දර්පනා විමලකුමාර
ගංගා යමුනා සහ සරස්වතී ගංඟා හමුවන තැන අසිරිමත් ත්‍රිවේණි සංගමම් බිහිවෙන බව ඇය පවසයි. කවියේ බස ගංගාවටද , හැඟුම් යමුනාවටද පවරා දී ළපටි මදට පෑ ගත් දාස් පෙති පියලි හා මුසුව ගත් මෘත දේහයන්හි අලු පාවෙන සරස්වතියට ඇය උපමාවක් සොයයි. කොතරම් අපූරු හැඟීමක් ද? කිවිඳියගේ මේ තුති පදයෙන් පිබිද ගිය සිතින් මම ඒ කව් නදියේ ඉවුරට පය තැබීමි. ඇය තම කවි නම් කර තිබුණේ ව්‍රත ලෙසිනි. මෙසේ ව්‍රත තිස් හතරක් ඇය ලියා ඇත. කිසි විටෙක කිසි තැනක එවැන්නක් දැක නොපුරුදු බැවින් කුහුල් සිතින් කවි කියවන්නට පටන් ගත්තෙමි.
ධනුෂ්කා ඇගේ වෘතියට අනුව සකු බස හදාරන්නට ඇත. රස හඳුනන කිවිඳියක වන ඇය සකු සාහිත්‍යය විඳින්නට ඇත. ඇයට හුරුපුරුදු සකුවෙන් බිඳී ආ රස වදන් උපමා රූපක මේ කවි අතර බහුල වන්නේ එබැවිනි. එසේම ඇගේ කවිවල ව්‍යංගාර්ථය කොපමණ අපූරුවට යෙදී තිබේදැයි ශුෂ්ක ව්‍රතයේ මේ කවිය දෙස් දෙයි.
ශුෂ්ක වූ ප්‍රේමයක පාමුල
තිත් පොළොං දළ වැදී තිබුණා
එදා නුඹ බිම වැටී හුන් තැන
දූට ගත් හැඩ අකුරු තිබුණා
ශුෂ්ක වූ දේශගුණයක් සහිත සතා සර්පයා බහුල ඈත පිටිසරක දුගී දිවියක් ගෙවන ඇගේ සැමියා සර්පයෙකු දෂ්ට කිරීමෙන් මිය ගොස් ඇත. ඇයට කුඩා දියණියක ඇති බව කිවිඳිය කියන්නේ ඔහු මල තැන දුවට ගත් අකුරු විසිරී තිබුණු බව කීමෙනි. ඔහුගේ සෙනේබර බව, ඔහුගේ දාරක ප්‍රේමය ඇය ඔහුට දක්වන සෙනෙහස හා පති භක්තිය සෙනේහය වදන් අතර දැවටී හිතට දැනෙයි. මේ කවිය විඳින මට සිරි ගුණසිංහයන්ගේ සිට්ටම්මා කවිය තුළින් හදට දැනුණ කම්පනය එලෙසම දැනුනි. කවි පෙළෙහි මුල සහ අග එකම කවිය යෙදී ඇත්තේ ජීවිතයේ අනියත බව දන්නා ඇය දරුවන්ද සමඟ ජීවිතය මුහුණ දෙන බව ප්‍රබල ලෙස හඟවමිනි. නූගත් ගැමි ලඳකගේ හැඟීම් සහෘදයාට දැනවීමට ඇය යොදාගත් බස අපූරුවට ගැළපේ.
ඇටෙන්ඩන් කෙනෙකුගේ සෙමින් මිය යන ආදරිය ගැන ලියවී ඇති ගිලන් වෘතයද අපූරු කවියකි. ඇය භාවිතා කර ඇති බස ඔහුගේත් ඇගේත් දුක දනවන්නට මනා මෙහෙයක් ඉටුකර ඇත. ඇය ඔහුව දකින්නේ සුන්දර ප්‍රේමවන්තයෙක් වන තේජමාන ජලාල් රජු ලෙසිනි. ඇයගේ ආදරය විසක් සේ බලගතු යැයි ඔහු කියයි.විෂක් ජීවිතය නිමාකර දමයි. එහෙත් ඇය ගේ ප්‍රේමය නැමති විෂ පෙවුනු ඔහු තම ජීවිතය ඉහල ඔසවා තබා ඇත. සැබවින්ම එය විෂක් ලෙස ඔහු දකින්නේ ඇය මිය ගියහොත් ඇගේ ඒ මියගිය පෙම විෂක් සේ ඔහු අඩ පණ කරන නිසාද?. ඇයට කාසය වැළඳ ඇතිබව ඔහු කියයි. ඔහුගේ හිතේ දුක කාසය බවට පෙරළී එය දැඩි වේදනාවෙන් ඔත්පල කරවා ඇත. ඔහුගේ පසුතැවීම වඩාත් තීව්ර කරන්නට ප්‍රයෝගයක් ලෙස කිවිඳිය ධර්මේ නම් ඔවුනගේ මිතුරාද ඇය ගැන කියූ ශෝචනීය වදන් මනා මෙහෙයක් ඉටු කර ඇත. කවියෙන් වෑහෙන කරුණ රසයද ඉන් වඩාත් තීව්ර කොට ඇත.
ඇගේ කවි රස විඳ මත් වූ සිතින් මේ සටහන තබමි. මෙහි කවි බොහොමයක් මගේ සිත තිගැස්වීමට සමත් විය. විඳීම නම් එයයි. මේ පැදි වල වූ අකුරු හරඹය , උපමා , රූපක සංකේත භාවිතය ව්‍යංගය , කොතැනක වත් නොවටී යැයි බැහැර කරන්නට නම් නොහැකි බව කිව යුතුමය.