දයාපාල තිරාණගම
මේ සටහන මා ලියන්නේ අප අතරින් මෙයට 12 වසරකට පෙර දිවි ගමන නිමා කළ ගාමිණී හත්තොට්ටුවේගම මහතා (29-11-39 – 30-10-2009) විශ්වවිද්‍යාල ජිවිතයට ගෙන ආ උරුමය අනුස්මරණය කිරීම පිණිස ය. ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ඉතා දක්ෂ කතිකාචාර්යවරයෙක් වූ හත්තොට්ටුවේගම ආචාර්යතුමා ශිෂ්‍ය ප්‍රජාව කෙරෙහි දැක්වූ අනුපමේය සහකම්පනය සහ අවබෝධය සෑම විටකම අනෙක් ආචාර්යවරුන්ගෙන් වෙන්කර හදුනාගත යුතු චරිතයක් බවට පත්ව සිටි බව ප්‍රසිද්ධ කාරණාවකි.
ඔහු අප හා සමග හැඳුනුම්කම ඇති වුයේ විශ්වවිද්‍යාල තුළ ඉතාමත් සටන්කාමී යුගයක් කරා ගමන් කිරීමේ පෙර සුදානමක් පෙන්වූ 60 දශකයේ අග සහ 70 දශකය ආරම්භයත් සමග ඇති වූ කාල පරිච්චේදයේය. ශිෂ්‍ය පරම්පරාව මේ රටේ ජතාවගේ වේදනාවන් වෙනුවෙන්ද දේශපාලනික සටනක නියුක්තව සිටින බව තේරුම් ගැනීමට ඔහු කිසි විටෙකත් පසු බට නොවීය. එමනිසා ශිෂ්‍ය සටන්වලට ඔහු සැමවිටම ඔහුගේ ආචාරධාර්මික සහයෝගය පල කරනු ලැබුවේ ශිෂ්‍ය සටන්වල ජයග්‍රාහක අවසානයක් මේ රටේ ජනතාවගේ අරගලයද ඉදිරියට ගෙන යාමේ අවකාශය හිමි කර ගන්නා බැවිනි. ඇත්තටම හත්තොට්ටුවේගම ආචාර්යතුමා රැකියාවෙන් ඉතුරු කළ දෙයක් තිබුනේ නැත. දිනක් එතුමා මට කතා කොට කිව්වේ කෑමට මුදල් සොයා ගත නොහැකි කිසිම් අවස්ථාවක බඩ ගින්නේ නොසිටින ලෙසත් කැන්ටිමේ ඔහුගේ එකවුන්ට් එකට කෑම දෙන ලෙස ඔහු උපදෙස් දී ඇති බවත්ය. එවකට බොහෝ අවස්ථාවල අපට විශ්වවිද්‍යාල පරිපාලනය මගින් දේශපාලනය කටයුතුවල නිරත වීම නිසා ශිෂ්‍යාධාර කපා හැරිම සිරිතක් කොට ගෙන තිබුණි.
ශිෂ්‍ය ව්‍යාපාරය සමග එතුමා තුළ තිබු මානුෂික හැඟීම, සහකම්පනය සහ අවබෝධය පැහැදිලි ලෙසම කලාවට කළ ඔහුගේ පුරෝගාමී වැඩ කොටසට පැහැදිලි ලෙසම බලපෑවේය. ඔහුගේ ඇඳ පැළඳ ගත් විලාශය සහ ඒවාට දුන් වටිනාකම්, දෛනික චර්යාව සහ මිනිස් සම්බ්න්ධකමවලදී දැක්වූ සංවේදීතාවය ඔහු එවකට විශ්විද්‍යාලය තුළ රඟ දැක්වූ නාට්‍යවල දැඩි ලෙස පිළිබිඹු වූ බව අපට පෙනුණි. එමෙන්ම පෙර දනුම් දීමක් නොමැතිව හිටි අඩියේම විශ්විද්‍යාලයේ ශිෂ්‍යයන් ගැවසෙන තැන්වල නාට්‍ය රංගනයේ යෙදුනි. ඔහුගේ නාට්‍යවලින් දැක්වූ උපහාසය ඉතාම දැඩි සංඥාවක් විශ්වවිද්‍යාල ප්‍රජාවට මෙන්ම පරිබාහිර සමාජයට පිටත් කර යැව්වේය. එතුමා හැකි හැම දෙයකම සම්මතය බිඳවා හැරීමේ අරමුණක් මුල් කර ගත්තේය. සමහර අවස්ථාවල සපත්තුවල ලේස් වෙනුවට ලණු කෑලි බැඳගෙන විශ්වවිද්‍යාලයට පැමිණි අවස්ථාවන් එමට තිබුණි.
එතුමා වැනි අචාර්යවරුන් අතිශයින්ම එකල දුර්ලභ විය. ශිෂ්‍ය ජිවිතයේ අතිශයින්ම අභියෝගාත්මක යුගයක සියලු දුෂ්කරතාවයන් මැඩලමින් ඉදිරියට පැමිණි අප වැන්නවුන් කෙරෙහි එතුමා තුළ ඇති වුයේ ඉමහත් ප්‍රීතියකි. එනමුදු 1980 ගණන් වන විට අප සියලු දෙනාටම අඳුරු යුගයට සුදානම් වීමට සිදු විය. මා විශ්විද්‍යාල ගුරුකම හැර දමා බිම් ගත දේශපාලනය තෝරා ගත් බව අසා එතුමා ඉමහත් කම්පනයට පැමිණුනු බව මට පසු කාලයක ආරංචි විය. මා එංගලන්තයේ සිට පැමිණි විටක එතුමා රෝගාතුරව සිටින බව අසා වරක් එතුමා සොයා ගැනීමට මා කල උත්සාහය ව්‍යර්ථ විය.
හත්තොට්ටුවේගම ඇදුරුතුමා අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ජිවිතයේ මෙන්ම ගුරුඇදුරු ජිවිතයට එක් කළ මිනිස් කම මෙන්ම පරිත්‍යාගයන්ද ඉතාමත් ගෞරවයෙන් යුක්තව සිහිපත් කරන අතර ඔහුගෙන් මේ රටේ නාට්‍ය කලාවට සිදු වූ පුරෝගමී සේවය නිසා එතුමා අපේ කලාවේ සහ සංස්කෘතියේ නොමැකෙන දායාදයක් ලෙස පවතිනු ඇත.