මනුෂ්‍ය පුත්‍රයා; නිසැක ම විසංයෝජනාත්මක සෙල්ලමකි (දර්ශන අශෝක කුමාර)

මනුෂ්‍ය පුත්‍රයා; නිසැක ම විසංයෝජනාත්මක සෙල්ලමකි (දර්ශන අශෝක කුමාර)

මනුෂ්‍ය පුත්‍රයා බොහෝ අතකින් මනමේ ඉක්මවා සිටී… එහෙත්, මෙම කතාවට බැල්මක් (gaze) අල්ලා ගැනීමට නොහැකි වී ඇත.

ආචාර්ය දර්ශන අශෝක කුමාර

ප්‍රියංකර රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද මනුෂ්‍ය පුත්‍රයා වේදිකා නාට්‍යය අද නැරඹූවෙමි.

මෙය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රාසාංගික කලා ක්ෂේත්‍රයේ අති ප්‍රබල මංසලකුණක් බව ප්‍රකාශ කරමි. ඒයි ෆස්ට් ඉයර් වැනි ගොන්, ස්ත්‍රී විරෝධී, අගතිගාමී, මස්තිෂ්ක ඛාදක කතා උත්කර්ෂයට නිල ආයතනගත වීමට ලක් වන මොහොතක මෙවැනි ඒවා විශ්වවිද්‍යාලවලින් මතු වීම මොනතරම් භාග්‍යයක් ද?

මුළ සිට අගට ගල් ගැසී බලා සිටියෙමි. විශාල පරිශ්‍රමයකි. උත්සාහයකි. කැපවීමකි.

ලංකාවේ වැනි දුප්පත් රටකට කළ හැකි උපරිමය දැයි සිතිණ.

විශ්වවිද්‍යාල ඇසුරේ හැඳුණු මනමේ වැනි නාට්‍යයක් සමග මෙය එක් අයුරකින් සැසඳීමට කැමත්තෙමි.

මනුෂ්‍ය පුත්‍රයා බොහෝ අතකින් මනමේ ඉක්මවා සිටී.

මෙහි නළු නිළියන්ගේ රංග ප්‍රතිභාව සමඟ සැසදීමේ මනමේ මොකක්දැයි සිතිණ. කොතරම් ආධුනික දැයි සිතිණ.

මා වැඩිපුර ම කියැවූයේ ප්‍රධාන නළු නිළියන්ගේ රංගනයන් නොව ද්විතියික රංගනයන් ය.

අනුරංගධරයන් (deuteragonists) හෝ තෘතීකරංගධරයන්ගේ (tritagonists) රංගනයන් ය. ඔවුහු ඉතා සියුම් ලෙසින් සමස්ත පඨිතයේ අර්ථය නිෂ්පාදනය සහ ප්‍රතිනිෂ්පාදනය කළහ.

ඩෙරීඩා වැන්නෙකු සමඟ මෙවැනි පඨිතයක් සම්මුඛ කළහොත් ඇත්තට ම අපට වැදගත් වන්නේ පරිධියයි. පරිධියේ රංගනයයි. පරිධියේ අනුපූරකය (supplement) විසින් කේන්ද්‍රය සකස් කරන ආකාරය ගැන අප සවිඥානික නොවන තුරු අපි සංදර්භයෙන් එළියට විසිවී සිටින්නෙමු. චිහ්නකේන්ද්‍රීය වන්නෙමු (logocentric). දිව්‍යමය ආශාවකින් පෙළෙන්නෙමු.

පඨිතයක් වශයෙන් ගැනීමේ දී මා ආලෝලනය කළ ලොකු ම දෙය වූයේ පරිධියේ වූ මෙම රංගනයයි. අවශේෂ නළුවන්ගේ නිළියන්ගේ මුහුණු පුරා කේන්ද්‍රය (centre) විශද වන්නට විය. කේන්ද්‍රය තුළ පරිධිය විශද වන්නට විය.

ඇත්ත ගතහොත් Walk-ons, Bit characters වැන්නන් පමණක් නොව සමස්ත වේදිකාව ම (mise en scène) රඟපාන තත්ත්වයකට පත් කර තිබිණ. මේස පුටු පවා රඟපාමින් තිබිණ.

ආලෝක කරණය විසින් කවි කියන්නට විය. සංගීතය නරක නැත. ඖචිත්‍යය නමැති ගුණය කුමක්දැයි සෙවීමට වුවමනා නම් වස්ත්‍රාභරණය නිර්මාණය දෙස බැලිය යුතුය. ඒ තරම් ම ඉසියුම් වුවමනාවක් එහි දැල් වී තිබිණ.

ශබ්දය සහ දෙබස් සම්බන්ධයෙන් ආරම්භයේ දී ඇති කළ කැළඹීම ටික වේලාවකින් නැති වී ගියේය. නිර්රේඛීය ශබ්ද සංකලනය මැදක් වන විට රේඛීය විය. අද වන විට 8D තාක්ෂණයෙන් කිරීමට උත්සාහ කරන දෙයට සමාන දෙයක් නාට්‍යයේ මුල් කොටසේ තිබූ බව මට සිතින. බහුශාබ්දිකත්වය ( polyphony) මෙන් ම බහුදිශානතීන්ගෙන් යුතු ව අපට ඊළග ‍මොහොත සිතා ගැනීමට නොහැකි පරිද්දෙන් වේදිකාවෙන් ප්‍රේක්ෂකාගාරයෙන් ඒ දෙකට ම නොවන තැනකින් ආදී වශයෙන් ශබ්දය සමඟ සෙල්ලමක් (play) කෙරිණ.

එය නිසැක ම විසංයෝජනාත්මක සෙල්ලමකි. විසංයෝජනය යනු ම සෙල්ලමකි (play). කේන්ද්‍රයක් නොමැති සෙල්ලමකි.

මීළඟට මෙහි චරිත නිමැවීමේදී ඉතිහාසයට නොරිදවීම විශේෂත්වයකි. කලකට ඉහත දී මෙවැනි ඓතිහාසික ආඛ්‍යානයක් සහිත නාට්‍යයක් නැරඹීමේ දී මට සිතුණේ මේ මොන විගඩමක් ද? ඉතිහාසයේ මෙවැනි යුගයක මිනිස්සු මෙලෙස ඇන්දාද? මෙලෙස ජීවත් වුණා ද? මෙලෙස කෑවා බීවාද? වැනි අදහසකි. නිර්මාණකරුවෙකුට ඉතිහාසය අර්ථකථනයකට හෝ ප්‍රතිඅර්ථකථනයකට ලක් කළ හැකිය. හැබැයි එය ගොන් විය නොහැකිය. මනා ලෙස හැදෑරීමෙන් අනතුරුව සිදු වන රැඩිකල් වෙනසිකින් විනා ගොන්කමක් විසින් ඉතිහාසය නොරිදවිය යුතුය.

මෙම කෘතිය සංදර්භගත කිරීම අතින් (contextualization) අති සියුම් පර්යේෂණාත්මක බවක් පැවතිණ. ඒ අතින් ම මෙහි කතාව සම්බන්ධයෙන් මට පැවති ප්‍රශ්නයක් වූයේ කතාව දෘෂ්ටිවාදය විසින් මැඩපවත්වා තිබූ ආකාරයයි. දෘෂ්ටිවාදයේ ව්‍යුහයන්ගේ බලපෑමට හසුවූ ලොව බොහෝ කලා කෘති වේ. මජීඩ් මජිඩි, කියොරොස්තාමි, ෆර්හාඩි වැනි ඉරාන සිනමාකරුවන් තුළ දෘෂ්ටිවාදයෙන් මැඩ පැවතීමේ ලක්ෂණය දැක ඇත්තෙමි.

කෙසේවෙතත්. මෙම කථාවේ ඇති බහුපඨනීය බව (multi-textuality) කෙරෙහි මම බෙහෙවින් කැමැත්තෙමි. කාලයේ තිබූ රේඛීය බව වෙනුවට අතීත, වර්තමාන, අනාගත ප්‍රපංචීය තත්ත්වයන් එකට මිශ්‍ර වී පටිච්ච සමුප්පන්න වී තිබීම සිත් ගන්නා සුළු ය. ඉතිහාසයේ විවිධ මොහොත තුළින් මතු වන චරිත එකිනෙකා සමඟ කතා කර ගනී.

එහෙත්, මෙම කතාවට බැල්මක් (gaze) අල්ලා ගැනීමට නොහැකි වී ඇත. ක්ෂුද්‍ර ඒ වස්තුවක් (Objet Petit a) ලෙසින් වන බැල්මකට අසු කර ගැනීමට කතාව සමත් නැත. රහසිගත ව අප බැ‍ඳෙන තැනක් (cryptic assertion) නැත.

මනමේ මේ අතින් ඉහළින් සිටී. ඉහළින් සිටිමින් අදටත් ජන ශ්‍රැතියේ කොටසක් වී පවතී. වැද්දාට කඩු ව දීම උපහැරණයක් වෙයි. දෘෂ්ටිවාදය දරා සිටි චාල්ස් සිල්වා ගුරුන්නාන්සේ සරච්චන්ද්‍රගේ ඇගට කඩා පනින්නේ මොකක්ද මහත්තයෝ මේ කළේ කියාය. කඩුව පිළිබඳ ක්ෂූද්‍ර ඒ වස්තුව අප අල්වා ගනී. ඒ කෙරෙහි අපගේ ඇස සහ බැල්ම (eye and the gaze) බැඳී පවතී.

සමස්තයක් ලෙස බලන කල මනුෂ්‍ය පුත්‍රයා අත් නොහැරිය යුතු ව්‍යායාමයකි. ක්ෂුද්‍ර/ ප්‍රධාන නළුවන්‍ගේ නිළියන්ගේ. ආලෝකකරණ ශිල්පීන්ගේ, වේදිකා සැකසුම් ශිල්පීන්ගේ රංග වස්ත්‍රාභරණ ශිල්පීන්ගේ වේදනාත්මක පරිශ්‍රමයට පුටුවෙන් නැගිට උත්තමාචාර කළ යුතුය.

(ඡායාරූප – තරීන් රෙනුජ දයාරත්න, අන්තර්ජාලය, අධ්‍යක්ෂවරයාගේ ෆේස්බුක් පිටුව)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *