1 ජොසී (බුරුම අඳුන් දිවිදෙන)
පැබ්ලෝ ලංකාවට ආවේ (1929) බුරුමයේ රැන්ගුන් නුවර ඉඳන්. එහෙ ඉන්නකොට ඔහු ආදරෙන් බැඳුනු යුවතියක් හිටියාලු. නම ජොසී බ්ලිස්. ඇයගේ ආදරය මරාගන මැරෙන එකක්. වදයක් වුණු තරමටම දරුණු ආදරයක්. පැබ්ලෝ ඇයව හැඳින්වූයේ බුරුම අඳුන් දිවිදෙනක් ( Burmese Panther ) කියලා. ලංකාවට එන්නේ ඇගෙන් ගැලවෙන්න. ඒත් ඔහුට එහෙම ලේසියෙන් ඇගෙන් ගැලවෙන්න ලැබෙන්නේ නැහැ. දවසක් නොසිතු මොහොතක, ගෙයි දොර අරිනකොට ගෙයි දොරකඩ ඇය… ලංකාවේ සහල් නැහැ කියලා හිතල ද කොහෙද සහල් මල්ලකුත් ඔලුවේ තියාගන. දිග කියුබානු සුරුට්ටුවක් මුව රඳවාගන.
ජොසී බ්ලිස් – ඇල්බොරාදා චිත්‍රපටයේ ජොසීගේ චරිතයට පන පොවන්නේ ඈන් සොලේන්. ප්‍රංශ සිනමා සහ වේදිකා රංගන ශිල්පිනියක්.
2 ලයනල් වෙන්ඩ්ට්
1929 පැබ්ලෝ ලංකාවට එනකොට ලයනල් (වෙන්ඩ්ට්) ට වයස අවුරුදු 29 යි. පැබ්ලෝට 25 යි. පැබ්ලෝ තමන් ලංකාවේ ගත කළ කාලයේ අත්දැකීම හඳුන්වන්නේ දිදුලන හුදකලාවක් විදියට. ඒ කාලයේ පැබ්ලෝගේ සීමිත මිතුරු හමුවේ සමීප මිතුරෙකු වුනේ ලයනල්. දක්ෂ චායාරූප ශිල්පියෙකු මෙන්ම පියානෝ වාදකයෙකු වුණු සාහිත්‍ය හිතකාමී ලයනල්ගේ ඇසුර පැබ්ලෝගේ කවිසිත පෝෂණය කරන්න ඇති. අසභ්‍ය ප්රකාශනයක් ලෙස එංගන්තයේ තහනම් කෙරුණු ඩී එච් ලෝරන්ස්ගේ චැටර්ලි ආර්යාවගේ පෙම්වතා නවකතාව ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ රහසිගතව පළ කෙරුණා. එවක දුර්ලබ මේ පොතේ කොපියක් ලයනල් සතුව තිබුනා. පැබ්ලෝ, ලෝරන්ස් ඇතුළු බොහෝ ඉංග්‍රීසි ලේඛකයින්ගේ පොත් පත් කියෙවුවෙ ලයනල්ගේ පුස්තකාලයෙන් කියලා කියවෙනවා. තමන් ගේ ජීවිතයේ අතිශය පුද්ගලික අත්දැකීම් වුණත් බෙදා ගන්න තරම් පැබ්ලෝට සමීපව සිටි මිතුරෙක්.
ඇල්බොරාදා චිත්‍රපටයේ ලයනල්ගේ භූමිකාව පණ පොවන්නේ අපේ වේදිකාවේ ජනප්‍රිය, දක්ෂ රංගන ශිල්පියෙකු, හිටිවන හාසජනන රූපණවේදියෙකු සහ ගුවන්විදුලි හඬ පෞරුෂයක් වන ඩොමිනික් කෙලර්.
3 පැට්සි (ප්‍රේම කරමි මම, සේලරුවන්ගේ ආදරයට)
පැබ්ලෝ ලංකාවට ඇවිත් සහභාගී වන මුල්ම සාදයේ දී ඔහුට යුරේසියානු සම්භවයක් ඇති යුවතියක් මුණ ගැහෙනවා. ඇගේ නම පැට්සි. ඇය තමන්ව පැබ්ලෝට හඳුන්වා දෙන්නේ පැබ්ලෝගේ ම කවි පන්තියක දෙපදයකින්.
ප්‍රේම කරමි මම, සේලරුවන්ගේ ආදරයට.
මුව සිප, ඊළඟ මොහොතේ නික්මී යන..
චිලී රටේදී තමන් අතින් පබැදුනු “සමුගැනීම” කවි පන්තියේ එන දෙපදයක්, ඈත පෙරදිග ලංකාවේ දී අහන්න ලැබෙයි කියල පැබ්ලෝ හිතන්න නැතුව ඇති. හමුවුන පළමු රැයේ දීම දෙන්නා කුළුපග වෙනවා.
තැන තැන යන සේලරුවන්ගේ ආදරය තාවකාලිකයි. තොටුපලින් තොටුපල පෙමින් බැඳෙන ගැහැණු! පැට්සි, පැබ්ලෝගෙන් ඒ තාවකාලික ඇසුරට වඩා යමක් බලාපොරොත්තු වන්නේ නැහැ. රූකාන්ත ගුණතිලක ගායනා කරන “බොල් පිණි වෑහෙන වෙලාවේ..” ගීතය තවලම් කරුවන්ගේ ආදරය ගැන කියවෙන එකක්. ඒ ගීතයේ අත්දැකීම පැබ්ලෝගේ “සමුගැනීම” කවියේ එන සේලරුවන්ගේ ආදර අත්දැකීමට සමානයි නේද කියලා මතක් කරලා දුන්නේ ඇල්බොරාදා සිංහල උපසිරසි වෙනුවෙන් කවි පරිවර්තනය කරදුන් ලක්ෂාන්ත අතුකෝරල.
මේ ඉන්නේ පැට්සි…
ඇල්බොරාදා චිත්‍රපටයේ පැට්සි ගේ භූමිකාව රඟ පාන්නේ නිමායා හැරිස්. ලාංකීය ඉංග්‍රීසි වේදිකාවේ රංගන අත්දැකීම් ඇති නව යොවුන් රංගන ශිල්පිනියක්. නිමායාගේ පළමු සිනමා රංගනය, පැට්සි.
4 රත්නයියා (නෙරුදාගේ ආවතේවකරුවා)
පැබ්ලෝ නෙරුදාගේ මතක සටහන් (Memoirs)වලට අනුවත් වෙනත් බොහෝමයක් ලිපි ලේඛන හා ප්රබන්ධවලට අනුවත්, ලංකාවේ සිටියදී පැබ්ලෝගේ ආවතේවකරුවා ලෙස සිටි ගෝලයා (Boy)ගේ නම බ්‍රම්පි. පැබ්ලෝ ලංකාව අතහැර සිය ඊළඟ රාජකාරී නැවතුම්පල වන ජාවාවලට යන්නෙත් බ්‍රම්පි සහ ‘කිරියා’ නම් වූ සුරතල් මුගටියාත් කැටුව. එහෙත්, පැබ්ලෝ පිළිබඳ වසර 15 ක් පමණ තිස්සේ පර්යේෂණ කළ, පර්යේෂකයෙකු ලේඛකයෙකු, පරිවර්තකයෙකු සහ වාර්තා චිත්‍රපටකරුවකු වන මාර්ක් ඊසන් විසින් රචිත Neruda: Poet’s Calling නම් විශාල තොරතුරු රැගත් පර්යේෂණ ග්රන්ථයෙහි, රත්නයියා නම් සේවකයෙකු ගැන සඳහන් වෙනවා. මේ බ්‍රම්පි වෙන්න බැහැ. ඇල්බොරාදා සිනමා පටයේ දී පැබ්ලෝගේ ආවතේවකරුවා ලෙස හමුවන්නේ නෙරුදා කියවන අයට හමුවන බ්‍රම්පි නෙවෙයි. රත්නයියා.
කෙනෙකුගේ මතක සටහන් කියන්නේ ඇත්ත වගේ ලියවුනු ප්‍රබන්ධයක් විය හැකියි. ප්රබන්ධයෙන් ඇත්ත මුදවා ගන්න, තවත් ප්‍රබන්ධයක් ගොඩ නගා ගන්න වෙනවා. ඇත්ත වගේ පෙනෙන ප්‍රබන්ධයක් වෙනුවට ප්‍රබන්ධයක් වගේ පෙනෙන ඇත්තක්, රත්නයියා.
ඇල්බොරාදා චිත්‍රපටයේ රත්නයියා භූමිකාවට පන පොවන්නේ මැල්කම් මචාඩෝ. ලාංකීය ප්‍රේක්ෂකයාට ඔහුව හඳුන්වා දෙන්න අටුවා ටීකා අවශ්‍ය නැහැ. පන පොවලා තියෙන හැම චරිතයක් ම මතක සටහනක්.
සටහන් උපුටා ගැනීම – සිනමාවේදී අශෝක හඳගමගේ ෆේස්බුක් පිටුවෙනි
ඡායාරූප – සිනමාවේදී අශෝක හඳගමගේ ෆේස්බුක් පිටුවෙන් සහ https://2021.tiff-jp.net/ වෙබ් අඩවියෙනි