ලංකාවට කාලි අම්මාගේ පිහිටයි!

ලංකාවට කාලි අම්මාගේ පිහිටයි!

වික්ටර් අයිවන්

ලංකාව විශාල විනාශයක් කරා යාම නොවැළැක්විය හැකි ඓතිහාසික යථාර්තයක් බවට පත් වෙමින් පවතී. ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය ක්‍රියා කරමින් සිටින්නේද එම යථාර්තය සනාථ කිරීමට හේතුවන ආකාරයටය. සංවරනය හා තුළනය සදහා තිබුණු සියලු විධිවිධාන ක්‍රම කඩා බිඳ වැටී තිබෙන්නේ යැයි කිව හැකිය. මේ අර්බුදය තුළ දක්නට තිබෙන බිහිසුණුම ලක්ෂණයක් වනුයේ රටේ රාජ්‍යය නායකයා රාජ්‍ය නායකයකු විසින් ආරක්ෂා කළ යුතු පාලන සම්ප්‍රදායන් නොදන්නා කෝඩුකාරයෙකු වීමය. ජනාධිපති තනතුර කොතරම් බලවත් වුවත් එම තනතුර දරන්නා කවර හේතුවක් නිසා හෝ නොකළ යුතු දේවල් ද තිබේ. කළ යුතු හා නොකළ යුතු දේවල් අතර තිබෙන වෙනස ගැන නිසි අවබෝධයක් නැතිකම ද ගෝඨාභය ජනාධිපතිවරයාගේ අසමත් භාවය කෙරෙහි බලපා තිබෙන වැදගත් හේතුවක් ලෙස සැලකිය හැකිය. කොතරම් බලවත් වුවත් ජනාධිපතිවරයාට පැවරී ඇත්තේ භාරකාර භූමිකාවකි. ඔහු රටේ තාවකාලික භාරකාරයා මිස අයිතිකාරයා නොවේ. රටේ පොදු වස්තුව ආරක්ෂා කොට වැඩි දියුණු කරන ප්‍ර‍තිපත්තියක පිහිටා ක්‍රියා කරනවා මිස ඒවාහි පැවැත්ම පරදුවට තබා ක්‍රියා කරන්නට ඔහුට අයිතියක් නැත.

ලංකාවේ උග්‍රවන අර්බුදය පාලනය කිරීමට බැරිවන තරමට දේශපාලන නායකයින් මිත්‍යා විශ්වාසයන්ට ගොදුරු වන ප්‍රමාණයද ඉහළ යන්නේය. හරක් මස් තහනම කාලි අම්මාට පොරොන්දුවී තිබෙන භාරයක් ඔප්පු කිරීම සදහා කරන ලද්දක් බවද කියනු ලැබේ.

රසායන පොහොර තහනම

රසායන පොහොර හා පළිබෝධනාශක තහනම් කිරීම අරභයා ජනාධිපති අනුගමනය කළ ප්‍ර‍තිපත්තිය සම්ප්‍රදාය විරෝධි සේම හිතුවක්කාරි හා වගකීමෙන් තොර ද වේ. ඒ නිසා ලංකාවේ කෘෂිකර්මයට සිදුවී තිබෙන විනාශයේ වටිනාකම ප්‍රක්ෂේපණය කර නැත. එහි තරම ඉතා විශාලය. ජනාධිපති රටට අඟවන්නේ වකුගඩු මාරයාගෙන් ජනතාව බේරාගැනීම සඳහා එසේ කරන ලද බවය. එහෙත් හේතු හඳුනා නොගත් වකුගඩු රෝගයට හේතුව රසායන පොහොර හෝ පළිබෝධනාශක බව විද්‍යාත්මක පර්‍යේෂනවලින් සනාථ වී නැත. එය කිසියම් මතවාදි ගුරු කුලයක් (දේශප්‍රේමි සළු-පිළි හැඳගත්) විසින් නිර්මාණය කොට සමාජ ගත කර තිබෙන මතවාදයක් ලෙස සැලකිය හැකිය. එය මුස්ලිම් භීතිකාවක් ඇති කිරීමට හේතු වූ වඳ බෙහෙත් කතාවට සමාන කළ හැකිය. මේ කතා වර්ග දෙකම එකම මතවාදි ගුරු කුලයක් විසින් නිර්මාණය කොට සමාජ ගත කරන ලද මහජනයා භීතියට පත් කිරීමට හේතු වූ කතා ලෙස ද සැලකිය හැකිය. එම අන්තවාදී ගුරු කුලයේ සමහර නායකයින් ජනාධිපතිගේ සමීප උපදේශකයින් වී සිටින බව ද පෙනේ.

රසායන පොහොර හා පළිබෝධනාශක භාවිතය තහනම් කළ විට තෝරාගැනීමට තිබුණ එකම විකල්පය වුයේ කාබනික පොහොර වගාවට රට යොමු කිරීමය. රසායන පොහොර හා කෘෂිරසායනවලට එරෙහිව කොතරම් විවේචනාත්මක මතවාද ලෝකයේ තිබුණ ද භූතානය හැර ලෝකයේ කිසිම රටක් රසායන පොහොර මුළුමනින් අතහැර කාබනික පොහොරවලට මාරුවී නැත. භූතානය ද ඒ සදහා දරන ලද උත්සහාය අසාර්ථක වීම නිසා ඒ සදහා වන ඔවුන්ගේ සැලසුම් වෙනස් කර තිබේ. කාබනික වගාව ගැන දශක ගණනාවක් තිස්සේ ලෝක මට්ටමෙන් නැගෙන ඝෝෂාව විශාල වුව ද තවමත් ලෝකයේ මුළුමනින් කාබනික පදනමකින් වගා කර ඇත්තේ වගා කර තිබෙන මුළු භූමි ප්‍රමාණයෙන් සියයට දෙකකටත් වඩා අඩු ප්‍රමාණයකය. අදහස ලස්සන වුණත් ප්‍රායෝගික නැත. කාබනික වගාවල අස්වැන්න අඩුය. නිෂ්පාදන වියදම ඉතා ඉහළ මට්ටමක පවතී. ඒවා වගා කරන්නේ ද සමාන්‍ය ජනයාට නොව ඉහල මිලක් ගෙවිය හැකි ධනවතුන්ගේ පරිභෝජනය සදහාය. ලංකාවේ කෘෂිකර්මය මුළුමනින් කාබනික කෘෂිකර්මයක් බවට හැරවීමට තීරණය කරන අවස්ථාවේදී ජනාධිපති කාබනික වගාවට අදාල එම ලෝක යථාර්තය සැලකිල්ලට ගත් බවක් පෙනෙන්නේ නැත. ලංකාව මුළුමනින් කාබනික වගාවකට යාහැකිනම් ඒ මගින් පමණක් ලොකු දියුණුවක් අත් පත් කරගත හැකියි කියන ජනාධිපතිගේ කතාව කිසිම සත්‍ය පදනමක් නැති මනෝ විකාරයක් ලෙස සැලකිය හැකිය. මුලදී ඇති කරගෙන තිබුණ සිහිනය වී තිබුනේ රටට අවශ්‍ය සියලු කාබනික පොහොර ලංකාවේම නිපදවීමය. එය යථාර්තයක් නොවන බව පෙනෙනු විට චීන අසූචිවලින් නිපදවන ලද පොහොර ලොකු තොගයක් ලංකාවට ගෙනාවේය. නිරෝධායන පරීක්ෂණවලින් අසමත් වී නැව දෙවරක්ම ආපසු හරවා යවන ලද අතර එම අසූචි පොහොර නැව තුන්වැනි වරටත් ලංකාවට පැමිණ තිබෙන බව වාර්ථා වේ. රුහුණ විශ්වවිද්‍යාලයේ ශාක ව්‍යාධි විද්‍යාව පිළිබද මහාචාර්‍ය නාලිකා ප්‍රියවන්දා රණතුංග මහත්මිය අනතුරු ඇඟවීමක් කරමින් ප්‍රකාශ කර තිබෙන්නේ,

“මේ පොහොර අපේ පසට යෙදීමට සිදු වුව හොත් එම වරද නැවත කවදාවත් නිවරදි කළ නොහැකි වනු ඇති බව”

ය.

කිරි ගොවිතැන

රසායන පොහොර තහනම ආණ්ඩුව ලංකාවේ කෘෂිකර්මය සදහා නිෂ්පාදනය කර තිබෙන විකාරරූපී නාට්‍යයක එක ජවනිකාවක් පමණය. ඊළගට කරන්න යන්නේ හරක් මැරීම තහනම් කිරීමය. පළමු ක්‍රියාවෙන් (රසායන පොහොර තහනමෙන්) කෘෂි බෝග වගාවන් විනාශ කිරීමට හේතුවිය. දෙවැනි ක්‍රියාවෙන් (හරක් මැරීම තහනම් කිරීමෙන්) කිරි ගොවි තැනින් ආරම්භ වී රටේ සමස්ථ සත්ව පාලනය මුළුමනින් විනාශ කිරීමට හේතු විය හැකිය. ලංකාවේ හරක් ගහනය (මී හරකුන් හැර) ලක්ෂ 30 කි. ලංකාවේ සිටින කිරි ගොවීන් සංඛ්‍යාව ලක්ෂ 4 කි. ලංකාව කිරි අවශ්‍යතාවන්ගෙන් සීයට 35 ක් ලංකාවේ නිපදවයි. කිරිපිටි හා කිරි ආහාර ආනයනය සඳහා ලංකාව වසරකට ඩොලර් මිලියන 350-400 අතර වියදමක් දරනු ලබයි. කිරිවලින් ස්වයංපෝෂිත වීමේ ඇත්ත හැකියාවක් ලංකාවට තිබුණ ද එම ඉලක්කය සපුරා ගත නොහැකි වී තිබෙන්නේ හරක් මස් පිළිබඳ යථාර්තවාදි ස්ථීර ප්‍රතිපත්තියක් ලංකාවට නොතිබුණ නිසාය. කිරි සඳහා පමණක් හරක් හැදීම ලාභදායි වන්නේ නැත. හරක් ඇති කිරීම ආර්ථික වශයෙන් ලාභදායී වන්නේ කිරි හා මස් යන අවශ්‍යතාවන් දෙකම සදහා හරක් හදන්නේ නම් පමණය.


ගව ගාලක වැස්සියන් බිහිකරන පැටවුන්ගෙන් සාමාන්‍යයෙන් සීයට 50 ක් පිරිමි සතුන්ද ඉතිරි 50 ගැහැණු සතුන්ද වේ. හරක් හැදීම ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙනයන රටවල සමාන්‍යයෙන් සිදුවන්නේ පිරිමි ගැහැණු භේදයකින් තොරව පැටවුන්ට මාස හයක් මව් වැස්සියන් ගෙන් කිරි බොන්නටද ඉඩ ලැබන ලෙස උන් හැදීමය. ඉන් පසු ගැහැණු සතුන් කිරි ලබාගැනීම පිණිසද පිරිමි සතුන් ගෙන් වැඩි දෙනෙක් මස් පිණිස ද වෙන් වෙන්ව හදනු ලැබේ. වසු පැටවුන්ගෙන් කොටසක් මාස 5 දී veal මස් සදහා මරනු ලබන අතර ඉතිරි පිරිමි සතුන් මාස 12 දී හරක් මස් පිණිස මරනු ලැබේ. හරකුගේ ජීවිත කාලය අවුරුදු 20 කි. එහෙත් කිරි එළ දෙනුන් පවා වයස අවුරුදු 7- 8 අතර වයසේදී මස් පිණිස මරා දමන්නේ එම වයසෙන් පසු කිරි නිපදවීමේ හැකියාවේ අඩු වීමක් ඇති වී තවදුරටත් එම සතුන් නඩත්තු කිරීම ආර්ථික වශයෙන් ඵලදායි නොවන නිසාය.

