මහජන කවුන්සලය හා එහි ඉතිහාසය ගැන

මහජන කවුන්සලය හා එහි ඉතිහාසය ගැන

මහාචාර්ය සුමනසිරි ලියනගේ

“ජනතාවගේ තර්කය වන්නේ, සටන් කරමු, පැරදුනොත් ආයෙත් සටන් කරමු…… ජයග්‍රහණය දක්වාම.” -මා ඕ සේතුං- (“Cast Away illusions, Prepare for Struggle”, Selected Works, Vol. iv)

අද නැවතත් මහජන කවුන්සලය ගැන සාකච්ඡාව අලුත් වී ඇත. මහජන කවුන්සලයක් ගැන අදහස ගෝල්ෆේස් අරගල කරුවන්ගේ ජුලි 5 ප්‍රකාශණයේ අන්තර්ගත වූ වකි. ප්‍රකාශණයේ අඩංගු ඒ යෝජනාව විවිධ අර්ථකථනයන් ට ලක්වින. අරගලකරුවන් ජුලි 21 තලා මර්ධනය කිරීමට අණදුන් රනිල් වික්‍රමසිංහ පවා කියා සිටියේ තමා ද ඒ අදහස සළකා බැලීමට කැමති වගකි. “උඹල මගෙ දරුවො”, කියල ජනතාවගෙ හිස් සිදලූ පාලකයෙක් ගැන මොකක්දෝ නාට්‍යයක තිබුන බවක් මගේ දුර්වල මතකයෙහි තිබේ.

අද සාකච්ඡාව පැන නැගී ඇත්තේ ව්‍යවස්ථාදායක සහ විධායක බලය මෙහෙයවන්නෙකු ලෙස මහජන කවුන්සලය සහ ආසන්න මැතිවරණයක් හරහා අලුතින් පත්කර ගන්නා ව්‍යවස්ථාදායකයක් ලෙස පාර්ලිමේන්තුව යන දෙකෙන් මහජන බලය වඩාත් ස්ථාපිත කෙරෙන්නේ කුමක් මගින් ද යන ප්‍රශ්නය වටා ය. මේ යෝජනා දෙකම අද තිබෙන තත්ත්වයට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ය යන්න ගැන සැකයක් නැත. මේ දෙකම අඩු වැඩි වශයෙන් නියෝජන මූලධර්මය මත පදනම් වේ. එසේ වුවද, කුමන ක්‍රමයක් වඩාත් ආසන්න නියොජනයක් මගින් ජන බලපෑමට හසුකරගත හැකි ද යන්න මතම පමණක් තේරීම කළ නොහේ. අප යොදාගන්නා මිනුම්දඩු කවරේ ද?

ගෝල්ෆේස් සහ වෙනත් කේන්ද්‍රයන්හි අරගලය ගෙනගිය අරගලකරුවන්ගේ දොස් සෙවීම අද වතාවතක් බවට පත්ව ඇත. පාලක පන්තිය සහ උන්ගේ කහ මාධ්‍යය ඔක්කොම කුණු බේරුවල් බොක්කට කීවාක් මෙන් අරගලකරුවන් ට බැර කරති. හරිමනත් ගමනාගමන පහසුකමක් කෑමක් සැපයිය නොහැකිවීම නිසා කඩාවැටුන සංචාරක කර්මාන්තයටත් වරද පැටවෙන්නේ අරගලයට ය. ආංඩු දෙකක අවපාලනය නිසා කඩාවැටුන ආර්ථිකයේ වරදද අරගලය පිට පැටවීමට ධනේශ්වර මාධ්‍ය වලිකති. මේ ප්‍රචාරයන්ට හෝ විමල් වීරවංශ ගේ හැබිචෝල් කථාවලට අරගලය පිළිතුරු දිය යුතු නැත.

එහෙත් ආපස්සට ගොස් “අරගලයේ සටන් පාඨය වැරදි ය අර කළ දේ වැරදිය” වැනි චෝදනා ඉදිරිපත් කරන අරගලයේ සමහර කොටස් කරුවන් අමතක කරන කරුණ වන්නේ මෙතරම් ජන ගගක් කොළඹ ට ආවේ සටන් පාඨ නිසා බව ය. කළ වැරදි නිසා ය යන්න ය. අරගලය අතින් කුරා කුහුඹුවෙකුගේ වරදක්, අඩුපාඩුවක් නොවුනේ යැ යි මෙයින් නොකිය වේ. වැරදි එමට වන්නට ඇත. එහෙත්, පැරිස් කොමියුනය වෙනුවෙන් සටන් වැදුන වැඩකරන ජනයා ගැන මාක්ස් කී දෙය අරගල කරුවන් වෙනුවෙන් ද සත්‍ය වන්නේ ය.

“නව සමාජයක දීප්තිමත් පෙරනිමිති කරුවන් ලෙස වැඩකරන ජනයා සහ ඔවුන්ගේ කොමියුනය හැමදාමත් ආශිංසනයට පාත්‍රවනු ඇත.” (Civil War in France) මාක්ස් මෙසේ ද ලීවේ ය. “එහිදී දිවිපිදුවන් කම්කරු පංතියේ ශුද්ධ හදවත් තුළ නිදන් වී ඇත්තේ ය”.

මේ පූර්විකාව මා ලීවේ, අරගලය විසින් මතු කෙරුන “මහජන කවුන්සලය” කුමක්ද? එය සපථකරන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම කවරේ ද? මහජන කවුන්සලය පාර්ලිමේන්තුවෙන් වෙන්වන්නේ කෙසේ ද? යන ගැටලු ගැන සාකච්ඡාවකට මග පාදා ගැන්මට ය.

මහජන කවුන්සල ගැන ඓතිහාසික ආවර්ජනයක්

කුඩා ජන සමාජයන්හි ප්‍රාදේශීය පාලන සභාවන්හි පැවැත්ම මෙන්ම ඒ පිළිබද අදහස ද පූර්ව- රාජ්‍යයීය මෙන්ම පූර්ව- ව්‍යවස්ථීය (pre-statal and pre-constitutional) ද වන්නේ ය. ඒ තේරුමෙන් පංචායත්, මහජන කොමියුන, රුසියානු මීර්, අෆ්‍රිකාවේ හා ඇමරි ඉන්දියානුවන්ගේ ගෝත්‍ර සභා, නූතන රාජ්‍යයට පෙර පැවති ආයතන ව්‍යුහ වේ. ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරන යන කාර්‍යයන් තුනම ඉටුකෙරුනේ ඒ සභා මගිනි. නිත්‍ය සහ වෙන්වූ නිලධරයක් ඒවායෙහි නො තිබින. මේ සභාවන්හි මූලික අරමුණ  පරිපාලනමය වූයේ ය. සම්පත් පරිපාලනය, ආරක්ෂාව, නිෂ්පාදනය හැසිරවීම වැනි දෑ එමගින් සිදුවින. එහෙත් මා මේ සටහනෙහි සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන කවුන්සල මේ සරල ජන සමාජයන්ට වඩා වෙනස් ය. පාලකයන්ගේ අසාධාරණයන්ට එරෙහි මහජන කැරලී ගැන පශ්චාත් රාජ්‍ය අවධියේ අසන්නට ලැබේ. එකී කැරලි ගැසූ ජනයා පාලකයාගේ බලයට එරෙහිව කුමන ආකාරයේ විකල්ප යාන්ත්‍රණයක් හරහා සටන් මුදා හැරියේ ද? සටනින් පසු බලය පරිහරණය කළේ කුමන ව්‍යුහයයන් හරහා ද? මේ සිත්ගන්නා ප්‍රශ්නයන්ට කෙටි උත්තරයක් සැපයීමට තරම්වත් ලෝක ඉතිහාසය ගැන දැනුමක් මට නැත.

මේ සටහන මගින් සාකච්ඡාවට ලක්කරන ගෝල්ෆේස් අරගලය යෝජනා කළ කවුන්සල අදහසට ආසන්න නෑකමක් ඇති ව්‍යුහයයක් ගැන මා හදාරා ඇති පළමු උදාහරණය වන්නේ 1871 පැරිස් කොමියුනය ය. මාක්ස් තම ප්‍රංශයේ සිවිල් යුද්ධය නැමති පොතෙහි 1871 පැරිස් කොමියුනය ගැන සාකච්ඡා කරයි. එම පොතෙහි නව සංස්කරණයට 1891 දී ෆ්‍රෙඩරිච් ඒංගල්ස් ලියූ පෙරවදන මාක්ස්ගේ විනිශ්චය යළි සපථ කරන්නේ ය.

පැරිස් කොමියුනය

පැරිස් කොමියුනය කල්තියා කෙරුන සැලැස්මක ප්‍රතිඵලයක් නොවේ. 1870 අවසාන මාස කිහිපයේ දී පැරිසි ජනතාව ජාතික මුරය (National Guatd) ලෙස සන්නද්ධ කෙරින. ජාතික මුරයේ මධ්‍යම කාරක සභාව විසින් කැද වූ විශේෂ මැතිවරණයකදී පත් කෙරුන සභාව, 1871 මාර්තු 18 වෙනිදා පැරිසියේ පාලනයේ ඇතිවූ හිඩැස සමග පැරිසියේ ආංඩුව බවට පත්වින. ඒ පැරිස් කොමියුනය යි. මෙහි නායකත්වයෙන් තුනෙන් එකක් චන්දයෙන් පත් වූ කාර්මික කම්කරුවන්ගෙන් සමන්විත විය. මෙයින් ද වැඩි පිරිස පළමුවෙනි ජාත්‍යන්තරයේ ප්‍රංශ ශාඛාවේ සාමාජිකයෝ වූහ. එය වචනයේ පරිසමාර්ථයෙන්ම වැඩකරන ජනතාවගේ පාලනයක් විය. එය ජනතා නැගිටීමක් සමග ඇතිවූ හිඩැස පියවීමට ඇති වූ විකල්ප බලයකි. රාජ්‍යයකි.  මාර්තු 18 ජාතික මුරය ට එරෙහි ප්‍රතිවිප්ලවීය ප්‍රහාරයට පැරිස් ජනතාව, විශේෂයෙන් ම පැරිස් කාන්තාවන, මුහුණදුන්නේ මේ බලය මගින් ය. බලයට බලය.

මාර්තු 19 ජාතික මුරයේ මධ්‍යම කාරක සභාව විසින් දේශපාලන ප්‍රකාශණයක් නිකුත් කෙරින. එහි අඩංගු කරුණු සමහරක් සහ කොමියුනයේ ක්‍රියාකාරී සැලැස්ම:

  1. රාජ්‍යය පල්ලියෙන් වෙන්කිරීම;
  2. ළමා ශ්‍රමය අහෝසි කිරීම;
  3. මියගිය ජාතික මුරයේ පවුල්වලට විශ්‍රාම වැටුපක්;
  4. ෆ්‍රෑන්ක් 20 ට අඩු උගස්බඩු බේරාදීම;
  5. ණය සදහා කල් දීම සහ ණය පොලී අහෝසි කිරීම;
  6. කර්මාන්ත ශාලා අල්ලාගෙන පාලනය කිරීමට වැඩකරන ජනතාවට අවසර දීම;
  7. ස්ථාවර හමුදා ව්සුරුවා හැර ජනතාව සන්නද්ධ කිරීම;
  8. ජනතා නියෝජිතයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ආපසු කැදවීමේ ජනතා බලය;
  9. බලය, ව්‍යවස්ථාදායක, විධායක ලෙස බෙදීම අහෝසිකිරීම;
  10. ජාත්‍යන්තරවාදය (එහි ප්‍රධාන මිලිටරි නායකයා පෝලන්ත ජාතිකයෙකු විය)

කොමියුන රාජ්‍යය පැවතුනේ මාර්තු 18 සිට මැයි 28 දක්වා දින 70 ක් පමණි. මැයි 28 පලාගිය ආංඩුවේ හමුදා මාර්ග බාධක බිද පැරිසියට වැද 20000 කට වැඩි පිරිසක් ඝාතනය කොට පැරිස් කොමියුනය පරාජය කළහ.

පැරිස් කොමියුනය වැඩකරන ජනතා රාජ්‍යයක පළමුවෙනි අත්හදා බැලීම විය. එය පරාජය වූයේ ඇයි? එය පරාජය වුවද, එයින් උගත හැකි සහ යුතු පාඩම් කවරේ ද? කෙසේවුවද, පැරිස් වැඩකරන ජනතාව මාක්ස් සදහන් කළ ලෙස,

“නව සමාජයක දීප්තිමත් පෙරනිමිති කරුවන් ලෙස අපෙර් ආශිංසනයට පාත්‍ර වන්නාහ.”

(මහාචාර්යවරයා “මහජන කවුන්සලය ගැන නැවත වරක්… (පළමුවෙනි කොටස)” මැයෙන් ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනකින් උපුටාගන්නා ලදී)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *