ධනංජය කරුණාරත්න
මේ මෑතකදී මට යම් තරුණයෙක් ලියපු කෙටි නාට්‍ය පිටපතක් මම අඳුරන යාලුවෙක් හරහා එවලා තිබුණා අඩුපාඩු බලලා කියන්නයි කියලා. සාමාන්‍යයෙන් අපි සෑම කෙනෙක්ම වාගේ යම් නිර්මාණයක් ලිව්වට පස්සේ විවිධ අයට කියලා, බාහිර ඇහැකින්, ඒකෙ අඩුපාඩු නිරීක්ෂණය කර ගන්නවා. ඒක හරිම සාමාන්‍යයි.කොහොමහරි අර තරුණයා එවපු නාට්‍ය පිටපත පළමු වටයවත් හරියටම ලියල නැහැ. කොටින්ම කතාවේ අවසානය පවා ඔහු තීරණය කරලා නැති තරම්. මට තේරුණේ බොහොම නොසැලකිල්ලෙන් ලියල දාල වගේ කියලා. ඒ නිසා මම යෝජනා කළා, ඔයා හරියටම කරන්න හදන්නෙ මොකක්ද කියලවත් මට තාම හිතා ගන්න අපහසු නිසා, මේ පිටපත සම්පූර්ණයෙන් ලියලා යම් මට්ටමකට වර්ධනය කරලා එවන්න මම එතකොට බලන්නම් කියලා. මට පෙනුන විදියට ඔහුගේ බලාපොරොත්තුව එවැනි මහන්සියක් නොදා මම ලවා වැඩේ කරවා ගැනීමයි. යම් විදියකින් මේ පිටපත ඒ මට්ටමේ දී මම හදල දුන්නනම් බොහෝ විට ඒක මම ලියපු පිටපතක් බවට පත්වෙනවා. එහෙම නැත්නම් ඔහුයි මමයි දෙන්නාම ලියපු පිටපතක් බවට පත්වෙනවා. ඒ වගේම ඒ පිටපත විශ්වවිද්‍යාල විභාග පැවරුමකටද සම්බන්ධයි. එබැවින් ඔහුගේ ව්‍යාපෘතියට අනුව ඒ පිටපත මම කළා නම් එම තරුණයා ද ඇතුළුව විශාල පිරිසකට අසාධාරණයක් මෙන්ම නොමඟ යැවීමකට මම සහයෝගය දක්වනවා.
තව කෙනෙකුගේ පිටපතක් අප නිරීක්ෂණය කිරීමේදී එවැනි අක්‍රමිකතා අසාධාරණකම් මෙන්ම තවත් දේපොළ ව්‍යාකූලතා ඇතිවීම වළක්වනුවස් වෘත්තීය නාට්‍ය කලාවේදී මේ සඳහා විනයක් ශික්ෂණයක් තියෙනවා (Discipline). විවිධ අයගේ පිටපත්වල ගුණදොස් හැදීම අප අතර නිතර සිදුවන දෙයක් බැවින් ද විවිධ ගැටලු ඒ හරහා මතු වන බැවින්ද මටම විශාල ප්‍රශ්න ඇති වී ඇති බැවින් ද තව කෙනෙක් විසින් පිටපතක් නිරීක්ෂණය කරනවිට වෘත්තීය නාට්‍ය කලාවට අනුව ඊට අදාල විනය ශික්ෂණය මොකක්ද කියලා අපි පොඩ්ඩක් පැහැදිලි කර ගමු.
පිටපතක් ලියූ පසු එය තවත් අය විසින් නිරීක්ෂණය කර අඩුපාඩු සාකච්ඡා කිරීම නාට්‍ය කලාවට පිටපත් රචනය පැමිණි ආදි ග්‍රීක් යුගය තරම්ම පැරණියි. නමුත් රචකයාට අමතරව ඒ පිටපත හෝ නිෂ්පාදනය නිරීක්ෂණය කරන පරීක්ෂණය කරන හෝ සංස්කරණය කරන කෙනා වෘත්තීය නාට්‍ය කලාව තුළ ස්වාධීන භූමිකාවක් ලෙස මතු වෙන්නට පටන් ගත්තේ 1767 දී ජර්මනියේ හැම්බර්ග් ජාතික නාට්‍ය සමාගම ( Hamburg National Theatre) විසන් ගොට්හෝල්ඩ් ඉෆ්රාඉම් ලෙසිං (Gotthold Ephraim Lessing) ව එම සමාගමේ නිෂ්පාදනය කරන පිටපත් ඇතුළු නාට්‍ය නිර්මාණ නිරික්ෂණය කිරීමට සහ සංස්කරණය කිරීමට බාහිරින් වෘත්තිකව යොදා ගැනීමත් සමගයි. (මීට අමතරව, හැම්බර්ග් ජාතික නාට්‍ය සමාගම ඉතාමත් කෙටි කාලයක් පැවතුණු නමුත් National Theatre (ජාතික නාට්‍ය හෝ ජාතික රංග කලා) යන වචනය ප්‍රථම වතාවට නාට්‍ය ලෝකයට හඳුන්වා දීමේ පුරෝගාමීත්වය ඇතුළු ඉතා වැදගත් පුරෝගාමී වැඩ වගයකට දායක වෙනවා. කෙසේ හෝ ඉන්පසු මෙම භූමිකාව විවිධ අර්ථකථනයන්ට සහ විවාදයන්ට ලක් වෙමින් වර්තමානය වන විට චිත්‍රපටි, ඔපෙරා සහ නාට්‍ය ඇතුළු සියලුම ප්රසාංගික කලාවන් වලට අත්‍යවශ්‍ය වෘත්තීය භූමිකාව බවට පත්වෙලා තියෙනවා. සමාන්‍යයෙන් එහි වර්තමාන වෘත්තිය භූමිකාව හඳුන්වන්නේ Dramaturge නමින්. නාට්‍ය පිටපත් සම්බන්ධයෙන් Scrip Doctor නමින්ද සමහර අවස්ථාවල හඳුන්වනවා.
කෙසේ වෙතත් මෙම භූමිකාව ඒ ඒ ව්‍යාපෘතිය සහ ඒ ඒ අයගේ උවමනා එපාකම් අනුව විවිධ විදිහට වෙනස් වෙනවා. සමස්තයක් ලෙස එහි කටයුත්ත වන්නෙ, නිෂ්පාදනය හෝ පිටපත එය නිර්මාණය කරන අයගෙන් පරිබාහිර ඒ සම්බන්ධ විශේෂඥයකුගේ අධීක්ෂණයට, පරීක්ෂණයකට නිරීක්ෂණයකට හෝ සංස්කරණයකට ලක් කර එහි ගුණ දොස් දැනගෙන එහි ගුණාත්මකත්වය ඉහලට ගැනීමයි. ඒ නිසා ඒ සියලුම කටයුතු ආවරණය වන පරිදි සුදුසු සිංහල නමක් අවශ්‍යයි. මම මේ පිළිබඳව මහාචාර්ය සසංක පෙරේරා සමග කතා කළ මොහොතක ඔහු Dramaturge සඳහා ‘නාට්‍ය සංස්කරණවේදියා’ නම යෝජනා කළා. ඊටත් වඩා සුදුසු නමක් හමුවුනොත් එය පාවිච්චි කිරීමට විවෘතවෙමින් සසංකට ස්තුති පූර්වක මම දැනට ඒ නම පාවිච්චි කරනවා.
කෙසේ හෝ මේ පිටින් සම්බන්ධවන නාට්‍ය සංස්කරණවේදියාගේ කටයුත්ත වෙනත් කෙනෙකු ගේ නමට නාට්‍යක් නිර්මාණය කරදීමේ රහස් හෝ හොර කතෘ කෙනෙක් නොවන බව ඔබට පැහැදිලි විය යුතුයි. එහෙමනම් ඔහුගේ කොටස මොකක්ද? කිසියම් පිටපතකට අයිතිකරුවෙක් සිටීනම් සහ ඉදිරිපත් කරන්නේත් එම නිර්මාණ අයිතිකරුවාගේ නමින් නම් නාට්‍ය සංස්කරණ වේදියා සහ නිර්මාණකරුවා අතර රේඛාවක් අදින්නට අපට සිද්ධ වෙනවා. සාමාන්‍යන් එහි විනය හා ශික්ෂණය ලෙස අපි හඳුන්වන්නේ එම රේඛාවයි. එය නාට්‍යයකදී රචකයාට අධ්‍යක්ෂක ගේ කොටස කරන්න නොහැකි වගේම අධ්‍යක්ෂකට අවසරයකින් තොරව රචනය වෙනස් කරන්න බැරි වගේම විවිධ භූමිකාවන්ට අනිත් භූමිකාවෙන් වෙනස් වෙන සීමාවටම සමානයි. කෙසේ හෝ මෙය වඩාත් අදාළ වන්නේ වෘත්තිමය විනය ශික්ෂණ යටතේ වැඩ කටයුතු කරන අවස්ථාවලදී වන අතර ඊට පරිබාහිරව මෙය විවිධාකාර විදියට සිද්ධ වෙන්න පුළුවන්. වෘත්තීය නාට්‍ය කලාව යනුවෙන් අදහස් කරන්නේ අවශ්‍යයෙන්ම මුදලට රැකියාවට කරන කටයුත්තක් නෙවෙයි, ඊට වඩා විෂයට ආවේණික විනය ශීක්ෂණය නිරවුල් පිලිවෙල, වෘත්තීය අයිතිවාසිකම්, මානව අයිතිවාසිකම්, දේපල වැටුප් සාධාරණත්වය ආදී සියල්ල සැලකිල්ලට ගෙන ගුණාත්මකත්වය වැඩි කරන්නට උත්සාහ කරන නාට්‍ය කලාවයි.
ඒ අනුව කිසියම් පිටපත් රචකයෙකු ඔහු හෝ ඇයගේ පිටපතක් ලෙස ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය මත නාට්‍ය සංස්කරණවේදියෙකුගේ සහාය ලබා ගන්නා විට එම නාට්‍ය සංස්කරණවේදියා සහ නිර්මාණකරුවා අතර රේඛාව මේකයි: නාට්‍ය සංස්කරණවේදියා විසින් පිටපතේ ඇති විවිධාකාර ප්‍රශ්න අර්බුද ගැටලු පෙන්වා දෙන අතර එහෙත් ඒවාට ගත යුතු විසදුම කුමක්දැයි කියා නිර්මාණකරුවාට තීරණය කිරීමට භාර දෙනවා. උදාහරණයකට, නාට්‍යයේ මේ හරියේ ඇදෙන ගතියක් තියෙනවා ,මේ චරිතය මෙම හේතු නිසා විශ්වාසනීයත්වයෙන් නැතිවෙලා තියෙනවා එය තව යථාර්ථවාදී විය යුතුයි, මේ චරිතයෙන් කතාවට කිසිම දෙයක් වෙන්නේ නෑ ඒ චරිතයේ වැඩේ අනිත් චරිතවලින් කෙරෙනවා, පිටපතේ මේ කොටස් කිසිම අදහසක් ඇති කරන්නේ නැහැ, වැනි යෝජනා. එවිට නිර්මාණකරුවා විසින් ඒවා නිවැරදි කිරීමට කළ යුත්තේ කුමක්දැයි තීරණය කර ඒවාට විසඳුම් හොයාගෙන නිර්මාණය ගොඩනැගිය යුතුයි. යම් විදියකින් නාට්‍ය සංස්කරණවේදියා ප්රශ්නය සහ ඊට ඔහු හෝ ඇයගේ විසඳුම් සියල්ලම ලබා දෙනවා නම් ඔහුද එම පිටපතේ සම රචකයා ( co-writer) බවට පත්වෙනවා.කෙසේ හෝ එකිනෙකාගේ එකඟතාව මත ප්‍රායෝගික තලයේ දී මෙම හවුල් කටයුතු වල යම් යම් වෙනස්කම් සිදු වෙන්නට පුළුවන් නමුත් මූලික විනය ඕකයි.
ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවේ ඇති තවත් එක දැවැන්ත අර්බුදයක් නම් අපේ වෘත්තීය නාට්‍ය කලාව හරියට ගොඩනැගී නැති බැවින් මෙවැනි විනය ශීක්ෂණයන් විශාල ප්‍රමාණයෙන් නාට්‍ය අභ්‍යාස වලට පැමිණ නැතිවීමයි. මේ නිසා විවිධ පුද්ගල ගැටුම් සහ ව්‍යාකූලතා ඇතිවෙනවා. ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවේ මෙවැනි තවත් එක දැවෙන ප්‍රශ්නයක් නම් කිසියම් නාට්‍යයක්, කෙටි කාලයකට හෝ දිගු කාලයකට, රඟදක්වන්නේ නැතිව නැවතුණු පසු එය නැවත නිෂ්පාදනය කරන විට අධ්‍යක්ෂක ගේ නිදහස ද ඇතුළුව කිසිවෙකුට අසාධාරණයක් නොවී කලින් සිටිය නළු නිළියන්ම ගැනීම තීරණය කරන්නේ කුමන විනයක් ශික්ෂණයක් හෝ නීතියක් මත ද ? වෙනත් අවස්ථාවක අපි ඒක සාකච්ඡා කරමු.