රශ්මික මණ්ඩාවල
නවකතාවේ ආකෘතිය
මෙම නවකතාවේ ආකෘතිය දෙස බලන විට මගේ මතකයට නැගුණ කෘති කිහිපයක් වෙයි. ඉන් පළමුවැන්න නම් රුසියානු ලේඛක පියදෝර් දෙස්තයෙව්ස්කි ගේ Notes from underground නම් කෘතියයි. දොස්තයෙව්ස්කි ගේ මෙම කෘතියට පාදක වන්නේ විශ්‍රාමික සිවිල් නිලධාරියෙකු ගේ කටුක හුදෙකලා ජීවිතයේ මතක සටහන් ය. මෙම කථකයා නිර්නාමික තැනැත්තෙකි. මුක්ති නවකතාවේද කථා නායකයා නිර්නාමික ය. එමෙන්ම මුක්ති නවකතාව මුළුමනින්ම මොනලොගතික (ආත්මභාෂණ) ප්‍රකාශනයකි. දොස්තයෙව්ස්කිගේ නවකතාවේ පළමු අර්ධය ද එවැනි ප්‍රකාශනයකි. දොස්තයෙව්ස්කි ගේ මෙම නවකතාව ෆ්‍රෙඩ්රික් නීට්ෂෙ ගේ ලියවිලිවලට සහ ෆ්‍රාන්ස් කෆ්කා ගේ මෙටාමෝෆොසිස් නවකතාව කෙරෙහි මෙන්ම තවත් බොහෝ කෘති, සිනමා නිර්මාණ සඳහා බලපෑම්සහගත වී ඇති බව විචාරකයෝ පවසති. මුක්ති නවකතාවේ කතානායකයා විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකුව සිට පසුව ස්ව කැමැත්තෙන්ම මාධ්‍යවේදියෙක් බවට පත්වූ චරිතයකි. මීට අමතරව ජේ එම් කොඑට්සි ගේ යකඩ යුගය කෘතියේ එලිසබෙත් කරන් සහ ඔහුගේම එලිසබෙත් කොස්ටෙලෝ නවකතාවේ මහාචාර්යවරිය ද යම් පමණකට මෙම චරිතය හා පොදු ලක්ෂන පෙන්වයි. මෙම නවකතාව කියවා ගැනීමේදී මෙම මොනලොගතික (ආත්ම භාෂණ) ස්වරූපය වැදගත් වෙයි.
Plotless නවකතාව
නවකතාව ගැන මෑතකාලීන අදහස්වල බහුලව නැගෙන ‘මාර ප්ලොට් එකක්, මාර ප්ලොට් ට්විස්ට් එකක්’ වැනි බවකින් ඔබ්බට යන මෙම නවකතාව විටෙක plotless නවකතාවක් ද යන්න කෙනෙකුට හැඟිය හැකිය. කෙසේවුවද plotless නවකතා යනුවෙන් කිසිදු නවකතාවක් නැත. නමුත් මින් අදහස් කරන්නේ මෙවැනි නවකතාවල ප්ලොට් එක නාභිගත වන්නේ වෙනස් ආකරයකට බව ය. එවැනි නවකතා බොහෝ විට පාඨකයා ගේ මනස තුළ ප්‍රශ්නාර්ථ මතු කරයි. තමන් විශ්වාස කරන දෙය ගැන සැක සංකා මතුකරයි. එම සැක සංකා පාඨකයාව චින්තනමය වශයෙන් අවුළුවාලයි. මුක්ති නවකතාව ද එවැන්නකි. අපිට එකවරම මෙම නවකතාවේ ප්ලටේ එක හෙවත් කථා වස්තුව විවරණය කරගත නොහැකි ය. එය මුතු බෙල්ලෙකුගේ ඇතුළාන්තයේ මුතු කැටයක් වැඩෙන්නා සේ සෙමෙන් වැඩෙන්නකි. මන්ද යත් කථකයා වරින්වර පාඨකයාව අතීතය, වර්ථමානය සහ අනාගතය අතර රැගෙන යමින් සූක්ෂම ලෙස ඔහුගේ විඥානය විදාරණය කරන බැවිනි. සමස්ත කතාවස්තුවම දායක වී ඇත්තේ මෙම චරිතය අත්විඳින සමාජයෙන් දුරස්කරණය වූ සාංකාව, නිදහස සොයා කරන ඔහුගේ අභ්‍යන්තර චාරිකාවේ අංගයක් ලෙසින් මිස එක එල්ලේ දිවයන කථා වස්තුවක් ලෙස නොවේ ය. එය සිංහල සාහිත්‍යයේ ඉතා අල්ප වශයෙන් දකින්නට ලැබෙන ලක්ෂණයකි. මෙවැනි නවකතා ලෝකයේ හඳුන්වන්නේ “Slice of life” යනුවෙනි. එනම් අපට අත්දකින්නට ලැබෙන්නේ කථකයාගේ ජීවිතයෙන් කොටසකි.
භාෂාව
නවකතාවේ භාෂාවට කතුවරයා යොදාගන්නේ සරල කෙටි කථන වාක්‍යය වේ. එය පුද්ගලයාගේ සිතුවිලි විදාරණයට උචිත බසකි. මෙය කතුවරයා විසින්ම පරිවර්තනය කළ කැමු ගේ පිටස්තරයා හි භාෂාවට සමීප බවක් දැනී ගියේද එය වෙනස්ම භාෂාවකි. මොනොලොගතිකය නිර්මාණය කරන භාෂාවකි. එය නවකතාවට ආලෝකයක් මෙන්ම පාඨකයාට සමීප බවක් දක්වයි.
කතාව
කතාවට පාදක වන්නේ ලංකාවේ 88/89 සහ පශ්චාත් භීෂණ සමය පාදක කරගත් සංදර්භයක් තුළ මරණ තර්ජනයට ලක්වන මාධ්‍යවේදියෙකු ඔහුගේ මිතුරියක වූ ස්වර්ණා (සංකේතියව ස්වර්ණා මල්ලවආරච්චි සිහියට නැගෙයි) නම් නිළියකගේ පුද්ගලික ඇනෙක්සියක ගතකරන හුදෙකලා සිරගත ජීවිතයයි. ඔහු තමන්ට දකින්නට ලැබෙන අල්ප මාත්‍ර වූ දේවල් හරහා සමස්ත සමාජය, ක්‍රමය, මානව පැවැත්ම ප්‍රශ්න කරයි. අවසානයේදී ඔහුට මෙම සුඛෝපභෝගී සිරකුටියෙන් ගැලවීමට හැකියාව ලැබේද?
කෘතියෙන් මතුවන සමාජ -දේශපාලනික කාරණා
මෙම කෘතියේ මතුකරන කේන්ද්‍රීය ප්‍රශ්නය ලෙස මට හැඟෙන්නේ වර්ථමාන සමාජය තුළ මිනිසා ආගම,ජාතිය, කුලය, පාසල, විශ්ව විද්‍යාලය ආදී කුදු මහත් වර්ග කිරීම් යටතේ බෙදී ඇති තත්වය තුළ පුද්ගල නිදහස මෙන්ම සමාජීය නිදහස ද අහිමිව යන බව ය. මිනිසා තුළ මතුවන මෙම පැරඩොක්සීයබාවය, එනම් එක් කුලයක් ප්‍රතික්ෂේපකරමින් තවත් කුලයක් නඩත්තු කිරීමේ ගතිය ලාංකීය සමාජය තුළ ඉතා දැඩිව පවතී. මෙසේ බෙදී සිටින රටක්, ලෝකයක් කවදා නම් මුක්තිය ලබන්නද? මෙම නවකතාවේ නිර්නාමික කථකයා නිර්නාමික වීමම එකී බෙදීම් බොහෝ දුරට අවම කරන්නකි. ඔහුට පාසල් නාමයක්, විශ්ව විද්‍යාල නාමයක් නැත. මුක්තිය ලබාගැනීමට නම් අපි මේ බෙදා වෙන්කිරීම් අවසන්කරගත යුතුය.
එමෙන්ම දැනට මානවයාගේ පැවැත්ම, පරිසරය සමඟ ඔහුගේ ඇති සම්බන්ධය ගැනද කෘතියේ ප්‍රශ්න කෙරෙයි. බොහෝවිට කථකයා විසඳුම් දෙනවා වෙනුවට පාඨකයාව මෙන්ම ඔහුවද ස්වයංව ප්‍රශ්න කර ගනියි.
සංචාරය අහිමි ලෝකය
අද වන විට වසංගතය සමඟ සිරගත වීම, හුදෙකලා වීම කෙතරම් අපහසු කාර්යයක්දැයි අපට වැටහේ. මිනිසා නම් සත්වයා සංචාරයට ප්‍රියකරන්නෙකි. එකතැන රැදී සිටීම ඉතා අපහසු කාර්යයකි. අතීත නවකතාවල බොහෝ විට මෙම සංචාරක ආඛ්‍යානයන් (ඔඩිසි වැනි) දකින්නට ලැබෙන්නේ සංචාරය හරහා අත්දැකීම් ලබාගැනීමට මිනිසා කෙරෙහි ඇති උනන්දුව නිසා ය. කෙසේ වුවද භෞතික සංචාරය අහිමිවන සිරගත වන තැනැත්තාට ඇත්තේ ආධ්‍යාත්මික සංචාරයකි. එම සංචාරය කෙරෙන්නේ තමන් තුළටම ය. බොහෝවිට අපි පෙර නොසිතූ දේවල් ගැන යළි සිතන්නට වසංගතය අපට බල පවත්වයි. එමෙන්ම මෙහි කතානායකයාට ද තම ස්වයං සිරගත වීම ඔහුගේ ලෝකය ගැන නැවත සිතන්නට ඔහුව පොළඹවන මොහොතකි.
අවසානය
නවකතාව ගැන කියන්නට තවත් බොහෝ දේ ඇති මුත්, සටහන කෙටි කළ යුතු ය. මා ඉහත කී ස්වයං විවේචන, ආත්ම කථනය හරහා කථකයා අවසානයේදී එක් ආලෝකයක් ලබයි. එනම් මේ සමස්ත ගැටළුවට විසඳුමක් සෙවීමට නම් පළමුව ආමන්ත්‍රණය කල යුත්තේ කාටද යන්නයි. ඔහු අවසානයේදී නගරයේ සිට ගම බලායන්නේ ගම උත්කර්ෂයට නැංවීමට නොවේය. ඔහු කියා සිටින්නේ තමන් යා යුත්තේ ගම්මානවල සිටින දියබුං ගසන දරුවන් වෙත බව ය. සැබවින්ම අප වෙනසක් අපේක්ෂා කරන්නේ නම් දැන් ආමන්ත්‍රණය කළ යුත්තේ දරුවන්ට ය. වැඩිහිටි මිනිසා සිය ඥාන විභාගය අහිමි කරගත් මේ සමස්ත ක්‍රමයේ වහලෙකි. දරුවන් තවමත් එවැනි තත්වයකට පත්ව නැත. එයිනුත් ගමේ දරුවන් ඉක්මනින් මෙම විෂම ක්‍රමයෙන් ගලවා ගෙන ඔවුන්ට මේ මනුෂය සත්වයා බෙදා වෙන්කරන සමස්ත ක්‍රමය ගැන ඔවුන්ට පැහැදිලි කිරීම පහසු ය. එමෙන්ම ලංකාවේ තවමත් බහුතරය ග්‍රාමීය දරුවන් ය. නවකතාවේ අවසානය එල්ල වන්නේ මෙම අරමුණ වෙනුවෙන් බව සිතිය හැකි ය. එතැනදී ජස්ටින් පියරත්න ගේ විචාරයෙහි පැවසෙන දෘෂ්ටිවාදාත්මක බාධාව සාධාරණ එළඹුමක් නොවන බව මට සිතෙයි.