කිරි ගොවියාගේ ගෙල මිරිකීම

හරක් මැරීම තහනම් කිරීමත් සමග හරක් හැදීම ආර්ථික වශයෙන් ඵලදායි නොවන දෙයක් බවට පත් වන්නේය. පරණ ක්‍රමය තුළ අලුත උපදින සියලු පැටව් සැලකුණේ අතිරේක වශයෙන් ලැබෙන ලාභ වශයෙනි. නව නීතියත් සමග එම චිත්‍රය කනපිට හැරෙන්නේය. හරක් පට්ටියක උපදින පිරිමි සතුන් සියයට 50 ට කරන්නේ කුමක්ද? උන් ඉපදුන වහාම මරා දැමිය යුතුද? උන්ගෙන් ලබා ගත හැකි ආර්ථික ඵල ප්‍රයෝජනයක් නැතිනම් විශාල වියදමක් දරා උන් නඩත්තු කල යුත්තේ ඇයි? පැටියෙකුට මව් වැස්සිය පෙවිය යුතු කිරි ප්‍රමාණය ලීටර් 300 ක් ලෙස ගණන් බලා තිබේ. එම කිරි වල පමණක් වටිනාකම රුපියල් 30,000 කි. එහි තේරුම වසු පැටියා නොහදන්නේ නම් රුපියල් 30,000 කට වැඩි මුදලකට ඌ විකිණිය යුතු බවය. ගම්වල කිරි ගොවීන් එළදෙනුන් නාකි වී මැරෙන තෙක් උන්ව බලා ගන්නේ නැත. කිරි මුර ගණනාවක් ලබා ගැනීමෙන් පසු ලබා ගත හැකි කිරි ප්‍රමාණය අඩුවූ විට එළදෙන අප්‍රසිද්දියේ විකුනන්නේය. ඉන් එකවර ලොකු මුදලක් කිරි ගොවියා අතට ලැබෙන අතර කිරි හරක් කරමාන්තයේ ආර්ථික චක්‍රය සකස් වී තිබෙන්නේ ඒ අකාරයටය.


හරක් මැරීම තහනම් කිරීමත් සමග පිරිමි සතුන් විකුණා අතිරේක ආදයමක් උපයාගැනීමට කිරි ගොවියාට තිබුන හැකියාව ද මුළුමනින් අහිමි වන්නේය. ඒ සමග උන් මැරීම නීති උල්ලංගනයක් වනවා සේම උන් හැදීමද ඉසිලිය නොහැකි ආර්ථික බරක් බවට පත්වන්නේය. එම ධර්මතාව ඊට වෙනස් අකාරයකින් එළ හරකුන් කෙරෙහිද බලපායි. කිරි මුර ගණනාවකට පසු ලබාගත හැකි කිරි ප්‍රමාණය අඩුවී එළදෙන අනාර්ථික තත්වයකට පත්වූ විට ඌ විකුණා ලොකු මුදලක් උපයා ගැනීමට තිබුන හැකියාව ද ගොවියාට අහිමි වේ. එහිදී ගොවියාට උසුලා ගත නොහැකි ලොකුම බර වනු ඇත්තේ කිරි ලබා ගත නොහැකි තත්වයකට පත්වූ එළදෙනුන් උන් මැරෙන තෙක් සමහර විට අවුරුදු 10ක් 12 ක් කිසිම ආදායමක් නැතිව බලා ගන්නට සිදු වීමය.
රසායන පොහොර හා හරක් මැරීම තහනම් කිරීමට අදාලව මෙවැනි විනාශකාරි මුග්ධ තීරණයන්ට මාරුවීමට ආණ්ඩුවට හැකි වී තිබෙනුයේ අනෙකුත් බොහෝ ප්‍රශ්න ගැන සේම එම ප්‍රශ්න දෙක ගැනද විරුද්ධ පක්ෂවලට ස්ථිරසාර ප්‍රතිපත්තියක් නොතිබීම නිසාය. රසායන පොහොර හා පළිබෝධනාශක තහනම් කොට රටේ මුළු කෘෂිකර්මයම කාබනික ගොවි තැනකට මාරු කළ අවස්ථාවේ දී සියලුම විරුද්ධ පක්ෂ විවිධ අකාරවලට කියා සිටියේ කාබනික ගොවිතැනකට මාරු වීම යහපත් වුවත් එය ක්‍රමක් ක්‍රමයෙන් නොකොට එකවර කරන ප්‍රතිපත්තියකට රට මාරු කිරීම යහපත් නොවන බවය. ඉන් පෙනෙන්නේ ජනාධිපති හිතන විදිය හා විවිධ විරුද්ධ පක්ෂවල නායකයික් හිතන විදිය අතර ලොකු වෙනසක් නැති බවය. එම මෝඩ ප්‍රතිපත්තිය ඊට වෙනස් ආකාරයකට යහපාලන කාලයෙදීද ක්‍රියාත්මක විය. අවසාන විග්‍රහයේදී ඒ අනුව ජනතාවට ඒ ප්‍රශ්නය පෙනෙනු ඇත්තේ ජනාධිපති එම ප්‍රතිපත්තිය ක්‍රියාවට නගන ලද අකාරයේ අවුලක් ඇතත් ඒ ගැන ජනාධිපති කල්පනා කරන විදිය නිවැරදි බවය. කාබනික ගොවි තැනකට ක්‍රමක්‍රමයෙන් යාමේ හැකියාවක් ඇති නම් එය කළ යුත්තේ කෙසේද කියා එම දේශපාලන පක්ෂ රටට පැහැදිලි කළ යුතුය. එවැනි පැහැදිලි කිරීමක් කිරීමට ඔවුන් සූදානම්ද? ගවයින් මැරීම තහනම් කිරීමෙන් සත්ව පාලනයට සිදුවන විනාශය අති විශාල වුව ද එම ප්‍රශ්නයේදී ද විරුද්ධ පක්ෂවලට නිෂ්ශබ්දව සිටිනවා විනා එම විනාශකාරි ප්‍රතිපත්තියට එරෙහිව හඬ නගනු ඇතැයි සිතිය නොහැකිය.

කාලි අම්මාට රට භාර කිරීම

ගව මස් කෑම සදහා තහනමක් ඇත්තේ හින්දුන්ට මිස බෞද්ධයන්ට නොවේ. හින්දූන් ගවයාට සලකන්නේ දේවත්වයෙනි. ඉන්දියාව ගව මස් නොකන (ඉන්දියාවේ ගවමස් කන ප්‍රාන්තද තිබේ. ගෝව, කේරළය, තමිල් නාඩුව, නාගලංතය හා බටහිර බෙංගාලය) රටක් ලෙස සැකුනද එය ලෝකයේ හරක් මස් අපනයනය කරන රටවල් අතර වරතමානයේ සිව්වන ස්ථානය හිමිකර ගෙන සිටින රට වන අතර මිට වසර හත අටකට පෙර පළමු ස්ථානයද හිමිකරගෙන සිටි රට ද වේ. ලංකාවේ හරක් මස්ද ඇතුළුව මස් පරිභෝජනය තිබෙන්නේ පහළම මට්ටමක වුවද (ලංකාවේ ඒක පුද්ගල මස් වාර්ශික පරිභෝජනය කිලෝ 6.05 කි. ලෝක සාමාන්‍යය කිලෝ 43.70 කි) ලෝකයේ වෙනත් බෞද්ධ රටවල මස් පරිභෝජනය ලංකාවට සාපේක්ෂකව ඉහළ මට්ටමක පවතී. කාම්බෝජය කිලෝ 18.06කි. තායිලන්තය කිලෝ 28.29කි මියන්මාරය කිලෝ 44.69 කිලාඕසය කිලෝ 24.63කි. මොන්ගෝලියාව කිලෝ 87.89 කි. ලංකාව සැලකෙන්නේ ප්‍රෝටීන් මන්දපෝෂණයෙන් පෙලෙන රටක් ලෙසය. හරක් මැරීම සදහා පනවා තිබෙන තහනම ලංකාවේ සත්ව පාලනයේ ලොකු බිඳ වැටීමක් ඇති කිරීමට හේතු වී ප්‍රෝටීන් මන්දපෝෂණ තත්වය උග්‍ර කිරීමට හේතු වනු ඇත.


ලංකාවේ උග්‍රවන අර්බුදය පාලනය කිරීමට බැරිවන තරමට දේශපාලන නායකයින් මිත්‍යා විශ්වාසයන්ට ගොදුරු වන ප්‍රමාණයද ඉහළ යන්නේය. හරක් මස් තහනම කාලි අම්මාට පොරොන්දුවී තිබෙන භාරයක් ඔප්පු කිරීම සදහා කරන ලද්දක් බවද කියනු ලැබේ. ලංකාවෙ අර්බුදය තුළ මිත්‍යා විශ්වාසයන් ලොකු භූමිකාවක් රඟපාමින් තිබෙන බවද පෙනේ. හින්දු ආගමේ කාලි අම්මා සැළකෙන්නේ කාමයට හා ප්‍රචණ්ඩත්වයට අධිපති දෙවඟන ලෙසය. ඇයට කරන ලොකු පුද පූජාවකින් තමන් සමග ලංකාවද ගලවා ගත හැකි වනු ඇතැයි ලංකාවේ පාලකයන් විශ්වාස කරනවාද විය හැකිය.

(ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී. පින්තූර අන්තර්ජාලයෙනි)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *