බැද්දේගම සිලිඳු, ලෙනාඩ් වුල්ෆ් හා බ්ලුම්ස්බරි ගෲප්

බැද්දේගම සිලිඳු, ලෙනාඩ් වුල්ෆ් හා බ්ලුම්ස්බරි ගෲප්

නන්දන වීරරත්න

මහාචාර්ය සරත්චන්ද්‍ර වැනි සංස්කෘතික වීරවරයන් පවා සිවිල් සේවාව [CAS] යටත්විජිත පරිපාලන සේවය මහමෙරක් කරගන්න අවුරුදු 30 කට විතර කලිනුයි, ලෙනාඩ් වුල්ෆ් මේ යටත් විජිත පරිපාලනයෙන් ඉල්ලා අස්වී ආපසු බ්‍රිතාන්‍යයට යන්නේ. ඔහු මේ ඉල්ලා අස්වීම ගැන මෙහෙම ලිව්ව,   

“මට බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වෙනුවෙන් රටවල් යටත් විජිතකරණයේ යෙදීමේ වුවමනාවක් නැත”

“I don’t want to colonize countries on behalf of the British Empire”

ඔහුගේ කල්කිරීම හා කෝපය එළියට දැම්මේ නවකතාවකින්. ඒ බැද්දේගම (Village in the Jungle). බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ ජීවත් වූ දිළින්දා සංකේතවත් වූයේ ඔහුගේ එකම නවකතාව වූ බැදේගම සිළිඳුගෙන්. හම්බන්තොට උසාවියේ සිලිඳුගේ නඩුව අහනව ඔහු නොදන්නා බසකින්. නඩු තීන්දුව දෙනව ඉංග්‍රිසියෙන්,  නිදහස් කියල. තමා නිදහස් බව සිලිඳු දන්නේ නෑ. ඔහේ බලන් ඉන්නව. පස්සේ තෝල්කය කෑ ගහල කියනව,

“උඹ නිදහස් පලයං”

වුල්ෆ්ට එදා තිබූ මනුෂ්‍යත්වය පිළිබඳ හැගීම් අවුරුදු 100කට පස්සෙත් අපි අතරේ හොයා ගන්න අමාරුයි. 

1971 කැරැල්ලේ ප්‍රධාන නඩු දෙක විභාග කෙරුණේ අපරාධ යුක්ති විනිශ්චය කොමිසමේ (CJC). ඒ වෙනකොට ලංකාව ජනරජයක් වෙලා (1972). ඒත් මේ ඉංග්‍රිසි නොදත් තරුණයන් බ්‍රිතාන්‍ය රැජිනගේ පාලනය පෙරලා දැමීමට උත්සාහ කිරීමේ අපරාධ නඩුව ජනරජය යටතේ විභාග කෙරුණේ ඉංග්‍රිසියෙන්…!

යටත් විජිත පරිපාලනයෙන් ඉවත් වූ ඔහු පෙරලා ලංඩනයට ගොස් ‘බ්ලූම්ස්බරි ගෲප්’ කණ්ඩායම හදන්නට පෙරමුණ ගත්ත. එය එම සියවසේ ධනේෂ්වර සංස්කෘතියේ මුදුන් මලක් (සිළුමිණක්?) හැටියටයි සැලකෙන්නේ. ඔහුගේ පෙම්වතිය, වර්ජිනියා වුල්ෆ් ධනේෂ්වරය පොරොන්දු වූ පුද්ගල නිදහස ඉල්ලා කළ අරගලය ඇගේ ලෝක ප්‍රකට නවකතා එකතුවෙන් මතුවෙනව. මේ කණ්ඩායමේ කෙනෙක් මාරිස් ස්ටොප්ස්. කම්කරු පවුල්වල ස්ත්‍රීන්ට උපත් පාලනයට උපකාර කළේ ඇගේ ව්‍යාපාරය. 

මේ කුඩා රචනාවේ අරමුණ බ්ලුම්ස්බරි පුරෝගාමීන් ගැන ලිවීම නෙවෙයි. අපි කොපමණ ගතානුගතික ජාතියක් ද යන කම්පාව පිටකරගන්න. ලෙනාඩ් වුල්ෆ්ල 1920 දී හිටපු තැනටවත් අපිට අවුරුදු 100 කට පස්සේ යන්න බැරි ඇයි? මේ රට මත හැම දෙයක්ම පැටවුණේ බලාත්කාරයෙන්. ආගම්, භාෂා, ඇදුම්, සිරිත් විරිත් මේ සියල්ලම බලෙන් දීපුව. අර්සරත්නම් (අචාර්ය ඒ.) කියනව ලන්දේසි යුගයෙත් පාතරට දී සම්බන්ධීකරණ භාෂාව වුණේ කැඩිච්ච පෘතුගිසි බස කියල. එතකොට පෘතුගිසි ගිහින් අවුරුදු 100 පැනල. 

තවමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ භාෂාව ඉංගිරිසිය. ඉංග්‍රිසි විජිත යුගයේත් ඒ බස. ලන්දේසි යුගයේ එහි බස ඩච් හෙවත් ලන්දේසි බස. පෘතුගීසි යුගයේ පරංගි බස. අපිට ලාංකිකයන් වෙන්න, තමන්ගේ මව්බසින් යුක්තිය පසිඳලනු අහන්න තවත් කොච්චර කාලයක් ගතවේවි ද? මේ අයිතිය ඒ ආකාරයටම දෙමළ ජනයාටත් තිබිය යුතුයි. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *