කේ.ඩී. දර්ශන
ඊයෙ හවස JDA Perera Gallery එකේ තිබුණු සුජිත් රත්නායකගෙ Fifty (සුජිත්ට පනහක්) චිත්‍ර ප්‍රදර්ශනය බැලුව. චිත්‍ර කියවීමේ ගැඹුරු විධීන් තවමත් මා දන්නෙ නැහැ. ඒ නිසා ඔහුගේ ඇතැම් චිත්‍ර මට මග හැරෙන්නත් ඇති. සුජිත් ගැන මගේ හැඟීම ඔහු පරම අවංක කලාකරුවෙක්. මේක අතිශයෝක්තියක් නෙවේ. ඇඳීම හා ඒ වෙනුවෙන් පෙනී සිටීම නැමැති රෝගයෙන් පෙළෙන මේ අසිරිමත් කලාකරුවා කෙරෙහි මට ලොකු ගෞරවක් තියෙන්නෙ ඒ නිසයි.
පනහක් අල්ලං හිටීම ගැන සුජිත් රත්නායකට සුබපතන ගමන් තවත් පනහක් අල්ලං ඉන්න දිගාසිරි පතනව.
දැං මං සූදානම් ඔහුගෙ සිතුවම් අතර ඉබේ ම මගෙ තිරිංග තදවුණු සිතුවමක් ගැන අදහසක් ලියන්න. මේක චිත්‍ර කලා විචාරයක් නෙවේ. සමහර විට අධි අර්ථකථනයක් වෙන්නත් පුළුවං.
රන් පාට ඔටුන්නක් පස්සෙ පොදි කමින්, සර්පිලයක් / චක්‍රයක් ආකාරයෙන් යන මිනිස් රොත්තක්. ඔටුන්න හැර අන් සියලු වස්තූන් හා පසුබිම අඟුරු පැහැයෙනුයි දක්වලා තියෙන්නෙ. ඇසිල්ලෙන් මට මතක් වුණේ In the Tall Grass කියන චිත්‍රපටය. මං කැමතියි ඒ චිත්‍රපටයත් එක්ක සුජිත්ගේ මේ චිත්‍රය කියවල බලන්න.
___________________
In the Tall Grass අධ්‍යක්ෂණය Vincezo Nataliගේ. (එනමින් යුත් නවකතාවක් ඇසුරින්). එහි කතා සාරාංශයක් සටහන් කිරීම අවශ්‍යමයි.
බෙකී තමන්ගෙ සහෝදරයා වන කැල් සමග ඇගේ දරු උපත සඳහා යමින් ඉන්නවා. බෙකීට වන කායික අපහසුතාවයක් නිසා කැල් මෝටර් රථය නතර කරනව. ඔවුන් නවතින්නේ කෙළවරක් නොමැති උස් තණ යායක් අද්දර. ටෝබින් නම් පිරිමි ළමයෙකුගේ කෑ ගැසීම නිසා ඔවුන් තණ යායට ඇතුළු වෙනව (උදව් ඉල්ලා කෑගැසීමක්). ඇතුළු වුණු තැන සිට ම එය කාලත්‍රය එක් වූ ගුප්ත බිමක්. අතීතය, වර්තමානය හා අනාගතය යන කාලත්‍රයම එක් කාලයක් ලෙස පවත්නා විලෝපික භූමියක්. භූමියේ පැවැත්ම වෙනුවෙන් මළ සිරුරු සොයන ඉලුක් වනයක්. කාල මායාව හේතුවෙන් එක ම ශරීරය නැවත නැවත ආහාරයට ගන්න මේ භූමියට පුළුවන්.
ටෝබින් කියන පිරිමි ළමයා, ඔහුගේ මව, පියා වගේ ම සුරතල් බල්ලත් මේ විලෝපික භූමිය විසින් ඩැහැගෙන. නැවත එළියට යාමක් ගැන සිතන්නටවත් බැහැ. බෙකීගෙ ස්වාමිපුරුෂයා, ට්‍රාවිස්. බිරිය සොයා එන ඔහුත් මේ උගුලේ පැටලෙනව.
තෘණ භූමිය මැද්දේ තියෙන්නෙ අමුතු පාෂාණයක්. මේ පාෂාණයට අත තැබීමෙන් විශේෂ ඥානයක් හෝ ශක්තියක් ලැබෙනව. ටෝබින්ගේ පියා, ඔහු මේ ඥානය ලැබූවෙක් වගේ ම ඉන් බොහෝ දරුණු බව ලැබූවෙක්. මේ මත අත තබන්නන්ට පේනව විලෝපික භූමිය විසින් ගොදුරු කරගත් මිනිසුන්ගේ ගොජ දමන සිරුරු. ඒ සිරුරු දඟලමින්, වැළපෙමින් නළියනව. මේ ගුප්ත හා ප්‍රචණ්ඩ තෘණ භූමිය තුළ බෙකීගේ කුසෙහිවන් දරුවාගේ මාංශ ඩැහැ ගැනීමට පවා රෝස් (ටෝබින්ගේ පියා) සමත් වෙනව. විස්තර කළ නොහැකි තරම් ගුප්ත, භයානක හා අප්‍රසන්න සිදුවීම් ගණනාවක් මෙය නරඹන ප්‍රේක්ෂකයාට විඳදරාගන්න වෙනව.
මෙය චිත්‍රපටය පිළිබඳ මතක හැටියට කළ සාරාංශයක්. චිත්‍රපටය අවසානයේ නම් සියල්ල විසඳෙනව.
මධ්‍ය පාෂාණයට අත තැබූ පසු විලාප දෙන හා වේදනාවෙන් නළියන මිනිස් වැල, කලාගාරයට ඇතුළු වුණ ගමන් දැකපු ඔටුන්න පසුපස දුවන මිනිස් චක්‍රය වගේ. ඒ චක්‍රය ලංකාවේ දේශපාලනය හා පොළොව වගේ. In the Tall Grassහි විලෝපික තෘණ භූමිය අපි ජීවත්වන මේ භූමිය වගේ. ‘පිං කෙත හෙළ රන් දෙරණ’ කිව්වට අපේ භූමියත් එහි පැවැත්ම වෙනුවෙන් මළ සිරුරු ආහාරයට ගන්න අත්හැරදැමූවන්ගේ දේශයක් (The Forsaken Land – Vimukthi Jayasundara ). රජුන්ගේ ඉතිහාසය රුධිර ගංගාවන්ගේ ඉතිහාසයක්. නිදහසින් පසු මෑත යුගයේ ඉතිහාසයත් මළසිරුරු මග දකිනසුළු ඉතිහාසයක්. මුළුමනින් ම මෙය රුධිර පිපාසිතයන්ගේ අඳුරු භූමියක් (ජගත් වීරසිංහගේ චිත්‍ර බලන්න).
In the Tall Grass හා සුජිත්ගේ ඔටුන්න පසුපස දුවන මිනිස් රොත්ත (චිත්‍රයේ ඔහු යෙදූ නම මං දන්නෑ) Fifty ප්‍රදර්ශනයේ විශේෂත ම සිතුවම ලෙස නම් කරන්න කැමතියි.
[‘සුජිත්‍ට පනහක්’ කියන අකුරු ටික ගත්තෙ Gayantha Pandula බෙදපු පත්‍රිකාවෙන්. පහත දැක්වෙන්නේ Fifty ප්‍රදර්ශනයේ වූ සිතුවම් අතරින් කිහිපයකි.)