කේ.ඩී. දර්ශන
ගෝලීය වේවා, රට තුළ පමණක් වේවා, මේ ඇතිව තිබෙන ආර්ථික අවපාතය ලංකාවේ ජනගහණයෙන් සැලකිය යුතු ප්‍රමාණයකට සෘජු ප්රහාරයන් එල්ලකර තිබෙනවා. එය දෛනික ආහාරවේල් සොයගැනීමේ පටන්, දේශපාලන, සමාජීය, ආර්ථික, අධ්‍යාපනික, සෞඛ්‍ය, සංස්කෘතික ආදී සෑම ක්ෂේත්රයක් කරාම උඩුදුවන දැවැන්ත ඛේදවාචකයක් වීමට නියමිතයි.
මේ තතු උඩ සමාජ සුබසාධනයෙන් ඈත්වීම, පෞද්ගලීකරණයට කැසකැවීම, අධික බදු පැනවීම මෙන් ම විදේශ ණය සඳහා කොන්දේසි විරහිත එකඟවීම් කරා ගමන් කරන්නට රාජ්‍යයටත්, එහි නියෝජිතයා වන ආණ්ඩුවටත් මාර්ගය පෑදෙමින් තියෙනව. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් යෝජනා කෙරෙන අනුකම්පා විරහිත කප්පාදු ගණනාවක් අප ඉදිරියේ දිගහැරෙමින් තිබෙනවා.
අර්බුදය හමුවේ පවත්නා දේශපාලන ආකෘතිය වෙනස් නොකොට රාජ්‍ය පවත්වාගෙන යන්න නම්, මේ කප්පාදු යෝජනා සහ පොදු යහපත උකසට තබා කරන ප්‍රතිසංස්කරණවලට අවසර දෙන්න සිදුවෙනව. අවසර නොදෙන අවස්ථාවල සෘජු ලෙස මර්ධන යාන්ත්‍රණයන් ඉදිරියට දමා යෝජිත කප්පාදු සඳහා මාර්ගය හෙළිකර දෙන්නට පාලකයන් අනිවාර්යයෙන් කටයුතු කරනව. වර්තමාන ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව, වීදි සටන් සඳහා වන ගාමක බලවේග වන දේශපාලන කණ්ඩායම් වෙත ගෙන එන සෘජු-ත්‍රාඩ මර්ධනය මේ කාරණාව අපිට තව තවත් පැහැදිලි කරනව.
මේ වසරේ අප්‍රේල් සිට ජූලි දක්වා උච්ඡ ලෙස පැවති අරගලය තුළ වීදි සටන් හා විරෝධතා සඳහා තරුණ ප්‍රජාවගේ සහභාගිත්වයේ වැඩි නැඹුරුතාවයක් දක්නට ලැබුණා. සමාජ මාධ්‍ය භාවිත කරමින් නිර්-ප්රචණ්ඩ ක්‍රමවේද අභ්‍යාස කරමින් ගෙන ගිය අරගලයේ වීදි සටන් සඳහා තාරුණ්‍යය අනිවාර්ය ගාමක බලවේගය වුණා. ඒ තත්වය උඩ ඉහත සඳහන් කළ කාරණා කෙරෙහි රටේ තරුණ ප්‍රජාවගේ අදහස් විමසා බැලීමට හැකි නම් එය අතිශය වැදගත්.
සමාජ විද්‍යාඥයින්ගේ සංගමය (SSA) “දේශපාලන වෙනසක් සඳහා තාරුණ්‍යය උත්ප්‍රේරකයක් ලෙස” (Youth as a Catalyst for Political Change) මැයෙන්, මුළු දිවයින ම ආවරණය වන පරිදි මේ වසරේ මුලදී කළ සමීක්ෂණයේ තෝරාගත් දත්තයන් කිහිපයකට ප්‍රවේශ වී බලමු!
වෙළඳපොළ සඳහා රාජ්‍යයේ මැදිහත්වීම, සමාජ සුබසාධනය, ආනයන-අපනයන හා නිෂ්පාදන ආර්ථිකය, විදේශ ණය ලබාගැනීම යන අංශ කෙරෙහි අදහස් පළ කළ තරුණ ප්‍රජාවගේ අගයන් ප්‍රතිශතයක් ලෙස පහත දැක්වෙනවා.්
01 වෙළඳපොළ සඳහා රාජ්‍යයේ මැදිහත්වීම
• පොදු යහපත සඳහා රාජ්‍ය වෙළඳපොළට මැදිහත්විය යුතුයි – 59.4 %
• නිදහස් වෙළඳපොළ සඳහා රාජ්‍ය අත පෙවීමෙන් තොර විය යුතුයි – 28.4 %
02 සුබසාධනය
• ලංකාව මහජන සුබසාධනය නැංවීම අරමුණු කරගත් රාජ්‍යයක් වන අතර ඒ සඳහා උපරිමයෙන් කටයුතු කරයි – 22.4 %
• ලංකාව නාමික සුබසාධන රාජ්‍යයක් වුවත් ඊට සරිලන කාර්යභාරයක් ඉටු නොකරයි – 62.6 %
03 රට තුළ නිෂ්පාදනය සහ ආනයනය
• හැකිතාක් නිෂ්පාදන දේශීයව කළ යුතු අතර, නොහැකි දේ පමණක් ආනයනය කළ යුතුයි – 71.4%
• ආර්ථිකමය වශයෙන් ඉදිරියට යා හැක්කේ ආනයනය-අපනයන නිදහසේ සිදුවන ජාත්‍යන්තර වෙළඳ කටයුතු ශක්තිමත් කිරීමෙනි – 23. 7 %
04 ණය ලබාගැනීම
• දුෂ්කර කොන්දේසි යටතේ වුව අඩු පොලී ණය සඳහා IMF / WB වෙත යාම යහපත්ය – 74.1%
• වැඩි පොලියට වුවත් පහසු කොන්දේසි යටතේ චීන ණය ආධාර ලබා ගැනීම යහපත්ය – 9.1%
දිවයින පුරා විසිරී යන සේ කරන ලද මෙම සමීක්ෂණයෙන්, පවත්නා ආණ්ඩුව විසින් අර්බුදය හමුවේ දියත්කිරීමට සැලසුම් කරන මූලික වැඩපිළිවෙලට ප්රතිපක්ෂව, තරුණ ප්‍රජාවගේ අදහස් පිහිටන බවට යම් ආකාරයකින් උපකල්පනය කළ හැකියි. එසේ වුවත් මේ දත්ත සංසන්දනයේ දී සමීක්ෂණයට භාජනය වූවන්ගේ රුචිකත්වයන් අතර කිසියම් පරස්පරයක් තිබෙන බවත් පෙනී යනවා. කෙනෙක් ප්රශ්නාවලියකට උත්තර දෙද්දී විභාගයකට ලියනව ආකාරයට මුල, මැද, අග ප්‍රශ්න නැවත නැවත සලකා බලා උත්තර නොදෙන බව ඇත්ත. මෙහි ඇති තියන වැදගත්ම දේ එයයි. අහඹු ලෙස මේ එක් එක් අංශයන් කෙරෙහි තම අදහස් ප්‍රකාශ කිරීමේ දී සමීක්ෂණයට භාජනය වූ තරුණ ප්‍රජාව ලබා දී ඇති පිළිතුරුවල පරස්පරතා දකින්න පුළුවන්. (මේ සමීක්ෂණයේ වැඩිහිටියන්ගේ අදහස්ද විමසා තිබෙනවා. මගේ අදහස සනාථ කරන්න අවශ්‍ය තරුණ ප්‍රජාවේ අදහස් නිසා තෝරාගත් දත්තයන් පමණයි මෙහි ඉදිරිපත් කෙරෙන්නේ.)
උදාහරණයක් වශයෙන් ණය ලබා ගැනීම පිළිබඳ විමසන විට, සියයට 74.1ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව වෙත යාම අවශ්‍යයි කියනවා. හැබැයි ඔවුන් ම වෙනත් ප්‍රශ්නයකදී, ඒ කියන්නෙ සුබසාධනය සම්බන්ධ ප්රශ්නයේදී “ලංකාව සුබසාධනය උපරිමයෙන් කරනවා” යන්නට එකඟ වන්නේ සියයට 22.4 ක් පමණයි. එසේ ම “රාජ්‍ය, වෙළඳපොළ සඳහා මැදිහත් විය යුතු” බව බහුතරයේ අදහසයි. එය අගයක් ලෙස ගත් කළ සියයට 59.4 ක්. “නිදහස් වෙළඳපොළ සඳහා පක්ෂපාතී” ආකල්ප දක්වන්නේ සියයට 28.4ක් පමණයි. සාපෙක්ෂව බැලූ කල එම අගයේ දෙගුණයක් පමණ “වෙළඳපොළ සඳහා රාජ්‍ය මැදිහත් විය යුතුයි” කියා අදහස් කරනවා. යම් ආකාරයට සුබසාධනවාදී, රාජ්‍ය වැඩියෙන් මැදිහත්වන තත්වයක් ඉල්ලා සිටින ගමන් ම, තරුණ ප්‍රජාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමේ අවශ්‍යතාවය ද මතු කරනවා. “පහසු කොන්දේසි යටතේ ගත හැකි වැඩි පොලී ණය” කෙරෙහි බහුතරයක් සිය අකැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. “දුෂ්කර කොන්දේසි යටතේ වුව ද IMF (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) හා WB (ලෝක බැංකුව) වෙත යාම උචිත බව” යි බහුතරයේ අදහස වන්නේ.
මේ දත්ත විමසීම්වලදී තරුණ ප්‍රජාව හා වැඩිහිටි ප්‍රජාව අතර අදහස්වල විශාල පරතරයක් දකින්නට ලැබෙන්නේ නැහැ. “ණය ලබා ගැනීමට IMF හා WB වෙත යා යුතුයි” යන ප්‍රකාශයට තරුණ ප්‍රජාවේ පක්ෂපාතීත්වය 74.1% ක් වන විට වැඩිහිටි ප්‍රජාවේ පක්ෂපාතීත්වය 69.5% ක අගයක් ගන්නවා. ප්‍රතිවිරුද්ද අදහසේ දක්නට ලැබෙන්නෙත් එවැනි ම ආසන්න අගයන් දෙකක් (තරුණ – 9.1 සහ වැඩිහිටි 8.8 ක්). මේ ආකාරයට අප ඉහත උපුටා දැක්වූ අංශයන් හතර සඳහාම තරුණ හා වැඩිහිටි ප්‍රජාවේ ප්රතිචාරයන්ගේ අගයන් අතර විශාල වෙනසක් දක්නට නොවූ බව කිව යුතුයි. වෙනස වූයේ 3% ක හෝ 4% ක අගයක් පමණයි.
විශේෂයෙන් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) යෝජනා ක්‍රියාත්මක කිරීමේ උපායන් අබියස ඇවිළීමට නියමිත වීදි සටන් සඳහා රට පුරා තරුණ ප්‍රජාවගේ දායකත්වය හෝ ආණ්ඩු විරෝධය සඳහා වන පක්ෂපාතීත්වය ගැන පැහැදිලි ඉඟියක් මතු කර ගැනීම ලියුම්කරුගේ අභිලාෂය වුවත්, දත්තයන්ගේ සංකීර්ණ ස්වභාවය විසින් පාර්ශ්වීය අදහසක් මතු කිරීමට ඇති ඉඩ අහුරා තිබෙනවා. පුරවැසියන් වෙළඳපොළ වෙත රාජ්‍ය වැඩියෙන් මැදිහත් වන සුබසාධනවාදී ආකෘතියක අවශ්‍යතාවය ඉල්ලා සිටින ගමන් ම දැඩි කොන්දේසි යටතේ IMF කප්පාදු යෝජනා සඳහා කැමැත්ත ද පළ කර සිටිනවා.
තවත් දත්ත කිහිපයක් සසඳමින් ඉදිරි ලිපියකදී නැවත සාකච්ඡා කරමු!
ලිපියේ අදහස් ලේඛකයාගේ වන අතර සියලු දත්තවල අයිතිය සමාජ විද්‍යාඥයින්ගේ සංගමය සතුය.
දත්ත සඳහා මූලාශ්‍රය – සමාජ විද්‍යාඥයින්ගේ සංගමය Social Science Association
සමීක්ෂණය – “දේශපාලන වෙනසක් සඳහා තාරුණ්‍යය උත්ප්‍රේරකයක් ලෙස”
Youth as a Catalyst for Political Change
ලිපියේ ඡායාරූපය – KD Darshana
සිංහල ෆොනුරූ අයිතිය – Damith Welikala