මහාචාර්ය සුමනසිරි ලියනගේ
01. 2022 ජුලි 20 වෙනිදා පාර්ලිමේන්තුව ගනු ලැබූ තීරණය මනාව පෙන්වන්නේ එය කිසිසේත්ම ජනතා අභිමතය නියෝජනය නොකරන්නක් බවයි. අඩුම තරමේ එය 2000 පාර්ලිමේන්තු මැතිවරණයේ දී පෙන්වූ ජනතා අභිමතයවත් නියෝජනය නොකරන වගය. පහුගිය මැතිවරණයේ දී සියයට දෙකකටත් අඩු චන්ද සංඛ්‍යාවක් ලබාගත්තෙකු ඊට වසර දෙකහමාරකට පසු චන්ද ලක්ෂ 69 ක් හා සියයට 55 ක් ගත්තෙකු වෙනුවට පත්කිරීම මොනතරම් විහිලුවක් ද? 1978 ජනරජ ව්‍යවස්ථාව අද ලෝකයේ විහිලුකාරම ව්‍යවස්ථාව බවට පත් වී හමාරය.
02. අප්‍රියෙල් 9 වෙනිදා සිට මෙරට ජනමතයේ ඇති වූ චලනය මගින් ප්රකාශණය වන ජනතා පරමාධිපත්‍යය මෙම පාර්ලිමේන්තුව මගින් ප්රකාශණය නොවේ. එමනිසා මේ පාර්ලිමේන්තුව යා යුතුය. එහෙත්, ව්‍යවස්ථාව එවන් බලකිරීමකට ඉඩ නොදේ. මෙමගින් පෙන්වන්නේ ප්රජාතන්ත්රවාදී මූලධර්ම සහ ව්‍යවස්ථා විධිවිධාන අතර ඇති දැඩි අසමමිතිකත්වයකි (discordance).
03. එවන් සන්දර්භයකදී මේ ප්රජාතන්ත්රවාදයේ අර්බුදය විසදාගත හැක්කේ වර්තමාන ව්‍යවස්ථාවේ විධිවිධානයනට පටහැනි වුවද, ප්රජාතන්ත්රවාදයේ මූලධර්මයන් හා ගමන් ගන්නා ජනමතයේ චලනය ප්රකාශණය වන සමාන්තර ව්‍යුහයයන් ගොඩනගා ගැන්මෙනි. අරගලයේ සාමූහිකය යෝජනා කර ඇති මහජන කවුන්සලය ඒ සදහා දැනට ඇති හොදම යෝජනාව යැයි මට සිතේ.
04. ප්රජාතන්ත්රවාදී මූලධර්මයන් ට එකගව මහජන කවුන්සලයක් පත්කර ගන්නේ කෙසේ ද? පාර්ලිමේන්තු මැතිවරණයක් සදහා ව්‍යවස්ථා විධිවිධාන ඉඩ නොදේ. එවැන්නක් ඇතිවිය හැක්කේ, ජනාධිපති කැමැත්තෙන් හෝ පාර්ලිමේන්තුව ස්වයං විසුරුවාලීමක් කිරීමෙන් ය. අනෙක මේ මැතිවරණ ක්‍රමය අනුව එසේ පත්කරගන්නා පාර්ලිමේන්තුවක් මගින් සැබෑ ජනතා පරමාධිපත්‍යය ප්‍රකාශ නොවේ.
05. එවන් තත්ත්වයකදී, සංක්රමණීය විසදුමකට යා යුතු වේ. එහෙත්, ඒ සංක්රමණීය විසදුම තුළ අනාගතයේ ඇතිකරන වඩා ප්රජාතන්ත්රවාදී විසදුමක කළලයන් අන්තර්ගත යුතු වේ. එවන්, සංක්රමණීය මහජන කවුන්සලය පත් කරන්නේ කෙසේ ද? එහි සංයුතිය කුමක් ද? එහි සංයුතිය ප්‍රධාන කොටස් තුනකින් සමන්විත විය හැක. පළමුවෙනි කොටස පහුගිය දින 100 කට වැඩි කාලයක් ජන අරගලය පෙරට ගෙනගිය පිරිස විය යුතු වේ. ඒ ඒ ප්‍රදේශයන්හි ගෝඨා ගෝ ගම් වලින් තෝරා/ නම්කර එවන 100 ක්. දෙවනුව, ගොවිබිම්, වැඩබිම්, ධීවර ගම්, වතු වල වැඩකරන ජනතාව සහ විවිධ සේවා (සෞඛ්‍යය, සරසවි, ගුරු, ශිෂ්‍ය වැනි) විසින් වෘත්තීය පදනමකින් තෝරා/ පත්කර එවන 100 ක්. මේ 200 ට අමතරව, අරගලයේ සාමූහිකයේ සහෝදරවරුන් 25 ක්. මේ ප්‍රමාණයන් හුදු සංයුතිය සිහිගන්වන යෝජනාවක් පමණි.
06. මෙම කවුන්සලයේ කේන්ද්‍රස්ථානය වන්නේ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ය. එය මැදිකොට කරන විධායක කටයුතු කරනු ලබන්නේ, අරගලයේ සාමූහිකය ය.
07. මේ සංක්රමණීය මහජන කවුන්සලයේ ආයුකාලය මාස 12- 18 වේ. එය මාස 18 කුමන හේතුවක් නිසා හෝ නොඉක්මවිය යුතු වේ.
08. (අ) මේ මහජන කවුන්සලය ශ්‍රීලංකාව සදහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු වේ. මෙහිදී, ඒ විෂය සම්බන්ධ විශාරද සහාය ලබාගත හැක.
(ආ) ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම සදහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කළ යුතු වේ. ඒ අනුව ඉන්ධන හිගය නැතිකොට රට නැවත දිවවීම ප්‍රධාන වේ.
(ඇ) ආදායම් වියදම් සමීක්ෂණය මත පිහිටා අවම වැටුපක් නියම කොට ක්‍රියාත්මක කළ යුතු වේ.
(ඈ) කෘෂිකර්මය, නිර්යාත නිෂ්පාදනය, සංචාරක සේවය අඛණ්ඩව ගෙනයාම සහතික කෙරෙන ක්‍රියාමාර්ග ගත යුතු වේ.
(ඉ) අධි සහ ඌන මිල නියම කිරීම, කලු කඩය, සහ වංචා දූෂණ නැවැත්වීමට ක්‍රියා කිරීම සහ වරදකරුවන් ට දඩුවම් දීම කඩිනමින් කළ යුතු වේ.
(ඊ) අරගලයේ සාමුහිකය යෝජනා කළ බදු වෙනස්කම් කඩිනමින් කළ යුතු වේ.
මේ ලැයිස්තුවට එක්කළ හැක.
09. මහජන කවුන්සලය සම්මත කරන දේ නීති ද? ඔව්. පවත්නා ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව ඒවා ක්‍රියාවට නැගීම අවශ්‍ය යැයි පාර්ලිමේන්තුව සිතන්නේ නම් ඒවා එය මගින් යළි සම්මත කර හැක. එසේ නොකළද අදාළ අංශ වෘත්තීය සමිති හා කම්කරු සහ මහජන සභා මගින් ඒවා ක්‍රියාවට දැමිය හැක.
10. සංක්රමණීය මහජන කවුන්සලයේ ආයුකාලය අවසන හෝ ඊට පෙර, එය සම්මත කරන ව්‍යවස්ථාව අනුව මැතිවරණ පවත්වා ස්ථාවර සාධාරණ හා ප්රජාතන්ත්රවාදී පාලනයක් ස්ථාපිත කළ හැකි වේ.
(මහාචාර්යවරයා “මහජන කවුන්සලය සමන්විත විය යුත්තේ කෙසේද? එය පත්කරන්නේ කවරෙක් ද?” මැයෙන් ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනකින් උපුටාගන්නා ලදී)