‘මීට අවුරුදු දහයකට කලින් පොහොට්ටුව කියද්දි, මැවුණ රූපය හෝ අදහස නෙමෙයි දැන් පොහොට්ටුව කියද්දි අපිට ඇඟවෙන්නේ’

‘මීට අවුරුදු දහයකට කලින් පොහොට්ටුව කියද්දි, මැවුණ රූපය හෝ අදහස නෙමෙයි දැන් පොහොට්ටුව කියද්දි අපිට ඇඟවෙන්නේ’

තරංග ලක්නාත්, මුහුණුපොත කේන්ද්‍ර කරගනිමින් කලාත්මක, භාවකම්පනමය ඡායාරූප පළකිරීමෙන් ලාංකේයන්ගේ අවධානයට යොමු වූ අයෙකි. ලොව ඇති තතු පිළිබඳ පරිචයක් ඇති මුත්, ප්‍රදර්ශනකාමීබවෙහි නොගිලෙන ලක්නාත් පළකරන කවි පවා, තිත්ත ඇත්ත සමීප කරවන ඒවා බව විචාරකයෝ පවසති. ඔහු දැනට රුහුණු විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයතු කරයි. මේ මෑතකදී ඔහු සමඟ අප කළ සංවාදයක සංක්ෂිප්ත සටහනයි.

සංවාදය – ඩිල්ශානි චතුරිකා දාබරේ

ධාවනකාරී මිනිස් ජීවිතය මදකට නවත්වන්න, දැනට අවුරුද්දකට වැඩි කාලයක් අපි වටා හැසිරෙන කොරෝනා වසංගතයට හැකිවෙලා තියෙනවා.  තරංග ලක්නාත්ට කොහොමද මේ මොහොත දැනෙන්නේ?

කොරෝනා වයිරසය ගැන මුලදි අපි විස්තර රූපවාහිනියෙන් බලාගෙන හිටියෙ පොඩි කාලේ ඡන්ද ප්‍රතිඵල බලනවා වගේ, සැනකෙළියක් බලනවා වගේ. කඩල ටිකක් තම්බගෙන, රෑ නැගිටන්, පවුලේ අය පිරිවරන්, නිදිමරන්, විනෝදෙන්. වූහාන්වලින් පස්සේ, එංගලන්තය, ඇමරිකාව වෙනකං වයිසරය පැතිරිලා යනවා, ඒත් අපිට බරපතලෙට දැනිලා නැහැ එතකොට. මේ වයිරසයේ බලපෑම අපිට කේන්ද්‍රවෙලා දැනෙද්දියි ඒ බව තරමක් අඩු වුණේ, ක්‍රමිකව නැතිවුණේ.

මිනිස්සු විදියට මේ දුවන වේගයෙන් අපි හැමෝම ඉන්නෙ හෙම්බත් වෙලා. එය නිවැරදි කරනවා නම්, කොරෝනා නිසා ඒ හෙම්බත් වුණු ස්වරූපය වෙනස් වෙලා. මේ හෙම්බත් වීම් දෙකක්. ඒ නිසා කලින් තිබුණු හෙම්බත්වීමයි කොරෝනා නිසා හෙම්බත්වීමයි ආකාර දෙකක්. අපි මධ්‍යම පාන්තිකයො මිස පොළොවෙ පයගහලා ඉන්න අය නෙමෙයි. මධ්‍යම පාන්තිකයො ඉන්නෙ තරගයක. ණය අරන්, ළමයින්ගෙ වැඩ, ගෙදර වැඩ, සතිඅන්තයෙත් වැඩ. පාරට බැස්සම පේනවනේ මිනිස්සු ඉන්න තරගය. මේවායින් හෙම්බත්වීම ගැන මම කෙටි කවියක් වැනි යමකුත් ලිව්වා.

අට පැය
අවසන්ව
තුන් පැය
ගමන්ගතව
දින දින
ගෙවී යන
වැහි හුළං බරිත
හිරිකිත
ආත්මය

මේ හෙම්බත්වීමෙ අපි ඉද්දියි කොරෝනා වයිරසය ආවේ. කලින් මෙහෙම දෙයක් වෙලා තිබුණෙ නැති නිසා එය අලුත් අත්දැකීමකුත් වුණා. මේකෙන් පොඩි සහනයක් ලැබුණා, තරගය මදක් නවත්තන්න. සති දෙකක් හැම අවුරුද්දකට ම රට ම හුදකලා කරනවා නම් හොඳයි කියලා හිතෙන මට්ටමට ඒ සහනය දැනුණා. පාරවල්, පොදු ස්ථාන සියල්ල හිස්වෙලා ගෙදර හරි කැලේක හරි ඉන්න තිබුණා නම් හොඳයි කියලා අදටත් හිතෙනවා. ඒ සහනය දැනෙන්නේ, ගෙදර හිටියත් අපිට ආණ්ඩුවෙන් පඩි හම්බවෙන නිසා. නමුත්, අපි හිතන්නේ නැහැ පාරේ වෙළඳාම් කරන අසරණ මිනිස්සු ගැන. ඒ නිසා ඒ සහනයේ යම්කිසි ආත්මාර්ථකාමී බවකුත් තියෙනවා.

අපි ජීවත්වෙන්නේ, ‘එක කකුලක් මිනීවලක, අනෙක පොළොව උඩ තියාගෙන’ ; සර් ආතර් කොනන් ඩොයිල් ෂර්ලොක් හෝම්ස්ගේ කතාපොතක මෙවැන්නක් සඳහන් කරනවා.  ලංකාවේ අපි ඉන්නේත් මෙවැනි තැනක ද?

ඒක ඇත්ත. මට ප්‍රංශ ජාතික කතුවරයෙකු වූ එමිල් සෝලා ලියූ, ඔලිවියේ බෙකායිගේ මරණය(ආනන්ද මහපටුගේ පරිවර්තනය) පොතේ එන කෙටිකතාවක් මතක් වෙනවා. යම්කිසි ගැළපීමක් පේනවා  මේ දෙක අතර. ඒ කතාව අවසානයේ මෙවැන්නක් සඳහන් වෙනවා.

‘මම හුඟක් සංචාරයේ යෙදුණා. මම හැමතැනක ම වගේ ඇවිදින්න ගියා. මම හරි දියුණු මිනිහෙක් වුණා. කන බොන අනෙක් හැම මිනිහෙකුට වගේ ම මරණය මට තවදුරටත් භීතියක් ගෙනදුන්නේ නැහැ. ඒත් එයට මා ග්‍රහණය කරගන්න තවදුරටත් අවශ්‍යතාවක් නැහැ වගේ. වර්තමානයේදී මට ජීවත්වීමේ කිසිම සුවිශේෂ උවමනාවක් නම් නැහැ. මට බය මරණය මාව තව හුඟාක් කාලෙකට අමතක කරල දමයිද කියන එකයි’

ඔලිවියා බෙකායි නීරස විවාහ දිවියක් ගෙවන කෙනෙක්. කායික-මානසික අසනීප ගොඩකින් පීඩා විඳින්නෙක්. ඔහු පැරීසියට ගිය වෙලාවක සිහිය නැතිවෙනවා. ඔහු මැරිලා කියලා හිතලා ඔහු සිටි තැන පිරිස ඔහුව පණපිටින් වළලනවා. ඒ කතාවට අනුව, ඔහු වළේ පස් ටික දෙබෑ කරන් ගොඩට එනවා. කොහොමහරි මේ මිනිහා ආයෙම ගෙදර යද්දි අසල්වැසි නිවැසියා තමන්ගේ බිරිඳව විවාහ කරගෙන. තමන්ගේ ජීවිතේ නීරස නිසා, ‘ඔයාලට අනුව මම දැන් මැරිච්ච මිනිහෙක්. ඒනිසා ඉරිසියාව ඇතිවෙන්නේ නැහැ’ කියලා, ඔහු එයටත් ඉඩදෙනවා. ඒ කතාවේ අවසානයේ තමයි ඉහත උදෘථය තියෙන්නෙ. ඔහුට තියෙන එකම බය මරණයට තමන්ව අමතක වෙයිද කියන එකයි.

ලංකාවත් මේ කාලේ ඒවගේ කියලා මට හිතෙන්නේ.  මේක අභව්‍යයි වගේ පෙනුනත්, අපි ඉන්නෙත් එහෙම ව්‍යාජ රටක. රටක් විදියට අපි ණයවෙලා, නන්නත්තාර වෙලා කරන්න දෙයක් නැතිව ඉන්න මොහොතක්. හැබැයි වළේ ඉන්නවද ගොඩ එනවද කියන එක අපි තීරණය කරන්න ඕනෙ. අපි පාඩමක් ඉගෙනගෙන හිටියත්, ආයෙම පරණ තත්ත්වයට ආවම, මේ වළ දැමූ ඒවා සියල්ල අමතක වෙලා පරණ තරගයට ම යාවි. මොකද, අපි තවම ඉන්නෙ සංක්‍රාන්තික තත්ත්වයක.

මේ පවතින තත්ත්වයෙන් ගොඩඑන්න පාලකයන් ගෙන යන පියවර ගැන සාමාන්‍ය පුරවැසියෙක් හැටියට ඔබ තෘප්තිමත් ද?

ලෝකය දැන් ඉස්සර වගේ ආයුධවලින් ම යුද්ධ කරන්නෙ නැහැ. වෙන වෙන උපක්‍රම පාවිච්චි කරනවා බලය ලබාගන්න. මගේ පෞද්ගලික අදහස නම් මේ වයිරසයත් චීනය නිෂ්පාදනය කළ එකක් කියලයි. චීනය බලය තහවුරු කරගන්න කළ දෙයක්. අපිත් ඒ රටවල්වලට ගොදුරු වෙලා තියෙන්නෙ.

අපි කැමතියිනේ විදෙස් රටකට ගිහින් ජීවත්වෙන්න. නමුත්, වෙනත් රටවල වෙසෙන අපේ මිනිස්සු, අපි තරම්වත් ඉගෙනගෙන නැති නමුත් දියුණු වූ අයට පවා මේ තත්ත්වයට මුහුණ දෙන්න වුණා කියලා දැනුනා ම එක්තරා කෲර සතුටකුත් දැනෙනවා. ධර්මය නිසා අපි ඒ දේවල් යටපත් කරගත්තා වුණත්, එහෙම හිතෙනවා. මොකද, ලංකාවේ මිනිස්සු හිතුවා පිටරටවල අයට හැදුණට වයිරසය අපිට හැදෙන එකක් නැහැ කියලා. අපේ රටේ මිනිස්සු උද්දච්චයි. රාවණාගෙන් පැවත එනවාය, ඒනිසා ලේවල ප්‍රතිශක්තිය වැඩිය කියලා, ලංකාවට බෝවෙන්නෙ නැහැ කියලා. ඒනිසා අර චීන කාන්තාවටත් අපි හාදුවක් දීලා, මල් දීලා ගුවන්යානයෙන් චීනෙට යැව්වා. අපි තමයි හොඳටම පාලනය කළේ කියලා, හිතමින් හිටියා. අන්තිමට කැරකිලා අපිටම වයිරසය ආවා.

රට කරන මිනිස්සු දන්නවා මේ තත්ත්වය අමාරු බව. රට දිගටම වහන්නත් බැහැ, විවෘත කරල තියන්නත් බැහැ. ආණ්ඩුව යම් මට්ටමකින් වැඩ කොටසක් කළා.  නමුත්, මුලදි මේ දේ විහිලුවට නොගෙන මීට පෙර එන්නත ගෙනාවා නම්, හුදෙකලා කිරීම දිගටම කළා නම්, වළක්වාගන්න පාලනය කරන්න තිබුණා. කොරෝනා නිසා විශාල ම හානිය වුණේ ළමයින්ට. ඉගෙන ගන්නවා කියන්නේ පොතේ අධ්‍යාපනය විතරක් නෙමෙයිනේ. ක්‍රීඩා, සංගීතය, බාහිර ක්‍රියාකාරකම්, ළමුන් පොරබැදීම් මේ සියල්ල පාසැලේදී වෙනවා. නමුත්, සූම් උගැන්වීම්වලින් වෙන්නේ, පොතේ දැනුම කියාදීම විතරයි. හැම ළමයෙකුට ම ඒ පහසුකමුත් නැහැ. මේ දේවල් පාලකයන්ගේ අවධානයට යොමුවෙනවා නම් හොඳයි.

වයිරසයෙන් මෙහාට ආවොත්, ඔබ මුහුණුපොතේ කලාත්මක, මානවරූපී, විවිධ තේමාත්මක ඡායාරූප පළකරන්නෙක් හැටියට බොහෝදෙනා දැනහඳුනාගෙන සිටිනවා. ඡායාරූපය ඔබේ හැඟීම් පිටකිරීමේ මාධ්‍යයක් කරගන්න හිතුවේ ඇයි?

පාසලේදී කලා පන්තියේදි, නිර්මාණ පුවරුවේ මම සංස්කාරක විදියට වැඩ කළා. ඒකාලෙත්, මම මේ වගේ කවි ලිව්වා, ලිව්වේ පින්තූරයකුත් එක්ක. ඒවා ගුරුවරු කියෙව්වා නමුත්, කිසිදාක ගලවන්න කියලා කිව්වේ නැහැ.

උදේ නැගිටිද්දි මොකක්දෝ රාමුවක් මැවෙනවා. ඒ රාමුවට පින්තූර පුරවන්න මට වුවමනායි. මට ලංකාවෙන් වෙන රටකට යාමට ආසාවක් තිබුණා. තවම ගිහින් නැතත්, ඡායාරූපවලින් මම ඒ ගමන යනවා. විවිධ රටවල ස්ථාන වගේම මිනිස්සුන්ගේ ඉරියව්, මුහුණු පින්තූරවලින් කියවන්න මම කැමතියි. මිනිහෙක්ගේ මුහුණක් තවදුරටත් හුදු ජීව විද්‍යාත්මක මුහුණක් ම නෙමෙයි. ඒවා සංස්කෘතිකයි. කාන්තාවන්ගේ මුහුණු, සිරුරුවල ඡායාරූප පවා පළකළේ මම කලාත්මක යමක් තියෙන ඒවා පමණයි. මේ විදියට විවිධ කාන්තා ඡායාරූප පළකිරීම මගේ බිරිඳ නිමාලි, ඉවසීමෙන් බලාසිටියා. මම කැමතියි කැමරාවයි කැමරාවට ගන්න පුද්ගලයායි යන දෙක අතරෙ ඉන්න.

මම පින්තූර රසවින්දාට, මුහුණුපොතේ පළකළාට ඡායාරූප ශිල්පියෙක් නෙමෙයි. හැදෑරීමක් කර නැහැ. නමුත්, ඡායාරූප හදාරන තැන්වල පිරිස මම පළකරන ඡායාරූප  බලන බව දැනගන්න ලැබුණා. උදාහරණයක් විදියට, ලාල් හෑගොඩ මහත්තයාගේ ඡායාරූප ශිල්පය උගන්වන පාඨමාලාවකදි එවැන්නක් කියූ බව ආරංචි වුණා. ඡායාරූප ශිල්පයක් විදියට කරන අය පවා ඒ ඡායාරූපවල ගුණදොස් මගෙන් අහන අවස්ථා තිබෙනවා. මම පළකරන ඡායාරූප නිමිත්තක් කරගෙන කවි ලියන පිරිසකුත් ඉන්නවා. මුල්කාලයේදි දිනූ රාජගුරු ලිව්වා. නූතනයේදී, ප්‍රගීතිකා ජයසේකර ඇතුලු පිරිසක් ඉන්නවා. මේ පින්තූර පරද්දන්න කෙනෙක් නිර්මාණයක් කරනවා නම් මම බොහොම කැමතියි.

පොත් කියවන එකෙනුයි උසස් අධ්‍යාපනය හදාරන එකෙනුයි මම තරමක් ඈත්වුණා. ඒනිසා, මම පින්තූර කියවන්න ගත්තා. පින්තූරවලින් නවකතාවකට වැඩි දෙයක් කියවන්න පුලුවන් කියලා මට හිතෙනවා.

ඔබ නොගත් ඡායාරූපයක් ඔබේ මුහුණුපොතේ පළකරද්දී, එය ගත් තැනැත්තාගේ නම ඇතුළත් නොකිරීම වැනි ආචාර ධාර්මික පැති ගැන ගැටලු පැන නැගී නැද්ද?

එහෙම තත්ත්වයකට මුහුණදෙන්න වෙලා නැහැ. නමුත්, ඇයි එහෙම පළකරන්නෙ කියලා මුලදි නම් කිහිපදෙනෙක් ඇහුවා. අන්තර්ජාලයේ පළවෙන ඡායාරූප නිසා, ඡායාරූප ශිල්පියාගේ නම බොහෝවෙලාවට දැනගන්න විදියක් නැහැ. අනික් අතින්, එහෙම නම පළකළොත් කර්තෘ දිහා මිස පින්තූරය දිහා නෙමෙයි බැලෙන්නෙ. ඒනිසා කර්තෘ ඝාතනය වූ බව සලකලා ඔහුගේ නිර්මාණය රසවිඳිනවා. අනික් පැත්තෙන් බැලුවා ම, නම නොදැමීම වරදක් බව පිළිගන්නවා. නමුත්, ඡායාරූපය පළකරනවා විනා එය මගේ යැයි මම කිසිතැනක සඳහන් කරලාත් නැහැ.

මොකක්ද මේ දුම් පයිප්පයයි ලක්නාත්ගෙයි අතර තියෙන සම්බන්ධය?

බෙල්ජියම් ජාතික රෙනෙ මැග්‍රේට් නම් චිත්‍ර ශිල්පියා 1928දී විතර අධිතාත්වික සිතුවමක් විදියට, විරෝධයකින් අදහසක් මතුකරන විදියට පයිප්පයක් ඇඳලා, ඒ යටින් සටහන් කරනවා, ‘මෙය පයිප්පයක් නොවේ’ කියලා. මම මුහුණුපොතේ මගේ ඡායාරූපයක් වෙනුවට කාලයක පටන්, ඒ පින්තූරය පාවිච්චි කරනවා. ඒ පින්තූරය හැර මගේ පින්තූරයක් යොදාගත්තොත්, එයටත් මිනිස්සු අකමැතියි. එය මට ම බද්ධ වෙලා වගේ.

සාමාන්‍යයෙන් අපි මොකක්හරි වස්තුවක් දිහා බලන්නේ ඒකට දීලා තියෙන අර්ථය එක්ක. හැබැයි ඒ අර්ථය වෙනස් වෙනවා සමහර අවස්ථාවලදි. මීට අවුරුදු 10කට කලින් පොහොට්ටුව කියද්දි, මැවුණ රූපය හෝ අදහස නෙමෙයි දැන් පොහොට්ටුව කියද්දි අපිට ඇඟවෙන්නේ. සංඛේතීය වශයෙන් එය වෙනස් වෙනවා. එතකොට පයිප්පයටත් මෙය අදාළයි. මම පළකරන ඡායාරූපවලත් ඒ ලක්ෂණය තියෙනවා. පින්තූරය සමඟ යොදන සටහන කෙළවරින්, ‘මෙම පින්තූරය අදාළ නොවේ’ කියලා යොදනවා. සෘජු ප්‍රකාශනය වෙනුවට වක්‍ර ප්‍රකාශනය මම භාවිත කරනවා.

ඔබ ලියන කවි ඔබ ‘කවි’ ලෙසින් පිළිගන්නවත් කැමති නැහැ. මේ පිටුපස තියෙන්නේ ‘කවියා’ කියන චරිතය නඩත්තු කිරීමේ අකමැත්තක්ද?

අතීතෙ ඉඳන් ලංකාවේ කවි ලියලා තියෙනවානේ. සීගිරි කුරුටු ගී වේවා, කොළඹ යුගයේ කවි වේවා, මේ සියල්ලට ම විචාරත් ලියවිලා තියෙනවා. ඒවා හදාරන්න විශ්වවිද්‍යාලවල වෙනම අංශ පවා තියෙනවා. ඉතින් කවියක් කියලා දෙයක් ලියනවා නම් මේ සේරටම හරියන එකක් ලියන්න ඕන. මට එහෙම හැකියාවක් නැහැ. ඒ නිසායි මම කවියෙක් හෝ මේ කවියක්ය කියා නොකියන්නේ. කවියෙකුට වගේ පිරිච්ච, පැතිරිච්ච වාග් කෝෂයක් මට නැතත්, තියෙන වචන ටිකෙන් කවි වගේ දෙයක් මමත් ලියනවා. දාර්ශනික අදහස් ගෙනෙන කවිවලටත් මම ප්‍රියකරනවා. ඒ ලියන දේවල්වල සමාජ දේශපාලන කරුණු තියෙනවා කියලා විචාරකයෝ කියනවා. අනික, මුහුණුපොතේ ප්‍රතිචාර බොහෝදුරට ව්‍යාජයි. ඒවායින් නිර්මාණයක් මනින්න බැහැ. පිරිමියෙකුට සාපේක්ෂව කාන්තාවකගේ නිර්මාණවලට වැඩි ප්‍රතිචාර ලැබෙන අරුම පුදුම බවකුත් මේ  ප්‍රතිචාර අතර මට පේනවා.

මහා කලා නිර්මාණ සඳහා ලැබෙන තැන, සමාජයේ චූල සංස්ථාවලින් ඉදිරියට එන නිර්මාණවලට නොලැබෙන තත්ත්වයක් පොදුවේ අපි දකිනවා. කොහොමවුණත්, මේ දෙපාර්ශ්වයේ ම අරමුණ එකක් නේද?

තමන් කරන නිර්මාණ ඇතුළෙදි පවා සමාජ, දේශපාලනයෙන් මිදිලා යමක් කරන්න අපිට බැහැ. මේ හැමදේම දේශපාලනිකයි. එයින් ගැලවීමක් නැහැ. මොනාහරි දෙයක් මිනිසාව පාලනය කරනවා. එහෙම නැත්නම් අදේශපාලනිකයිනේ. බහුජාතික සමාගම්වලින් හරි සමාජ ක්‍රමය හරි මොනා හරි දෙයකින් අපිව පාලනය කෙරෙනවා. නිර්මාණ පවා දේශපාලනිකයි. නමුත්, තමන් කරන නිර්මාණ අනිවාර්යෙන් එහෙම වෙන්න ඕනෙමයි කියලා නීතියකුත් නැහැ.

ඔබ අහපු ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් මම උදාහරණයක් දක්වන්නම්. මම විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න කාලේ පුංචි බොරැල්ලේ හිටියේ. හන්දියේ ගුහාවක් වගේ දොරටුවක් අස්සෙන් වත්තකට යන්න තිබුණේ. ඔතන විවිධ මිනිස්සු හිටියා. කුඩුකාරයෝ, ගංජාකාරයේ කියල හඳුන්වන අයත් හිටියා. මේ ඇතුළුවෙන ගුහා දොරටුවේ වීදි චිත්‍ර ඇඳලා තිබුණා. ඒවායේ හිටියේ චේ ගුවේරා, බොබ් මාලේ, ගුණදාස කපුගේ වැනි අය. මේ චිත්‍ර ඇඳලා තිබුණේ මහ ලොකු චිත්‍ර ශිල්පියෝ නෙමෙයි. ඔවුන්ට ඇත්තටම ලොකු සමාජ දේශපාලන දැනුමක් තිබුණා වෙන්නත් බැහැ. නමුත්, ඔවුන්ගේ චිත්‍රවල මිනිස්සුන්ගේ පීඩනය, කටුකත්වය, බලාපොරොත්තුව නිරූපණය වුණා.

ඒවගේම, විහාරමහාදේවි උද්‍යානය පැත්තේ ගියොත් පාර දිගේ අලංකාර සිතුවම් විකුණන පිරිසක් දකින්න ලැබෙනවා. ඔවුන් බොහෝවිට යම් දේශපාලන දැක්මක් තියෙන, අධ්‍යාපනයක් තියෙන, සමහරවිට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න ශිෂ්‍යයින්. ඒත් අප බොහෝදෙනෙකුට මේ චිත්‍ර මිලදීගන්න හැකියාවක් නැහැ. මොකද ඒවා මිලෙන් අධිකයි. ඉතින් ඒවා අරන් යන පිරිස, චිත්‍ර එල්ලන්නෙ කවුරුත් වැඩිය එන්නෙ නැති විශාල පාලු ගෙවල්වල. බලන්න, නිර්මාණකරුවෙකුට තමන්ගේ නිර්මාණය ඇතුළෙ දැක්මක් තිබුණත් නැතත්, ඒ දේ මේ සමාජ සංස්ථාව තුළ අර්ථකථනය වන ආකාරය.

අවසාන වශයෙන්, තරංග ලක්නාත්ගේ සිහිනය කුමක්ද අහන්න අවසර ද?

ඔව්, මගේ හීනය සාමකාමී මරණයක්. කොරෝනා වයිරසය එන්න කලින් ඉඳන් තිබුණු ආසාවක් ඒක. සාමකාමී මරණයක් කියන්නෙ හෙට අනිද්දා මැරෙනවා කියන එක නෙමෙයි. තව අවුරුදු තිහ හතළිහකින් මැරෙනවා කියලා හිතුවොත්, ඒ වෙද්දි සම්පූර්ණ කරගන්න හීන තියෙනවානේ. ඒ සියල්ල. පණ බේරගෙන ඉද්දි, අපිට විනාශ වෙන්න තියෙන අවස්ථා වැඩියි. එහෙන් කොරෝනා, මෙහෙන් කන්න නැහැ, අහරෙ නැව් ගිලෙනවා, තව පැත්තකට ගංවතුර. ඒනිසා, මේ මොහොතේ නම් හීනය, පැත්තකට වෙලා සනීපෙට පාඩුවේ ඉන්න එක. මම ආදරේ කරන අය සමඟ ගැවසෙන්න, කෝපි එකක් බිබී කතාකරන්න, හමුවෙන්න මේවාත් හීන තමයි. නමුත්, ඉටුකරගැනීම මේ මොහොතෙදි දුෂ්කරයි. අනුරාධපුරය වගේ පැත්තක වැවක් ළඟ ජීවත්වෙන්න මම කැමතියි. අහන්න ආසම ශබ්දය, වැවේ යද්දි ඔරු කඳට වතුර පාර වැදෙන ශබ්දය. ඒකත් ආසාවක්. මම නිසා තවත් කෙනෙක් සතුටු වෙනවා නම් ඒකත් හීනයක් තමයි. ඒවගේ සුළු සුළු කරුණු තමයි මගේ හීන එක්ක බැඳිලා තියෙන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *