කේ. ඩී. දර්ශන
නාද්‍යා පෙරේරා අධ්‍යක්ෂණය කළ Minarets වාර්තා චිත්‍රපටය නැරඹීමෙන් අනතුරුව, ඒ ගැන කෙටි සටහනක් ලිවීම එදින හවස ම කළ යුතු දෙයක් ලෙස සිතා සිටියත් කුමක් හෝ හේතුවක් නිසා එය අතපසු වුණා. දැන් දවස් කිහිපයක් ගත වී තිබුණත් එය ලිවිය යුතුයි. සමහර විට ඇතැම් සියුම් තැන් මතකයෙන් ගිලිහී යන්නටත් ඇති.
මෙය විචාරයක් නෙවේ. එය නැරඹූ ආහ්ලාදයෙන් ලියන කෙටි සටහනක් පමණයි.
Minarates කියන්නෙ ඉස්ලාම් පල්ලිවල දෙපස තියෙන උස කුළුණුවලට. මේව අතීතයේ පාවිච්චි වුණේ ශබ්ද සංඥා හාත්පස ප්‍රතිරාවය කරන්නයි. ආගමික ගායනා වඩ වඩාත් හොඳින් භක්තිමතුන් අතරට ගෙන යන්න මිනරේට් හෙවත් මිනාර් කුළුණු උත්ප්‍රේක වෙන්න ඇති. එදා සහ අද දෙකාලයේම වෙනස් වෙනස් ප්‍රවේශවලින් මේ කුළුණු ඒ නිශ්චිත කාර්‍යය ඉටුකරනවා.
නාද්‍යා පෙරේරා ලංකාවේ ඉස්ලාමික සංගීතය ගැන කළ වාර්තා චිත්‍රපටයට මේ නම යෙදුවේ ඇයි කියල, ඇගේ භාෂවෙන් පිළිතුරක් මම නොදන්නවා වුණත්, එහි උචිතභාවය ගැන කිසිම ගැටලුවක් නැහැ. ඉස්ලාමය සහ එම ජනයා ඉතාම ආගමිකයි. ඔවුන්ගේ කලාව පවා බොහෝ විට ආගමෙන් වියුක්ත නැහැ. සංස්කෘතිය මුළුමනින්ම වාගේ ආගමිකයි. මේ තතු උඩ ඉස්ලාමික සංගීතය ගැන කතා කරද්දි, පල්ලියේ සිට එන හඬ අමතක කළ නොහැකියි.
අපට ඇතැම් නිර්මාණ නරඹනකොට හිතෙනව ඒව අපිට වඩා විශාලයි කියල. සමහර නිර්මාණ ඉදිරියේ එහෙම දැනෙන්නෑ. ඒව අපිට වඩා කුඩා, නැත්නම් කිසිවක් නොවී අපව ශාලාවෙන් එළියට තල්ලුකර දමනසුළු නිර්මාණ. නාද්‍යගෙ වාර්තා චිත්‍රපටය ඉදිරියේ මා කුඩා ජීවියෙක්. සිනමා ශාලාවෙන් එළියට ආ කල ගෙදර ගෙන යන දෙයක් සහිත වියමනක්.
එය විශාල මහන්සියක් සහ ඒ සමඟ මුහුවුණු ප්‍රතිභාවක් සමඟ එක් වී තිරගත වූවක්. ප්‍රතිභාව ගැන කියද්දි අහුලාගත් උදාහරණ දෙකක් ඉදිරිපත් කරන්න මම කැමතියි.
පෙර පැවතියාට සාපේක්ෂව ලංකාව තුළ ඉස්ලාමික සංස්කෘතිය සීග්‍ර ප්‍රතිසංස්කරණයන්ට භාජනය වී තිබෙනවා. එය ලෝකය පුරාම සිදු වූවක්. එහි ප්‍රතිඵලයක් ලෙසා වඩා වඩාත් ආගමික වීම දකින්න පුළුවන්. අපේ වැඩිහිටියන්ගෙ කාලෙ (අම්මල තාත්තලගෙ තරුණ කාලෙ) අනුමත වුණු ඇතැම් ගායනා සහ සංගීත අංග අද වන විට තරුණයන් ප්‍රතික්ෂේප කරන්න අරං. ආගමික වශයෙන් හොඳ සහ නරක යන අන්ත දෙකට දාල කිරා බැලීමක් ඔවුන් සිදු කරනව.
ස්ත්‍රීන්ගේ ගායනා ඇතැම් තරුණයන් සලකන්නේ රාගික සහ අසංස්කෘතික දෑ හැටියට. නාද්‍යා මේ වෙනස පෙන්වනව. තරුණයෙක් ස්ත්‍රීන්ගේ හඬෙහි පවතින අහිතකර බව ගැන කියන රූපරාමුව මට මතක් වෙනව. එය ඡේදනය වත්ම, ඊළඟ රූපරාමුවේ පටන් ඇගේ (නාද්‍යාගේ) මැදිහත්වීම අපූරුයි. පසුබිම් සංගීතය වෙනුවට අපට ඇසෙන්නේ ඉතාම ආකර්ෂණීය ස්ත්‍රී ගායනා විලාසයක්. මෙය අර තරුණයාගේ අදහස ඛණ්ඩනය කරන්නක්. ඒ වගේ ම එහි සත්‍යතාව මැනවින් කියාපාන්නක්.
නාද්‍යාගේ සූක්ෂමතාවයේ මට හසුවූ දෙවැන්න මතක හැටියට මෙහෙමයි. ඉස්ලමික කලාකරුවෙක් (මට ඔහුගෙ නම මතක නැහැ) ගයමින් ඉන්නව. සුදු ජාතික තරුණයෙක් ගිටාරය වයමින්. ඒ අතර පසුබිමින් දුම්රියක් යනව. කොච්චියක් යද්දි ගිටාරයේ නාදයට කුමක්ද වෙන්නෙ කියල අමුතුවෙන් කිව යුතු නැහැනෙ. එහෙත් නාද්‍යා එය දිගටම රූගත කරනව. ඇය අවසානයේ භාවිත කරන්නේ දුම්රිය ගිය පසු ඇතිවන නිහැඬියාවයි. මම ඒ රූපරාමුවට, මොහොත එනතෙක් කළ කල්මැරීමට (සිනමාත්මක කල්මැරීමට) කැමතියි. එය අපූර්වයි.
නාද්‍යා පෙන්වන්නෙ ලාංකේය ඉස්ලාම් සංස්කෘතිය තුළ එදා-මෙදාතුර සංගීතය පරිණාමය වුණේ කොහොමද කියන එක. ඇත්තෙන්ම එයට පරිණාමය හෝ විකාසනය යන වචනයට වඩා සුදුසු හැකිළීම වැනි වචනයක්. කලාවේ සහ සිතීමේ නිදහස පාර්ශ්වයෙන් අවගමනයක්.
මේ නිසාම Minarets වාර්තා චිත්‍රපටය ලංකාවේ සංස්කෘතික සහදේශපාලන අවකාශය දෙස බැලීමේදී මගහැර යා නොහැකි වියමනක් වෙන්නත් පුළුවන්. ඉස්ලාමය තුළ අප මෙය පැහැදිලිව දැක්කට, ඒ ගැන කතා කළාට සිංහල බෞද්ධ සමාජය තුළත් එවැනි යමක් වෙමින් තිබෙන බව පැහැදිලියි. මට හිතෙන්නෙ පසුගිය දිනවල සිදුවූ නතාෂා (මෝඩාභිමානය) සිදුවීම එහි පිටාර ගැලීමක්..
Minarets වාර්තා චිත්‍රපටයේ රූපරාමු කිහිපයක් ඇතුළත් ඡායාරූපාවලිය
ඡායාරූප අයිතිය – මහින්ද අබේසිංහ, සමන්ත පුෂ්පකුමාර, නාද්‍යා පෙරේරා සහ අන්තර්ජාලය