කේ. ඩී. දර්ශන
ඇපලෝනියන් පෙම්වතාගේ සිට ඇගේ ආශාව සීඝ්‍රයෙන් තම මිතුරියගේ සැමියා වන දියොනීසියන් පුරුෂයා වෙත ඇදී යයි. එක් අතකින් මෙය ස්ත්‍රී-පුරුෂ ප්‍රේම සංග්‍රාමයන්හි දක්නට ලැබෙන සනාථන ගැටුමකි.
අනුරාධ සුබසිංහගේ “ඉන්ද්‍රජාලික පෙම්වතිය” නාට්‍යය දෙවන වරටත් නැරඹීමි. පළමුවර රාජ්‍ය නාට්‍ය උළෙලේදී නරඹා මා ඊට ගෙන ආවේ කර්කෂ විවේචනයකි. නාට්‍ය තවදුරටත් සියුම් වීදෝ, නොඑසේ නම් මා සිතන විදිය වෙනස්වීදෝ මෙවර මට ඇත්තේ ඒ ගැන පෙරට වඩා සාධනීය විචාරයකි.
වරක් නැරඹූ නාට්‍යයක් දෙවන වර නැරඹීමට හේතුවක් තිබිය යුතුය. ‘උමා අසේනි’ එම හේතුවයි.

උමාගේ රංගනය විශ්මිතය. එතරම් සැහැල්ලුවෙන් මේ සා සංකීර්ණ චරිතයක් නිරූපණය කිරීම වනාහී දෙවරක් නොව, තෙවරක් වුවත් නාට්‍ය නැරඹීමට බලකරයි.
ඉතා කෙටියෙන් “ඉන්ද්‍රජාලික පෙම්වතිය” ගැන මගේ දෙවන වර කියවීම සටහන් කරමි.
මෙය ස්වතන්ත්‍ර නාට්‍යයකි. කැලණි සරසවියේ ඇකඩමික් ප්ලේයර්ස්වරු ස්වතන්ත්‍රවලට වඩා පරිවර්තන හා අනුවර්තන කෙරෙහි වැඩි අවධානයක් යොමු කරති. මේ තතු උඩ අනුරාධ සුබසිංහ ස්වතන්ත්‍ර නාට්‍යයක් නිෂ්පාදනය කර තිබීම පළමුවෙන් පැසසිය යුතුය.

නාට්‍යයේ මුල් භාගය, කිසියම් ඒකත්වයකින් යුතුවෙන් ඇදී යයි. එය ප්‍රේක්ෂකයා ඇද බැඳ තබා ගනී.
තර්කයට, හේතුවාදයට හෝ ප්‍රබුද්ධත්වයට ගෝචර නොවන හැඟීම් කලාපයක නියෝජයක් වන ෆ්ලෝරාත්, ඇගේ සිතීමෙහි ප්‍රතිපක්ෂය වන ලේඛක පෙම්වතාත් අපගේ එදිනෙදා අත්දැකීම් සමග පෑහෙමින් ඔවුන්ගේ වනගත නිවසේ වාසය කරති.
තර්කය, යුක්ති-යුක්ත භාවය හමුවේ තමාගේ ම ලෝකයක සැඟවී සිට ලීවීමෙහි – කියවීමෙහි නියැළෙන ඔහුට ෆ්ලෝරාගේ ආධ්‍යාත්මය සමඟ පෑහීමට උනන්දුවක් නැත. ආශාවක් නැත. ඔහුගේ ආශා කලාපය වැඩ කරන්නේ සමාජ සාධාරණත්වය උදෙසා යථාර්ථවාදී ලේඛනයක නිරත වීම කෙරෙහිය.
සැබවින් ම ඔහුට ෆ්ලෝරාගේ හැඟීම් කලාපය නොතේරෙනවා ම නොවේ. ඔහු එය තකන්නේ නැත. ලේඛකයෙක් ලෙස ඔහු භාෂාවේ වාගාලංකාර නොතකයි. හැඟීම්බර කතා මිනිසුන් සැබෑවෙන් එළියට විසිකර දමන බව ඔහු අදහයි.
අපට (මට?) හමුවන ඕනෑම ස්ත්‍රියක් සේම, ෆ්ලෝරා පෙම්වතාගෙන් භාෂාව අපේක්ෂා කරයි. අනුරාධගේ ෆොලෝරා නමට ශබ්දයෙන් සමාන ඉබ්සන්ගේ ‘නෝරා‘* ට වඩා සරල සම්බන්ධතාවක් සහ පරස්පරතාවකි මේ දෙදෙන අතර ඇත්තේ. ඉබ්සන්ගේ නෝරා යුරෝපය හොල්ලමින් ඉල්ලුවේ මීට වඩා සංකීර්ණ අනන්‍යතාවයකි. හෙල්මර් ඇයට භාෂාත්මක ආමන්ත්‍රණ ලබාදෙයි. ඇය සුරතල් කරයි. නෝරා ඔහුගේ ලේන් පැටික්කීය. කඩචෝරුවලට පෙරේත බරක් පතලක් නොදන්නා බෝනික්කීය.

ෆ්ලෝරා ඉල්ලන්නේ ඊට අඩු යමකි. ඇය ලේඛක පෙම්වතාගෙන් ආදය ඉල්ලා සිටියි. ඇය සොයන්නේ ආදරයේ භාෂාවයි. පස් අවුරුදු ආදරයක් ද පසු කර විවාහයයි. මෙය නෝරාට අඩු ඉල්ලීමක් යනුවෙන් නම් කිරීම වනාහී අවතක්සේරුවක් නොවේ. නෝරාට හෙල්මර් දෙන දෑ සියල්ල පසුපස ලඹ දෙන්නේ අවලස්සන පුරුෂෝත්තමවාදයකි. හෙල්මර් හොඳ මහත්මයෙකු බව පෙනේ. ‘නෝරාට උරුම කුස්සියය‘, ‘ඇගේ කැරැල්ල අසාධරණය‘ යි උගන්වන ලංකාවේ ශාස්ත්‍රපීඨවලට නම් හෙල්මර් ඕනෑවටත් වඩා හොඳ මහත්මයෙකි.
ඇත්තෙන්ම හෙල්මර් නරක මහත්මයෙක් නොවේ. නෝරා ප්‍රශ්න කරන්නේ සමස්ත කතිකාවකි. ඒ කතිකාව උඩ මිස තනිව ගෙන හෙල්මර් විවේචනය කිරීමට උඩ කී ශාස්ත්‍රපීඨවල ඉගෙන ගත් මට වුව සිත් නොදේ.
අනුරාධ මෙහි මතු කරන්නේ ඊට වඩා ප්‍රාථමික දෙයකි. එය අතිශයින්ම හැඟීම් කලාපය හා බුද්ධිගෝචර බව ගැන සංකීර්ණයකි. ෆ්ලෝරා හා ඇගේ පෙම්වතා ඔවුනොවුන්ගේ ආත්මවල ප්‍රතිපක්ෂයන්ය. ඇගේ යෙහෙළියගේ සැමියා වන රංගන ශිල්පියා ෆ්ලෝරාගේ ආශාකලාපය කිතිකවන භාෂාත්මක පුරුෂයෙකි. කෙටියෙන් ම කිවහොත් ඔහු (නළුවා) දියොනීසියානු හැඩයකි. ශිව ය. ලේඛකයා (පෙම්වතා) ඇපලෝනියන් ය.
ඇපලෝනියන් පෙම්වතාගේ සිට ඇගේ ආශාව සීඝ්‍රයෙන් තම මිතුරියගේ සැමියා වන දියොනීසියන් පුරුෂයා වෙත ඇදී යයි. එක් අතකින් මෙය ස්ත්‍රී-පුරුෂ ප්‍රේම සංග්‍රාමයන්හි දක්නට ලැබෙන සනාථන ගැටුමකි.

නාට්‍යයේ නළු-නිළියෝ මේ වෙනස්කම් අපූරුවට මවති. උමා වරා මලක් සේ සැහැල්ලුවෙන් වේදිකාවේ සරයි. මයුර කාංචනගේ දියොනීසියන් රංගනය, සමිත සුධීෂ්වරගේ ඇපලෝනින් රංගනය පමණක් නොව දිව්‍යාගේ සහ සමන්තගේ භූමිකා සමස්තයක් ලෙස “ඉන්ද්‍රජාලික පෙම්වතිය” හි පළමු අඩ සාර්ථකව නිම කරයි.

දැන් දෙවන අඩය. අනුරාධ සුබසිංහ නම් නාට්‍යකරුවා පරදවා ඔහුගේ මනස්ගාත එළියට එන්නේ මේ කොටසේය. සධූපදේශ හා දාර්ශනික වාක්‍ය ඛණ්ඩවලින් පිරි දෙවන අඩ උමාගේ හැඬීමෙන් කම්පනයටත්, ප්‍රහර්ෂයටත් පත් ප්‍රේක්ෂකයා කුරිරු ලෙස බිඳ දමයි.
කලාවේ ප්‍රකාශනය උදෙසා නාට්‍යකරුවාට ඇති අයිතිය අභියෝගයට ලක් කිරීමට විචාරකයාට නොහැකිමුත්, කලාවේ මිනුම් දඬු ඒ මත තබා යතුගා බැලීමට අයිතියක් ඇත.
මෙහි සංකේත බලවත් සේ නැගී සිටී. පසුබිමේ වන උස ගස් නාට්‍යය පුරා නැගී එන පුරුෂ මූලික අදහස්වල හෙවණැල්ලකි. සෘජු වූ පුරුෂ ලිඟු සේ ඉහළට ඇදී ගිය, ගුල්ම වනයේ රැඳි ගස් අස්සේ අපට හමුවන කෘමි විද්‍යාඥයා, නොඑසේ නම් සධූපදේශකාරයා කවරෙක්ද? මුල පටන් උපුටන ගෙන ආ කෘතිය ලියූ තැනැත්තාගේ අවතාරයද? කෙසේ වෙතත් මේ සංකේතවාදය අපව ගෙන යන්නේ සියවස් කීපයක් ආපස්සටය.
මධ්‍යතන යුගයෙන් පසු යුරෝපයේ බිහිවූ සදාචාරාත්මක හෝ ප්‍රාතිහාර්යාත්මක නාට්‍යවල එන චරිතයක් හෝ සෙල්ලපිල්ලේ කෙනෙක් නූතන වේදිකාවට කුමටද? ඉතා සංකීර්ණ මනෝභාවයන් පෙන්වන කතාන්දරයක් අස්සට, ඊනියා සංකේතවාදයක් ඔබ්බවීමට ගොස් නාට්‍යාර්ථය දියාරු කිරීම ගැන අධ්‍යක්ෂවරයාට දොස් තබමි.
සුදු හැඳගෙන, කෘමි දැලක් අතින් ගෙන ආවේ කවුරු ද යන උභතෝකෝටිකය විසඳීම පසෙකලා, ඒ ආවේ අනුරාධ සුබසිංහ යැයි සිතමින් ම, සමස්තයක් ලෙස “ඉන්ද්‍රජාලික පෙම්වතිය” නාට්‍යයට මල් මිටක් විසි කරමි. ස්වතන්ත්‍ර නාට්‍යයක් ලිවීම හා එය වේදිකාවට ගෙන ඒම ගැන නාට්‍යකරුවාට ස්තුතිවන්ත විය යුතුය. විශේෂයෙන් ම අපට ‘සිතන නාට්‍යකරුවෙක්’ සිටීම වනාහී සුබ ලකුණකි.

- * – ඉබ්සන්ගේ නෝරා – නෝවීජියන් නාට්‍යකරු හෙන්රික් ඉබ්සන් විසින් රචනා කළ A Doll’s House (1879) නාට්‍යයේ ප්‍රධාන චරිතය වන්නේ නෝරායි. හෙල්මර් ඇගේ සැමියායි.
(සියලු ඡායාරූප උපුටා ගැනීම – අන්තර්ජාලයෙනි)