අනුකූලක සංස්කෘතික දෘශ්‍ය කලාව පුපුරවා හරින්නට නම්…

අනුකූලක සංස්කෘතික දෘශ්‍ය කලාව පුපුරවා හරින්නට නම්…

සාලිය ඉඳුරුවිතාන

මට මේ සටහන ලියන්නට සිතුනේ පසුගිය 10 වෙනි සෙනසුරාදා 2023-06 10, නුගේගොඩ බැලලයිකා කලා පරිශ්‍රයෙදී මා මිත්‍ර ප්‍රගීත් රත්නායක විසින් “ඇඳීම අතේ පයේ වැඩක්ද ” කියන මාතෘකාව යටතේ කල කතා බහ තුලින් මතුවූ කරුණු කීපයක් ප්‍රතිකූලකව  Counter සඳහන් කරන්නයි. ප්‍රගීත් විසින් කල කතාවේදී මතුවූ මූලික අදහස් දෙකක් ගැන මගේ අවධානය යොමු වූ නිසා, ඒ ගැන යමක් ලියන්නට මෙසේ සිත්විය. ප්‍රගීත් කියා සිටි, මගේ අවධානයට යොමු වූ පලවෙනි අදහස තමයි, ප්‍රගීත් කිව්ව, “චිත්‍රය නැවත මුල්කාලීන යුගයට යායුතුයි, ඒ කියන්නේ රූපික Figurative Art වෙත නැවත යායුතුයි වගේම චිත්‍ර ශිල්පියා කවියෙක් වගේ විය යුතුයි කියලා” දෙවැනි කාරණය තමයි චන්ද්‍රගුප්ත තේනුවර, රුසියාව වගේ රටක චිත්‍ර ශිල්පය ගැන හොඳ අධ්‍යනයක් ලබල, රූපික කලාව ගැන හොඳ අවබෝදයක් තියෙන කෙනෙක් දැං චිත්‍ර කියලා වෙන මොනවදෝ විකාරයක් කරමින් ඉන්නව කියලා. ඇත්තටම මේ කතාව ප්‍රගීත් කියද්දී, මට ප්‍රගීත් ගැන නැවත සිතන්නට පෙළඹුණා. මම හිතනවා මගේ ලඟම, සමීපතම මිත්‍රයෙක් වන ප්‍රගීත්, මගේ මිත්‍රයාට මගේ අදහස් මේ විදියට මුහුණු පොතේ සටහන් කලාට, මා සමග අමනාප වෙන්නට තරම් “සුළු ” මනසක් තියෙන කෙනෙක් නෙවෙයි කියලා ප්‍රගීත්. මම සාමාන්‍යයෙන් මෙවැනි අදහසක් ප්‍රසිද්දියේ කියන්න යන්නේ නැහැ, ගොඩාක් වෙලාවට අපි කරන්නේ තේ එකක් බීල, කෑම ටිකක් කාල, රෑ එළිවෙනකම් මේ වගේ දේවල් ගැන කතාකරන එකයි. ඒත් මගේ මේ අදහස මුහුණු පොතේ සටහන් කරන්නේ, පොදුවේ මේ ගැන සාකච්චාවක් ගොඩනගාගෙන, එය අනිත් අයත් සමග බෙදාගැනීමේ පරම චේතනාවෙන් මිස, පටු මානසික චේතනාවෙන් නොවන වග ප්‍රගීත් දන්නවා යැයි කියා මා සිතන නිසා.

ප්‍රගීත්ගේ චිත්‍ර ගැන මා පුවත්පත් වලට ලිපි කීපයක් ලියා තිබෙනවා. එයින් ප්‍රගීත්ගේ Humanscape දෘශ්‍ය ප්‍රදර්ශනය ගැන “දුස්සාධනීය  අසමතුලිතතාව Belief Dilemma ” නමින් 2022- අප්‍රේල් 03 වෙනිදා ලංකා පුවත්පතට තරමක් දීර්ග ලිපියක් ලිව්වා. ඒ Humanscape ප්‍රදර්ශනය හා මා මගේ මානසික ලෝකය සමග ඇතිවූ දයලේක්තික සබඳතාවයේ ප්‍රතිපලයක් නිසයි.

සාමාන්‍යයෙන් කලාව කියන්නේ ගොඩනැගෙමින් පවතින සමාජ සන්දර්භය හා එයින් මතුවෙන දයලේක්තික සබඳතා තුලින් සංවිදානය වෙන හැගීම් කලා කෘතියක් තුලින් ප්‍රකාශ කිරීමයි. ලෝකය පවතින්නේ හා නිර්මාණ බිහි වන්නේ ඒකාකෘතික Stereotypes සමාජ සන්දර්භයකින් නොව, ප්‍රතිවිරෝධතා ගහන, සහ මිනිස් අවිඥානය එයට දක්වන ප්‍රතිචාරය තුලිනි. ඒත් ප්‍රගීත් කියනකොට “නැවත අපි රූපික කලාව වෙතට නැවත ගමන් කල යුතුයි සහ චිත්‍ර ශිල්පියා කවියෙක් වගේ වෙන්න ඕන ” කියලා එම අදහස් වැටෙන්නේ යල් පැනගිය පැරණි අදහස් ගොන්නටයි. මම හිතන්නේ මෙවැනි මානසික පසුබිමක් යටතේ නැවත ප්‍රගීත්ගෙන් Humanscape ප්‍රදර්ශනයකට වඩා එහා ගිය දෘශ්‍ය කලා ප්‍රදර්ශනයක් බිහිවෙන එකක් නැහැ කියන එකයි මගේ අදහස.

ප්‍රගීත් ගෙන ආව දෙවැනි අදහස තමයි චන්ද්‍රගුප්ත තේනුවර දැං චිත්‍ර වෙනුවට වෙනත් දෙයක් කරමින් ඉන්නවා කියන කාරණාව. මම හිතන්නේ ප්‍රගීත්ගේ ගුරුවරයෙක් වන තේනුවරගේ කලාත්මක භාවිතය තුලින් ප්‍රකාශ කරන, සමාජ දේශපාලන කාරණා ගැන ප්‍රගීත් සවිඥානික නැහැ කියලයි. තේනුවරට රූපික කලාව ඉතාමත් හොඳට කරන්න පුළුවන්කම තිබියදී, ඇයි තේනුවරගේ කලා භාවිතය, මේ කාලේ හොඳටම පාරිභෝගික භාණ්ඩයක් කරන්න පුළුවන්කම තිබියදී, දේශපාලනික භාවිතයක් තමන්ගේ කලා ප්‍රකාශන හරහා සමාජ දේශපාලනය වෙනුවෙන් මැදිහත් වෙන්නේ කියන එක ගැන ප්‍රගීත් නැවත සිතන්නට ඕන කාරණයක් කියන එක මම අවධාරණය කරනවා.

කලාව තුලින් නව අන්තර්ගතයක්  Content සහ ආකෘතියක් Form  සහිත නිර්මාණයන් බිහිවෙන්නේ පැරණි ආකෘතියන් පුපුරවා හැරීමෙන් සහ එයට සුදුසු අන්තර්ගතයන් සහිත ආකෘතීන් නිර්මාණය කිරීමෙනි. එයට සරළ පිළිතුරක් නැහැ වගේම, ප්‍රගීත් කියන විට චිත්‍රය නැවත පැරණි තැනට යායුතුයි කියලා, මගේ අදහස ප්‍රගීත්ට කැන්වසයක් ඉදිරිපිට සිට ගන්නවා කියන එකම අර්බුදයට යන කරුණක්.

කැන්වසයක් මත පින්සල් පහරක් ගහන්න කලින්, එයට පිටුපසින් යම් දාර්ශනික, චින්තනමය සිතුවිලි දහරාවක් තිබෙන්නට අවශ්‍යයි කියන එක මම තරයේ විශ්වාස කරන අතර, ලංකාවේ දෘශ්‍ය කලා පීඨවලින් එවැනි දාර්ශනික චින්තන දහරාවන් බිහිවෙන්නේ නැති බව මේ සංසාරේ පුරාවට ඉරහඳ මෙන් විශ්වාසයි.

මහා පිමි නැති සමාජ සන්දර්භයකින්, සංකීර්ණ කලා කෘති බිහිවෙන්නේ නැති බව තේරුම් ගන්නේ නැති තාක් කල්, ව්‍යාජ මනුස්සකම්, හා තමන්ගේ ජීවිතයට කිසිම සම්බන්දයක් නැති බොරු සෞන්දර්යයන් ගැන බොළඳ කතා කියව, කියව තමන්ගේ මුහුණ තමන්ගේම කැඩපතකින් බල, බල ස්වයංවින්දනයක යෙදෙන්න පුළුවන්.

ආමේන්

ඉහත ඇති නිර්මාණ දෙක චන්ද්‍රගුප්ත තේනුවරගේ සහ එමිලි ජෝන් මැන්ඩෙල්ගෙනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *