HumanScape; ඩිප්‍රෙෂන් නගරයක සිට කියවමි!

HumanScape; ඩිප්‍රෙෂන් නගරයක සිට කියවමි!

කේ. ඩී. දර්ශන

වසංගතය එහි බැසයාම නිරූපණය කරමින් ලෝකයා නව සාමාන්‍යකරණය ඔස්සේ ඉදිරියට ගෙන යමින් තිබෙයි. වසංගය උදා කළ පීඩනයටත් වඩා වසංගත දේශපාලනය උදාකරමින් පවතින පීඩනය වඩ වඩාත් උග්‍ර වෙමින්ය. කලා කෘතියක් දෙස බලනු පසෙකලා පුරවැසියන්ට ගෑස් නැව් දෙසත්, තෙල් නැව් දෙසත් බලා සිටින්නට අණකර තිබේ. වසරකට වරක් පෝලිමක දෙකක තත්පර වෙමින් සිටි-නොසිටි සියල්ලෝ අත්‍යවශ්‍ය පෝලිම් ගණනාවකට ගාල්කොට ඇත. මෙවැනි පසුබිමකය ප්‍රගීත් රත්නායකගේ HumanScape දෘශ්‍ය කලා ප්‍රදර්ශනය දිගහැරෙනුයේ.

HumanScape හි ප්‍රදර්ශනය වූ කලා කෘති පිළිබඳ සාකච්ඡා කිරීමට පෙර ඉහත පූර්විකාවට තවත් කරුණු කිහිපයක් එකතු කළ යුතුය. එය කලා කෘති කියවීම සඳහා මෙන් ම මේ මොහොත ඊට බද්ධ කිරීම සඳහා ද ඉවහල් වනු ඇත. පළමු හා දෙවන කෝවිඩ් අගුළුලෑම්වලින් පසු අප අවට ලෝකය බොහෝ සේ වෙනස්ව ඇති සෙයක් දැනුණි. මාස ගණනක් එදිනෙදා දිවීම්වලින් ඈත්ව කුටුම්බගත ජීවිත ගෙවූ බහුතරය නැවත නගරයට පැමිණෙන විට එය පුරුදු කලබලයෙන් වෙන්ව සොබාදහම හා බද්ධ වන්නට උත්සහා ගන්නා සෙයකි. මානවයා නිතර ගැවසුණු දුම්රිය වේදිකාවල හීන් තෘණ වැවී ඒවායේ ක්ෂුද්‍ර මල් පිපී තිබිණි. මග දෙපස තුත්තිරි ගස්වල වියළුණු මල්ය. මග දෙපස ඇතැම් කාණුවල කළු හා කොළ පැහැ ජලය අවර්ණව තිබිණි. කාර්මික යුගයේ දැවැන්ත ජයග්‍රහණවලින් අනතුරුව පරාරෝපණය වූ මිනිසා ප්‍රබුද්ධත්වය කසල බඳුනෙහි ලා නැවත සොබාදහම වෙත හැරුණේ කෙසේ ද, ඊට තරමක් සමාන පසුබිමක් ස්වභාවික පරිසරය විසින් නිර්මාණය කර දී තිබිණි. එහෙත් නව සාමාන්‍යකරණය යටතේ යළි දුවන්නට සිදුව ඇත. දිවීම අරතරතුර ආරම්භක ඡේදයේ කී තවත් අනදර රැසක් අප මත පතිත වී ඇත්තේය.

ප්‍රගීත් ම කියන ලෙස, “සොබාදහමට එරෙහි සංස්කෘතිය කියා අප ගොඩනගාගත් සංස්කෘතික ලෝකය තුළ අප ශිෂ්ට කර ඇතිද?” මේ කියමන වඩාත් සරල හා ලඝුකොට කිවහොත් අප ගොඩනැගූ ඩිප්‍රෙෂන් නගර අස්සේ ඇති ශිෂ්ටත්වය කුමක්ද? දැන් ඒ ප්‍රශ්නය වඩ වඩාත් ඇසෙමින් පවතී. සමාජාර්ථික අර්බුද හමුවේ පමණක් නොව, සොබාදහම විසින් එල්ල කරන අනදර හමුවේ වත්මන් මානවයා කාංසාවකට පත්ව ඇත. එඩ්වඩ් මන්ච්ගේ (Edvard Munch) The Scream හි සිටින මානවයා සේ කොළඹ නගරය තුළ අපි දෙඅතින් හිස දෙපස බදා, මුව අයාගත් වන ගල් වී සිටිමු. මෙම ගල්වීම ගැන ද, ගල්වීමෙන් පලායාම ගැන ද HumanScape ඔස්සේ ප්‍රගීත් රත්නායක සිය හඬ අවධි කරයි.

