”රාණි” එන්න කලින් හඳගම කියන කතා – I

”රාණි” එන්න කලින් හඳගම කියන කතා – I

අශෝක හඳගම‌ගේ නවතම සිනමා නිර්මාණය ”රාණි” ජනවාරි මස (2025) 30 වන දින පළමු වරට තිරගත වීමට නියමිතය. ”රාණි” එන්නට පෙර සිනමාපටය ගැනත්, එහි චරිත ගැනත් ඔහු කරන කෙටි විස්තරයක් මෙතැන් සිට කියවිය හැකිය‍.

ජනවාරි 30 වෙනිදා සිට රාණි (Rani) සිනමාශාලාවලට එනවා. රාණි ෆිල්ම් හෝල් වලට එන ආරංචියත් එක්ක ද කොහෙද රිචඩ් ගැන, මනෝරානි ගැන නොයෙක් කතා අපිට අහන්න ලැබෙනවා. මං කලින් කිව්ව වගේ සිද්ධියක් සිද්ධවෙලා ඉවර වුණාට පස්සේ ඒ ගැන ඉතුරුවෙන්නේ කතාන්දර ගොඩක් තමයි. ඒවා ඔක්කොම ඇත්ත සිදුවීම් වටා ගෙතුණු ප්‍රබන්ධ කතා. ඒ එකක්වත් බොරුත් නෙවෙයි. සම්පූර්ණ ඇත්තත් නෙවෙයි. ඉතින් ඒ දහසකුත් කතා අතර මේත් එක කතාවක්.

රාණි පළවෙනි පෝස්ටරය!

මනෝරාණි, රිචඩ් සහ චිත්‍රපටියේ එන ප්‍රධාන දේශපාලන චරිත හතරක්. චිත්‍රපටියේ එන ගොඩක් චරිත අතරින් තෝරාගත් චරිත හතරක් තමයි මේ. රිචඩ් පැහැරගෙන ගොස් මරා දැමීම සත්‍ය සිදුවීමක්. ඒත් සිදුවීමක් සිදුවෙලා ඉවර උනාට පස්සේ තවදුරටත් සත්‍යය යනුවෙන් නිශ්චිත යමක් තිබෙනවාද? සිදුවීමෙන් පස්සේ ඒ වටා ගොඩනැගුණු කතාන්දර ගොඩක් තමයි අපිට ඇත්ත ලෙස අහන්නට ලැබෙන්නේ. මනෝරාණි හොයාගෙන ගියේ ඇත්ත නෙවෙයි. ඇත්ත ඇය දන්නවා. තම පුතා පැහැර ගොස් මරා දැමූ බව ඇය දන්නවා. ඇය සොයා ගියේ යුක්තිය. මේ ඝාතනයට වගකිවයුත්තන්ට යුක්තිය ඉටුවනු දැකීමට ඇයට වුවමනා වුණා. රාණි…. ඇගේ, මනෝරාණි ගේ කතාවයි. A fiction based on true incidents…

ජනවාරි 23 වෙනිදා සිට සිනමාශාලාවලට එන රාණි සිනමා පටයේ රිචඩ් ද සොයිසා ගේ භූමිකාව රඟපාන්නේ රෙහාන් අමරතුංග යි.

රෙහාන් වෘත්තීය සිනමා නළුවෙක් නෙවෙයි. ඒ වුනාට ඉංග්‍රීසි වේදිකාවේ අත්දැකීම් සහිත කෙනෙක්. රිචඩ් ගේ චරිතය රඟපාන්න සුදුසු කෙනෙක් හොය හොයා මම සෑහෙන්න දඟලුවා. රිචඩ් ගේ චරිතයට රෙහාන් ගැලපෙනවා දැයි බලන්න මට යෝජනා කළේ ගිහාන් ඩි චිකේරා සහ පසන් රණවීර කියන රංගධරයන් දෙදෙනායි. අන්තිමටම රෙහාන් රඟපෑ ඉංග්‍රීසි වේදිකා නාට්‍යය බිම්සරා ප්‍රේමරත්න ගේ August: Osage County.

රාණි සිනමා පටයේ රාණි ගේ භූමිකාව රඟපාන්නේ ස්වර්ණා මල්ලවාරච්චි යි.

ස්වර්ණාගේ රංගන හැකියාව ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඇයට පුළුවන් ක්ෂණයකින් චරිතයට පිවිසිලා ක්ෂණයකින් ඉන් ඉවත්වන්න. ඊට පස්සේ ඒ දර්ශනයට කිසිම අදාලත්වයක් නැති කාරණාවකට හයියෙන් හිනාවෙන්න. මේක හැමෝටම කරන්න බැහැ. මගේ පළවෙනි සිනමා අභ්‍යාසය මම කරන්නේ ඇය සමඟ. ඒ ‘චන්ද කින්නරි’. ඊට පස්සේ වසර විසි එකකට පසු මගේ සිනමා කෘතියකට ඈ එක්වන්නේ ‘ඇගේ ඇස අග’ එක්කයි. එයින් වසර දහයකට පස්සේ මනෝරාණි චරිතයට පණ දෙමින් ඇය ‘රාණි’ චිත්‍රපටය සඳහා එක්වෙනවා. වසර පනස් අටක් (58) වූ ඇගේ රංගන ජීවිතයේ වසර තිහක් (30) තුළ විවිධ අවස්ථා තුනක ඇය අධ්‍යක්ෂණය කරන්න ලැබීම මා ලැබූ භාග්‍යයක්. රාණි ඇගේ රංගන සිහිනයයි.

රාණි සිනමා පටයේ බිමල් ජයකොඩි රඟපාන්නේ ශූර විපක්ෂ දේශපාලකයකුගේ භූමිකාවයි.

රිචඩ් පුවත්පත් කලාවේදියෙක්. ඔහු පැහැරගෙන ගොස් මරා දැමුනේ ද්වී භාෂා උගතෙකු වූ තමන්ගේ වෘත්තීය වගකීම හරි හැටි ඉටුකළ නිසයි. ඔහුගේ ඝාතනය විකල්ප දේශපාලන අවකාශයකට ඉඩ සැලසෙනවා. මරා දැමුණු දහසක් තරුණ ජීවිත වෙනුවෙන් යුක්තිය සොයා මනෝරාණි සන්ධාන ගතවන්නේ එවන් දේශපාලන ව්‍යාපාරයක් සමඟයි. ලාංකීය දේශපාලනයේ ඊළඟ දශක තුනේ හැඩය නිර්මාණය වන්නේ මේ සමඟයි. බිමල් මගේ සිනමා කෘතියකට සම්බන්ධ වන්නේ මුල්වරටයි. කළු සුදු බේදයක් නැතුව චරිතයක් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින ගුණයක් බිමල් තුළ තියෙනවා. එනිසාම ඔහුගේ රංගන පරාසය ඉතා විශාලයි.

රාණි සිනමා පටයේ තවත් විපක්ෂ දේශපාලකයකුගේ භූමිකාව රඟපාන කෙනෙක් තමයි අෂාන් ඩයස්.

අෂාන් ඩයස් ඉස්සෙල්ලාම මගේ ඇහැ ගැටෙන්නේ Agenda 14 – Festival එකේ ජූරි එකේ ඉන්නකොට. යශෝදරා කාරියවසම් ගේ ‘එක්තරා ආදර කතාවක්’ කෙටි චිත්‍රපටයේ රොහාන්ගේ චරිතය රඟපාන්නේ අෂාන්. එදා තමයි මං හිතාගත්තේ කවද හරි දවසක අෂාන් ට චරිතයක් දෙන්ඩ තියෙනවා නම් හොඳයි කියල. රාණි චිත්‍රපටියේ හද්දා ගොඩේ අදහස් තියෙන ලංකාවේ ජන විඤ්ඤාණය හඳුනන දේශපාලකයෙක් එක්ක, modern thinking තියෙන වැඩක් අලුතෙන් ‘Design’ කරන්න පුළුවන් දේශපාලකයකුගේ භූමිකාවට අෂාන් හොඳටම ගැළපුණා. රාණි කොළඹ ඉහළ පන්තියේ කාන්තාවක්. ඇයව පෙරටු කරගෙන සුපිරි දේශපාලන ගේමක් ගහන්නෙ කොහොමද කියන එක මේ අය දැනගෙන හිටියා.

විජය කුමාරතුංගගෙන් පස්සේ ලාංකීය සිනමාවේ ආදරවන්තයා සනත් ගුණතිලක. රාණි සිනමා පටයේ තවත් ප්‍රබල දේශපාලකයකුගේ භූමිකාවක් රඟපාන කෙනෙක් තමයි සනත්.

මං සනත් රඟපාපු ගොඩාක් සීනි බෝල චිත්‍රපටි නරඹලා නැහැ. ඒත් සනත් තිරයට වඩා වෙන තැන්වලදී මට මුණගැහිලා තියෙනවා. ඒ පැරැණි පරම්පරාවේ නළුවෙක් නිළියෙක් හම්බ නොවෙන සිනමාව, කලාව,දර්ශනය පිළිබඳ සංවාද/සම්මන්ත්‍රණවලදී. විශේෂයෙන් X දේශනවල පසු පෙළ අසන්නෙකු වශයෙන්ම ඉන්නවා මං දැකල තියෙනවා. ඔහු විසින් රචිත සිනමාවේ අත්දැකීම් ඇතුළත් ‘හර්දසාක්ෂිය’ පොත මේ දවස්වල මං කියවනවා. සිනමාවේ දැවැන්තයින් සමඟ ඇසුර පිළිබඳ අත්දැකීම් රසවත්ව එහි ඇතුළත් වෙනවා.

ඔහු දේශපාලන බලවතෙක් වෙලා හිටපු කාලේ අපිට ‘මේ මගේ සදයි’ කරන්න උදව් කරා. London Film Festival එකේ එහි මංගල දර්ශනය තිබෙන වෙලාවේ කොහේ හරි යන ගමන් ඒකටත් සහභාගී වුණා. ප්‍රේමදාස ජනාධිපතිට මරු කැඳ වූ බෝම්බය පුපුරපු මැයි පෙළපාලියේ ගමන් කරපු කෙනෙක් කියලා එයා රාණි චිත්‍රපටිය රූගත කරන දවසක මට කිව්වා. ඒ වෙනකොට සනත් ජනප්‍රියතාවයේ හිනිපෙත්තේ හිටියේ. සෙනඟ වට කරගෙන හිටපු හින්දා බේරිලා තියෙන්නේ. ඔහු මගේ චිත්‍රපටියකට සම්බන්ධ කරගන්න උවමනාව තිබුණත් ඔහු වගේ කඩවසම් නළුවෙකුට රඟපාන්න චරිතයක් මගේ සිනමාවේ තිබිලා නැහැ. රාණි ඒකට මට අවස්ථාව ලබා දුන්නා. රාණි චිත්‍රපටයේ දේශපාලන ආදරවන්තයෙකුගේ භූමිකාව ඔහු රඟපානවා.

‘තුන් දෙනෙක්’ චිත්‍රපටියේ ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර සමග මම ද චිත්‍රපටි කණ්ඩයක් කළා. ඒ ‘අනෙකා’ (The Other). ඊට අමතරව මං විසින් නිර්මාණය කළ එකම කෙටි චිත්‍රපටය වන Talking About Love( ආදරය ගැන දෙබසක් ) කෙටි චිත්‍රපටියට රංගනයෙන් දායක වුණු මයුර කාංචන රංගන ශිල්පියා තුළ මම සුවිශේෂී ගුණයක් හඳුනා ගත්තා. ඉතා සියුම් ස්වාත්වික අභිනයන් තුළින් ඇඟට නොදැනෙන රංගනයක් හරහා තමා නිරූපණය කරන චරිතය දැක්වීමේ ගුණයයි ඒ. බොහෝ වෙලාවට පැත්තකට වෙලා තමන්ගේ පාඩුවේ ඔහේ ඉන්න එක, බොහෝ රංගන ශිල්පීන් තුළ දුලබ, ඔහුගේ කැපී පෙනෙන ලක්ෂණයක්.

ඔහුව මං මුලින්ම දුටුවේ චමිල ප්‍රියංක අධ්‍යක්ෂණය කළ ‘මෙය තුවක්කුවක් නොවේ’ වේදිකා නාට්‍යයේ. ඉන් පසු වේදිකා නාට්‍ය කිහිපයකම ඔහුගේ රංගන හැකියාවන් දුටුවා. චිත්‍රපටියක මයුරට ගැලපෙන චරිතයක් තිබීම ඒ චිත්‍රපටියට වටිනාකමක් එකතු කරනවා. විශාකේස චන්ද්‍රසේකරම් ගේ පාංශු චිත්‍රපටියේ ඔහු අගනා චරිත නිරූපණයක් කළා.

ඇත්ත කතාවක් වුණත් වෘත්තාන්තමය ස්වරූපයෙන් ගොඩනැගීමේ දී ප්‍රබන්ධමය චරිත යොදාගන්න වෙනවා. රාණි චිත්‍රපටියේ ඔහුගේ භූමිකාව කුමක්දැයි දැම්ම පවසන්න ඉක්මන් විය යුතු නැහැ. මේ තිස් වැනි දා එළිදැක්වෙන රාණි චිත්‍රපටියෙන් මයුරගේ රංගනය දැකබලා ගන්න.

(අශෝක හඳගම මුහුණු පොතේ තැබූ සටහන් ඇසුරින් උපුටා ගැණිණි. සිනමාපටයේ පෝස්ටර් උපුටා ගැනීම ද ඒ ඇසුරිනි.)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *