැඩිදැඩි පෙනුමකි. නමුත් අහිංසක හදවතක් තිබුණි. ඔහුගේ ගමන් විලාශය අමුතු ස්වරූපයක් ගත්තේ කකුළේ තිබූ ගංජා ගැට නිසා බව අපගේ විශ්වාසය විය. නිහාල් නෙල්සන් වීනී ගැන හේමසිරි හල්පිට ලියූ ගීතයක් ගැයීය. ඒ “රත්තරනින් චේන් බැදන්, රට නයිලෝන් ෂ්ර්ට් ඇදන්, මෙන්න බොලේ ටවුන් එකට විනී ඇවිල්ල“ වැනි පද සහිත එකක් බව මතකය. නිහාල් නෙල්සන් ගේ “හාල්පාරුවා“ ගීතයද විනී මුල්කරගෙන හැදූ එකක් බව කවුදෝ කියනු මා අසා තිබේ. “හාල්පාරුවා“ ගීතය මගේ ජීවිතයට බෙහෙවින් කිට්ටු වූයේ මගේ ගෙවල් අවට කොලු රැල මට පටබැඳ තිබූ නම ද “හාල්පාරුවා“ වීම නිසාය.
සල්ගාදු හෝටලය අප වැඩියෙන් පාවිච්චි කලේ එහි පසුපසට ගොස් සිගරට් බීමටයි. අපි පසුපසට වී සිගරට් බොනවිට බොහෝ දිනවල නිහාල් නෙල්සන් ඇතුළු කල්ලිය හෝටලයේ දොරකඩ අරා සිට සුපුරුදු විනෝදකාමී සල්ලාපයේ නියැලුණි. සමහර දිනවල හේමසිර හල්පිට නිහාල් නෙල්සන් සඳහා ගීත ලියන්නේ සල්ගාදු හෝටල දොරකඩ රැස්වීමේ දී බව ඇතැම්හු පැවසූහ. සමහරෙක් කීවේ බයිසිකලය පැදගෙන එන අතර සිතින් ප්රබන්ධකරන ගී පද සල්ගාදු හෝටලය අසලින් සොයාගන්නා කොල කැබැල්ලක් ලියා දෙන බවයි. මේවාගේ ඇත්ත නැත්ත නම් නොදනිමි.
තිස්ස ගුණවර්ධන සර්ගේ “ආර්ට් රූම් එකේ “උසස් කලාව“ පිළිබද වැඩි නැඹුරුවක් සහිත සාකච්ඡාවලට වැඩි බුද්ධිමය උනන්දුවක් තිබූ අපිට නිහාල් නෙල්සන් “සීරියස්“ ගායකයෙක් ලෙස සිතුනේ නැත. ඒ වනවිටත් “මගේ ප්‍රියතම ගායකයා අමරදේවයී“ යන විදග්ධ මතය මා අත්තනගල්ලේ සිට ම උරුමකරගෙන විත් තිබුණි. මොරටුව නිහාල් නෙල්සන් ගේ මෙන් ම අමරදේවගේ ද නිජ බිම වීම ද සිත්ගන්නා සුළු ය.
මේ කාලය මා අමරදේවට ප්‍රිය කළ, එමෙන්ම අමාරුවෙන් කීයක් හෝ හොයාගෙන පාසැලේ අල්ලපු වටේ පිහිටා තිබූ ටවර් සිනමා ශාලාවට එන වසන්ත ඔබේසේකරගේ ධර්මසේන පතිරාජගේ, ධර්මසිරි බණ්ඩාරනායකගේ, ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සම්භාව්‍ය චිත්‍රපටි බැලීමට ප්‍රිය කළ යුගයකි.
එහෙත්, ප්රමුඛ වශයෙන්ම විධිමත් අධ්‍යාපනය මගින් සකස් කරනු ලැබූ ඒ සංස්කෘතික සවිඥානකත්වයට යටින් නිහාල් නෙල්සන්ට මෙන්ම එච්ආර් ජෝතිපාලට ද ආසාකළ අවිඥානයක් පැවැති බව දැන් මට හොදින්ම පැහැදිළි වේ. ඒ ගෙදර තිබූ කැසට් යන්ත්‍රයේ නිහාල් නෙල්සන්ගේ ගීත වාදනය වන විට ඒවා වෙත පැවැති මර්දනය කළ නොහැකි ආකර්ශනය නිසාය.
කිසියම් දිනෙක් නිහාල් නෙල්සන් මුණ ගැසී කතා කිරීමට මට නොස්ටැල්ජික ආශාවක් තිබුණි. එය ඔහු මිය යාමට ප්‍රථම ඉටුකරගැනීමට නොහැකි විය.
(සටහන – නිර්මාල් දේවසිරිගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනිණි. ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)