“ඕන එකක් ලියන එකද කවිය?” (සඳුන් ප්‍රියංකර විතානගේ)

“ඕන එකක් ලියන එකද කවිය?” (සඳුන් ප්‍රියංකර විතානගේ)

සඳුන් ප්‍රියංකර විතානගේ

පසුගිය දිනක විදර්ශන කන්නන්ගර හමු වී මම චෝදනා මුඛයෙන් කතා කළේ, ලංකාවේ කලා සංස්කෘතික විචාර කලාපයේ විදර්ශනගේ මැදිහත්වීම සෑහෙන පමණට අඩු වී තිබීමත්, නිර්මාණකරුවෙකු ලෙස විදර්ශනගේ මැදිහත්වීම නැත්තටම නැති වී තිබීමත් අරභයා ය. 

ඇත්තවශයෙන් ම ලංකාවේ කලා සංස්කෘතික විචාරය දැන් දසක කිහිපයකට පෙර තිබුණාට වඩා බොහෝ සෙයින් පල්ලම් බැස තිබෙන බව පෙනේ. විචාරයේ පදනම් බිඳ වැටීම කලාවේ නැගීම කෙරෙහි බොහෝ සෙයින් බලපාන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඥාති සංග්‍රහය, කට්ටිවාදය, කල්ලිවාදය, පිටකසා ගැනීම, බෙලි කැපීම, නිහඬතාවයේ ගිල්වා මරා දැමීම, කුලකය රැකීම ආදිය අරභයා ජනප්‍රිය ලෙස චෝදනාවට ලක් වෙන්නේ මජර දේශපාලකයන් වුව කලා සංස්කෘතික කතිකාව වෙත මඳක් ගෙල හරවා බැලීමෙන් පෙනී යන්නේ ඊද එපමණට ජරාජීර්ණව මංචපරායණව යමින් තිබෙන බවයි.

පූර්ව කථොකපථනයෙන් නොබෝ දිනකට පසුව තැන්නේ ඤාණානන්ද හිමිගේත් ශෙහාන් නානායක්කාරගේත් කවි එකතුව එළිදැක්වූ දා විදර්ශන අදහස් දැක්වූයේ ය. එහිදී ඔහු සිය කථාවේදී ප්‍රධානව මතු කළ කරුණු දෙක ම කලා සංස්කෘතික සහ වාම කතිකාව ලෙස ඉගැඹුරු ලෙස භාර ගත යුතු බව අපේ වැටහීමයි. මේ සටහන එහිදී ඔහු නූතන කවිය ගැන මතු කළ අදහස කේන්ද්‍ර කරගෙන ලියැවෙයි. වෙනත් මානයකින් පුබුදු ජයගොඩ විසින් ඤාණානන්ද හිමියන්ගේ කවි කෙරෙහි එල්ල කළ විවේචනයේ අක්ෂය ද සහසම්බන්ධිත බව කිව හැකි ය. ( පුබුදුගේ නූතන එළැඹුම නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්ගේ පළමු කවිපොත ජනගත කළ දා ඔහුගේ එළැඹුමෙන් තීරණාත්මක ලෙස විතැන් වී තිබීම මතු සාකච්ඡාවකට ඉඩ තබමි.)

කවියේ  සද්භාවය පිළිබඳ දැක්ම හෙවත් සද්කලා ලක්ෂණ පිළිබඳ කතිකාව අප්‍රධාන වී ඇති බව විදර්ශන මතු කළ මූලික අදහසේ හරය බව සිතමි. ඔහුගේ ම වචන පුනකියන්නේ නම්,

“අද දවසේ කවිය මුහුණ දෙන මූලික ප්‍රශ්නයක් තමයි, කවිය යනු කුමක්ද කියන අදහස කවුරුත් කතා නොකරන යුගයකට ඇවිල්ලා.. ශුද්ධ වූ කිසිවක් නෑ. එතකොට අපි මෙතෙක් සාහිත්‍ය හා කලාව කියලා හඳුනගත්ත ඒවායෙ තිබ්බ ආදර්ශවලට තර්කයක් නැති වෙලා තියනවා. කවිය කියන්නෙ මොකක්ද? ඕන එකක් ලියන එකද කවිය? එහෙනම් කවිය කියල වෙනම ඉවෙන්ට් එකක් ඕන්නෑ. කවිය කියන්නෙ කුමක්ද කියන ඒ මූලධාර්මික අදහසට අපි නැවත එන්න ඕන!”

සමකාලීන අදහස්-උදහස් සම්බන්ධයෙන් සලකා බැලීමේදී, නූතනත්ව අදහස් නියෝජනය කරන විදර්ශනගේ මේ අදහස ගතානුගතික එකක් සේ කෙනෙකුට හැඟී යා හැකි ය. එසේ වුවත් සමකාලීන කවිය සහ පොදුවේ කලාව සේ ම විචාරය සම්බන්ධයෙනුත් මේ අදහස ඉතා වැදගත් සහ සාකච්ඡාවට බඳුන් විය යුතු අදහසක් බව අපේ ද හැඟීමයි. 

කවියේ ගුණාංග කවරේ ද? 
කවියේ ඉතිහාසය යනු කුමක් ද? 
කවියේ ඉතිහාසය නොදැන කවි ලිවිය හැකිද – එසේ ලියන කවි පුනර්ලිවීමක් නොවන්නේ දැ යි අප දන්නේ කෙසේ ද? 

යනාදී වශයෙනි. අවශ්‍ය නම් අයෙකුට කොළඹ යුගයේ කවිය නැවත ලියමින් මේ වන විට ලෝකය සොයාගෙන තිබෙන රෝදය නැවත සොයා ගත හැකිය. එයින් කවියේ නැගීමට පිටුබලයක් නොලැබේ. සිංහල කවිය ගැන අවධානය යොමු කරන්නෙකුට ඒ සඳහා ශාස්ත්‍රීය පිටුබලයක් ලබා ගත හැකි ප්‍රධානම මග ලෙස ගුණදාස අමරසේකරගේ “සිංහල කාව්‍ය සම්ප්‍රදාය” කෘතිය එක්තරා අවස්ථාවකදී නිර්දේශ කරන ලද්දේ දීප්ති කුමාර ගුණරත්න විසිනි. එද මෙයට සමපාත වෙයි. 

කවියෙහි සද් ලක්ෂණ වෙත ගමන් කිරීම වෙහෙසකර විය හැකි නමුත් සද් කවියක්, අපූර්ව කවියක් නිර්මාණය කරන්නට අවශ්‍ය නම් කළ යුත්තේ කවිය යනු කුමක් ද යන ප්‍රශ්නය අත නෑර අල්ලාගෙන කවියෙහි නිමග්න වීම ය.

ශුද්ධ වූ සියල්ල කෙළෙසී ඇත. මහා ආඛ්‍යාන මියැදී තිබේ. කවියෙහි හෝ කලා කෘතීන්හි අනන්‍ය සද්භාවයන්ගෙන්, ඉතිහාසයෙන් හෝ පරමාදර්ශයෙන් තවත් පලක් නොවේ. “ඉන්න ටිකේ ලියමු සුදෝ ජොලිය දමාලා” වැනි අදහස දේශපාලනය නම් විෂය කෙරෙහි ඔබ්බවා බලමු. 

එවිට, පරමාදර්ශ මියැදී තිබේ. මහා ආඛ්‍යාන තවදුරටත් අවලංගුය. දෙවියන් මිය ගොස් ය. ඉතිහාසය මෙතැනින් අවසන් ය. මේ ඉතිහාසයේ අවසන් අවස්ථාවයි. – යන ෆුකුයාමාවාදය හිසින් ගත යුතු ය. එසේ නම් වාම දේශපාලනය-සංස්කෘතික දේශපාලනය – රැඩිකල් දේශපාලනය වැනි දේවල් ද තවදුරටත් දේශපාලනය අරභයා අවලංගු වී යයි. එය එසේ ද?

නැත!

පරමාදර්ශ වෙනුවෙන් කරන දේශපාලන සටන් අවලංගු වී නැතිවා සේ ම සද් කලාවන්හි සද් කලාත්මක ලක්ෂණ අවලංගු වී ගොස් ද නැත. 

කවිය යනු කුමක් ද? – කවිය යනු තවදුරටත් කිසිවක් නොවේ. 
විචාරය යනු කුමක් ද? – විචාරය යනු තවදුරටත් කිසිවක් නොවේ.
සිනමාව යනු කුමක්ද? – සිනමාව යනු තවදුරටත් කිසිවක් නොවේ.

යනුවෙන් එන්නේ නම් අප කලාව කියා කළ යුත්තේ කුමක් ද? කලාවේ සාරය අහිමි වී නම් කලාව යනුවෙන් කිරීමට ඉතිරි වන්නේ කුමක්ද? 

එබැවින් අපගේ යෝජනාව වන්නේ ඉතා ඉක්මනින් කලාත්මක කතිකාවෙහි මූලධාර්මික දේවල් කරා එළැඹිය යුතු බවයි. කවියෙහි මූලධර්ම සම්බන්ධ කතිකාව සංගායනා කළ යුතු බවයි. කවිය සහ නොකවිය අතර – විචාරය සහ අවිචාරය අතර සීමාවන් නැවත නැවත පැහැදිලි කරගත යුතු බවයි. විදර්ශන කන්නන්ගර විසින් මතු කරන ලද ඒ ප්‍රශ්නය එහි මූලාරම්භයක් ලෙස ගත හැකි ය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *