ලියනගේ අමරකීර්ති
19 වෙනි සියවසේදී පමණ කෙටිකතාව නම් ශානරය තියුණු සාහිත්‍ය ප්‍රභේදයක් වූ තැන් සිටම එහි වූ ප්‍රධාන ලක්ෂණයක් වූයේ ජීවිතයෙහි සහ මනුෂ්‍ය පැවැත්වෙහි අර්ථ සමාජ- දේශපාලනික සන්දර්භයක තබා වටහා ගැනීමේ ප්රයත්නයයි. විශිෂ්ට කෙටිකතාවල චරිත ඒ චරිත අයත් සමාජ සන්දර්භවලට බෙහෙවින් සම්බන්ධ බව පෙනෙන්නට තිබිණි. “හිම කබාය” සහ “නාසය” පීටර්ස්බර්ග් නගරයටත්, 19 වෙනි සියවසේ රුසියාවටත් සබ්බන්ධ වන්නාක් මෙනි. මෙල්විල්ගේ “බාට්ල්බී ” නිව්යෝර්ක් නගරයට හා සම්බන්ධ වන්නාක් වෙනි. චෙකෝෆ්ගේ කතා රුසියානු ජීවිතයට සම්බන්ධ වන්නාක් මෙනි. ඒ කතාවල එන අනුස්මරණීය චරිත හා සිදුවීම් හරහා ඒ ඒ සමාජ වෙත අගනා කවුළු විවර විය.
ඒ නිසා වියුක්ත උපමා කතාව කෙටිකතාවක් වන්නේ කෙටිකතාවේ එක් උපශානරයක් සේ පමණි. මෑතකදී මා කියවූ කෙටිකතා පොත් තුනක්ම ඉතා කෙටි කතාවලින් සැදුණේ වෙයි. සහන් කසීර වික්‍රමසිංහ, ටිම්රාන් කීර්ති, සහ සඳුන් ප්‍රියංකර විතානගේ ඒ කතා පොත් ලියූහ. විතානගේ ලියා ඇති හතරමං හංදියක වචනතර පොත කියවන කලද ඉතා දක්ෂ කෙටිකතාකරුවෙකු මෙන්ම තියුණු සමාජ නිරීක්ෂකයෙකු ඔහු තුළ සිටින බව පැහැදිලිව පෙනේ.
පිටු 64ක් තුළ කෙටි කතා 8ක් අඩංගු වන මේ පොත කියවන කල තවත් දක්ෂ කෙටිකතාකරුවෙකු පහළ වී සිටීම ගැන සතුටක් ඇති වේ. කෙටිකතා රචනයට අවශ්‍ය භාෂා ශක්තිය, ව්‍යූහමය පරිකල්පනය ආදිය අතින් ඔහු වසන යුගයෙහි සමාජය සියුම්ව නිරීක්ෂණය කිරීම අතින්ද විතානගේගේ දක්ෂකම පළපුරුදු පාඨකයාට වහා දැනේ. සහන් කසීර වික්‍රමසිංහගේ පොතෙහි මෙන්ම මේ පොතේදීද අප දකින්නේ තමාගේ පරම්පරාවේ සහ යුගයෙහි ජීවිතයෙහි හරස්කඩක් සැතකින් කැපුවාක් මෙන් ඡේදනය කරගන්නා හැකියාවයි. ඒ කෙටි ඡේදන ඔස්සේ ලොකු චිත්‍රයක් හසු වේ.
අද ලංකාවේ සෑම නරගයකම පාහේ දකින්නට ලැබෙන ස්පා ස්ථානයක යන තරුණයෙක් එක් කතාවකදී හමුවේ. එහෙත් ඔහු ලිංගික ප්‍රීතිය මිලට ගන්නා හුරුව නැත්තෙකි. මේ පළවෙනි දවසයි. යන්නේද අදිමදි කරමිනි. මිතුරෙකුගේ ප්රයත්නය නිසාය. එහිදී ඔහුට හමුවන තරුණ කාන්තාව එක්දරු මවකි. මාෂා යන ස්පා නමින් යුතු ඇගේ සැබෑ නම සුලෝචනාය. ස්පාවකදී සම්භාහනයට අමතරව වැඩිපුර රුපියල් දාහකට ලැබිය හැකි ප්‍රීතියක් වන ‘හස්ත කර්ම ප්‍රීතියද’ ඔහු ප්‍රතික්ශේප කරයි.
මේ කතාව ගණිකාවක අලසට ගොස් ඇගේ දුක ගැන කතාව අසන තරුණ පිරිමියා ගැන පැරණි කතාවම නොවේ. එක් ප්‍රධාන වෙනසක් තිබේ. මේ යුගයේ ජීවිතය අපට පෙනෙන්නේ ඒ වෙනස තුළිනි. ස්පාවේ සේවය කරන සම්භාහන ශිල්පිනිය තමා කරන වෘත්තිය ගැන දුක කියන්නේ නැත. එය හොඳ රැකියාවක් බව ඇය සිතයි. දැන් කාලෙ සෙක්ස් කියන්නෙ මැජික් එකක් නෙමේ යැයි කියයි. එයද විකුණුම් භාණ්ඩයක් වැනි සාමාන්‍ය දෙයකි. අනික් මිනිස්සුන්ට සෙක්ස් කර්මාන්තයේ සිටින අය කවුදැයි සොයන්නට වෙලාවක්ද නැත. එහෙත් අවුරුදු තිස් පහක් වන ඇයට තව වැඩි කාලයක් මේ රස්සාව කළ නොහැකි බවද ඇය දනියි.
ඒ තරුණ ස්ත්‍රිය හුදෙක් ගණිකා ‘උවදුරක’ ලකුණක් හෝ උවදුරක ගොදුරක් හෝ සේ නොදැක අලුත් අර්ථ ක්රමයක තම ජීවිතයද දරුවාගේ ජීවිතයද රැක ගනීමට තැත් කරන කාරක ශක්තියෙන් යුතු ගැහැනියක සේ පෙනෙන්නේ රචකයාගේ දෘෂ්ටිය නිසාය. තවත් කතාවක එන වීදි ගණිකාවක්ද රචකයා විසින් චිත්රණය කෙරෙන්නේ ගොදුරක් සේ නොවේ. කතාවේ ගොදුරක් වන්නේ ඒ මේ පශ්චාත් නූතන ධනවාදය යටතේ පවත්නා මුළු කොළඹම ගොදුරකි.
තව කතාවකදී අපට කුරියර් සේවාවක වැඩ කරන චරිතයක් හමුවේ. “අබිං” නම් ඒ කතාව පශ්චාත් නූතන ලංකාව ගැන අපූරු චිත්රණයකි. කුරියර් සේවා, ස්පා, පීසා හට් ආදියෙහි වැඩ කරන හෙවත් ගෝලීය ප්රාග්ධනය වෙනුවෙන් වැඩ කරන පශ්චාත් නූතන රැකියාවල නියුතු මේ පරම්පරාවේද විඥාන පාලනය කරන යකැදුරන්, සුර ජීවං කරන්නන් වැනි අය ගැන මේ කතාවේ එන සමාජ නිරීක්ෂණය ඉතා තියුණුය.
තව කතාවක හමුවන ජාතිවාදය විරුද්ධ ජනමාධ්‍යවේදියා ඇති කරන්නේ පුදුමාකාර උත්ප්රාසයකි. “සංහිඳියා බයිට් එක” නම් ඒ කතාවේ එන ඒ ජනමාධ්‍යවේදියා මුස්ලිම් ජනයාට විරුද්ධ ඇති වූ සිංහල ජාතිවාදී රැල්ලට විරුද්ධව ලියන්නෙකි. ඒ ඔහුගේ රස්සවය. එහෙත් දවසක මධුසාදයක් පිණිස මුස්ලිම් ජාතික ආහාර වෙළෙන්දෙකුගෙන් කටගැස්මක් මිලට ගන්නට ගොස් පෝලිමෙන් පිට පැන ඔහුට එය නොදුන්නේ යැයි පත්තරකාරයා ජාතිවාදය දෙසටම හැරේ. ඔහු අපේක්ෂා කරන්නේ මුස්ලිම් ජනයා වෙනුවෙන් ඔහු ලියන දේට මුස්ලිම් ජනයාගෙන් සැලකිල්ල ලැබිය යුතු බවයි. මේ ආහාර වෙළෙන්දා පත්තර නොකියවන්නේද විය හැකිය. ඇතැම් සිංහල බුද්ධිමතුන්ගේ සංහිඳියාවාදයේ බිඳෙනසුලු බව කෙටිකතාවට හසු වන්නේ සිත්ගන්නා ලෙසය.
මේ කතාපොතෙන් දක්ෂ ලේඛකයෙක් මතු වී පෙනේ. එහෙත් ඔහු මීට වඩා දිග ගම්බිර කෙටිකතා කලාවක් වෙත පැමිණිය යුතු ලේඛකයෙකි. ලෝකයෙහි ලියැවී ඇති ඇතැම් ගැඹුරු කෙටිකතා විතානගේගේ මේ සමස්ත පොත (පිටු 64ක්) තරම්ම දිගය.
මෑතකදී සිංහල කෙටිකතා කෙටිවෙමින් යෑම ගැන තරමක අමනාපයක්ද මට තිබේ. විතානගේ යනු පිටු 20-40 තරමේ කෙටිකතා කියවා අධ්‍යයනය කළහොත් ගැඹුරුද පළල්ද වූ කෙටිකතා ලිවීමෙහි හැකියාව ඇත්තෙකියි මට සිතේ. ඉවසිල්ලෙන් කාලය අවකාශය ගෙන හොඳ කතාවක් කීම කෙටිකතා කලාවේ සෞන්දර්ය නියාම උල්ලංඝනය කිරීමක් නොවේ. කෙටිකතාව යනු එවැනි උල්ලංඝනය ඉවසිය හැකි ශානරයකි.
මෙහි මා ඇතුළත් කරන 2010 හොඳම ඇමරිකානු කෙටිකතා යැයි සැලකෙන සංග්රහයෙහි එන කතාවල සාමාන්‍ය දිග පිටු 20කි. එය ප්රමාණමය දත්තයක් සේ නොව සෞන්දර්ය දත්තයක් සේ ගන්නා ඉවසීම ඇති අයට පිටු 20 යනු හුදු සංඛ්‍යාවක් නොවේ. මේ කාරණය හොඳින් දන්නා ප්‍රතිභා සම්පන්න කෙටිකතාකරුවෙකු සේ ඉසුරු චාමර සෝමවීර මට පෙනේ. අනේ ඔහුගේ “ගැහැනු පිරිමි මල් පලතුරු” නම් පොත නොසලකා හැරුණු හැටි!!!
සඳුන් ප්‍රියංකර විතානගේ යනු කල් යල් බලා මනුෂ්‍ය ජීවිතය පළල කළාලයකට හසු කර ගත හැකි ලේඛකයෙකු මිස ක්ෂුද්‍ර කෙටිකතා උපශානරයට සිරවිය යුතු ලේඛකයෙකු නොවේ යැයි මා කියන්නේ ඒ උපශානරය දෙසද සුහදව බලන්නෙකු ලෙසිනි.
(මහාචාර්ය ලියනගේ අමරකීර්ති සිය ෆේස්බුක් පිටුවේ පළ කළ මෙම විචාරය, ලේඛකයාගේ අවසරය පරිදි උපුටා ගන්නා ලදී)