ඩිල්ෂානි චතුරිකා දාබරේ
සුසානය නොවේ අවසන
තිඹිරිගෙය නොවේ ඇරඹුම
– මහගමසේකර –
පෙට් සෙමෙට්රි කෘතිය කියවා අවසන් කළවිට, මහගමසේකරගේ ඉහත පැදිය සිහියට නැගුණි. අම්මා සමඟ වන බන්ධනය සහ සේකරගේ කවි ගැන ම සමන් කුමාර ‘සේකරගේ නොදුටු පැත්ත’ කෘතියට කළ විවරණය ද (15 පරිච්ඡේදය)පොත අත ඇත්නම් කියවා බලා පෙට් සෙමෙට්රියට ඌන පූරණයක් ලෙස එළඹිය හැකිය.
පෙට් සෙමෙට්රි, ගර්භාෂයේ සිට සුසානය දක්වා වූ ජීවිතයේ සංකේත පද්ධතියක් නිරූපනය කරන්නක් වැනිය. සුරතල් සතුන් මිය ගිය පසු වළලන සුසානය ම, ඔවුන්ට යළිදු පණ දෙයි. සතුන්ගෙන් නොනැවතී මිනිසුන්ට ද පණ දෙයි. නමුත් ඒසේ නැවත පණ ලබන මිනිසා, පෙර සිටි මිනිසා ම නොවේ. මැරි මැරී ජීවත්වන්නෝ, ගන්ධබ්බ ජීවිත, කෘතීම ජීවිත පෙට් සෙමෙට්රි කතාපුවතට පණ දෙයි.
භීතිය දනවන කෘතියක් වන මෙය එක්තරා, Zombie (සොම්බි) ආකාරයක් පෙන්වයි. මෙහි ප්‍රධාන මෙහෙයවන්නා චර්චිල් නම් බිළාලයාය. ශිෂ්ටාචාරගත මිනිසා විසින් සතුන් මෙහෙයවනු ලබන නමුත්, මෙහිදී සත්වයා විසින් මිනිසා මෙහෙයවනු ලබයි. ලුයිස් පවුල උඩු යටිකුරු කර, ඝාතන පිරි ඛේදාන්තයක් කරවන්නේ, චර්චිල්ය. සතුන්ගේ අඬු දිගහැරීම්, ඇස් බැල්ම, කෑ මොරදීම් ඇතුළු සුසියුම් හැසිරීම් නිරීක්ෂයට ජෙරල්ඩ් ඩරල්, ‘මගේ පවුලයි අනික් සත්තුයි’ පොත් මාලාවෙන් අප පෙළඹවුවද, මෙහි එය ත්‍රාසජනක පෙළඹවීමක් දක්වා විතැන් වී තිබේ.
පෙට් සෙමෙට්රි කෘතියේ පැනෙන පොදු තේමාව අනුව යමින් සංජය ඈපා සෙනෙවිරත්න නිමැවූ කෘතියේ කවරය ද රතු සහ කළු පැහැයෙන් හැසිරවීම ආකර්ශනීයය. ඒ මැද සිටින බිළාලයාගේ කහ පැහැ දෑස අප ඒ වෙත ම අළවයි. එය අප ඉහත කී, උපත සහ මරණය -තිඹිරිගෙය සහ සුසානය අනුව නිමවා ඇත. උපත- රතු, මරණය- කළු පැහැයෙන් හඳුනාගත හැකිවුවත්, මෙහිදී එම වර්ණ ආකාර දෙක වෙනුවෙන්ම පෙනී සිටින බව පැහැදිලිය.(උපත රතු කළු-මරණය ද රතු කළු)
කතාපුවතේ, එක් ප්‍රධාන සිදුවීමකින් තවෙකකට යාමට පෙර අභාග්‍යසම්පන්න ඉරණම්කාරී යමක් සිදුවීම, ඒ වෙනුවෙන් වන නිමක් නොමැති අනතුරු ඇඟවීම්, මිනිස් ඉව, නිතර ම ලුයිස්ට උපදෙස් සපයන මහල්ලාගේ භූමිකාව(දේව සංකල්පයක්ද නොහොත් උපදේශකයෙක්ද) කතාව ගලායාමට සාධනීය ලකුණු ය.
උච්චාවස්ථානය පෙට් සෙමෙට්රිහි අවසාන මොහොතයි. එනම්, පුතු ගේජ්, සිය මවට වන රේචල්ට සිදුකරනා දෙයයි. මෙය ඊඩිපස් ආකාරයේ කණපිට හැරවුමක් බඳුය. අනෙක් අතින් මවගේ ජීවිතය උදුරාගැනීමට තැත්දරන්නේ, සැබෑ ගේජ් ම නොව ගේජ්ගේ වෙසින් එන සුසානයෙන් යළි උපන් ගේජ්ය. එහෙත් පැල්ලසය කපාහරින පියාගේ භූමිකාව ලුයිස් ඉටුකරනුයේ පුතු මරා දමමිනි. ඊඩිපස් ආකාරය ගන්නා ඉන්දීය ජනකතාවක දී, පියා විසින් පුතු ඝාතනය කරන අවස්ථා මෙහිදී සිහි වේ. එහිදී මව සමඟ නිදාගත් ආගන්තුකයා සිය පුතු බව නොදැන, වසර ගණනකට පසු නිවසට ආ පියා පුතාව මරා දමයි. කෙසේනමුත්, පෙට්සෙමෙට්රි අවසානයේ සුසානයෙන් රේචල් යළි උපත ලබා පැමිණෙයි. සුසානයේ වළ දැමූව ද මිය නොයන ජීවිත මෙනි.
භීතිය දනවන කතාන්දර හෝ පරිවර්තන බොහොමයක් ඒවා තුළ ම වැළලී යයි. එනම් එය ප්‍රබන්ධයක් ය යන්න වැටහී යාමයි. එහෙත් පෙට් සෙමෙට්රිය සැබෑ දෙයක් ය ලෙසින් මිනිසාගේ ආධ්‍යාත්මයට කඩා වදී. එය කියැවූ පසුත් ඉන් ගැලැවීමක් නොමැතිය.
පෙට් සෙමෙට්රි ඉංග්‍රීසි කෘතිය කියවා නොමැති බැවින්, පරිවර්තනය පිළිබඳව සසැඳීමකට අවසර මට නැත. පාඨකයා වෙනුවෙන් ගත් පරිවර්තන ප්රයත්නය අගයන අතර, ඇතැම් තැන් කිහිපයක අක්ෂර වින්‍යාස සහ ව්‍යාකරණ වැරැදි කිහිපයක් හමු වූ බැවින් සෝදුපත් වෙනුවෙන් යළි අවධානය යොමුකරන්නේ නම් වඩාත් හොඳ යැයි සිතමි. ගැඹුරු වදන් නොවුව ද එදිනෙදා භාෂාව යොදාතිබීම පහසුවක් විය.
පෙට්සෙමෙට්රියට ගොස් සතුන් ලෙස, යළි ඉපදෙන ආසාවකුත්, විකාරරූපීව උපන්නොත්,(ඉපදී සිටියදීත්) ඇතිවන තත්වය ගැන භීතියකුත් පොත කියවා අවසානයේ හැඟෙයි; දැනෙයි.
: පුතුගේ නම අඬගසමින් නිවසට එන මව, -පෙට්සෙමෙට්රි
: නගරයේ සිට මවට අඬගසන පුතු-“අම්මේ මට ගමට එන්න පාර කියාපන්නේ”