මහාචාර්ය ආරියරත්න ඇතුගල
දශක හයකට ආසන්න කලා ජීවිතයක් ගත කරන හේමසිරි ලියනගේ කලා ලෝකයේ ආදරණීය චරිතයකි. ගුරුවරයෙකු, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු, නාට්‍ය රචකයෙකු සහ රංගධරයෙකු වන හේමසිරි ලියනගේගේ සෑම නිර්මාණ කාර්යයක්ම කලා සංස්කෘතියේ අතීතකාමයන්ය. මෙම කෙටි ලිපියෙන් මා ඔහුගේ චරිතාප්‍රදානය ලියන්නට උත්සාහ නොකරමි. ඔහු ගැන සංකල්පීය සංෂිප්ත සාරසංග්රහයක් ලියන්නට යෙදෙමි.
හේමසිරි ලියනගේ පළමුව කලා සමාජයේ කියවීමට හසුවන්නේ ‘සුදු ඇතා’ ‘ නරියා සහ කේජු” වැනි කෘති තුළින් නාට්‍ය කරුවෙකු ලෙසිණි. ඔහු පොදු ප්‍රේක්ෂක කියවීමට හසුවන්නේ ‘අඹයාළුවෝ’ ටෙලි කතාවෙන් හා ‘අසල්වැසියෝ’ ටෙලි ප්රහසනයෙනි. ඔහුගේ මෙම භූමිකාවන් වඩාත් ප්‍රසිද්ධියට පත් වූ අතර, එකී ගමන් මගේ හේමසිරි ලියනගේ සාම්ප්‍රදායික රංග රූපනයට සෙමෙන් අභියෝග කරමින් ඔහු සිනමා සංස්කෘතික නිරූපකයක් ලෙස වඩාත්ම නිර්මාණශීලී සහ බලගතු පෞරුෂය බවට පත් විය. හේමසිරි ලියනගේ වේදිකාව ඔස්සේ චිත්‍රපට රංගය කෙරෙහි සිය දක්ෂතා භාවිත කළ අයෙකි. ඔහුගේ ආකර්ෂණීය රංග පරාසය ඔහුව ඔහුගේ පරම්පරාවේ වඩාත්ම ගෞරවනීය නළුවෙකු බවට පත් කර ඇත. ගැඹුර සහ සූක්ෂ්මතාවයෙන් යුත් සංකීර්ණ චරිත මූර්තිමත් කිරීමට හේමසිරි ලියනගේට ඇති හැකියාව සුවිශේෂී වෙයි.
ඔහු නිහඬ චරිතයකි. එහෙත් බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙක් බව දන්නේ ද සුළු පිරිසකි. බොහෝ නළුවන් ළඟ ඇති බොරු රැඟුම් කිසිවක් ඔහු ළඟ නැත. ඔහුගේ රංගන විලාසය, තීව්ර වේදිකා පෞරුෂය හා තිර පෞරුෂය අද්විතීය වේ. නිරූපකයෙකු ලෙස හේමසිරි ලියනගේ අභියෝගයට ලක් නොවේ. ඔහුගේ රංගනය කිසිවෙකුටත් සොරකම් කළ නොහැකිය. අනුකරණය කළ නොහැකිය. නළුවෙකු ලෙස හොඳ අධ්‍යක්ෂවරයෙකුට අවැසි සියල්ල ඔහු සතුය. හාස්‍යමය සහ නාට්‍යමය චරිත හා ගැඹුරු තිර චරිත කිරීමට ඔහුට ඇති හැකියාව රංග තීව්‍රතාවය සහ විශිෂ්ඨත්වය සොයන අධ්යක්ෂවරුන් සඳහා සම්පතකි. පිටපත මතින් හේමසිරි ලියනගේ ඔහුගේ භූමිකාව දකියි. ඔහුගේ පෞරුෂය අතුරුදහන් කර සංකීර්ණ ලෙස වියන ලද, සවිස්තරාත්මක නිරූපණයක් නිර්මාණය කිරීමට පිටපතින් ඔබ්බට ඔහු ගමන් කරයි. ඇතැම් විට එය අධ්‍යක්ෂකගේ සීමාවද ඉක්මවා යන්නකි. හේමසිරි ලියනගේගේ භූමිකාවක් රඟපානවා යැයි අපට නොදැනේ. එතුළින් අපට විශේෂිත චරිතයක් හමුවෙයි. ඔහු උස, ශක්තිමත් හෝ කඩවසම් හෝ නොවන නමුත් ඔහු රඟපාන විට කිසි විටෙකත් ඔහුගෙන් ඇස් ඉවතට ගැනීමට මට නම් නොහැකිය.
බොහෝ විට අසාමාන්‍ය ලෙස සංවේදී ස්නායුගත චරිත (Portrayals of neurotic characters ) නිරූපණය කිරීම සඳහා හේමසිරි ලියනගේ ප්‍රසිද්ධය. චරිතයක ගැඹුරුම චිත්තවේගයන්ට ඔවුන්ගේ ශරීරයෙන් පිටවීමට ඉඩ දී තිර පිටපතෙහි ඇති වචන ජීවත් වන හෝ ජීවත් වූ හෝ චරිත ලෙස දනවයි. ඔහුගේ උත්ප්රාසාත්මක සිනහව සහ රැලි සහිත මුහුණින් රංග සියුම්තාව ක්ෂණයෙන් උපදවා ගනියි. ඔහුගේ පෙනුම සහ ආකර්ශනීය ගතික තිර පැවැත්ම ප්රමුඛ රංගධරයෙකු ලෙස ඔහුගේ අදීනත්වය ශක්තිමත් කර ඇත. එසේම ඔහුගේ රළු චමත්කාරය සහ බහුකාර්ය රංගන හැකියාවන් ඔහුව තිරයේ ආදරණීය චරිතයක් බවට ද පත් කරයි. චරිත තුළ ගැඹුර සහ මනුෂ්‍යත්වය ප්‍රකාශ කිරීමට ඔහුට ඇති හැකියාව ප්රබුද්ධ ප්‍රේක්ෂකයින් වඩාත් ආකර්ෂණය කරන්නකි.
හේමසිරි ලියනගේ මට හමුවන්නේ මගේ ‘සිත්තර ගුරුන්නාන්සේ’ ටෙලි කතාවෙනි. ඒ ගැන මා නොකියන්නේ එය මගේ පිටකහ ගැනීමක් විය හැකි බැවිණි. ඔහු අවස්ථා සොයා ගිය කෙනෙක්වත් රැල්ලට හඹා ගිය කෙනෙක්වත් අනෙකා පරයා නැගී සිටින්නට දැඟලූ කෙනෙක් වත් නොවෙයි. ඔහු නළුවෙක් යැයි අදටත් ඔහු නොසිතනවාය යන්න මගේ හැඟීමයි. දැනුවත්කම් පෙන්වන්නේ නැත. නිහතමානීකම සිතිය නොහැකි තරම්ය. සිනහව දායාද කොට සිටියි. අප වටා ඇති කටුක සත්‍යයන් විසින් ගිලගත් මිනිසුන් පිළිබඳ ඔහුගේ රංගයන්ගෙන් තිරය සහ යථාර්ථය අතර ඇති වන බාධක බිඳ දැමීමට ඔහු සමත්ය. අප මේ ගත කරන්නේ රංග කාර්යයන්හි අඳුරු යුගයකය. හොඳම දේ තෝරා ගැනීම සඳහාවන පළල් කලා විචාර අගැයුම් හා කලා විනිසුරන් හිඟ අඩවියකය. ඔහුගේ දිගු හා කීර්තිමත් කලා ජීවිතය තවමත් නිසි ලෙස විචාරක අවධානයට මෙන්ම නිසි අගැයුමට ද ලක්ව නැත්තේ එබැවිනි. හේමසිරි ලියනගේ නාට්‍යමය නැඹුරුවක් ඇති ශ්‍රේෂ්ඨතම නළුවෙකු මෙන්ම, ගෞරවාන්විත චරිතයකි.