අමිල යහලවෙල
න්‍යෂ්ටික බෝම්බය ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට දැම්මට පස්සේ වීරයෙකු ලෙස පැසසුම් ලබන Oppenheimer ඒ පැසසුම් මැද්දේ පවසන්නේ තමන් වඩාත් සතුටට පත්වන්නේ ඒ බෝම්බය මීට කලින් ජර්මනියට දමන්න තිබුනානම් කියලයි. ඒත් එහෙම පවසන මෙහොතේත් ඔහු ඉදිරියේ මැවී පෙනෙන්නේ බෝම්බයේ බලපෑමෙන් දිය වී, විකෘති වී මිය යන මිනිසුන්ගේ, ගැහැනුන්ගේ, දරුවන්ගේ මුහුණුයි. ඒ ඔහුගේ හෘද සාක්ෂිය අවදිවන්නට පටන් ගන්න මොහොතයි.
මුළු ලෝකයෙම ජනප්‍රිය වූ විද්‍යාඥවරයෙකු විදිහට ඔබට දැනෙන හැඟීම මොනවගේද කියා එවකට ඇමරිකානු ජනාධිපති ටෲමන් ඔහුගෙන් අසයි. තමන්ගේ දෑත්වල ලේ තැවිරී ඇතැයි වරදකාරී හැඟීමක් තමන්ට දැනෙන බව Oppenheimer පවසයි. ඒ වෙලාවේ ජනාධිපතිවරයා තමන්ගේ සාක්කුවෙන් ලේන්සුව අරගෙන ඕපන්හයිමර් දෙසට දිගු කරයි. ආධ්‍යාත්මික ප්‍රශ්නයක් දෘෂ්ටිවාදයක් ඉදිරියේ විහිලූවක් වන්නේ ඒ විදිහටයි.
විද්‍යාත්මක සමීකරණයක් මිනිස් සමූල ඝාතනයක් දක්වා දියුණු කරන්නට ඕපන්හයිමර් මැදිහත්වෙන්නේ ඔහු ද ඒ යුධ දෘෂ්ටිවාදයේ ගොදුරක් වූ නිසයි. යුධ දෘෂ්ටිවාදයෙන් පළඳවන වීරත්වයෙන් ඔහු ද අහ්ලාදයට පත් වෙයි. තම දැනුමේ පරිසමාප්ත සහ ආත්මීය ආශාව සංතෘප්ත කරන අවස්ථාව ලෙස න්‍යෂ්ටික බෝම්බය නිර්මාණය කිරීම ඔහුට දැනෙන්නේ ඒ නිසයි. දැනුම් ගවේෂණ ගමන් මඟක සිට බලාධිකාරී දෘෂ්ටිවාදී වේදිකාවකට අතරමඟකදී ගොඩවෙන්නට සිදු වෙන නිසා ඔහුගේ ආධ්‍යාත්මික අරගලය මුල සිටම මතු වෙනවා අපිට දකින්න පුළුවන්. ඒත් දැනුම් ගවේෂණයේ සහජාශාව, දෘෂ්ටිවාදය විසින් පළදවනු ලබන වීරත්වයේ උගුලට හසු වූ වීට ආධාත්මික අරගලය පරාජය වේ.
ඕපන්හයිමර් නැමති වීරයා දෝහියෙකු බවට පත්වන්නට යන්නේ ඔහුගේ හෘද සාක්ෂිය හඬ නගන්නට පටන්ගත් විටයි. ඔහුගේ සහ බිරිඳගේ කොමියුනිෂ්ට් පක්ෂයට ඇති සම්බන්ධයේ යටගියාව හාරා අවුස්සා ඔහු වට්ටන්නට බලාධිකාරීන් විසන් උත්සහ කරන්නේ ඒ හෘද සාක්ෂියේ හඬ සක්‍රීය වුවහොත් එය බලාධිකාරිය සහ එහි දෘෂ්ටිවාදය පුපුරවා දමන්නට තරම් බලවත් වෙන නිසයි. ඔබ දෘෂ්ටිවාදයක් පෝෂණය කරන මෙවලම් නිර්මාණය කරන තාක් ඔබ එහි වීරයෙකි. ඒ දෘෂ්ටිවාදයේ හැසිරීම සහ ඔබේ හෘද සාක්ෂිය අතර වන ගැටුම ඔබ මතු කරන්නේ නම් ඔබ එහි ද්‍රෝහියෙකි.
(ලේඛකයා ෆේස්බුක්හි තැබූ සටහනකින් උපුටාගන්නා ලදී. ඡායාරූප අන්තර්ජාලයෙනි)