කලාගාරයේ එල්ලා තැබූ හා සිටුවා තැබූ දෘශ්‍ය කලා කෘති බැලූ බැල්මට දෙයාකාරයේ වර්ණ වෙනසක් නියෝජනය කරයි. එක් කොටසක් අඟුරුවලින් චිත්‍රණය වූ අඳුරු පැහැ ගත් සිතුවම් වන අතර අනෙක් කොටස වර්ණවත්, සොබාදහමේ පැහැයන් නිරූපණය කළ ඒවාය. මෙතැන් සිට හැකි පමණ මේ දෙවර්ගය යා කරමින් කෘති පිළිබඳ කියවීමකට යා හැකිය.

අප අවධාරණය කරන්නේ ඩිප්‍රෙෂන් නගරය හා ඉන් පළායාම පිළිබඳවය. එනම් මිනිසා තැනූ ලෝකය හා එහි පරත්වාරෝපිත මානවයා සොබාදහමට හැරීම පිළිබඳවය. මිශ්‍ර මාධ්‍යයෙන් ඇඳ ඇති මානව ශීර්ෂය මත වන ගොඩනැගීම් රාශියක් නිරූපිත සිතුවම මිනිසා, සොබාදහම හා සංකේත ලෝකය ගැන කතා කරන්නට ඉනිමගක් තනයි. මිනිස් හිස කියනවාට වඩා මානව ශීර්ෂය යැයි සඳහන් කිරීමෙන් මිනිසා තැනූ සංස්කෘතිය ගැන වදන්මය ගම්භීරත්වයක් මැවේ. ඒ මත විවිධ තලවල වේදිකාය. පහළ කළු පැහැ පසුබිමේ සිට ඉහළට නැගෙන ශාක කඳක් මිනිස් හිසෙන් පසු සුදු පැහැ ගනී. හිසට පහළින් ඇත්තේ සදාතනික අඳුරකි. මේ ගස ඉහළට යත්ම ආලෝකවත් වුව ද පත්‍රවලින් තොර අතු විහිදී ගිය කඳක් පමණි. ධවල වෘක්ෂයට ඉහළින් විවිධාකාර දේ ඇති අතර ඉහළ කෙළවරක පෑයූ සඳක් මත ‘රට’ යැයි ලියා ඇත (මේ පිළිබඳ වෙනම ම සාකච්ඡා කෙරේ). වම්පස ඉහළින් මුහුණේ දත්ත නොපෙනෙන තවත් මානව රූපයකි. එහි හිස අපට තවත් ඉඟියක් සපයයි. එනම් මීට වසර කීපයකට පෙර පැවැත්වුණු ප්‍රගීත් රත්නායකගේ ‘එකලස් රූප’ ප්‍රදර්ශනයයි.

එහි සෑම කෘතියකම පාහේ මානව රූප තුළ කුඩා චතුරස්‍රාකාර කොටු දක්නට ලැබිණි. ධනවාදය තුළ සමස්තයෙන් වෙන්ව, අංශු ලෙස වෙන්වුණු මිනිසා පිළිබඳ වියමනක් ලෙස එකලස් රූප හැඳින්විය හැකිය. මේ සිතුවමේ ද අප දකින්නේ එවැනි සතරැස් කොටුවලට වෙන් වූ හිසක් සහිත මානවයෙකි. පරාරෝපිත මිනිසා පිළිබඳ සාකච්ඡාව ඔස්සේ අපි ඉදිරියට යමු. දැන් අපට EGO නමැති සිතුවම තෝරා ගත හැකිය. අඳුරු කළු පැහැ සිතුවමේ විසල් අකුරින් EGO ලෙස සඳහන්ය. මානවයා සොබාදහම අබිබවා නිර්මාණය කළ සංකේත ලෝකය තුළ තම පැවැත්ම සාක්ෂාත් කර ගැනීම සඳහා අඩුවැඩි වශයෙන් මමත්වය ස්ථානගත කරයි. මමත්වය නැති කළ කල්හි පැවැත්ම නවතී. සංකේතීය පැවැත්ම නඩත්තු කෙරෙන්නේ මමත්වයෙනි. තමා ස්ථානගත කිරිමෙනි. මේ සඳහා ඉහළ නැගීම්, තරගකාරීත්වයන්, පාගා දැමීම් ආදී නොයෙක් දෑ අත්විඳින්නට සිදුවේ. සිතුවමේ වම් පස හස්තගත පුරුෂ ලිංගයක් දක්නට ලැබෙයි. එහි ස්වයංවින්දනයක් නිරූපිතය. ස්වයංවින්දනය අවසන පුරුෂ ලිඟුව විසින් වගුරන ශුක්‍රාණු පසෙක බිත්තිය දිගේ පහළට රූරා යයි. දැන් මමත්වය කොහිද? කලාකරුවා අසන්නේ මෙවැන්නක්ද? දැඩි හා ආවේගකර ස්වයං මෛථූනයකින් පසු පිටවන ශුක්‍රාණු දහරාව විසින් ඒ කාර්යයේ වූ සියලුම බලාධිපත්‍යයන් ඉවතට විසි කර දමයි. ඒ වෙනුවට දැඩි හිස්කමක්, අපත ගතියක් හා මෙල්ලවීමක් ඉතිරි කරයි. යුද්ධ, සංහාර, ආර්ථික ඝාතන ඈ නොයෙක් අගතීන් හා ප්‍රචණ්ඩත්වයන් නිර්මාණය කරන්නේ පුරුෂ ලෝකය විසිනි. ව්ලැදිමීර් පුටින් සිය පුරුෂ උද්ධච්ඡකම හමුවේ අහිංසක යුක්රේනියානුවන් දහසකට ආසන්න ගණනක් ද තම රටේ හමුදාවේ පිරිසක් ද ඝාතනය කොට ඇත. මේවා පසුපස තිබෙන භූ දේශපාලනය මරණ ගැන කම්පාවීම තරම් සරල නැතත්, මරණ ගැන කම්පා නොවන දේශපාලනයක් කුමටද? මෙවැනි පසුබිමක ප්‍රාණවත් ශිෂ්ණය හෙළන ශුක්‍රානු පුරුෂ ලෝකය විසින් අවසන ඇති කරන කාංසාව ගැන යමක් නොකියන්නේද? මේ සිතුවම ගැන තවත් යමක් කිය යුතුය. එනම් එහි අනෙක් කෙළවරේ වන ඉනිමගයි. මමත්වය වර්ධනය කර ගැනීම සඳහා වඩා ඉහළට නැග යාමට එය තබා ඇත. ඉහළින් වලාකුළුය. පසෙක බිත්තියේ අක්ෂර ගොඩක් හා පැහැදිලිව පෙනෙන ලෙස ‘මම’ යනුවෙන් ලියා ඇත. ඉනිමගේ ඉහළ කෙළවර යා වෙන්නේ තට්ටමක පහළ කොටසේ හැඩය පෙන්වන ස්ථානයකටය. කලාකරුවා මේ ගැන කුමක් අදහස් කළ ද ශුක්‍රානු පිටවූ පසු මොහොත ද, පුටින්ගේ මමායනය ද සිහි කළ අපට මෙය තට්ටමක යට කොටස නොඑසේ නම් ගුදයට ආසන්න ස්ථානය ලෙස අනුමාන කිරීමට බාධාවක් නැත. අශෝද හඳගමගේ ඇල්බොරාදාහි පැබ්ලෝගේ බලය යටපත් වනු ප්‍රේක්ෂකයාට පෙනෙන්නේ රත්නයියාගේ (පැබ්ලෝගේ සේවකයා) බෙට්ට හරහාය. පැබ්ලෝ හැර අන් කිසිවෙක් භාවිත නොකරන වැසිකිළිය රත්නයියා භාවිත කරන්නේ පැබ්ලෝ විසින් සක්කිලි තරුණිය දූෂණය කිරීමෙන් අනතුරුවය. රත්නයියා වළ වැසිකිළියේ හිඳගත් පසු වැටෙන බෙට්ට හඳගම වඩාත් හොඳින් පෙන්වයි. සිතුවමේ ඉනිමග ළංව ඇත්තේ මේ ස්ථානයටය.

Dementor යනු මායා ලෝකයේ වාසය කරන අඳුරු ජීවියෙකි. මේ භයානක ප්‍රාණියා මිනිස් සතුට (Human Happiness) උරාගෙන ඒ මගින් පෝෂණය වන අතර ඔවුන් හා ගැටෙන ඕනෑම අයෙක් මානසික අවපීඩනයට ඇද දමයි. තෘප්තකර හැඟීම් සහමුලින් ම ගිලගෙන වේදනාව හා කාංසාව පමණක් මිනිස් ආත්මය තුළ ඉතිරි කරයි. අවට වාතයේ වන සාමය, බලාපොරොත්තුව හා සතුට වැකුම් යන්ත්‍රයකින් මෙන් ඇදගන්නා මොවුන් ආත්මය උරා බොන පිශාචයන් ලෙස නම් කෙරෙයි. හැරි පෝටර් සිනමාපටයේ ඇස්කබාන්හි රැකවලුන් ලෙස නිරූපණය වන්නේ භූතාරක්ෂකයින් හෙවත් මෙමDementors ලාය. අවධානයට යොමු වන සිතුවමෙහි ලඹදෙන සිරුරු සහිත කළු හිස්ගෙඩි සිහිගන්වන්නේ භූතාරක්ෂකයින්ය. මෙය වර්ණවත් සිතුවමකි. පැහැදිලි දත්ත නොමැති මානව රූ පහක් අතුරින් මානව රූප යැයි අනුමාන කළ හැක්කේ සැබැවින් ම තුනක් පමණි. එකක් අඳුරු ගොමුවක දැඩි අඳුරු පැහැයෙන් ම දිස් වන අතර ඉදිරියෙන් ම ඇත්තේ අප ඉහත භූතාරක්ෂකයින් ලෙස නම් කළ පෙනුමේ රුවකි. මානව රූ තුන ඇත්තේ ඊට මුහුණලාය. අප මුලදී යෝජනා කළ ප්‍රවේශය, එනම් ඩිප්‍රෙෂන් නගරය පිළිබඳ සාකච්ඡාවටDementor නාමකරණය වඩාත් හොඳින් ගැළපෙයි. මිනිස් ආත්මයන් තුළ වන සුබදායී සියල්ලක්ම උරාගෙන, වේදනාව හා කාංසාව පමණක් ඉතිරි කරන සමාජ වටපිටාවක් අප ඉදිරියේ පවතියි. සිතුවම් එල්ලා තිබෙන ලයනල් වෙන්ඩ්ට් පරිශ්‍රය අවට හැරුණු කොට කොළඹ හත සීමාව පසු කළ මොහොතේ පටන් පරිසරය ද එකම අසහනයකි. වාහන තදබදය, දුම්, නළා හා එකම ආකෘතියේ ගොඩනැගිලි රොත්තට අමතරව තෙල් පෝලිම් හා ගෑස් පෝලිම් විසින් නගරයට එන්නන්ගේ ආත්ම තුළ වන අවම සතුට ද පැහැර ගනියි. අසහනයෙන් පළා යාම සඳහා මගක් සොයන රසිකයාට හමුවන්නේ කලාගාරයේ තරමක් නුදුරෙන් එල්ලා ඇති පරිසරය, ප්‍රිය වර්ණ හා බැඳි ප්‍රගීත්ගේම මුහුණ සහිත සිතුවම් කිහිපයයි.

මිනිසා සහ අවකාශය වෙනුවට ප්‍රගීත් සහ අවකාශය නරඹන්නාට අභිමුඛ වී ඇත. ස්ත්‍රීමය සුකොමළ බවක් සමග කලාකරුවාගේ ම මුහුණ සොබාදහම අස්සෙන් එබිකම් කරයි. දකුණු කෙළවර දිරා ගිය කළු පැහැ තුරු කඳන් නිසා ප්‍රගීත්ගේ රෝස පැහැ තොල් සහිත මුහුණ වඩා අනුරාගීව පෙනෙයි. මුහුණ වට කොට පවතින ශාක කොටස්, වලාකුළු හා කඳු පංතීන් මනෝභ්‍රාන්තිමය ඖෂධ (Psychedelic drugs) ලබා ගැනීමෙන් පසු මතුවන පරිකල්පන දර්ශනවලට යම් සමානකමක් දක්වයි. මේවා පසුපස අවධානය යොමු කළ යුතු පරාසයක් වෙයි. 1960 දශකයේ ඇමරිකා එක්සත් ජනපදය මූලික කොට ගනිමින් ඇරඹුණු මනෝභ්‍රාන්තික සංගීතය (Psychedelic music) මනෝක්‍රියාකාරී මත්ද්‍රව්‍ය හා තදින් බැඳී පැවතිණි. පූර්ව දශකයේ සමාජය තුළ අධිනිෂ්චය වූ භෞතිකත්වය හා කෙළවරක් නැති ඉපැයීම්කාමය (Materialism & Money-making) නව පරම්පරාව විසින් ප්‍රශ්න කරන්නටත්, විවේචනය කරන්නටත් විය. එක් අතකින් මෙය කාර්මික යුගයේ ඇරඹි ප්‍රබුද්ධත්වය (Enlightenment) රොමෑන්ටික්වාදීන්ගේ (Romanticists) ප්‍රශ්න කිරීමට ලක්වූවා සේය. දෙවියන් යටපත් කළ මිනිස්සු සිය නිර්මිතයන්ගේ අසාහය ප්‍රතිඵල භුක්ති විඳිමින් උන්හ. එහෙත් එම කාර්මිකත්වය විසින් ම ඔවුන්ගේ ජීවිත අර්බුදයට යැවිණි. මේ තතු උඩ ප්‍රබුද්ධ යුගයේ නාගරික මිනිසා නැවත ගම් දනම් කරා ඇදෙන්නටත්, ආත්මීය ලෝකයක් සොයා ගෑටීමත් ඇරඹුණි. විවිධ මනෝවිෂයයික ඖෂධවල ආභාසය ලබමින් විවිධ සංගීතමය අත්හදාබැලීම් කරා යොමු වීම මෙම උප සංස්කෘතියේ තවත් ලක්ෂණයකි. මර්ජුවානා, LSD, Mescaline, Psilocybin වැනි මනෝක්‍රියාකාරී මත්ද්‍රව්‍ය භාවිත කරමින් පවත්නා ලෝකයේ පරිකල්පනය ඉක්මවා ගිය, අතිශයින් ම මනෝමය වූ පරිකල්පනයන් කරා ළඟා වෙන්නට මෙම කණ්ඩායම් සමත් විය. මේ පරිකල්පනයන් බොහොමයක් සැබෑ දැකීම් ඉක්මවා යන පරිකල්පනයන් වූ අතර සොබාදහම කෙරෙහි වන නැඹුරුතාවය විශේෂයෙන් සඳහන් කළ යුතුය. පුරාණ රතු ඉන්දියානු ගෝත්‍ර ඇතුළු විවිධ ගෝත්‍රික ඇදහිලිවලදී පරිසරය හා දේවත්වය වෙත සමීප වීම සඳහා මායා හතු, ඇතැම් පතොක් වර්ග වැනි ස්වභාවික මනෝක්‍රියාකාරී ද්‍රව්‍යයන් යොදා ගන්නා ලදී. ප්‍රගීත්ගේ ස්වයං ආලේඛ්‍යයන්ගේ දක්නට ලැබෙන්නේ සොබාදහම වෙත නැඹුරු මෙම Psychedelic පරිකල්පනයක ආරයි. කාන්තාවකගේ උඩුකය පැති පෙනුම සහිත සිතුවම, එකැස් මිනිසෙක් හා පසුබිම් දර්ශන රැගත් සිතුවම, මල් වැල් අතර රැඳි රෝසවන් හස්තය, මුහුණ සහ සමනලයා, මුහුණේ දත්ත නොපෙනෙන හිස වටා ආදරය නම් වචනය ලියූ සිතුවම (නම් කිරීම් මෙම ලිපියේ ලේඛකයාගේය) ආදී සිතුවම් ගණනාවක් ම මේ ලකුණු දරයි. එහි දී අප වඩාත් අවධාරණය කරන්නේ කලාකරුවාගේ ස්වයං ආලේඛ්‍යයන් වෙතයි.

මීට අමතරව ප්‍රගීත් සිය ඇඳීම සඳහා විවිධ ආශ්‍රය කලාපයන් භාවිත කරයි. කලාගාරයේ එක් තැනක අප නතර කළ සිතුවමක් හුරුපුරුදු මුහුණක් සිහි ගැන්වීය. මානව රූප කිහිපයක්, ඔටුන්නක් හිස පැළඳූ කපුටෙක් සහ අක්ෂරයක් ප්‍රමුඛ කොට ගෙන නිර්මාණය වී ඇති මෙහි වම් කෙළවර වන මුහුණ දොඩන්දූව කුමාරකන්ද රජමහා විහාරයේ සිතුවම්කොට ඇති වෙස්සන්තර ජාතකය සිහිගන්වයි. මන්ද්‍රි දේවියගේ උපස්ථායිකාවක් ලෙස නම් කෙරෙන එම රුවට බොහෝ සෙයින් මේ රුව සමානකමක් දක්වයි. ඇස්, තොල්, නිකට, නාසය මෙන් ම කම්මුල් ද ඒ මූලාශ්‍රය දරන බවක් පෙනෙයි. (සේනක බණ්ඩාරනායක රචනා කළ Rock and Wall Paintings of Sri Lanka ග්‍රන්ථයේ පිටවැසුමේ ඉදිරිපස සිතුවම ලෙස යොදාගෙන ඇත්තේ උඩ සඳහන් විහාර සිතුවමයි.) කිසියම් ආකාරයකට වෙස්සන්තර පුවත නව්‍යාකාරයකින් ඉඟි කරන්නේදැයි විමසා බැලිය හැකි වුවත් එවැනි අධි අර්ථකථනයකට යාම කලාවේත්, කලාකරුවාගේත්, විචාරයේ හා විචාරකයාගේත් ප්‍රගමනයට හානිකරය. සිහින දෙව්දුව නමින් සිතුවම තුළින් ම නාමකරණය කෙරෙන කෘතියේ උදරයේ සිට පියයුරු දක්වා පැහැදිලි දත්තත්, අනතුරුව අපැහැදිලිතාවයත් නිරූපිතය. සිහින දෙව්දුව යන නාමකරණය විසින් මේ අඟුරු පැහැ පියයුරු සහිත ස්කන්ධයට වාග්මය නව අර්ථයක් මැවෙනු ඇත. එය නම් කිරීමට පසු මැවෙන දෙවන රූපයකි. අර්ථය ඇත්තේ ඇගේ ලෝකඩ පැහැති චාර්කෝල් පියයුරුවල නොව, නාමකරණයෙහිය.

HumanScape හි දිගු අර්ථකථනමය සංචාරයකින් පසු ප්‍රදර්ශනයේ වූ එක ම මූර්තිය ඉදිරියේ නවතිමු. හිස දෙස බැලූ විට මීට පෙර සඳහන් කළ එකලස් රූප සිහිගැන්වේ. ආලේඛ්‍යයේ හිස නිර්මාණය වී ඇත්තේ චතුරස්‍රාකාර කොටුවලින් නිම වුණු දත්ත නොපෙනෙන එකලස් රූප පෙළකිනි. පපුවේ වම්පස හඳක් තුළ සුපුරුදු රට යන වචනය සඳහන්ය. වම් අත මත අක්ෂර පෙළකි. අක්ෂර යනු සංකේත ලෝකය බව සාකච්ඡා විය. එක් පාදයක් ගඩොලින් ගොඩනැගෙමින් පවතින ස්වරූපයක් නිරූපිත වන අතර අනෙක් පාදයේ හා අතෙහි කොටසක් තනි කළුය. පුරුෂ නිමිත්තේ සිට මුල් විහිදුවා උදරය දිගේ ඉහළට නැගෙන ශාකයකි. රතු පැහැයෙන් දිස්වන රුධිර වාහිනී ශාකය සමග ඉළටත්, පහළටත් වශයෙන් ද්විත්වයකි. එකකින් පහළට රුධිරය වෑස්සෙයි. ප්‍රදර්ශනයේ කූඨප්‍රාප්තිය නොඑසේ නම් අග්‍ර කෘතිය ලෙස මෙම මානව මූර්තිය හැඳින්විය හැකිය. භාවයන්ගෙන්, පැහැදිලි දත්තවලින් තොර වුවත්, අප ඉහත දී සාකච්ඡා කළ සියලු මතිමතාන්තර තනිව කැටි කරගන්නට මූර්තිය සමත්ව ඇත. සංකේතීය ලෝකය තුළට පිළිපන් කල්හි මිනිසාත්, සමාජ ක්‍රමය හමුවේ පරත්වාරෝපණයට ලක්වීමත්, ඉන් නොනැවතී ගොඩනැගීම හෝ පලායාම සඳහා සොබාදහම සමඟ මුහු වීමත් යන කාරණා එකට කැටිකොට මෙම කෘතියෙන් නිරූපණය වී ඇත.

ප්‍රදර්ශනයේ සෑම සිතුවමකම පාහේ අප දුටු පොදු ලක්ෂණයක් වෙයි. හඳක් ඇඳ ඒ තුළ අකුරින් රට යනුවෙන් ලියා තිබෙනු දක්නට ලැබිණි. HumanScape පිළිබඳ කළ සම්මුඛ සාකච්ඡාවකදී කලාකරුවා දක්වන අදහස මෙසේය.

“ඒක මම පොඩි අතීතකාමයත් එක්ක කරපු වැඩක්. අපි පොඩි කාලෙ අපට කියලා තියෙන්නෙ හඳේ හාවෙක් ඉන්නවා කියලා. අපි ඒක ඇත්තටම විශ්වාස කරලත් තියෙනවා. එතකොට අපේ සංස්කෘතියත් එක්ක ර යන්න ට යන්න රට කියලා ලියලා අපි හාවා ඇඳලා තියෙනවා…” -www.aithiya.lk-

ප්‍රගීත්ගේ සඳහන එය වුව ද සිතුවම් බොහොමයක හඳක් තුළ රට යනුවෙන් ලියා තිබීම එබ්බවූ ආකෘතියක් ලෙස පෙනී යයි. එය සිතුවම්වලට දේශපාලන අදහසක් බලෙන් ආකෘතිගත කිරීමක් වශයෙන් හැඳින්විය හැකිය. මේ මොහොතේ පවත්නා දේශපාලනය බලයට ආවේ ‘රට’ යන අකුරු දෙක පෙරටු කරගෙනය. එහෙයින් රවුමක් තුළ ‘රට’ යැයි ලියා තැබීමෙන් ඉහත උද්ධෘතය මතුවීමට වඩා අර දේශපාලනික අදහස එසවීම පැහැදිලිවම සිදුවෙයි. එහි කිසිදු වරදක් නැත. කලාව දේශපාලනයෙන් වෙන් කළ නොහැකි අතර ඒ මොහොතේ දේශපාලනයෙන් කිසි සේත් වියුක්ත ද නොවේ. අප මතු කරන්නේ සිතුවමට ආකෘතියක් නිර්මාණය කර දීම සඳහා එම එකතු කිරීම ආයාසකර වෑයමක් ගන්නා බවයි. ඒ හැර කෘතියට මෙය අඩංගු වූවා නම් වඩා හොඳය හෝ මෙය ඉවත් වූවා නම් වඩා සාර්ථකය වැනි අණපැනවීම් කිසිවක් කිරීම අප වෑයම නොවේ. එවැනි අණපැනවීම් කලාවට සතුරු මිස මිතුරු අදහස් නියෝජනය නොකරයි.

සිතුවම්වල ඡායාරූප – අන්තර්ජාලයෙන් හා සමාජ මාධ්‍ය ඔස්සේය

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *