යළි උපන්නෙමි ද? සන්ස් ඇන්ඩ් ලවර්ස් ද?

යළි උපන්නෙමි ද?  සන්ස් ඇන්ඩ් ලවර්ස් ද?

චින්තා පවිත්‍රානි

ගුණදාස අමරසේකර වනාහි නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, කවියකු හා විචාරකයකු ලෙස සිංහල සාහිත්‍යය කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල කළ ලේඛකයෙකි. සාහිත්‍යකරණයෙහිලා ඔහුගේ පෝෂණ අවකාශය දේශීය සම්භාව්‍ය සාහිත්‍යය, ජන සාහිත්‍ය සම්ප්‍රදාය හා බටහිර සාහිත්‍යය යනාදි වශයෙන් විශාල පරාසයක් දක්වා විහිද යන අයුරු හඳුනාගත හැකිය. විශේෂයෙන් ම ඩී. එච්. ලෝරන්ස් තරමට අමරසේකරගේ නිර්මාණ කෙරෙහි වෙන බලපෑමක් එල්ල කළ තවත් ලේඛකයකු හඳුනාගත නොහැකි තරම්ය. අමරසේකර මුල් කාලීන ව කතා රචනයේ දී මෙන් ම කාව්‍යකරණයේ දී ද භාෂාව, වස්තු විෂය, ජීවන දර්ශනය යනාදි අංග කෙරෙන් බොහෝ දුරට පිළිබිඹු කරන්නේ ඩී. එච්. ලෝරන්ස්ගේ කෘතිවල ආභාසය වන බව විමර්ශනය කළ හැකි ප්‍රස්තුතයකි. ඔහු විසින් රචනා කරන ලද යළි උපන්නෙමි(1960) නවකතාව මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබල ආන්දෝලනයකට තුඩුදුන් කෘතියකි. තත් ග්‍රන්ථය රචනා කිරීමේ දී කතුවරයා ලෝරන්ස්ගේ නවකතා මඟින් ලැබූ අභිප්‍රේරණය මනාව හඳුනාගත හැකිය. විශේෂයෙන් ම ලෝරන්ස් ලියූ පුත්තු සහ පෙම්වත්තු (Sons and Lovers)  හා චැටර්ලි ආර්යාවගේ පෙම්වතා (Lady ChatterleyZs Lover ) යන නවකතාවන්හි ආභාසය මෙහිලා වැදගත් වේ. වීමංසා නවකතා අංකය(2002) සඳහා “ඩී. එච්. ලෝරන්ස් සහ ගුණදාස අමරසේකරගේ නවකතා” යන මැයෙන් ලිපියක් සම්පාදනය කළ ඒ. එම්. ජී. සිරිමාන්න Lady ChatterleyZs Lover  කෘතිය යළි උපන්නෙමි නවකතාව මත ඇතිකළ බලපෑම  විග්‍රහ කළේය. එහෙයින් මෙහිලා අප මූලික අවධානය යොමු කරන්නේ  යළි උපන්නෙමි නවකතාව රචනයේ දී  Sons and Lovers කෘතියෙන් ලබා ඇති ආභාසය කෙබඳුද යන්න පිළිබඳවය. Sons and Lovers ග්‍රන්ථය රත්නායක තිලකරත්න විසින් පුත්තු සහ පෙම්වත්තු (2005) නමින් සිංහලයට පරිවර්තනය කරන ලද අතර මෙම විග්‍රහය සඳහා එම පරිවර්තන ග්‍රන්ථය පාදක කරගැනේ.

                විසිවැනි සියවසේ විවාදාපන්න ම ලේඛකයා ලෙස හඳුනාගත හැකි ඩී. එච්. ලෝරන්ස් එංගලන්ත ජාතිකයෙකි. ඔහු නූතනවාදී සාහිත්‍ය ධාරාව නියෝජනය කළ නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, කවියකු හා විචාරකයකු   ලෙස ප්‍රකටය. නූතනවාදී සාහිත්‍ය ධාරාව නියෝජනය කළ නවකතාකරුවකු යන්නෙන් මෙහිලා දළ වශයෙන් අදහස් කෙරෙන්නේ එවකට ප්‍රචලිත ව පැවති යථාර්ථවාදී ප්‍රතිනිර්මාණ විධිය යටතේ අවධාරණය කෙරුණු වෛෂයික යථාර්ථය නිරූපණය කිරීමේ එළඹුම අතික්‍රමණය කරමින් මනස් විශ්ලේෂණයෙහි නිමග්න වූ කතාකරුවකු වන බවයි. ලෝරන්ස් විසින් රචනා කරන ලදු ව 1913 වසරේ දී පළ වූ  Sons and Lovers නවකතාව මගින් තරමක් දුරට කතුවරයාගේ ජීවන වෘත්තාන්තය ද හෙළි කෙරෙන බව විචාරක මතයයි. සිග්මන් ෆ්‍රොයිඞ්ගේ මනෝ විශ්ලේෂණාත්මක සිද්ධාන්තයන්හි පැනෙන ඊඩිපස් සංකීර්ණය (Oedipus Complex) තත් නවකතාවෙහි ගැබ්වන මූල ධාරණාව ලෙස හඳුනාගත හැකිය. ඊඩිපස් සංකීර්ණයෙන් හෙළිදරව් කෙරෙන්නේ පිරිමි දරුවකු ස්වභාවයෙන් ම තම මව කෙරෙහි දක්වන ආශක්තතාව හා සිය ප්‍රතිවාදියාය යන හැඟීමෙන් පියා පිළිබඳ ඇතිකර ගන්නා ඊර්ෂ්‍යාසහගත ස්වභාවය හේතුවෙන් හටගන්නා චෛතසික ඝට්ටනයයි. Sons and Lovers නවකතාවේ හමුවන පෝල් මොරෙල් ද එබඳු  මානසික ස්වභාවයක් විශද කරන චරිතයකි. පෝල් මොරෙල් වනාහි ස්වකීය ආත්මීය වේදිත පාදක කරගනිමින් ලෝරන්ස් විසින් ගොඩනඟන චරිතයක් බව නිරීක්ෂණය කළ හැකි ය. කතුවරයා සිය මව කෙරෙහි දැක්වූ අසීමිත ළැදියාව එම චරිතයෙන් ප්‍රකට කෙරෙන බව ඔහුගේ ජීවන වෘත්තාන්තය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී පැහැදිලි ව පෙනේ.

“ලෝරන්ස්ගේ ජීවිතයේ අතිශය තීරණාත්මක බලපෑමක් හැටියට නිදසුන් කොට දැක්විය හැකි කරුණක් නම් ඔහු තුළ තම මව කෙරෙහි වූ දැඩි ඇල්මයි. මවගේ මරණයෙන් පසු මෙම මව් ඇල්ම දුරුවී යනු වෙනුවට පෙරටත් වඩා ගැඹුරු වී ගිය බව පෙනේ. ලෝරන්ස් විසින් ලියන ලද Sons and Lovers (1913) නමැති නවකතාව මඟින් ඔහු මෙම මව් ඇල්ම ඉතා විසිතුරු ලෙස ගද්‍ය කාව්‍යයට නගා ඇත”(අමරසිංහ, 1992, 16).

                මෙහිලා Sons and Lovers කෘතිය ගද්‍ය කාව්‍යයක් ලෙස හැඳින්වෙන්නේ මන්ද යන්න අවධානයට නිසි කරුණකි. ලෝරන්ස්ට අනන්‍ය වූ නිර්මාණාත්මක බස්වහර රමණීයත්වයෙන් ආඪ්‍ය වූවකි. නිරතුරු සොබාදහමේ චමත්කාරය හා මිනිස් සබඳතාවල භාවමය ලාලිත්‍යය ළගන්නාසුලු ව වර්ණනා කිරීමේ දී ඔහු අනුපමේය ප්‍රබලතාවක් විශද කරයි. විශේෂයෙන් ම තත් නවකතාවේ පෝල් මොරෙල් හා ඔහුගේ මව අතර පවත්නා භාවාත්මක බැඳීම ඉතා සියුම් ව හා කාව්‍යාත්මක ව නිරූපිතය.      

     Sons and Lovers නවකතාව ඇරඹෙන්නේ නිර්මල සොබාදහමේ සෞන්දර්යයට එරෙහි ව නාගරීකකරණයේ හා කාර්මිකකරණයේ ව්‍යාප්තිය සිදුවන ආකාරය ධ්වනිත කෙරෙනසුලු වර්ණනයකිනි. ලෝරන්ස්  නිරතුරු ප්‍රකෘතිය කෙරෙහි ආකර්ෂණය වූ ලේඛකයෙක් විය. හෙතෙම ස්වභාව සෞන්දර්යයේ චමත්කාරය ඉහළින් සැලකූ අතර එංගලන්තයේ තමා උපන් ඊස්ට්වුඞ් නමැති ගම්මානය ගල් අඟුරු කර්මාන්තය නිසා දූෂණයට පත්වීම පිළිබඳ මහත් කම්පනයට පත් ව සිටි බව කියවේ. Sons and Lovers නවකතාව ඇරඹුමේ දී කතුවරයා ගල් අඟුරු ආකර ද ඒ පසුබිමෙහි පිහිටි බොටම් නම් වූ නිවාස ක්‍රමයට අනුව ඉදිකරන ලද නිවාසයන්හි නොපහන් ස්වභාවය ද නිරූපණය කරයි.

“ඒවා මේ සියලු ආකර කම්කරුවන්ගේ බිරින්දෑවරුන් නොගැවසෙන විසිත්ත කාමර ද, කුස්සිද ද තට්ටු නිවාස ඇතුළට මුහුණලා පඳුරු ගැවසුණු පිටුපස ගෙවුයන ද, ඉන්පසු අළු දමනු ලබන වළ රැසින් යුතු පේළි ද පෙනෙන සේ එකිනෙක ගෙවල් අතර පිහිටියේය. මේ අළු දමන ලද වල රැසට ද නිවාස පේළි දෙක අතර ද විහිදෙන පටු බිම් තීරුවේ ළමෝ සෙල්ලම් කරති. ගැහැනු ඕපාදූප කියති. මිනිස්සු දුම් බොති. කදිමට පෙනෙන බොටම් නිවාස පෙළේ සැබෑ ජීවන තත්ත්වය අතිශයින් නීරස, අප්‍රසන්න, ජරා බවට පත් වී ඇත්තේ නිවැසියන්ට කුස්සියට සිටීමට වී ඇති නිසාය” (තිලකරත්න, 2005, 29).

                මෙහිලා මතුපිට ස්වභාවයට ඔබ්බෙන් බොටම් නිවාස පෙළෙහි පවත්නා ජුගුප්සාජනක ස්වරූපය හඳුනාගත හැකිය. එමඟින් පැවසෙන්නේ හුදු නිවාසයන්හි අප්‍රියජනක බව පමණක් නොවේ. එතුළ වසන්නන්ගේ ජීවන ඛේදවාචකය ද එමඟින් එළිදැක්වේ. දූෂිත සොබාදහම හා නොයෙක් කෘත්‍රිම ඉදිකිරීම් අතර සියුම් සංවේදී හැඟුමින් යුතු දනන්හට දිවිගෙවීමට සිදුවීම ඛේදයක් වන අයුරු මේ අනුව හඳුනාගත හැකිය. ලෝරන්ස් නිරතුරු ව අවධාරණය කළේ අතිසියුම් සංවේදී හැඟීම්හි පවත්නා ළයාන්විත භාවයයි. ඒවා බුද්ධියේ මෙහෙයවීමට පවා නතු නොවනසුලුය. මිනිස් සමාජය විසින් ප්‍රකෘති ස්වභාවය ඉක්මවා යමින් ගොඩනඟා ගන්නා ලද සියලු ශිෂ්ටාචාරමය චින්තනයන් හා කෘත්‍රිම ඉදිකිරීම්හි පවත්නා හැඟීම් අසුරනසුලු ස්වභාවය ලෝරන්ස්ගේ අවධානයට ලක්වේ. ඒ සියල්ල මිනිස් ජීවිත පරාරෝපණයට හා විගලිත භාවයට පත්කර ඇති ආකාරය ඔහුගේ නවකතාවන්හි නිරූපිතය.  මේ සඳහා පදනම් ව පවතින්නේ කතුවරයාගේ සුවිශේෂ ජිවන දර්ශනයයි. ලෝරන්ස් තම ජීවන දැක්ම හෙළිදරව් කර ඇත්තේ මෙපරිද්දෙනි.

“ශරීර මාංශයත් රුධිරයත් මිනිසාගේ බුද්ධියට වඩා බුද්ධිමත්ය. මා අදහන ලොකුම ආගම නම් එයයි. අපේ සිත්වලින් අපි වැරදි කරනවා විය හැකියි. එහෙත් රුධිරයට හැඟෙන එය විශ්වාස කරන එය පවසන දේ හැමවිට ම සත්‍යය වන්නේය”(අබේසිංහ, 1993, 47 පිට).

                ලෝරන්ස්ගේ සෑම නිර්මාණයකින් ම පාහේ ඉස්මතු වන කේන්ද්‍රීය අරුත එයයි. සුපුෂ්පිත ජීවිතයට රැහැණි බාධක ලෙස ඔහු දකින්නේ මිනිසාගේ ප්‍රකෘති හැඟීම් යටපත් කරවනසුලු සියලුම නිර්මිතයන්ය. Sons and Lovers නවකතාවේ ඇරඹුමේ පෝල් මොරෙල්ගේ නිවස පිහිටි පසුබිම පිළිබඳ කෙරෙන නිරූපණයෙන් ඇඟවෙන්නේ සාමාන්‍ය මිනිසකුට කෙසේ වුව ද සංවේදී පුද්ගලයකුට දරාගත නොහැකි වටපිටාවක ස්වරූපයයි.

                ගුණදාස අමරසේකර රචනා කළ යළි උපන්නෙමි නවකතාවෙහි ලෝරන්ස්ගේ දර්ශනය සෘජු ව ම ගැබ්වේ. Sons and Lovers නවකතාවේ ප්‍රධාන චරිතය ලෙස හඳුනාගත හැකි පෝල් මොරෙල් මෙන් ම යළිඋපන්නෙමිහි කතානායකයා වන රණතුංග ද  සියුම් හදවත් ඇති අතිසංවේදී චරිතයෝ වෙත්. ව්‍යවහාරික ජීවිතයේ ඉහිලුම් නොදෙන සන්තාප හා සිත් රිදුම් මධ්‍යයේ ඔවුහු අතිප්‍රබල ලෙස සටකපටකමින් විනිර්මුක්ත වූ මව් සෙනෙහස කෙරෙහි ආශක්ත වෙති. එය කෙතරම් දුරදිග ඇදෙන්නේ ද යත් ඔවුහු හුදු පුතු සෙනෙහස ද ඉක්මවා යමින් ඊර්ෂ්‍යාසහගත ව මව වෙත ඇදීයති. යළි උපන්නෙමි නවකතාවෙහිලා රණතුංග වෙසෙන නිවස පිළිබඳ පැවසෙන්නේ මේ ආකාරයෙනි.

“විශාල බිත්තිවලින් යුතු, අප උන් ගෙය ඉතා පැරණි ගොඩනැඟිල්ලක් බව මට මතකය. බිත්තියෙහි පිට කට්ටය බිඳී යෑම නිසා මතුවුණු ගල් සහ ගඩොල්, බිත්තිය දෙස බලන්නකුට එකවර ම පෙනීයයි. අප එවැනි සිඳීගිය තැනක් හෑරුවේ වැලි අතර සැඟවී උන් බිංකුන්ඩකු අල්ලා අත්ල මත තබා නටවනු පිණිසය. එහි පොළොව නිතර තෙතමනයෙන් යුක්ත වෙයි. ගෙයි කාමර තුළ හා අහුමුලුවල කිසිදිනක නොවරදින පිලුණු හුමාලයක් ඇත. ගේ මෙන් වත්ත ද සිත් නොගත් බව මට කිව හැකිය”(අමරසේකර, 1962, 11පිට).   

                රණතුංගේ නිවස ද මනහර ඉදිකිරීමක් නොවේ. මෙය කියවන සහෘද සිත්හි නිරායාසයෙන් ජනිත වන්නේ පාලු හැඟීමකි. ලෝරන්ස් මෙන් ම ඔහුගේ ආභාසය ලබන අමරසේකර ද එකම කරුණක් පිළිබඳ ව පවසන නමුත් ලෝරන්ස්ගේ නිරූපණය අදාළ  සමාජ සංස්කෘතික පසුබිම හා සමගාමී ව පුළුල් පදනමක් සංස්පර්ශය කරයි. ඔහු කාර්මීකකරණය හා නාගරීකකරණය හමුවේ විපර්යස්ත ධනේශ්වර සමාජ පරිස්ථිතිය හෘදයංගම මිනිස් ආත්මයන්ට එරෙහි ආස්ථානයක තබා ප්‍රතිනිර්මාණය කරයි. රණතුංගගේ නිවස ලාංකේය ග්‍රාමීය සමාජ පසුතලයෙහි පිහිටා නිරූපිතය. එහෙත් අමරසේකර එහිලා ග්‍රාමීය සෞන්දර්ය ඉස්මතු නොකරන අතර නොපහන් පෙනුමින් යුතු නිවසක ගත සිත හකුලාගෙන දිවිගෙවූ සංවේදී කුඩා දරුවකු ලෙස රණතුංගගේ චරිතය ප්‍රතිනිර්මාණය කරයි.

                ලෝරන්ස් නොපහන් පෙනුමින් යුතු පරිසරයක, විවිධ නොසන්සුන්තා මධ්‍යයේ දිවිගෙවන පෝල් මොරෙල් හා ඔහුගේ මව අතර හටගන්නා භාවමය බැඳීම ඉතා රමණීය ලෙස ගොඩනඟයි. පෙරළා එය ප්‍රබල මනෝවිද්‍යාත්මක ගැඹුරක් සංලක්ෂණය කරයි. දරුවා කළලයක් ලෙස කුස තුළ සිටිය දී මෙන් ම කුඩා බිළිඳා ළයට තුරුලු කරලෙන සිටිය දී මොරෙල් මහත්මියගේ හදවත ඔහු කෙරෙහි උපන් ස්නේහයෙන් ආර්ද්‍ර වේ. ඔවුන් දෙදනාගේ සියුම් චිත්ත චෛතසික විවරණ හා ප්‍රබල මානසික ඝට්ටනයන් හෙළිදරව් කරන ඉසියුම් ක්‍රියා ප්‍රතික්‍රියා ආදිය ද එහි ගැබ්වේ. ක්‍රමයෙන් වැඩෙත්ම ආකර කම්කරුවකු වන සිය පියාගේ ගතිගුණ හා ක්‍රියා පටිපාටීන් කෙරෙහි නුරුස්නා බවක් දක්වන පෝල් දැඩි ව මව වෙත ඇදී යන අතර ඕ තරයේ ඔහු ස්නේහ බන්ධනයෙන් වෙළා ගන්නීය. දැඩි ව ආගමික ප්‍රතිපත්තීන්හි ගැලී සිටින චරිතයක් වන මව හා නිතර බීමත් ව ගොරහැඩි ලෙස හැසිරෙන, ආකර කම්කරුවකු වූ පියා අතර ඇතිවන නිමා නොවන ගැටුම් හමුවේ පීඩා විඳින දරුවන් නිරතුරු නොසන්සුන්කාරී මානසිකත්වයට භාජන වීම දිගින් දිගටම දක්නට ලැබේ. ඒ පසුබිමෙන් පැනනඟින ස්නේහ දහරා තවදුරටත් ඔවුනට ජීවිත පවත්වාගෙන යාම සඳහා අස්වැසිල්ලත් ආත්ම ශක්තියත් ප්‍රදානය කරන අයුරු හඳුනාගත හැකිය. මව හා පුතු අතර ඇතිවන අසීමිත ස්නේහ බන්ධනය ග්‍රාම්‍යත්වයක් නොව ප්‍රබල චමත්කාරයක් දනවන අයුරින් නිරූපණයට ලෝරන්ස්ගේ අසහාය පරිකල්පන ශක්තියත් කාව්‍යමය ගුණයෙන් ආඪ්‍ය රමණීය බස්වහරත් උපස්තම්භක ව ඇති අයුරු දක්නට ලැබේ. කුඩා බිළිදකු ව සිටින පෝල් කෙරෙහි ඔහුගේ මවගේ හදවතෙහි ජනිත වන සෙනෙහස පිළිබඳ කතුවරයා මෙසේ පවසයි.

“සුකුමාර බිළිඳා ඇය තුරුලේය. ඇසි පිය නොසැලී ඇය දෙස හැරී සිටින ඔහුගේ තද නිල් පෑ ඇස්, ඇයගේ ගැඹුරුම පත්ලේ ඇති සිතිවිලි අදින ලෙස පෙනිණි. ඕ සිය සැමියාට තව දුරටත් ප්‍රේම නොකළාය. මේ දරුවාගේ පැමිණීම ඇයට අනවශ්‍ය ව තිබිණ. එහෙත් දැන් ඔහු ඇයගේ හදවත පැහැර ගත්තේය. කුඩා දුබල ඔහුගේ ගතින් තම සිරුරට සම්බන්ධ වී තිබූ පෙකිණි වැල තවමත් නොසිඳී ඇති සේ ඇයට හැඟිණි. ළදරුවා කෙරේ උපන් උණුසුම් ප්‍රේමයේ රැල්ලක් ඇය යටකර ගියේය”(තිලකරත්න, 2005, 80පිට).

                සාමාන්‍ය වශයෙන් නොව ගැඹුරින් ම මව දරුවා කෙරෙහි නැඹුරු වන අතර බාහිර ලෝකයේ කම්කටොලු හිස මත පතිත වත්ම ඔවුහු දැඩි ලෙස ස්නේහයෙන් බැඳෙති. මෙහි පවත්නා වැදගත්කම මනාව පැහැදිලි වන්නේ තත්කාලීන සමාජ පරිස්ථිතියේ විපර්යාස හා සමගාමී ව බලන කලය. ධනේශ්වරයේ ව්‍යාප්තිය තව දුරටත් පෘථුල වීම හා සමගාමී ව මානව සබඳතාවන්හි බිඳවැටීමත්, හෘදයංගම මිනිස් බන්ධනවලට මුදලේ අගය ආදේශ වීමත් බහුල ව දක්නට ලැබිණි. අනෙක් අතට නාගරිකකරණය, වාණිජීකරණය මෙන් ම අතිදරුණු යුධ අරගල පැනනැඟුණේය. මේ සියල්ල පසුබිමෙහි මිනිස් බැඳීම්හි නිර්ව්‍යාජ බව වියැකී යනසුලු යුගයක ලෝරන්ස් වියැකී යමින් පැවති මානව බැඳීම්හි ලාලිත්‍යය ඉස්මතු කොට පෙන්වීය. එය තත්කාලීන එංගලන්තයේ දැඩි ව ව්‍යාප්ත ව පැවති වික්ටෝරියානු සමාජ කතිකාවට ද විරුද්ධ ආස්ථානයක පිහිටියේය. වික්ටෝරියානු සුචරිතවාදය මඟින් දැඩි ලෙස ප්‍රකෘති මිනිස් හැඟීම් යටපත් කරනු ලැබීම ලෝරන්ස්ගේ දැඩි විරෝධයට ලක්වූ කාරණයක් විය. ඔහුගේ සියලු ම නිර්මාණයන්හි පාහේ හමුවන චරිත සම්මත සදාචාර පද්ධතීන්ට අනුගත ව ක්‍රියාකරන බවක් නොපෙනේ. ඔවුහු බුද්ධියෙන් පාලනය නොවී හැඟීම්වල මෙහෙයවීමට යටත් වෙති. තත්කාලීන සමාජ පසුතලයෙහි පිහිටා බලන විට මෙය හුදු හැඟීම්බර වීමක් නොව පවත්නා ඛේදනීය වටපිටාව මධ්‍යයේ ජීවිතය අර්ථවත් කරගනු වස් හෘදයංගම සබඳතා ගොඩනඟා ගැනීමට යත්න දැරීමක් වන බව පැහැදිලිය. එහෙත් මෙය තම පැවැත්ම සාධනය කරගනු වස් භාවාත්මක බැඳීම් ගොඩනගා ගැනීමේ තත්ත්වයෙන් ඔබ්බට ගිය පරාර්ථකාමී මුහුණුවරක් සංලක්ෂණය කරයි. අනෙකාගේ හිතසුව පිණිස ජීවත්වීම හා ස්වකීය දිවි නොතකා දැඩි ලෙස ස්නේහාවේගයට අවනත වීම මඟින් ඒබැව් විශද වේ. බුද්ධිය විසින් මෙහෙයවුණු මිනිසා දැඩි ලෙස අන්‍යයන්ගෙන් ගසාකෑම, අවි ආයුධ භාවිතයෙන් ජීවිත හා දේපළ විනාශ කිරීම සිදුවූ යුගය හා සාපේක්ෂ ව බලන කල හදවතට එකඟ ව ජීවත්වීමට ලෝරන්ස් ගෙන ආ කතිකාව අගති විරහිත බව පැහැදිලි කරුණකි.

˝ධනවාදී සමාජ ක්‍රමය යටතේ මනුෂ්‍ය ජීවිතයේ අර්ථය භංග වී ඇති බවත් යළිදු මනුෂ්‍ය ජීවිතයට අර්ථභාරයක් ලැබෙන පරිදි එම ක්‍රමය ප්‍රතිසංස්කරණය කළ නොහැකි තත්ත්වයට ජරපත් ව ඇති බවත් ලෝරන්ස් විශද ලෙස අනාවරණය කළේය”(ගම්ලත්,  2007, 228 පිට).

                අමරසේකර යළි උපන්නෙමි නවකතාවෙහිලා රණතුංග හා ඔහුගේ මව අතර ඇතිවන බැඳීම නිරූපණය කරන ආකාරය නිරායාසයෙන් Sons and Lovers කෘතියේ පෝල් මොරෙල් හා ඔහුගේ මව අතර පවත්නා සබඳතාව සිහිකැඳවයි. අසනීප තත්ත්වයෙන් පෙළෙන සියුමැලි දරුවකු වන රණතුංග දැඩි ව මවගේ සෙසෙහස වෙත ඇදීයයි. ලෝරන්ස් එවකට ව්‍යාප්ත ව පැවති වික්ටෝරියානු සුචරිතවාදයට රැහැණි ව චරිත ප්‍රතිනිර්මාණය කළේ යම් සේ ද එපරිද්දෙන් ම ගුණදාස අමරසේකර යළි උපන්නෙමි කෘතියේ චරිත ගොඩනඟන්නේ ලාංකේය සුචරිතවාදී සමාජ කතිකාවට හා විශේෂයෙන් ම මෙරට ථෙරවාදී බෞද්ධ ආකල්පවලට එරෙහි ව බව හඳුනාගත හැකිය. මෙරට ග්‍රාමීය සමාජ පරිස්තිථියෙහි බුදුදහම පීඩක බලවේගයක් ලෙස ක්‍රියාත්මක වෙමින් ප්‍රකෘති මිනිස් හැඟීම් සිඳ දමන ආකාරය අමරසේකරගේ අවධානයට ලක්වෙයි. ඔහු ද  රණතුංග හා මව අතර ඇතිවන බැඳීම හුදු මව්-පුතු සබඳතාවකින් ඔබ්බට ගලායන ආකාරය ප්‍රතිබම්බනයට උත්සුක වේ.

“පිට අතුල්ලන මගේ දෙඇස් ඇගේ සිරුර වෙත ඇදී යන්නේ ඉබේය. සුදු පැහැති ඇගේ ඇඟ කෙතරම් පියකරුද? ළපැත්ත වෙතින් පටන් ගන්නා මගේ දෙ ඇස් ඇගේ ළැම වෙත ඇදී යයි. මඳ වේලාවකින් පසු අම්මා ඇඳ සිටින දිය රෙද්ද සිථිල කොට එය පහත් කරයි. අඩ නිරුවත් ඇගේ සුදු පැහැති පියකරු සිරුර දෙස මා නෙත් ඇදී යනු කෙසේ වැළැක්විය හැකිද?”(අමරසේකර, 1962, 20 පිට).

                අමරසේකර බොහෝ අවස්ථාවල දී ලෝරන්ස් මෙන් ඉසියුම් හැඟීම් ධ්වනිත කරන පරිද්දෙන් චමත්කාරජනක ව හා ළගන්නාසුලු ව මව්-පුතු සෙනෙහස ප්‍රතිනිර්මාණයට අපොහොසත් වේ. ඒ වෙනුවට ස්නේහයේ ළගන්නාබව නොව ජාගර චිත්තයෙන් පැනනඟින හැඟුම් සෘජු ව ම කියාපෑම දක්නට ලැබේ. ලෝරන්ස්ගේ නවකතාවෙහි ඊඩිපස් සංකීර්ණය චරිත හා සිදුවීම් ඇසුරින් පරිකල්පනාත්මක ව නිර්මාණශීලී අයුරින් නිරූපණය කෙරෙන නමුත් අමරසේකර එය කෘත්‍රිම ලෙස හුවා දැක්වීමට වෑයම් කරන බව පෙනේ. ඒ හේතුවෙන් නිර්මාණාත්මක ගුණය ගිලිහී යයි. ඇතැම් අවස්ථාවල දී ග්‍රාම්‍යත්වය ආරූඪ  වෙයි. ලෝරන්ස් මෙකී සියලු දුබලතා අභිභවා යන්නේ විශිෂ්ට කලාත්මක පරිකල්පනයේ හා රමණීය වූත් කාව්‍යාත්මක වූත් භාෂා විලාසයේ අභිප්‍රේරණයෙනි.

                අමරසේකර ලාංකේය ගැමි සමාජ පසුතලය මත තබා ප්‍රතිබිම්බනය කරන මවගේ චරිතය දිගින් දිගට ම වඩා සක්‍රීය ලෙසින්  පුතුගේ චරිතය මත බලපෑම් කරන ආකාරයක් හඳුනාගත නොහේ. එසේ වුව ද ලෝරන්ස් නිරූපණය  කරන මවගේ චරිතය දිගින් දිගට ම පුතුගේ චරිතය මත බලපෑම් එල්ල කරයි. ඇය පුතුට ස්නේහය පිදීමෙන් පමණක් නොසෑහී ඔහුගේ අනාගතය සිතැගි පරිදි මෙහෙයවීමට වෑයම් කරන්නීය. මෙබඳු අවස්ථාවන්හි දී පෝල් මොරෙල්ගේ මෙන් ම ඔහුගේ මවගේ සිතුවිලි ක්‍රියාකරන ආකාරය මනෝවිශ්ලේෂණාත්මක ව නිරූපණය කිරීමට ලෝරන්ස් සමත් වේ.

                මොරෙල් මහත්මිය ක්‍රමයෙන් තරුණ වියට පත්වන තම පුතු හා මිරියම් ලිවර්ස් නමැති තරුණිය අතර ඇතිවන සබඳතාව හෙළාදැකීමට පසුබට නොවන්නීය. එබඳු සිද්ධීන් ඇය පුතු කෙරෙහි දක්වන අපරිමිත ආදරය මෙන් ම ඔහු අන්සතු වනු දැකීමට දක්වන අප්‍රියභාවය ද හෙළිදරව් කරයි. ලෝරන්ස් මෙය හුදු ඊර්ෂ්‍යාසහගත හැඟීමකට වඩා සංකීර්ණ තත්ත්වයක් වන අයුරු පෙන්වා දෙයි. ලෝරන්ස් සියලු භාවමය ආලෝලනයන් ප්‍රතිනිර්මාණය කරන්නේ පිළිකුල් සහගත ව නොව චමත්කාර පූර්ණවය. මිනිස් සමාජය එළිපිට ම පිළිගැනීමට අකමැති වන නමුත් මිනිස් සිත්හි සැඟව පවත්නා ගූඪ චෛතසික ධර්මතාවන්හි යථා ස්වරූපය එහි ගැබ්වේ. ලිංගික ඊර්ෂ්‍යාව වැනි කරුණු පෙර’පර දෙදිග සම්භාව්‍ය  සාහිත්‍ය නිර්මාණයන්හි නොයෙක් ආකාරයෙන් හමුවුව ද ලෝරන්ස් වඩාත් නූතන මුහුණුවරකින් එම ප්‍රස්තුතය ප්‍රතිනිර්මාණය කරයි. මේ වනාහි ඔහු ආයාසයෙන් පරිකල්පනාත්මක ව ගොඩනඟන්නක් නොව ස්වකීය ජීවන වෘත්තාන්තය ඇසුරින් ම අත්විඳි සංවේදනාවන් වන බව පැහැදිලි කරුණකි. සිය පෞද්ගලික ලිපිලේඛන, සැමරුම්, සටහන් ආදියෙන් ලෝරන්ස් නිරතුරු ව හෙළිදරව් කර ඇත්තේ මව තම ආත්මය සපුරා ම ග්‍රහණයට ගෙන සිටින බවයි. අවංක නිර්මාණකරණය වනාහි සංවිධිත ලෙස හික්මවිය නොහැකි  තරමට සියුම් වූ ආත්මීය වේදිත ඇසුරින් පැනනඟින්නක් බව මේ ඇසුරින් හඳුනාගත හැකිය. ව්‍යාජ ප්‍රචාරණ මඟින් ලේඛකයන් වීමට තැත් දරන්නන් බහුල ව දක්නට ලැබෙන වත්මන් සමාජය ලෝරන්ස් බඳු අව්‍යාජ ලේඛකයන්ගේ කෘති ගැඹුරු ලෙස හැදෑරිය යුතු වන්නේ මේ නිසාය.

                පෝල් මිරියම් වෙත සිය සමස්ත හෘදයෙන් ම ප්‍රේමය පුදනු නොහී ළතැවෙන්නේ ඔහුගේ ජීවිතයේ සුවිශේෂතම ස්ථානය මවට පුදා ඇති හෙයිනි. මිරියම් අබියස දී තම ගත සිත පුබුදුවාගත නොහී ඔහු විඳින බරපතල චෛතසික අර්බුදය සෞන්දර්යාත්මක ව මෙන් ම තාත්ත්වික ව නිරූපණයට ලෝරන්ස් සමත් වේ.

“ඔහු තම මව වෙත ආපසු පැමිණ සිටියේය. ඔහුගේ ජීවිතයේ ශක්තිමත් ම බන්ධනය ඇයට හිමිය. ඔහු සමස්තයක් ලෙසින් සිතන විට මිරියම් ඇකිලී ඉවත් වන්නීය. ඇය ගැන ඔහු තුළ නොපැහැදිලි මායාවී කාල්පනික හැඟීමක් ඇත්තේය. ඊට අමතර ව කිසිම අයකු නොවැදගත්ය. ලෝක ධාතුවේ ශක්තිමත් ව ගන ව නැඟී සිටින එකම ස්ථානයක් ඇත්තේය. එය උණුවී ගොස් මායාවක් නැතහොත් අදහාගත නොහැක්කක් බවට නොහැරේ. ඒ නම් ඔහුගේ මව සිටින්නා වූ ස්ථානයයි. ඔහුට සියල්ලන්ම අපැහැදිලි බවට පත්වෙනු ඇත” (තිලකරත්න, 2005, 362පිට).

                පෝල් මොරෙල් මව කෙරෙහි දක්වන අපරිමිත ළැදියාව මේ අයුරින් ප්‍රබල ලෙස නිරූපණය කර තිබෙනු දැකිය හැකිය. දරුවා කුස පිළිසිඳ ගත් අවදියේ පටන් තම මරණය දක්වා ම ඕ  තම පුතු අතැර නොයන්නීය. දිනෙන් දින ඇගේ ස්නේහ බන්ධනය තර වනු මිසක නොවියැකෙයි. මේ හා සාපේක්ෂ ව බලන කල යළි උපන්නෙමි නවකතාවේ හමුවන මවගේ චරිතයේ බලපෑම එතරම් පෘථුල ලෙසින් පුතුගේ චරිතය මත බලපෑම් එල්ල කරන බවක් පැහැදිලි ව නොපෙනේ. රණතුංගගේ මව තම දරුවා කෙරෙහි අතිප්‍රබල බලපෑමක් එල්ල කරන්නේ ඔහු කුඩා වියේදී පමණි. ඉන්පසු දිගින් දිගට ම ඈ ඔහුගේ ජීවිතය හික්මවීමට හෝ ඔහු තමා සමීපයේ ම රඳවා තබා ගැනීමට වෑයම් කරන සෙයක් නොපෙනේ. එසේ වුව ද ඔහුගේ විඤ්ඤාණයෙහි මව පිළිබඳ පවත්නා හැඟීම නොවියැකෙන අයුරු හඳුනාගත හැකිය. ඔහු නිරතුරු ව තම සහකාරිය කෙරෙන් අපේක්ෂා කරන්නේ ජීවය ප්‍රබෝධමත් කරනසුලු මව් සෙනෙහස බඳු ආත්මීය බැඳීමකි. පෝල් මොරෙල්ට මිරියම් හමුවේ සිය භාවයන් ප්‍රබෝධ කරගැනීම බෙහෙවින් දුෂ්කර වූත්, ප්‍රබල ආතතියක් දනවන්නාවූත් කරුණක් වූ අයුරින් ම රණතුංගට ද තම බිරිඳ වූ සුජාතා වෙත සමීප වීම බෙහෙවින් දුෂ්කර නටයුත්තක් වන අයුරු පැහැදිලි වේ. ඒ සඳහා හේතුකාරක වන්නේ රණතුංගගේ මවගේ බලපෑම නොව තමා තුළින් ම උපන් නොපහන් හැඟීමකි. සුජාතාගේ ස්වරූපය හා හැසිරීම් විලාසය ඔහුගේ මෙම නොපහන් හැඟීම තිව්‍ර කරයි.

“උදේ වරුව මා එහි ගත කළේ කෙතරම් ආයාසයකින්ද? මා කුරිරු සිත උපදන බියකරු සිතුවිලි අහිංසක ඈ නොදන්නවා වෙන්න ඇති. ඈ කතා කරන හැම වචනයක් ම මා සිත තුළ ඇතිකරන්නේ කෝපයක්. ඇගේ හැම ඉඟියක් ම මට රිස්සෙන්නේ නැහැ. එය සඟවා ඈ සැනසීමට ගන්නා සෑම ආයාසයක් ම අවසන් වන්නේ සිත තුළ පැහැවන ක්‍රෝධය දියුණු කරමින්ද?”(අමරසේකර, 1962, 171 පිට).

                මෙසේ අමරසේකර සරල ව හා ප්‍රබල නිර්මාණාත්මක කෞශල්‍යයකිත් තොර ව රණතුංගේ මානසික ස්වරූපය හෙළිදරව් කරයි. ඒ හා සාපේක්ෂ ව බැලූ කල ලෝරන්ස් පෝල් මොරෙල්ගේ මානසිකත්වය ඉතා උසස් ශෛලියකින් ප්‍රතිනිර්මාණය කරන බව පැහැදිලි කරුණකි. අමරසේකර ඇතැම් අවස්ථාවල දී ග්‍රාම්‍ය ස්වරූපයෙන් අවස්ථා ඉදිරිපත් කරයි. ඒ අතර ම රණතුංගගේ චිත්තයෙහි කායික ආරම්මණයන් පිළිබඳ ඔඩු දමා පවත්නා බියමුසු පිළිකුල්සහගත හැඟීම ද පෙන්වා දෙයි. ලෝරන්ස් මෙබඳු ප්‍රස්තුත සෘජු ව ඉදිරිපත් නොකරන අතර  මනා සංයමයකින් සෞන්දර්යාත්මක ව වර්ණනා කරයි. ඇතැම් විට ලෝරන්ස් සම්භෝග අවස්ථා පවා වර්ණනා කරයි. එබඳු අවස්ථාවන්හි දී ද සෘජු ව කරුණු දැක්වීමෙන් වැළකී කාව්‍යාත්මක ස්වරූපයෙන් චමත්කාර පූර්ණ ව ප්‍රතිනිර්මාණය කරයි. ප්‍රකෘති ස්වභාවයේ පවත්නා සෞන්දර්යය ඉස්මතු කිරීමේ දී භාව ප්‍රකෝපනය නොව රසාලිප්ත බව ම ප්‍රදර්ශනය කිරීම හේතුවෙන් ලෝරන්ස්ගේ කෘති විශිෂ්ට නිර්මාණ බවට පත්වෙයි. තත් කෘතීන් පිළිබඳ විරෝධාකල්ප ඉස්මතු කළ හැකි වන්නේ සම්මත සදාචාර නිර්ණායක පාදක කරගත් කල පමණි. එහෙත් ලෝරන්ස්ගේ කෘති රචනා වූ අවධියේ එංගලන්තයේ ව්‍යාප්ත ව පැවති අගතිගාමී සුචරිතවාදී සදාචාර කතිකාව හා සාපේක්ෂ ව බැලූ කල මෙය විප්ලවීය ආස්ථානයක හිඳ නිර්මාණකරණයේ යෙදීමක් ලෙස හඳුනාගත හැකිය. අමරසේකර ථෙරවාදී බෞද්ධ ඉගැන්වීම් මඟින් ප්‍රකෘති හැඟීම් මර්දනය කිරීමට එරෙහි ව මුල්කාලීන කෘති මඟින් යම්බඳු හඬක් ඉස්මතු කරන නමුදු ඔහු දිගින් දිගට ම එම ස්ථාවරයේ සිටීීමට අපොහොසත් වෙයි. ආරම්භයේ පටන් අවසානය දක්වා ම ලෝරන්ස් එකම දර්ශනය මත පිහිටා නිර්මාණකරණයේ යෙදෙයි. එමතු නොව ඔහුගේ ජීවන චර්යාවන් පවා ඒ අනුව හැඩගස්වාගෙන සිටි බව විශද වේ.  

                යළි උපන්නෙමිහි හමුවන රණතුංග මෙන් ම Sons and Lovers කෘතියේ පෝල් මොරෙල් ද අවසානයේ තම භාවාවේගයන්ට සරිලන සහකාරියන් සොයාගැනීමට සමත්ය. බොහෝ කලක් ඉබාගාතයේ යන රණතුංග අවසානයේ ඈ සොයාගනී. ඕ නන්දාය. වෙසඟනක වූ ඈ නිසඟයෙන් ම ජීවිතය කෙරෙන් පැනනඟින කායික ආවේග පිළිකුළෙන් තොර ව සන්තර්පණය කිරීමට ඔහු හුරු කරයි. මිනිසකු දෙවරක් උපත ලබතියි ලෝරන්ස් පවසා ඇත. ඒ මව් කුසයෙන් හා තම ආත්මයට සරිලන ගැහැනිය වෙතිනි. රණතුංග යළි උත්පත්තිය ලබන්නේ නන්දා කෙරෙනි. පෝල් මොරෙල් යළි උපදින්නේ ක්ලැරා ඇසුරිනි. විවාහක කතක වූ ක්ලැරා උතුරායන ජීවමය පෞරුෂයෙන් හා දීප්තිමත් රාගාග්නියෙන් ඔහු වසඟ කරගනී. රණතුංගට පූර්ණ වශයෙන් නන්දා ඇසුරින් ආත්මීය සැනසීම උදාකරගත හැකිවේ. ඔවුහු රමණීය ප්‍රදේශයක සිත් සේ දිවිගෙවීමට සමත් වෙති. එහෙත් පෝල්ට එසේ නොහැකිය. ඔහු ක්ලැරා ඇසුරින් ජීවන ආස්වාදය ලබන නමුත් අවසානයේ එම ආස්වාදය ද වැගිරී යයි. නැවතත් ඔහුගේ පූර්ණ ජීවිතය මව බවට පත්වෙයි. අමරසේකර යළි උපන්නෙමි කෘතියෙහිලා රණතුංග හා නන්දා අතර ඇතිවන සම්බන්ධය ගොඩනැඟීමේ දී Sons and Lovers පෝල් හා ක්ලැරා අතර පැවති බැඳීම නිර්මාණය කර ඇති ආකාරයෙන් යම්බඳු ආභාසයක් ලබන බව පැහැදිලි කරුණකි. ලෝරන්ස් පෝල් – ක්ලැරා සබඳතාව විකාසනය කරන්නේ භාව ප්‍රබෝධනයට තුඩුදෙන සයුර, තුරුලතා, ජලදහරා, මල්, සශ්‍රීක අස්වනු, කෙත්වතු, ඉර හඳ තාරකා, විහඟුන් ආදිය පසුබිමෙහි තබාය. ඒ හේතුවෙන් ඔවුන් අතර ඇතිවන ක්‍රියා ප්‍රතික්‍රියා සියල්ල අතිශය චිත්තාකර්ෂණීය වර්ණනා බවට පත්වෙයි. ජීවිතයේ සැඟව පවත්නා සියලු සෞන්දර්ය ප්‍රවාහයන් ඔවුන්ගේ සබඳතාව කේන්ද්‍ර කරගනිමින් නිරාවරණය කිරීමට කතුවරයා සමත් වේ. ඒ අතර ම වුව ද ඔවුන්ගේ සිත්වලින් යම්බඳු පීඩනයක් හටගන්නේ ඈ විවාහක කාන්තාවක වීම හේතුවෙනි. සමාජ සංස්ථා මඟින් මිනිස් ජීවිතය පද්ධතිගත කර ඇති නමුත් එය එසේ කෘත්‍රිම ව හික්මවීම සංවේදී පුද්ගල ආත්ම ඛේදනීය තත්ත්වයකට පත් කරන්නක් බව මේ අනුව හඳුනාගත හැකිය. පෝල් හා ක්ලැරා අතර ඇතිවන දෙබස් මඟින් හෙළිදරව් කෙරෙන පරිදි ඔවුහු සොබාදහම ඇසුරින් උකහාගන්නා උපමා රූපක ආදියෙන් සමස්ත මිනිස් ජීවිතය හා විවිධ පුද්ගල චරිත වටහාගැනීමට ද පැහැදිලි කිරීමට ද යත්න දරති.

“ඔයා හිතා ගත්තා මිනිහා සුවඳ හමන පුංචි මල් ගසක් කියලා. ඉතින් මිනිහා හරක්ට කන්න ගන්න තණකොළ වර්ගයක් බවට පත්වීම කැතයි. ඔයා එහෙම භාර ගන්න සූදානම් වුනේ නෑ.

‘ඇත්තට ම මම මිනිහ සුවඳ හමන පුංචි මල් ගහක් කියල හිතේ මවා ගත්තෙ නෑ කවමදාක වත්” (තිලකරත්න, 2005, 583පිට).

       මනුෂ්‍යත්වයේ අගය බිඳවැටී වෙළෙඳ වටිනාකම් හා බල අරගල ඉස්මතු වූ කාල වකවානුවක ලෝරන්ස් මිනිස් ජීවිතය කෙරේ අපමණ ගෞරවයක් හා භක්තියක් දැනවීමට දරන වෑයම මේ අනුව හඳුනාගත හැකිය. පිළිකුල් සහගත යැයි සැලකිය හැකි කිසිවක් මනුෂ්‍ය ජීවිතයෙහි රැඳී නොපවත්නා අතර ඒ සියල්ල චිත්තාකර්ෂණිය පරිද්දෙන් වින්දනය කළහැකි බව ලෝරන්ස්ගේ අවධානයට හසුවෙයි. අමරසේකරගේ නවකතාවෙහි පාපී හැඟීම, අවලම් සෙලුව, ජරාව, තිරිසන් ගතිය යනාදි වදන් නිරතුරු හමුවන නමුදු ලෝරන්ස් ඒ සියල්ල රමණීයත්වයෙහි ගිල්වයි. සියලු සීමා බන්ධනයන් නොතකා ජීවිතය වින්දනය කිරීමට පවත්නා අවැසියාව ධ්වනිත කරයි. යළි උපන්නෙමි කෘතියෙහි ද සිරුර කුසුමකට සමාන කෙරෙන අවස්ථාවක් හමුවේ. එය නන්දා විසින් සම්භෝග අවස්ථාවක දී රණතුංගට පවසනු ලබන්නකි.

“මේ තමයි මල් කෙමිය…. අපේ ඇඟවල් හරියට පෙති පහක මලක් වගෙයි. මෙන්න පහළ පෙති දෙක’යි කී ඈ මා කලවා දිගේ සුරත විහිදෙව්වාය. ‘මෙන්න අනිත් පෙති තුන’ ඈ උඩුකයත් දෑතත් දැක්වූවාය. ‘ඔය එක මල්පෙති තට්ටුවක්. ඊළඟට තට්ටුව මලේ කේසර, ඊළඟට තියෙන්නෙ මල් කෙමිය… මේ මල් දෙකෙන් වැඩිය ලස්සන කොයි මලද?’ ඈ මා දෙස දෙනෙත් රඳවා ඇසුවේ මඳ සිනාවක් පාමිනි” (අමරසේකර, 1962, 244 පිට).

                ලෝරන්ස් රචනා කළ  Lady ChatterleyZs Lover නවකතාවෙහි ද මල් හා ප්‍රතිබද්ධ ව ජීවන සෞන්දර්යය වර්ණනා කෙරෙන අවස්ථා බහුල ව දක්නට ලැබේ. එහෙත් ලෝරන්ස්  ඕලාරික රතිය ඉස්මතු නොකරයි. ලාංකේය ලේඛකයන් විදේශ සාහිත්‍ය නිර්මාණවලින් ආභාසය ලබන බොහෝ අවස්ථාවන්හි දී  එකී ග්‍රන්ථ හා සම්බන්ධ සුවිසල් පදනම කෙරෙහි සවිඤ්ඤාණක නොවී මතුපිටින් පමණක් යම් යම් අදහස් උකහා ගන්නා බව පෙනේ. අමරසේකර ද යථෝක්ත අයුරින් අවස්ථා නිරූපණයේ දී ලෝරන්ස්ගේ අදහස් ඉතා ලඝු ආකාරයෙන් ප්‍රතිබිම්බනය කරන බව පැහැදිලි වේ. යම් කලාකරුවකුගේ ජීවන දර්ශනය අනිකකු අනුකරණයෙන් සෘජු ව උකහාගත හැක්කක් නොවේ. එය දීර්ඝ කාලයක් මුළුල්ලේ ක්‍රමයෙන් සංවර්ධනය වෙමින් ගොඩනැඟෙන්නකි. අමරසේකර ලෝරන්ස්ගේ දර්ශනය අනුකරණය කරමින් යළි උපන්නෙමි වැනි ග්‍රන්ථ රචනා කළ නමුත් පසුකාලීන ව එම අදහස් බැහැර කිරීම මඟින් ඒ බැව් සනාථ වේ. යළි උපන්නෙමි නවකතාවේ වස්තුවට හා චරිතයන්ට උචිත පරිසරයක් මෙරට නැතැයි පසුකාලීන ව අමරසේකර ම පවසයි(අමරසේකර, 2008, 15 පිට). මෙමඟින් සනාථ වන විශේෂ කරුණක් නම් විදේශීය සාහිත්‍ය කෘති පරිශීලනයෙන් හඳුනාගන්නා සංකල්ප එලෙසින් ම දේශීය සමාජයට ආදේශ කළ නොහැකි බවයි. සෘජු අනුකරණයට වඩා උචිතානුචිත ඥනයෙන් යුතු ව ආභාසය ලැබීම බෙහෙවින් වැදගත් බව මේ අනුව සනාථ වේ.

                මානව ප්‍රගතිකාරී බලවේගයක් ලෙස බුද්ධියට හිමි ව පැවති ප්‍රමුඛ ස්ථානය බැහැර කිරීමේ ලක්ෂණය ලෝරන්ස්ගේ නිර්මාණයන්හි බහුල ව දක්නට ලැබෙන්නකි. සිග්මන් ෆ්‍රොයිඞ්, ෆෙඞ්රික් නීට්ෂේ, ෂෝපන් හුවර් යනාදින් ගොඩනැඟූ විවිධ චින්තාවන්ගේ බලපෑම ද මේ පසුබිමෙහි පවතී. විශේෂයෙන් ම බුද්ධියේ අනිටු ප්‍රතිවිපාක සමාජ සංක්ෂෝභයට තුඩුදුන් අවදියක මිනිසාගේ සබුද්ධික භාවය පිළිබඳ එබඳු ගැටලු පැනනැඟීම අරුමයක් නොවන ආකාරය හඳුනාගත හැකිය. නවකතා, කෙටිකතා මතු නොව කවි මඟින් ද ලෝරන්ස් එම අදහස ඉස්මතු කර තිබෙනු දක්නට ලැබේ. මිනිසා හුදු බුද්ධිමය ජීවියකු නොව ප්‍රකෘති ස්වරූපයේ සත්ත්ව ආශාවන් විසින් මෙහෙයවනු ලබන්නකු බව එමඟින් ඉස්මතු කෙරිණි. අමරසේකර ද ලෝරන්ස් අනුව යමින් ලාංකේය සමාජය තුළ එම අදහස සනාථ කිරිමට මුල්කාලීන ව දැරූ වෑයම අතරමඟ දී අත්හැර දමන සෙයක් හඳුනාගත හැකිය. අමරසේකර මුල් කාලීන ව රචනා කළ නවකතා මෙන් ම කෙටිකතා හා කාව්‍ය නිර්මාණ ආදියෙහි බොහෝ දුරට ලෝරන්ස්ගේ මෙම දර්ශනයේ බලපෑම දක්නට ලැබේ. එහෙත් දිගින් දිගට ම එම දර්ශනය මත පිහිටා නිර්මාණකරණයේ යෙදීමට හෙතෙම අපොහොසත් වෙයි. මේ සඳහා බලපෑ ප්‍රධානතම හේතුව ලෙස හඳුනාගත හැකිවන්නේ දේශීය සාම්ප්‍රදායික බෞද්ධ ජන සමාජය කෙරෙන් එබඳු නිර්මාණ කෙරෙහි එල්ල වූ බරපතළ අප්‍රසාදයයි. ලෝරන්ස් ද  වික්ටෝරියානු සුචරිතවාදය විසින් මෙහෙයවනු ලැබූ සමාජ ක්‍රමයේ දරුණු අපවාදයන්ට ලක්වූ නමුදු ඔහු නොපසුබට විය.  Lady ChatterleyZs Lover කෘතිය විනිශ්චය කරනු වස් නඩු විභාග පවා පැවැත්විණි. සමන් වික්‍රමාරච්චි එම නඩු විභාගය ප්‍රකාශන නිදහස හා සදාචාර සෙවණැල්ල නමින් සිංහලයට පරිවර්තනය කළේ ය. නඩු මධ්‍යයේ වුවද ලෝරන්ස්ගේ දර්ශනයේ හෝ නිර්මාණකරණයේ වෙනසක් සිදු නොවීය. එමඟින් සනාථ වන අව්‍යාජත්වය ඕනෑම කතුවරයකුගේ සාර්ථකත්වයට බෙහෙවින් උපස්තම්භක වන වග පැහැදිලි කරුණකි.

                වඩා සුඛෝපභෝගී හා කාර්යක්ෂම සබුද්ධික යයි සැලකෙන මිනිසුන් වෙසෙන නූතන සමාජය සිතා සිටින තරමට චිත්තාකර්ෂණීය නොවන වග ලෝරන්ස්ගේ රමණීය කෘතීන්හි ගැබ්වන මූල ධාරණාව වේ. සබුද්ධික මිනිසා නිති සිත්තොසින් වෙසෙන්නකු නොව යටපත් කරන ලද ආශා, අභිප්‍රේරණ ආදියෙන් පෙළෙන්නෙකි. ඒ කෙරෙන් අන්‍යයන් පීඩනයට පත්කිරීම හා සංහාරය නිෂ්පන්න වේ. නූතන සමාජය ක්ෂණික ආහාර, විනෝදාස්වාදය, විවෘත සබඳතා, තාක්ෂණික මෙවලම් ආදියෙන් සුසැදි වඩා සුවපහසු ජීවන තත්ත්වයක් උදා කරන බව මතුපිටින් ඇඟවුණ ද යථාර්ථය එසේ නොවේ. ඒ අභ්‍යන්තරයෙහි පවත්නේ ආත්මාර්ථය, පෞද්ගලික බැඳීම්වල බිඳවැටීම, ආර්ථික වාසි, අනෙකා මර්දනය කිරීම, අනවරත තරඟය යනාදියයි. The Mcdonaldization Of Society¦ An Investigation Into The Changing Character Of  Contemporary Social Life (සමාජය මැක්ඩොනල්ඞ්කරණය: සමාජ ජීවිතයේ වෙනස් වන චරිත ස්වභාවය පිළිබඳ විමර්ශනයක්) කෘතිය ලියූ ජෝර්ජ් රිට්සර් නමැති සමාජ විද්‍යාඥයා පෙන්වා දෙන්නේ නූතනත්වය මැක්ඩොනල්ඩ් වැනි ක්ෂණික ආහාර අවන්හල් හඳුන්වාදීම මඟින් සබුද්ධිකත්වය භාවිතමය වශයෙන් කාර්යක්ෂම කොට ඇති අයුරින් ම සමාජය මත්තේ සංහාරය ආරෝපණය කර ඇති බවය (Ritzer, 1996. 41). මෙහි පැවසෙන සංහාරය බිහිසුණු යුද්ධවලට මෙන් ම අනෙකා අභිභවා යාමට කේවල පුද්ගලයා දක්වන නැඹුරුවට ද එකසේ පොදුය. නූතන නවකතාවල බහුල ව හමුවන පුද්ගලාන්තර ඝට්ටන හා සමාජයීය අරගලයන්ට ද සෘජු ව ම අදාළය.

                මෙබඳු වටපිටාවක ජීවිතය සුපුෂ්පිත කරගනු වස් භාවාත්මක වින්දනයන් මත යැපීමට වෑයම් කිරීම හුදු අගතියක් ලෙස සලකා බැහැර කිරීම ද නොකළ හැක්කකි. Sons and Loversහි පෝල්ට ජීවනාර්ථය සාක්ෂාත්  කරගත නොහැකි වූ නමුදු යළි උපන්නෙමි නවකතාවේ රණතුංග අවසානයේ සමාජයට වෙසඟනක ව සිටි කතක කෙරෙන් යළි ජීවය ලබයි. අන්‍යයන්ට නොව තමාට රිසි පරිදි ජීවත්වීමේ මාවත සොයාගැනීමට ඔහු සමත් වූ බව එමඟින් ඇඟවෙයි.

“සෑම මනුෂ්‍යයකු ම දෙවරක් උත්පත්තිය ලබතැයි ඩී. එච්. ලෝරන්ස් නමැති නවකතාකරුවා කියා තිබේ. මිනිසා දෙවන උත්පත්තිය ලබන්නේ තමා විසින් ප්‍රේම කරනු ලබන ගැහැනිය ඇසුරෙනි. මා ඒ දෙවන උත්පත්තිය ලැබුවේ නන්දා වෙතිනි. ඈ නිසා මා ලද ඒ ජීවත්වීමේ ආශාව මෙතෙක් දලුලමින් වැඩුණා මිස හීන නොවීය”(අමරසේකර, 1962, 290 පිට).

                මාර්ටින් වික්‍රමසිංහ විසින් රචනා කරන ලද විරාගය නවකතාවෙන් පසු ඒ ආකාරයෙන් චරිතයක මනස විශ්ලේෂණය කරන නවකතාවලියක් රචනා විය. යළි උපන්නෙමි කෘතිය ද එබඳු නවකතාවකි. එහි පවත්නා විශේෂතාව වන්නේ ප්‍රධාන චරිතය ජීවන සටනින් පැරද පලායාමෙන් තොර ව කතාව සමාප්ත වීමයි. සමාජ පසුබිම මධ්‍යයේ තබා බලන කල එබඳු ජයග්‍රහණයක් ලැබීමට රණතුංගට පවත්නා ඉඩකඩ ඉතා අවම වන නමුත් අමරසේකර මෙහිලා ජීවිතය පිළිබඳ සුභවාදී ප්‍රාර්ථනා දල්වයි. ඔහු විසින් යළි උපන්නෙමි නවකතාව ප්‍රතික්ෂේප කරන කල්හි එකී සුබවාදී දැක්ම ද සුන්නද්දූලි වෙයි. සමස්තයක් වශයෙන් ගත් කල යළි උපන්නෙමි නවකතාව Sons and Lovers කෘතියහි ආභාසය ප්‍රකට කරන්නක් වුව ද ලෝරන්ස්ගේ නිර්මාණාත්මක කෞශල්‍යය හා අව්‍යාජ කලාත්මක භාවිතාව ඉතා උසස් මට්ටමක පවත්නා බව නිගමනය කළ හැකිය.

(සියලු ඡායාරූප උපුටාගැනීම් අන්තර්ජාලයෙනි)

Related Articles

2 Comments

Avarage Rating:
  • 0 / 10
  • porno , April 27, 2022 @ 10:33 am

    Wow, great article. Really thank you! Much obliged. Edmundo Mclaurine

  • turkce dublaj filmler , May 26, 2022 @ 9:18 pm

    Im thankful for the blog. Really looking forward to read more. Awesome. Hayden Parthemore

Leave a Reply

Your email address will not be published. Required fields are marked *