මැද පන්තියේ ජීවන සුවඳ සෙවූ කාව්‍යකාරයා; අමරසේකර

මැද පන්තියේ ජීවන සුවඳ සෙවූ කාව්‍යකාරයා; අමරසේකර

කථිකාචාර්ය සුදේශ් කවීශ්වර

ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ ජන්ම දිනය නිමිති කොටගෙන   දිවයින ඉරිදා  සංග්‍රහයට ලියන ලද ලිපියකි. පත්‍රයෙහි පළවූයේ ඉන් කොටසක් බැවින් සම්පූර්ණ ලිපියම  මෙහි දක්වනු ලැබේ. 

ගුණදාස අමරසේකරයන් වූ කලි සිංහල සාහිත්‍යය තුළ වෙසෙන ජ්‍යෙෂ්ඨතම මෙන්ම විශිෂ්ටතම සාහිත්‍යධරයා ය යන්න අවිවාදයෙන් පිළිගත යුතුවෙයි. ඔහු විසින් සිංහල කවිය, කෙටිකතාව, නවකතාව හා සාහිත්‍ය විචාරය යන විෂය ක්ෂේත්‍ර කෙරෙහි දක්වන ලද අන්තර් විෂයීක ඥානයත් කලාත්මක භාවිතයත් අත්‍යුත්තම ය. සිංහල සාහිත්‍යයෙහි ප්‍රගමනය ඇති කිරීම සඳහා විශ්ව සාහිත්‍යයේ ආභාසය ලබමින්  ස්වකීය සාහිත්‍යය පෝෂණය කිරීම සඳහා අමරසේකරයෝ මහත්සේ උත්සාහ ගත්හ. සිංහල වෙද මහතෙකුගේත් සිංහල පාඨශාලා මුල් ගුරුවරියකගේත් දෙවන දරුවා වන ඔහු කුඩා කල සිට ම තම මාපියන්ගෙන් ලබාගත් අනුභූතික ඥානය මඟින්  සාහිත්‍ය කලාව කෙරෙහි ඇල්ම ඇති වුණු බව සඳහන් කරයි. කොළඹ නාලන්දා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍ය අමරසේකර ජගත් කෙටිකතා තරගයක් සඳහා ‘සෝමා’ යන මැයෙන් රචනා කරන ලද කෙටිකතාව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තේරී පත්විය.  ඔහුගේ සාහිත්‍ය කුසලතාව  පිළිබඳව රටේ අවධානය යොමු වූයේ මින් අනතුරුව ය. 1950 දී ඔහු විසින් රචනා කරන ලද රතු රෝස මල නම් කෙටිකතා සංග්‍රහය සිය ප්‍රථම සාහිත්‍ය කෘතිය විය.  ඉන් අනතුරුව 1955 දී පළවුණු භාවගීත කාව්‍ය සංග්‍රහයත්, එම වර්ෂයේදී ම පළවුණු කරුමක්කාරයෝ නවකතාවත් රචනා කරමින් ගුණදාස අමරසේකරයෝ කවිය, කෙටිකතාව හා නවකතාව යන විෂය ක්ෂේත්‍රවල නිම්වළලු පුළුල් කළෝ ය. ඔහු විසින් රචිත කවිය, කෙටිකතාව හා නවකතාව කෙරෙහි සාවධාන වෙමින් අපගේ ලියමන මෙසේ සකස් වෙයි.

ඔහු කවියෙකි හදැති සසල

භාව ගීත කෘතිය රචනා කරමින් ඔහු  සිංහල කවියෙහි ආකෘතිය හා අන්තර්ගතය නව ආකාරයකින් ඉදිරිපත් කිරීමට පෙලඹිණ. එමගින් සම්භාව්‍ය සාහිත්‍ය හා ජන කවියෙහි ආභාසය ලබමින් ස්වකීය අනුභූතීන් පාඨකයා වෙත ගෙන එයි. කාව්‍ය ආකෘතියෙහි සඳහන් නාමය සේ, ‘භාව’ ප්‍රකාශනය කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වා ඇති බව එම කෘතියෙන් ම පෙනෙන අතර රොමැන්ටික්වාදී ජීවන අත්දැකීම් මෙකී කවි මගින් නිරූපණය වෙයි. එය රොමැන්ටික්වාදයෙන් නො නතරව යථාර්ථවාදී තලය සංස්පර්ශ කරනුයේ ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ව ද සිහිගන්වමිනි. සිංහල කාව්‍යය උසස් තත්වයකට ගෙන ඒමට නම් අලුත් මාර්ග සෙවීමෙහි කාව්‍යකරුවන් යුහුසුලු විය යුතු බව අමරසේකර පෙන්වා දෙයි. අනුභූතියට ගැළපෙන, සජීවි මිනිසුන්ගේ භාවික ජීවිතය හෙළිකරන ප්‍රාණවත් කාව්‍ය සම්ප්‍රදායක් ඇති කළ යුතු බව ය, ඔහු අදහනුයේ. වත්මන වන විට සිංහල කවිය පරිහානියට පත්ව ඇති බවත් කවි රසවිඳින සහෘදයා රසසුන් අරුමෝසම් කවිවලින් ඔද්දල් වන බවත් දක්නට ලැබෙයි. මේ සඳහා හේතුකාරක වූයේ නිසඳැස වසංගතයක් සේ සිංහල කවිය වසා පැතිරුණ නිසා ය.  1957 දී ප්‍රකාශ කරන ලද උයනක හිඳ ලියූ කවි කෘතියෙන් නූතන අදත්දැකීම් ප්‍රකාශ කිරීම සඳහා කාව්‍ය ආකෘතියක් නිර්මාණය කර ගැනීමට උත්සාහ ගෙන ඇත. ටී. එස්. එලියට්, එස්රා පවුන්ඩ් වැනි ඉංග්‍රීසි කවීන්ගෙන් ණයට ගත් කාව්‍ය ආකෘතිය හා කවි බස  මෙහිදී භාවිත කොට ගත්තේ ය. සිංහල කවියෙහි ජීව ගුණය ඇති කිරීම සඳහා එය තරම් නොවුණ බව ඔහු වටහා ගත් බව පෙනෙනුයේ නැවත වරක් සම්භාව්‍ය කවිය හා ජන කවිය දෙස ස්වකීය අවධානය යොමු කරන හෙයිනි. 1961 දී රචිත අමල් බිසො කාව්‍ය සංග්‍රහය මෙය තහවුරු කරයි. කාව්‍ය රචනය සඳහා වාර්තාමය භාෂාව යොදා නො ගත යුතු බවත් සංකේතාර්ථවත් වාග් සංඥා භාවිත කළ යුතු බවත් එයින් පැහැදිලි වෙයි. ඔහු අමල් බිසො කෘතියෙහි මෙසේ දක්වයි.

“ඉර මඬලේ දොර ඇරියා
සඳ මඬලේ දොර ඇරියා
රකුසු හඬට දොර ඇරියා
අමල් බිසෝ දොර ඇරියා”

“එ දා කුමරි ඇරිය දොර යි මෙ දා ළඳේ නුඹ ඇරියේ
සදා නඟින එ ගිනි කඳ යි මෙ දා නුඹේ ගත වෙළුයේ
පෙරා කඳුළු දුකින තැවී හඬා නොවැලපෙන්න ලියේ
මෙ මා ලොවට ඇසෙන ලෙසින් කියන් නිදොස් තිගේ ළයේ ”(අමල් බිසො, 2009, 67 පිට)

චිරන්තන සිංහල කාව්‍ය සම්ප්‍රදාය තුළ ආඛ්‍යාන කාව්‍ය මාර්ගයට විශේෂ ස්ථානයක් හිමි වෙයි.  මුවදෙව් දා වත, සසදා වත, කව්සිළුමිණ, කාව්‍යශේඛරය, ගුත්තිල කාව්‍ය ආදි නිර්මාණ ඊට නිදසුනි. නව කාව්‍ය සම්ප්‍රදායක් බිහි කිරීම සඳහා අමරසේකර එකී ආඛ්‍යාන රීතිය අනුගමනය කර තිබෙන අයුරු අමල් බිසො කාව්‍යයෙන් වුව ද දැකිය හැකි ය. 1962 දී රචිත ගුරුළු වත වියත් කවියත් ජනකවියත් භාවිතයෙන් සිදු කෙරුණු ආඛ්‍යාන කාව්‍යයක් බව පෙනෙයි. ජන විඥානය තුළ නිදන්ගත ව තිබෙන මිතකතා,  පුරාවෘත්ත, ඉතිහාස කතා ආදිය ප්‍රයෝජනයට ගෙන අපූර්ව කාව්‍ය සම්ප්‍රදායක් නිමකළ හැකි බව ඔහු මෙයින් පෙන්වා දෙයි.  ගුරුළා, රනඹර, රස පොළොව යන සංකේතයන් ප්‍රජානනය කිරීමේදී මිනිසාට යට කී ජන විඥානය ආධාරක වන බව පෙනෙයි.

“පෙර වූ විමන නැත එහි කළු වලා වෙත
රනඹර පැහැය නැත එහි ගනඳුරක් ඇත
තව තව නඟිත ළං වෙයි තව පොළොව වෙත
දුබලය යුගත වෙහෙසින් දැන් සැලෙයි ගත” (ගුරුළු වත, 2009, 14 පිට)

2002 දී පළ කරන ලද අසක් දා කව ආසංකවතී ජාතකය කවියට නැඟීමකි. මෙය ද ආඛ්‍යාන කාව්‍යයක් වන බැවින් සම්භාව්‍ය සාහිත්‍යයෙහි ආභාසය ලැබ එය නව අත්දැකීමක් වශයෙන් පාඨකයා වෙත ලබා දීම පැසසිය යුතු වෙයි. ආඛ්‍යාන කාව්‍යයන්හි අවසාන කෘතිය මතක වත (2014) ය. තමාගේ මියගිය නැඟණිය මුල් කොට රචිත බැවින් ශෝකය උපදවන ආඛ්‍යාන කාව්‍යයකි එය. ඔහු ම සඳහන් කරනුයේ, ‘මේ ආඛ්‍යාන කාව්‍යයට පාදක වූයේ ඉමහත් වේදනාකාරී අත්දැකීමක් වූ මගේ නැඟණියගේ අකල් මරණයයි ’යනුයි. එහි පෞද්ගලිකත්වය ඉක්ම ගොස් පොදු තත්ත්වයකට පත්වනුයේ සුවිශේෂයෙන් සාමාන්‍යය යන න්‍යාය ධර්මය මෙනෙහි කරමින් ය. අනෙක් පසෙන් ගම අතහැර නගරයට පැමිණි මිනිසා මුහුණ දෙන ආධ්‍යාත්මික අර්බුදය ද විවරණය කෙරෙයි. අමරසේකරගේ කාව්‍ය සම්ප්‍රදායෙහි අඛණ්ඩත්වය සුරැකි තවත් එක් සලකුණක් ලෙස 1975 දී රචිත ආවර්ජනා කෘතිය හැඳින්විය හැකි ය. භාව ගීත කෘතියෙන් ඇරඹි සිංහල කවියෙහි නව දිශානතිය කුමක්ද යන්න අවබෝධ කර ගැනීමට මෙය උපකාරී වෙයි.  කාලීන සංකල්පනාවන් ඉන්ද්‍රිය ගෝචර ව ඉදිරිපත් කිරීමේ සවිඥානික ස්වභාවය කවියාගේ දෘෂ්ටිය මගින් මෙසේ පිළිබිඹු කරයි.

“මම කවියෙකි හදැති සසල
 ලොසත සියලු දුක වළඳන
 එ දුක ලොවට කියනු විනා
 නොමැත මසතු අන් යුතුකම” (ආවර්ජනා, 2009, 08 පිට)

මැද පන්තියෙහි ජීවන සුවඳ

අමරසේකර මුල්කාලීන කෙටිකතා රචනයේ දී රුසියානු සහ ප්‍රංශ ලේඛකයින්ගේ ආභාසය ලබා තිබෙන බව පෙනෙයි. නමුත්, 1956 දී රචනා කළ ජීවන සුවඳ කෙටිකතා සංග්‍රහයේ දී ස්වාධීන මගක් ගෙන ඇත. මාර්ටින් වික්‍රමසිංහ ගම්පෙරළිය නවකතාවේ දී, රදල වැඩවසම් යුගය බිඳවැටීම හා සමාජය තුළට ප්‍රවිෂ්ට වූ නව ආර්ථිකය නිසා ඇති වූ මැද පංතිය පිළිබඳව සඳහන් කළේ ය. වික්‍රමසිංහගෙන් පසුව මැද පන්තිය නිරූපණය අඛණ්ඩව පවත්වාගෙන යනුයේ අමරසේකරයන් විසිනි. මැද පන්තියේ තරුණ ජීවිතයන්හි අභ්‍යන්තරය හා බාහිර ස්වභාවය චිත්‍රණය කිරීමට ගත් පළමු උත්සාහය ජීවන සුවඳ කෙටිකතා සංග්‍රහයයි. ‘ජීවන සුවඳ, ගැමි කත, අවමඟුලේ දී හමු වූ ස්ත්‍රිය, ගුරුවරිය’ ආදි කතාවල තරුණයකු ලෝකය සංජානනය කිරීමේදී උත්තේජනයක් වශයෙන් අන්තරාවර්තී හදට හැරෙන අයුරු පැහැදිලි වෙයි.

1969 දී පළවන එකම කතාව කෘතිය මගින් මැද පන්තියේ මිනිසුන්ගේ දෛනික ජීවිතයෙහි අර්බුදකාරී ස්වභාවයන් නිරූපණය කොට තිබේ. සමාජ දේශපාලන හා ආර්ථික බලවේගයන් නිසා කලකිරීමට පත්වන පුද්ගලයන්ගේ චරිත මෙහි නිරූපිත ය. ‘උපකොමසාරිස්’ නමැති කතාවෙහි තරුණ සංවිධානයක ශාඛාවක් පිළිබඳව සඳහන් කරමින් සමකාලීන දේශපාලනික යථාර්ථයක් පෙන්වා දෙයි.  ‘මෙරට අනාගතය ඇත්තේ ගැමි තරුණයන් අතේය’ යන පූර්ව නිගමනයක් එහි දෙබසක දැක්වෙයි. එය 71 කැරැල්ලට පෙරාතුව සිදු කරන යම් ඉඟියක් වැන්න. 

එක්ටැමෙන් පොළොවට(1972) හා කතා පහක් (1975) මධ්‍යම පාන්තික සමාජයෙහි ඉරණම විදහා දක්වයි.  විශේෂයෙන්ම පශ්චාත් යටත් විජිත සමාජය තුළ මිනිසුන්ගේ අනන්‍යතා පිළිබඳ ගැටලුව මෙම කතාවල රෝපණය වී තිබේ.  සාහිත්‍යය සමාජ කාර්යයක් වන බවත් සාහිත්‍යකරුවා සමාජය සමග සංවාදයක නියුක්ත විය යුතු බවත් අමරසේකර පවසයි. එක්ටැමෙන් පොළොවට කෘතියෙහි  ‘උපාධිධාරිණිය’ නැමැති කතාව පහළ මධ්‍යම පාන්තික උපාධිධාරිණියක මුහුණදෙන ජීවිතයේ අර්බුදකාරී ස්වභාවය පිළිබිඹු වෙයි. ‘දිසොන්චිනාහාමි’ කෙටිකතාව ද අනුවේදනීය කතන්දරයක් මතු කරවයි.  ගැමි සමාජය තුළ පීඩාවට පත්වන ස්ත්‍රිය එය තම උරුමයක් ලෙස සලකන අයුරු මෙහි දැක්වේ. 1988 දී රචිත ගල් පිළිමය සහ බොල් පිළිමය කෘතිය මුළු මහත් රට භීෂණයෙන් වෙලී තිබුණු අවස්ථාවක එම යුගය නිරූපණය කළ ග්‍රන්ථයක් ලෙස හැඳින්විය හැකි ය. අවිචාර හා බල ලෝබීත්වය නිසා විනාශ වුණු මිනිස් ජීවිත අර්බුදයට පත් වුණු සමාජ ආර්ථික ස්වභාවයන් මෙම කතාන්දර මගින් ඉදිරිපත් කරයි. ඒ අතරින් ‘ගල් පිළිමය සහ බොල් පිළිමය’ කතාව මගින් පුළුල් සමාජ දේහයක් නිරූපණය වී ඇත. එංගලන්තයෙහි පැවති ප්‍රදර්ශනයෙන් පසුව ගල් විහාරයේ තැන්පත් කරන ලද බොල් පිළිමය වැඳපුදා ගැනීමට මිනිස්සු පෙලඹෙති.  ඒ වනාහි යථා තත්ත්වය අවබෝධ නොවීම නිසා සිදු වූවකි. එවැනි ජනතාවකගෙන් දේශපාලන දැක්මක් බලාපොරොත්තු වන්නේ කෙසේ ද? යන්න ඔහු ධ්වනිත කරයි. අමරසේකර විසින් රචිත මරණ මංචකයේ දුටු සිහිනය, පිළිම ලොවයි පියෙවි ලොවයි, විල්තෙර මරණය හා කියනු මැන දිවි අරුත යන කතා සංග්‍රහ ස්වකීය කෙටිකතා කලාවේ කලාත්මක භාවිතයත් සමාජ හා භූ-දේශපාලන දේහය විනිවිද දැකීමත් තත්ත්වාකාරයෙනු සිදු කොට ඇති බව හැඳින්විය හැකිය.

මතු මහලෙන් මහ පොළොවට

අමරසේකරගේ මුල් ම නවකතාව වන කරුමක්කාරයෝ (1955) ග්‍රාමීය සමාජය තුළ ස්වකීය ආර්ථික තත්ත්වය වර්ධනය කර ගැනීම සඳහා කටයුතු කළ පවුලක තතු හෙළි කරයි. ආර්ථිකය මත පදනම් වූ මිනිස් ජීවිත විවිධ හැළ හැප්පීම්, පීඩාවන් හා පුද්ගල සබඳතාවන් අතුරෙන් ගලා යන ප්‍රවාහයකි. ආර්ථික අස්තිත්වයත් පුද්ගල ලිංගිකත්වයෙහි පුරුෂාර්ථ ගවේෂණයත් යන උභය කාරණා ද්වය මෙහි කතා ශරීරයට අයත් ය. නවකතාවේ අඩිතාලම ආර්ථිකය හා ශ්‍රමය පසුබිම් කොට තිබුණ ද යටින් දිවෙන ඇල්ම හා ලිංගිකත්වය සම්බන්ධ කතාන්දරයක් දක්නා ලැබේ. එනම් කථානායකයාගේ වැඩිමහල් සහෝදරයාගේ බිරිය වන සෝමේ (අක්කා) හා කථානායකයාත් (මල්ලි) පියාත් අතර අනියම් සම්බන්ධයක් ගොඩනැගී තිබීමයි. මෙහි සමාජ දේහයට වඩා ආදරකතාව මතු ව ඇති බව පෙන්වා දිය හැකි නමුත් පුද්ගල මනෝභාවයන්හි ප්‍රකෘති ස්වභාවය නිරූපණය කෙරෙයි.

අමරසේකර විසින් රචිත යලි උපන්නෙමි (1960) නවකතාව පසු කාලීනව ඔහු විසින් ම නැවත පළ නොකිරීමට කටයුතු කරන ලද දෙවැනි නවකතාව වේ. ශ්‍රී ලාංකේය සභ්‍යත්වය හා සංස්කෘතියට පටහැනි ආකාරයකට එය රචනා කරන්නට සිදු වුණේ යැයි ඔහු අදහස් කරයි. එහි එන රණතුංගගේ චරිතය ලාංකේය පොළොවේ ජනිත වූ පුද්ගලයෙකු නොවන බවත් බටහිර නවකතාවන්ගෙන් ලැබූ ආභාසයන්ගේ ප්‍රතිඵලයක් බවත් කියයි. ඩී. එච්. ලෝරන්ස්ගේ බලපෑම සෘජුව ම මෙහි දී අමරසේකර වෙත ලැබී ඇති අයුරු ඔහුගේ කෘති සමඟ සසඳන කල පැහැදිලි වන්නේ ය. ඒ. එම්. ජී සිරිමාන්න පවසන පරිදි මිනිසාගේ මූලික ප්‍රකෘතික ආවේගයක් වන ලිංගික ආවේගයත් ගුප්ත ලිංගික තෘෂ්ණාවත් මෙම නිර්මාණය මගින් පිළිබිඹු වන බවයි. කුහක තත්ත්වයෙන් මිදී ලිංගික ආස්වාදය ලැබීමෙන් අනතුරුව රණතුංග විමුක්තිය හිමිකරගත් බව පෙන්වා දෙයි. ලංකාව තුළ පැවති වික්ටෝරියානු සදාචාරය ප්‍රශ්න කිරීමට අමරසේකර ගත් උත්සාහය සාර්ථක බවට තවමත් ඇතැම් විචාරකයෝ පවසති.

මිනිස් චරිතවල අධ්‍යාත්මයෙහි අඳුරුකඩක් විවරණය කරන නවකතාවකි දෙපා නොලද්දෝ (1962). චිත්ත සන්තානයෙහි ඇති වන හැඟීම් මැඩ ගැනීමත් මැඩ ගත් හැඟීම් උඩු සිතට පැමිණ සිදු කරන්නා වූ අරගලයත් මෙමගින් විශද වේ. මෙහි කථානායකයාගේ (පොඩි අයියා) චරිතය විභාගයේ දී අධ්‍යාත්මයෙහි සැඟවී තිබෙන සිතුම් පැතුම් පාඨකයා වෙත අවබෝධ කරවන ආකාරය කලාත්මක ය. විඥාන ධාරා රීතිය අනුගමනය කර තිබෙන හෙයින් ඔහුගේ සිතත් නැගණිය කෙරේ ඇති ඇල්මත් පෙන්වා දෙයි. පොඩි අය්යා ගිහි ජීවිතය පිළිබඳ පසු තැවීමකින් ජීවත් වන්නෙකි. බෞද්ධ අපිස් දෘෂ්ටිය අනුගමනය කිරීමේ භවසත්තාවාදී චරිතයක ලක්ෂණ ද දැක්ක හැකි ය. පියසේන වූ කලී පොඩි අයියාගේ ප්‍රතිපක්ෂය ය.

අමරසේකරයන් විසින් ම පවසන පරිදි ‘මනස් පුතුන් ගෙන් තොරවුණ’ නවකතාවක් ලෙස ගන්ධබ්බ අපදානය (1964) හැඳින්විය හැකිය.  එය ඔහුගේ නවකතා ජීවිතයේ සංධිස්ථානයක් වෙයි. පේරාදෙණි සාහිත්‍ය සමාජ සත්තාව අමතක කළ මනස් පුතුන් නිර්මාණය කළ සාහිත්‍යය එකතුවකි. එයින් මිදීමට ඔහු ගත් උත්සාහය ගන්ධබ්බ අපදානයයි.  වර්ගවාදය, ජාතිවාදය හා ආගම්වාදය ආදි සමාජ ප්‍රශ්න තුළ මිනිසා මුහුණ දෙන අන්තරාය පිළිබඳව මෙම නවකතාවේ දැක්වෙයි. ප්‍රේමය සහ විවාහය වැනි කාරණාවලදී ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවලට ජාතිය-කුලය-ආගම කාරක සාධයක් සේ බලපාන අයුරු මෙමගින් ප්‍රතිබිම්බිත ය. ජඩ දේශපාලනය හමුවේ උත්තරීතර සමාජයක් හදන උදවියට අත්වන ඉරණමත් නිදහස් අධ්‍යාපනය හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය මගින් බිහි කරන බුද්ධිමතාගේ ඛේදවාචකයත් කතාන්දරය තුළින් පිළිබිඹු වෙයි. අසත්‍ය කතාවක් (1977) හා ප්‍රේමයෙන් සත්‍ය කතාව (1978) යන කෘතිවලින් විශ්වවිද්‍යාල තරුණයා මුහුණ දෙන දේශපාලනික ව්‍යාකූලතාව පිළිබඳ හෙළි වෙයි.  විශේෂයෙන්ම 71ක් කැරැල්ල හා ඊට අනුබද්ධ සිදුවීම් මෙහි අන්තර්ගතය. පාලක පන්තිය හමුවේ තම සහෝදරයාගේ මරණය හෝ පාවාදීමට සිදු වන වැඩිමහල් සොහොයුරෙකු හා ගඳ ගසන දේශපාලනය මතු වී පෙනෙයි. මරණයට පත්වන තරුණයාගේ ජීවිතය, එකිනෙකා මත පටවමින් ‘පන්දුව මාරු කරන’ ක්‍රමය දක්නට ඇත. අමරසේකරයන්ගේ අද්විතීය කෘති ද්වයක් වශයෙන් මෙම නවකතා දෙක හැඳින්විය හැකි ය. රජය හෝ ජේ.වී.පී. දේශපාලන පක්ෂය එකිනෙකා අත වරද පටවනවා විනා ඒවා ඇති වීමට හේතු හා ඒවාට විසඳුම් නොසොයයි.

අමරසේකර විසින් රචිත ගමනක මුල නවකතාව සිංහල මැද පන්තියේ පරිණාමය පිළිබඳව කතාව ඇරඹෙයි. මාර්ටින් වික්‍රමසිංහගේ තුන් ඈඳුතු කතාවෙන් කියවෙන විජාතික ඉහළ පන්තියට වෙනස්ව වර්ධනය වුණ ධ්‍යම පංතිය කෙරෙහි ඔහු අවධානය යොමු කරයි. ගම් දොරින් එළියට, ඉනිමගේ ඉහළට, වංකගිරියක, යළි මඟ වෙත, දුරු රටක දුකට කිරියක, ගමනක මැද, අතරමග හා ගමනක අග යන කතාන්දර මෙකී මැද පන්තියේ විකාශනය පෙන්වා දෙන්නේ ය.  

(සුදේශ් කවීශ්වර මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ සාහිත්‍ය විචාරය විෂය පිළිබඳ කථිකාචාර්යවරයෙකි)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *