Skip to content
“සංක්‍රමණීය කාලයක් කියන්නේ මාර විභවයක් තියෙන කාලයක්” -මහාචාර්ය නිහාල් පෙරේරා-
ඇමරිකාවේ බෝල් ස්ටේට් විශ්වවිද්‍යාලයේ (Ball State University) නාගරික සැලසුම් (Urban Planning) විෂය පිළිබඳ මහාචාර්ය නිහාල් පෙරේරා සමඟ පිහාටුව වෙබ් අඩවිය කළ සාකච්ඡාවේ I වැනි කොටස…
සංවාදය – කේ. ඩී. දර්ශන
01. අධ්‍යාපනය කියන්නෙ මොකක්ද?
මේව ටිකක් හිතන්න ඕනෙ කරන ප්‍රශ්න. එක අතකට අපිට කියන්න පුළුවන්, අධ්‍යාපනය කියල කියන්නෙ පුළුල් දැනුමක් ලබා දෙන, මනුෂ්‍යයෙක්ව බිහි කරන යාන්ත්‍රණයක් කියල. නමුත් මං හිතන්නෙ අපේ නැහැ නිදහස් මනුෂ්‍යයෙක්ව නිෂ්පාදනය කරන අධ්‍යාපන ක්‍රමයක් (Pedagogy) ලංකාවේ තියෙනවා කියල. ඒ මොකද, ලංකාවේ කරන්නෙ පොඩි කාලෙ ඉඳලම ටොයිලට් යන්නෙ කොහොමද, කන්නෙ කොහොමද, බොන්නෙ කොහොමද කියල ඒගොල්ලන්ව ට්‍රේන් කරන එක. පාසලේදීත් ඒකමයි. ඒක කටපාඩම් කිරීමේ දක්ෂතාව පෙන්වන තැනක්. අපි සිතිය යුත්තේ මොකක්ද? කියන එක අපිට කියනව මිසක්, සිතිය යුත්තේ කෙසේද ? කියන එක මේ සිස්ටම් එකෙන් ලැබෙන්නේ නෑ.
අනෙක් අතට, අධ්‍යාපන ක්‍රමයක් හැදුවේ රජයෙන්නෙ. රජය කියල කිව්වට රජයකිනුත් නෙවේනෙ, යටත්විජිත පරිපාලනයෙන්නෙ (Colonial Administration). යටත්විජිත පරිපාලනය කරන්නෙ ඒකට වුවමනා කරන මිනිස්සු කට්ටියක් හදාගන්න එකනෙ. ඒක බොහොම ඉලක්ක කරගත්ත අධ්‍යාපනයක්. නමුත් බටහිරත් තියෙනවා ඊට වඩා වෙනස් අධ්‍යාපනයක්. ගාන්ධිත් ඇහුව ඇයි සුදු මිනිසුන්ට පාවිච්චි වෙන සර්ව සාධාරණ (බටහිර) නීතියෙන් අපිට සලකන්නෙ නැත්තෙ කියල. බටහිර වගේ ලිබරල් අධ්‍යාපනයක් නැත්තේ මොකද කියලත් අපිට අහන්න පුළුවන්.
ලිබරල් එඩියුකේෂන් එකේ තියෙන්නෙ හොඳ පුරවැසියෙක් වෙන්න අපි ලබා ගන්න ඕනෙ දැනුමක්. භූගෝලය, ඉතිහාසය, ප්‍රජාචාරය වගේ හැම සාමාන්‍ය දෙයක්ම දැනගන්න ඕනෙ. එහෙම අධ්‍යාපනයක් මෙහෙ නෑනෙ. මම ඉස්කෝලේ යන කාලේ ප්‍රජාචාරය කියලා විෂයක් තිබුණා. මම දන්න තරමින් දැන් නැහැ. මම ඉගෙන ගන්න කාලෙ හය වෙනි පංතියේදීම ආර්ට් සයන්ස් කියලා වෙන් කළා. මම ගණිතය කළේ. මං හිතන්නෙ 6 විතර ඉඳල මම ආර්ට් සබ්ජෙක්ට් එකක් කලේ නෑ කියල. අටේදි තව මොකක් හරි වෙන් කිරීමක් තිබුණ. 10 දිත් තව සැරයක් වෙන් කළා. 11-12 පංතිවල ක විෂයන් හතරයි. ඒව කරපුවම යන්න පුළුවන් එක පැත්තකට විතරයි. 10 වෙනි ශ්‍රේණියට එනකොටම ඔයා විද්‍යාව නම් කරන්නෙ ඔයා යන්නෙ මෙඩිසින් ෆීල්ඩ් එකේද, ඉංජිනියරින් ෆීල්ඩ් එකේද කියල බෙදනවා. තනිකරම බෙදීමක්. මං හිතන්නෙ අපිට අද තියෙන අර්බුදයේ එක ප්‍රධාන මුලක් සිස්ටම් එකට අලුත් පුරවැසියන් ඇතුළු කරගන්න විදියයි. අද සමාජය යටත් විජිතයෙන් බොහෝ ඈත් වෙලා; නමුත් සිතිවිලි ගොඩක් යටත් විජිතයි.
අපි පුළුල්ව හිතුවොත්, අධ්‍යාපනය කියන්නෙ පුරවැසියන් බිහි කිරීමේ යාන්ත්‍රණයක් කියල හිතන්න පුළුවන්. හිතන්නේ මොනවද, කෙසේද කියල උගන්වන්න බැහැ. එතකොට ඒක ට්‍රේනින්ග් එකක්. හිතන්න පුළුවන් වෙන පරිසර ඇති කරලා, ඒවට සහයෝගයක් ලබා දීලා තමයි අධ්‍යාපනයක් දෙන්න පුළුවන්. ඇත්තම කියනව නම් ගුරුවරයෙක් ශිෂ්‍යයෙකුට ආදරේ වෙන්න ඕනෙ. ඉගැන්වීම මගේ ජීවිතය කැප කරපු කාර්යයක්, සමාජය වඩාත් සාධාරණ තැනක් කිරීමේ මුලික අරමුණෙ කොටසක්. අපේ තියෙන සිස්ටම් එකේ ගුරුවරු දන්නෙ සබ්ජෙක්ට් එක. මං හිතනවා ගුරුවරු දැනගන්න ඕනෙ ශිෂ්‍යයින්ව. “ජෝන්ට ගණිතය උගන්වන්න නම් ගණිතය විතරක් දැනගෙන මදි; ජෝන්වත් දැනගන්න ඕනෙ” කියල කතාවක් තියනවා. ඉගැන්වීම සිසුවාගේ කුතුහලවලින් සහ ඉන්න තැනින් පටන් ගන්න ඕන; ගුරුවරයා ඉන්න තැනින් නෙවෙයි. මට ඇතැම් විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් කියල තියනව ඔවුන්ගෙ ගුරුවරු නිර්දේශිත පොත්වලට වඩා දේවල් කියවන්න තහනම් කරල තියනව කියල. පණ්ඩිත වෙන්න එපා කියනවලු. මම හිතන්නෙ ඒ පණ්ඩිත වෙනව නෙවේ. කුතුහලයක් නැතුව අධ්‍යාපනයක් ලබන්න බැහැ. කුතුහලය සහ ප්‍රශ්න අධ්‍යාපනයේ පදනම. කුතුහලයෙන් අහන ප්‍රශ්න වලට ගෞරවයෙන් සවන්දෙන එක සහ සාකච්ඡා කරන එක ගුරුවරයෙකුගේ පරම යුතුකමක්. ඒක ගොඩක් වෙලා යන ගොඩක් මහන්සි වැඩක්.
කුඩා කාලෙ ඉඳලම මම තාත්තගෙන් අහනව මේ ගල්ගොඩ තියෙන්නෙ ඇයි? මේ ලයිට් එක තියෙන්නෙ ඇයි? මේ පාර තියෙන්නෙ ඇයි? අහල අහල ඉවරයක් නැතුව තාත්තට තරහ යන වෙලාවලුත් එනව ඉතිං. නමුත් ආපහු හැරිල බලනකොට මං හිතන්නෙ ඒක තමයි ඉගෙන ගන්නා කෙනෙකුට තිබිය යුතු ලක්ෂණය කියල. හැම වෙලේම ප්‍රශ්න තියෙන්න ඕනෙ. අපේ අධ්‍යාපන ක්‍රමේදි ප්‍රමුඛතාව දෙන්නේ උත්තරවලට. ප්‍රශ්නවලට දෙමව්පියන් සහ ගුරුවරුන් උත්තර උගන්වනව යාන්ත්රිකව. ප්‍රතිචාර සෙවීමට ඉඩ දෙන්නේ නැහැ. මොකද අපි මැෂින්. ප්‍රශ්නයක් දුන්නම අපි උත්තරයක් දෙනවා. ඒක ස්ථිර උත්තර තියෙන සයන්ස්වලින් එන්නෙ.
එහෙම නෙවෙයි මම හිතන්නෙ. සමාජ විද්‍යාවේ එහෙම නැත්නම් මානව ශාස්ත්‍රවල තියෙන ස්වභාවය තමයි දැං අපි මෙතන ඉන්නව අපිට අලුත් දෙයක් පේනවා. ඒක ඉන්ටරස්ටින්. අපි ඒක පසුපස්සෙ ප්‍රශ්න කරමින් විමර්ශනය කරනවා. ඒ සිතුවිලි කඩාකප්පල් කරන්නේ නැතුව නිරීක්ෂණය කරන්න, හිතන්න ඉඩක් දෙන්න ඕනෙ, වැඩි දියුණු කරන්න උදව් කරන්න ඕනෙ. ඔයා ඕක කරනව නම් ඔහොම විතරක් කරල මදි, මෙහෙම කරන්න. අහවලාගෙන් අහන්න ආදිය හරහා ඔවුන්ගේ දැනුම එතනින් එහාට ගෙනියන්න පුළුවන් මට්ටමේ අභියෝග කරන්න ඕන. අධ්‍යාපනය කියන්නේ ශිෂ්‍යාගේ බුද්ධි ගමනට සහය වෙන එක මිසක් ඒක සීමා කරන එකවත්, එයාව මගෙ කොපියක් කරන එකවත් නෙවෙයි. මේ මාවත තමයි මම ගුරුවරයෙක් හැටියට සොයමින් ඉන්නේ.
02. කිසියම් පර්යේෂණයක නියැලීම කියන්නෙ මොනවගේ දෙයක්ද?
පර්යේෂණයක නියැලෙන්නෙ දැනුම පිළිබඳ ප්‍රශ්නයක් නිරාකරණය කරන්න. අලුත් දැනුමක් ලබා ගන්න. දන්නා යමක් තව විදිහකට දකින්න. ඒක මම ගන්නෙ බටහිර අධ්‍යාපන ක්‍රමයෙන්. නමුත් එම අධ්‍යාපන ක්‍රමය තුළම අලුත් දැනුමක් නිෂ්පාදනය කිරීමට බාධක ගොඩක් තියනවා. මට පේන විදියට, මේ බාධකවලට අඩුම ගානෙ හේතු තුනක් තියෙනවා. ඒව මම මගෙ පොත්වල පෙන්වා දීල තියෙනවා.
පළවෙනි එක ෆෝකස් (focus) එක. ඒ කියන්නෙ මොකක් දිහාද අවධානය යොමු කරන්නෙ? දැන් අපි කොළඹ ඇවිල්ල ලොකු බිල්ඩින් දිහා නම් බලන්නෙ සාමාන්‍ය පොඩි බිල්ඩින් අපිට පේන්නැතිව යනවා. ඒක පුරුද්දකටත් යනවා. හිතන්නකො බුදු පිළිම දිහා බලන් යනව කියල. එතකොට බුදු පිළිමම පේනවා. එතකොට ඒ ෆෝකස් එකත් එක්ක අනිත් කොටස ෆෝකස් නැති වෙනවනෙ, ඒවා අපේ දැක්මෙන් පිටට යනවා. අපිට අතෑරුණු, ආන්තික වුන කොටසක් හැදෙනවා. පර්යේෂණවල බොහෝ විට ස්ටොක් මාර්කට් එක කොහොමද? ප්‍රාග්ධනය කොහොමද? එහෙම නැත්නම් රජයේ ප්‍රතිපත්ති කොහොමද? වගේ ඒව තමයි රිසර්ච් කරන්නෙ. ඒව කරනකොට අනිත් ඒව ඔක්කොම මඟහැරෙනවා. ඒ කියන්නෙ සාමාන්‍ය මිනිස්සු, එදිනෙදා ජීවිතය වගේ ඒවා තමයි මඟහැරෙන්නෙ. ඒ නිසා තමයි වැඩට එන්න පාසල් යන්න ප්‍රවාහනයක් නැතුව තියෙද්දී හයිවේස් දාන්න පුළුවන් වෙලා තියෙන්නේ. මිනිස්සු ඒවට ඡන්දේ දෙන්නේ. අර මුල් ෆෝකස් එකෙන් සාමාන්‍ය දේවල් ගැන දැනුමක් බලාපොරොත්තු වෙන්න බැහැ. යටත් විජිත සේවකයින් බිහි කිරීමට යොමු වූ අධ්‍යාපනයකින් නිර්මාණශීලී මිනිසුන් බිහි කරන්න අමාරුයි. ඇත්තටම, අපි ඒවයින් ඈත් වෙනවා.
දෙවෙනි එක තමයි අපි බලන ඥාණවිභාගාත්මක රාමුව. අපි මාර්ක්ස්වාදී ෆ්‍රේම්වර්ක් එකක් අරගෙන බැලුවොත් පංති සහ පංති සටන් වගේ දේවල් තමයි අපිට පේන්නෙ. සූරාකෑම, සමාජ අසාධාරණය වගේ දේවල් පේනවා.
ඈත අතීතයේ, මම මගේ විශ්වවිද්‍යාලයේ අංශ ප්‍රධානියත් එක්ක ඉන්නකොට එක ශිෂ්‍යාවියක් ඇවිල්ලා එයාට කියනවා මොකක් හරි අසාධාරණයක් ගැන. එතකොට එයා අහනව ජීවිතය සාධාරණයි කියල කවුද ඔයාට කියල දීලා තියෙන්නෙ? කොහොමද ඔයා ඒක ඉගෙන ගත්තෙ? එහෙම එකක් නෑනෙ? ඒක හරිද වැරදිද නෙමේ, මේව අපි ඉගෙන ගෙන හදාගත්ත වටිනාකම්නෙ? අපි හිතනව එහෙම වෙන්න ඕනෙ කියල. මට ඒවෙලේ වැටහිච්ච විදියට, මේවාත් ආගම්.
අපි ස්ත්‍රීවාදී ෆ්‍රේම්වර්ක් එකකට අනුව බැලුවොත්, අපිට පේන්න පටන් ගන්නව මෙතන ගෑනු දෙන්නයිනෙ ඉන්නෙ (අප කතා කරමින් හුන් කෝපිහලේ හාත්පස බලමින්). අන්න ඒ වගේ. එතකොට ඒ රාමුවෙන් දේවල් තීරණය වෙනවා. ඒ නිසා, අපි බලන දේට සහ අපේ ප්‍රශ්නයට ගැළපෙන රාමුවක් පාවිච්චි කරන්න ඕනෙ. නැත්නම් වෙන දෙයක් පේන්නේ. සමහර අය හැමදේටම එකම රාමුව පාවිච්චි කරනවා. එතකොට උත්තරේ අර ෆ්‍රේම්වර්ක් එකේ විදියට සකස් වෙනවා. උත්තරේ හැමවෙලේම එකයි. අතේ මිටියක් තියෙන කොට සියල්ල පේන්නේ ඇණ වගේ. රාමුව අනුව යථාර්ථය වෙනස් වෙනවා.
තුන්වෙනි එක තමයි කොයි පැත්තෙ ඉඳල ද බලන්න ඕනෙ කියන එක. කාල්මාක්ස් කම්කරු පංතිය ඉතා හොඳින් න්‍යායගත කරල තියනවා. ඒ කරල තියෙන්නෙ වාස්තවිකව (Objectively). ඒ කියන්නෙ එහෙම දෙයක් තියනවා. ඔයා බැලුවත්, මම බැලුවත්, බැලුවේ නැතත් එහෙම එකක් තියනවා. කම්කරුවො උදේට කර්මාන්තශාලාවට ඇතුළු වෙනව, ආයෙ හවසට එළියට එනව, අයිතිකරු ලාබයක් ලබනව. ඒ ලාබය මිනිස්සුන්ගෙ ශ්‍රම අතිරික්තයයි, ඒක සූරාකෑම කියල අපිට අර්ථ දක්වන්න පුළුවන්ද? ඔව්! මේ ඔක්කොම හරි. එතකොට, ඊළඟට තියෙන ප්‍රශ්නෙ ඒ කම්කරුවො හිතනවද එයාල කම්කරුවො කියල. ඒක මානසික ගොඩනැගීමක්. ඒකට ඊ. පී. තොම්සන් මෙහෙම කියල තියනව: “කම්කරු පංතිය ඒ ගොල්ලො කම්කරු පංතිය කියල හිතනකල්, ඒ ගොල්ලො කම්කරු පංතිය වෙන්නෙ නැහැ” කියල. මේක අනිත් අනන්‍යතාවලටත් පොදුයි.
ඕක දේශපාලනයෙදි එනව, ලෙනින් එහෙම කියනව පංති විඥානය ඇති කරන්න ඕනෙ, ඒකට දේශපාලන පක්ෂයක් ඕනෙ කියලා… ඒ ගොල්ලො එක්තරා විදියකට ඒක ඇඩ්‍රස් කරනවා. දැන් මෙහෙමයි, මාක්ස් ඔය හැම එකක්ම කිව්ව කියන කට්ටියකුත් ඉන්නව. නමුත් මාක්ස් ඒක ඒ විදියටම ඇඩ්‍රස් ක් නෑ. සමහර විට ඒ හැම දෙයක් ගැනම ඉඟි කරලත් ඇති. වැදගත් ප්‍රශ්නය නම්: දැන් අපි බලන්නෙ කම්කරුවා දිහාද, නැත්නම් කම්කරුවගෙ පැත්තෙ ඉඳලද? කම්කරුවගෙ ෆීලිංස් තියනවනෙ. එයා එයා ගැන හිතන විදිහක් තියනවනෙ. ඒවත් එක්කද බලන්නෙ? දැං මේව ඔක්කොම හලලනෙ අපි වාස්තවිකව බලන්නෙ. එතකොට හැඟිම් සහිත කම්කරුව ආත්මීය (Subjective) වෙනව, ආන්තික වෙනවා. ඔවුන්ගේ බලගැන්වීම සඳහා සහය වීමට මේක ප්‍රමාණවත් නැහැ.
යටත්විජිතවාදී ක්‍රමය ඇතුළෙ අපි යටත්විජිතකරණය වෙලා ඉන්නකොට ඒකෙන් එළිය බලන්න බැරි නම් අපිට පේන්නෙම අර සුද්දට පේන දේම තමයි. බ්‍රිතාන්‍යයයෝ සංස්කරණය කරපු කටුගෙට ගිහිල්ල අපේ “උරුමය” ඉගෙන ගන්න අයට පෙන්නේ බ්‍රිතාන්‍යය සංස්කරණය, නමුත් අපේ ව්. එතකොට අපිට අපි ගැන සහ අපි ඉන්න තැන ගැන තේරුම් කිරීමේ හැකියාවක් නැති වෙනවා. තියනව, නමුත් ඒ් බ්‍රිතාන්‍ය අවබෝධය.
අපි දෙන්න දැං මේ කතා කරනකොට, මෙතන ඇති වන දෙයක් ගැන විග්‍රහ කිරීමේ, ඒක අර්ථ දැක්වීමේ හැකියාවක් මෙතන නෑ. ඒකට අර්ථ දැක්වීමේ හැකියාව තියෙන්නෙ බටහිරින් ගේන තියරි එකක. මේ ආකෘතිය ඇතුලේ, අපි වගේ රටවල් බටහිර තියරිවල ඩේටාබේස් බවට පත් වෙනවා. අපි 2500 සන්ධර්භයෙන් තේරුම් කරනකොටත් එහෙමයි. අරගොල්ලො තමයි අර්ථකථනය කරන්නෙ; අපි පැහැදිලි කිරීමට හැකියාවක් නොමැති ඩේටා. ඊට පස්සෙ මෙහෙ කට්ටියත් ඒ දැනුම ඉගෙන ගන්නවා, අභ්‍යන්තරිකරණය කරගන්නවා. ඉස්සර නම් අධිරාජ්‍යවාදීන් ඇවිල්ලා මෙහෙ කට්ටියව බඳව ගන්නව රිසර්ච් ඇසිස්ටන්ලා හැටියට. එතකොට ඒගොල්ලන්ට පේනව, අඩේ මේ මිනිස්සුන්ට මාර දේවල් පේනවනෙ කියල. ඒ මිනිස්සුන්ට පේන ඒව මේ මිනිස්සුන්ටත් පේන්න ගන්නව. මේක සංස්කරණයක්; අපි අපිව නැති කර ගැනීමක්, තව කවුරුවත් වීමක්. මේක දැන් UNO වැනි ගෝලීය ආයතන සහ එන්ජිඕ වලින් කරනවා (හැමෝම නෙවෙයි).
ඉතින් මං හිතන්නෙ රිසර්ච් කියල කියන්නෙ ඇත්තටම අපි අලුත් දැනුමක් නිෂ්පාදනය කරන එකට. බටහිර තියනව ක්‍රමයක්: දැනට තියෙන දැනුම මොකක්ද කියල මුලින්ම අහන්න? ඒකෙ අඩු පාඩු මොනවද? එතනින් එහාට යන්නෙ කොහොමද? ඒ ගමනේ දී ඒ ගොල්ලො මේ පැත්තෙ තියන දැනුම කොහොමටත් නිෂේධ කරල හමාරයි. මොකද ඒ දැනුම හැටියට ගන්නෙ බටහිර ජර්නල්ස්වල ප්‍රකාශයට පත් වෙලා තියන දැනුමයි. ඒ දැනුම නිෂ්පාදනය කරන ක්‍රමයක් තියනවා. ඒක තර්ක විතර්කවලට විවෘත කරන්න ඕනෙ, ඒක කරන්න පුළුවන් විදිය තමයි අර ජර්නල්ස්වල පබ්ලිෂ් කරන එක. ප්‍රකාශයට පත් කරන්න ඉස්සල්ලත් ගේට් කීපර්ස්ල තීරණය කරනව මේක ප්‍රකාශයට පත් කළ යුතු දෙයක්ද නැද්ද කියල. ඒ අයට ගැළපෙන දැනුමක් විතරයි නිෂ්පාදනය කරන්න පුළුවන්.
ගහක් යට ඉඳගෙන හෝ මයික් එකක් ඉදිරිපිට මිනිහෙක් දේශනාවක් කළා නම් ඒ මිනිහ කතා කරපු එක දැනුමක් නෙවේ. ඒක කවුරු හරි අර ජර්නල්ස්වල පබ්ලිෂ් කරා නම්, අන්න එතකොට ඒක බටහිර සමාජයට (සහ අපට) දැනුමක් වෙනවා. එක්තරා විදියකට දැනුම මාර විදියකට සීමා කරල තියෙන්නෙ. අපි කොහෙන් හරි ගෙනාපු න්‍යායකින් සංසිද්ධියක් තේරුම් ගන්න එක මහ පොළොවේ ඉන්න අයට තේරුමක් නෑ. මං හිතන්නෙ, අපිට අපි ගැන දැනගන්න මේ ආනයනය කළ රාමුවලින් එළියට එන්න ඕනෙ. ඒකත් සම්පුර්ණයෙන් කරන්න බැහැ. ඒ නිසා මගේ වැඩවලදි මම තර්ක කරන්නේ බටහිර නොවන අත්දැකීම්වලටත් යමක් නිර්වචනය කිරීමේ, න්‍යාය ගතකිරීමේ හැකියාවක් තියනව. බටහිර න්‍යාචාර්යයවරු පමණක් නෙවෙයි, දුප්පත් , පොහොසත්, ගැහැණු, පිරිමි, ළමයි, හැම කෙනෙක්ම, තමුන් කරන වැඩ අර්ථ දක්වනවා. බාහිර න්‍යායවලින් මේ අර්ථකථනය යටපත් කිරීම ඇති විශාල ප්‍රචණ්ඩත්වයක්; ඥාණවිභාගාත්මක ප්‍රචණ්ඩත්වයක්, යටපත් කිරීමක්. අවුරුදු කීපයකට පෙර, මම මේ ගැන, බ්‍රසිල්වල සන් පාවුලොවලදී උගත් සමාජයකට ප්‍රධාන දේශනයක් (keynote Speech) එකක් දුන්නා: බටහිර නොවන අත්දැකීම්වලටත් යමක් නිර්වචනය කිරීමේ හැකියාව දකින එක බටහිරකරණය වෙච්චි අපිට අමාරු වැඩක්. මේ ගමන බටහිර රාමු විවේචනාත්මකව යොදා ගැනීමෙන් පටන් ගන්න ඕන.
දැන් සංසිද්දියක් තේරුම් කරන්නෙ කොහොමද කියන එක වැදගත් ප්‍රශ්නයක්. මා තේරුම් ගෙන ඇති විදියට, පර්යේෂණයේ විෂයාතෘන්ගේ අර්ථ දැක්වීම් පිළිගනිමින් අපි න්‍යායගත කරන්න ඕනෙ. අපි මේ කරන වැඩේ එහෙම සංකල්පගත කිරීමෙන් තේරුම් ගන්නව මිසක් කොහෙ හරි තියන තියරි එකක් අරගෙන මේක තේරුම් ගන්න එක වැරදී කියන එකයි මගෙ අදහස. ඒ විෂයාතෘන්ගේ අර්ථ දැක්වීම් වලට විතරක් ඉඩක් හැදුවොත්, අපි බටහිර ක්‍රමයටම ආයෙත් වැටෙනවා. මේ දෙක අතරින් මාවතක් සොයන්න ඕනේ. බටහිර රාමු විවේචනාත්මකව යොදා ගන්න ඕන. මේ මාවත තමයි මගේ වැඩ හරහා මම සොයමින් ඉන්නේ. ඒ ගමනේ ප්‍රතිඵල මගේ කෘතීන්වලින් හෙළි කරලා තියෙනවා.
03. ඔබ නාවිකයෙක් වගේ ලෝකය පුරා ඇකඩමියානු සංචාරයක යෙදෙනවා. ඒ වගේ ම පුළුල් විෂය පරාසයක් කතා කරනවා. ඇත්තටම ඔබේ කේන්ද්‍රීය විෂය මොකක්ද?
බොහොම සරලවම කාට හරි කියනව නම් මම කියන්නෙ Social Production of Space (සමාජ අවකාශ නිෂ්පාදනය). ඒක හරහා තමයි මම ගොඩක් සමාජීය සහ සංස්කෘතික පැතිකඩ තේරුම් ගන්න උත්සහා කරන්නෙ. සමාජය සහ අවකාශ වෙන් කළ නොහැකියි; ලෆෑව්(ර)ට අනුව, අවකාශය යනු සමාජ සම්බන්ධතාවක්. ප්‍රශ්නෙ තියෙන්නෙ, දැං අර, යුරෝපයේ බෙදල තියනවනෙ ආර්ථික විද්‍යාව, භෞතික විද්‍යාව කියල විෂයන්වලට. අපිට පුරුදු කරල තියෙන්නෙ ඒ විෂයක් ඇතුළෙ ඉන්නනෙ; මේ විෂයකින් බලන්නනෙ. ඒක නිකන්, ලංකාවෙ ඉන්න මිනිස්සු කියනවනෙ සමහර වෙලාවට දූපත් මානසිකත්වයක් තියනව කියල. ඒ දූපත් මානසිකත්වය හැම තැනම තියනව. බටහිරත් තියනවා. භෞතික විද්‍යාව කරන කෙනෙක් කරන්නෙ භෞතික විද්‍යාව විතරයි, බලන්නනෙ ඒ කෝණයෙන්. මම අවකාශයට ප්රවේශය වෙන්නේ ඒක විෂයායීක කෝණයකින් (ඓතිහාසික සමාජ විද්යා ලෝකයක් තුළ). ඒක හුගක් අයට තේරුම් ගන්න අපහසුයි. මිස් වෙනවා. ඒකට කරන්න ඕන දෙය මටත් පැහැදිලි මදි. වැඩියෙන්ම වැදගත් පිළිතුර නෙමෙයි, ඥාණවිභාගාත්මක ගමන සහ ඒ ගමනෙදී නිෂ්පාදනය කරන දැනුම.
04. මං හිතන්නෙ මම ප්‍රශ්නෙ අහන්න ඇත්තෙත් එහෙමයි.
(මහාචාර්යවරයා කොක්හඬලා සිනාසෙමින්) මට උනන්දුවක් තිබුණෙ මිනිස්සු (ජනයා) ගැන. මම මුලින් ම දේශපාලනයනෙ කරන්නෙ. එතකොට සමාජයක් සාධාරණ අතට රැඩිකල් වෙනසක් කරන්න ඕනෙ කියන විප්ලවකාරී මතයකින්නෙ. වෙනස් වෙමින් ගියත්, ඒ මූලික මතය මට තාමත් තියනවනෙ. ඒත් නව සන්දර්භය තුළ සමාජීය වෙනසක් වෙන්නෙ කොහොමද? අර පරණ කියපු විදියට වෙන්න බැරි නම් තව විධි තියනවද? මේ විදියට ප්‍රශ්න සම්භාරයක් හරහා යනකොට, මට තියන මූලික කුතුහලය තමයි අපි සමාජයක් තේරුම් ගන්නෙ කොහොමද කියන එක. ඒක තේරුම් ගන්න මං පාවිච්චි කරන විචාරාත්මක මාධ්‍ය අවකාශයයි.
ඒක ඇකඩමික් පැත්තෙන් නිර්මාණශීලීයි. සමාජයේ ඉඳල අවකාශයක් දිහා බලන එකයි, අවකාශයක ඉඳල සමාජය දිහා බලන එකයි දෙකක්. ඒ දෙක සම්පුර්ණයෙන් වෙන් කරන්න බැරි නමුත් අපේ අවධාන ලක්ෂ්‍යය වෙනස් කරන්න පුළුවන්. අවකාශය පිළිබඳ අධ්‍යයන වල නායකයෝ, ලෆෑ(ර), හාවී, වගේ අය සහ ඔවුන්ගේ අනුගාමිකයෝ බොහොමයක් එහෙම තේරුම් ගන්නෙ නෑ. ඒ අය උත්සාහ කරන්නේ මාර්ක්ස්වාදී හෝ වෙනත් න්‍යායක් පාවිච්චි කරලා අවකාශය තේරුම් කිරීමටයි. මම ඒක බලන්නේ අනිත් පැත්තෙන්; සාමාන්‍ය මිනිස්සුන්ගේ පැත්තෙන්. මං හිතන්නෙ අවකාශමය විදියට සමාජය තේරුම් ගන්න අය නැති තරම්. මගේ ‘සිලෝනයෙන් ශ්‍රීලංකාවට‘ පොත එක්තරා විදියකට ඉතිහාස පොතක්. නමුත් ඉතිහාසඥයො බලන විදියට නෙවෙයි මම බලන්නෙ, අවකාශය වෙනස් වුණේ කොහොමද කියල බලල, ඒකෙන් කොහොමද සමාජය සහ ඉතිහාසය තේරුම් ගන්නෙ කියල බලනව.
මං හිතන්නෙ ඒක වෙන විධියක්. ඒක එකම විදිය හෝ හරි විදිය වෙන්න ඕනෙ නෑ; වෙන විදිත් තියනව. විධි ගොඩක් තියෙන්න පුළුවන්. නමුත් අපිව කොටු කරල තියනව එක දේකට, විධියකට. එක රාමුවකින් පැනීමක් තමයි ඔය කරල තියෙන්නෙ. මං ඉස්සල්ලා අපේ රිසර්ච් සීමා කරන කරුණු තුනක් කිව්වෙ. ඒ කරුණු තුනෙන් එළියට පැනල යමක් කරනකොට ඒක අනිත් අයට තේරෙන ප්‍රමාණයත් මාර අඩුයි. ප්‍රශ්නයක් නැහැ, ඒකට තමයි මම පර්යේෂණය කියන්නේ. ඉතින් මම ඒක දිගටම කරගෙන යනව, අනිත් අයටත් පැහැදිලි කරමින්.
05. අපි ඉන්න මොහොත ගැන විවිධ අර්ථ දැක්වීම් තියනව. සමහරු කියනව මේ ධනවාදයේ අවසන් කාර්තුව කියල. ඔබ කොහොමද මේ මොහොත අර්ථ දක්වන්නෙ?
මං හිතන්නෙ අපි ඉන්නෙ ඉතාමත්ම විශාල පරිවර්තනීය යුගයක, පරිවර්තන කාලයක. දැන් හුඟක් අය කියනව ධනවාදයේ අන්තිම කාර්තුව කියල. ඒ ගොඩක් වෙලාවට කියන්නෙ එක්තරා විදියක ධනපති විරෝධී මතයකින්. මං කල්පනා කරන්නෙ ධනපති ක්‍රමය ලෝක ක්‍රමයක් කියල; යුරෝ කේන්ද්‍රීය ලෝක ක්‍රමයක්. ඒ ක්‍රමයේ එක එක කාලවල හෙජමොන්ස්ලා හිටිය. (මං දන්නෑ ඒකට සිංහලෙන් කියන්න වචනයක් අවශ්‍යද කියල.)
එක්දහස් හයසිය ගණන්වල මැදදී ලන්දේසීන් තමයි හෙජමොන්. හෙජමොන් කෙනෙක් මතු වෙන්නේ ධනපති ක්‍රමය අවුල් සහ වියවුල් වෙලාවල. හුඟක් ව්‍යුහවාදීන් හිතන්නෙ ව්‍යුහය දිගටම තිබුණ කියල. එහෙම නෙවේ, ව්‍යුහය අවුල් වුණාම කවුරු හරි ඇවිල්ලා කියනව මේක මෙහෙම කරමු කියල. ප්රතිනිෂ්පාදනය කරනව. යුරෝපයේ දිගටම යුද්ද තිබුණා. ලන්දේසී පාලකයෝ ඇවිල්ලා යුරෝපීය බලවතුන්ට කියනව අපි එකතුවෙලා නූතන රාජ්‍ය (national states) කියල ජාතියක් හදමු, ඒවවල එක පාලකයයි ඉන්නෙ, හාමෝටම තුවක්කු අරගෙන දුවන්න බෑ. තවත්, එක පාලකයෙක් තව රටකට ඇතුළු වෙන එක වැරදී කියල, අන්තර් රාජ්‍ය ක්‍රමයක් හදනවා. එතකොට ඒකට තමයි හෙජමොනි එක කියල කියන්නෙ. ඒගොල්ලොන්ට තමයි තේරෙන්නෙ මේක කරන්න පුළුවන් කියල, ඒ ගොල්ලන්ට ඒකට බලයකුත් තියනව, එයාල කියනව, අනිත් අය අහනව, ක්‍රමයක් හැදෙනවා.
එතකොට එක්දහස් අටසිය ගණන්වල බ්‍රිතාන්‍ය හෙජමොනිය තියනව. ඊට පස්සෙ, එක්දහස් නමසිය හතළිස් ගණන්වල ඉඳල හැට අට විතර වෙනකල්, ඇමරිකන් හෙජමොනිය. ඇමරිකාව තාමත් බලවත්. නමුත් දැන් කියන පරක්කුවෙන් ඒ ගොල්ලො කියන දේ අහන රටවල් අඩුයි. ඒ ගොල්ලො තමයි හතලිස් ගණන්වල කියන්නෙ හැම රටක්ම නිදහස් වෙන්න ඕනෙ, හැම සමාජයක්ම සංවර්ධනය වෙන්න ඕනේ කියලා. දෙවෙනි ලෝක යුද්ධයට ඉස්සල්ලා ලෝකය පුරා තිබුණෙ යුරෝපීය කොලනි. එකපාරම රටවල් නිදහස් වෙනවනෙ. නිදහස් රටවල් එකතුවක් විදිහට තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය හදන්නේ. ඊට පස්සෙ හැම සමාජයක්ම සංවර්ධනය වෙන්න ඕනෙ කියලා හිතෙනවා. ඒ ගොල්ලො සංවර්ධනය මනින්නෙ ආර්ථිකමය විදියට. ඒකට උදව් කරන්න තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව එහෙම හදන්නේ. ආයතනික යටි තලයකුත් හදනව ඒ ගොල්ලො. දැන් ඒක ඉවරයි!
ඒ කාලෙ (1944-89) ද්විත්ව බලාධිකාරයක් (Duopoly) තිබුණනෙ. සෝවියට් දේශය වෙනම මාවතක් යෝජනා කළානෙ. දැන්, සීතල යුද්ධයත් ඉවරයි… නමුත් ඊළඟට අලුත් හෙජමොන් කෙනෙක් එනවද නැද්ද කියන්න මම දන්නෙ නැහැ. අනාගතය අපිට කියන්න බැහැනෙ. ඉතිහාසයේ විදියට නම්, ධනපති ක්‍රමය තවදුරටත් පවතිනවනම්, හෙජමොන් කෙනෙක් ඒක ප්‍රතිස්ථාපනය කරන්න ඕනෙ.
එහෙම එනව නම් මොනවද තියන සලකුණු? කවුරු වගේ එන්න පුළුවන්ද? මේ වෙලාවෙ, චීනය ඉන්දියාව වගේ රටවල්වලට තමයි ඒ වගේ පුළුවන්කමක් තියෙන්නෙ. වෙනස් වෙන්න පුළුවන්. මොකද මීට අවුරුද් තිහකට විතර කලින් ජපානය හෙජමොනික් වෙයි කියල හිතපු කාලයක් තිබුණ. ඒ ගොල්ලන්ගෙ ආර්ථිකය ලොකුවට ශක්තිමත්ව තිබුණ. චීනෙ, ඉන්දියාව ඒ විදියට කලින්ම ඉවර වෙන්න පුළුවන්.
අලුත් හෙජමොන් කෙනෙක් එන්නේ ඒ අය ඉදිරිපත් කරන අලුත් ලෝක සැකැස්මක් එක්ක; ඒක අනිත් බලවත් රටවල් පිළිගැනීමෙන්. එතකොට ලොකු ස්ථාවර භාවයක් එනවා, 1945-70 දක්වා තිබුණා වගෙ. දැන් තියන තරග සහ සටන් තියන එකක් නෑ. අපි දැන් ගන්න වටිනාකම්වලට තේරුමක් නැතුව යනවා. ඇමරිකන් හෙජමොනියට විරුද්ධව සටන් කරනව කියල කියන්නෙ අතීතයත් එක්ක සටන් කරන එකට, එක්සත් රාජධානිය හෝ පෘතුගාලය බලවත්ම රජය කියලා හිතනවා වගෙ. ඒවයේ කාලේ ඉවරයි. මං හිතන්න අපි මේ සංක්‍රමණිය මොහොතෙන් පුළුවන් ප්‍රයෝජන ගන්න බලන්න ඕනෙ. සිතන්න ඕනෙ ඉස්සරහට වෙන්න ඕනෙ මොකක්ද කියල. අපි අනාගතයක්නේ දකින්න ඕනේ. ඒ ගමනේ වර්තමානයට සම්බන්ධ වෙන්න ඕන.
දෙවෙනුව, ධනපති ක්‍රමය ඉවර වුණා වෙන්නත් පුළුවන්. මම හිතන දෙයක් තමයි, යුරෝපීය ආධිපත්‍යයක් වගේ දේකින් එළියට ගියාට පස්සෙ ධනපති ක්‍රමය පවතින්න පුළුවන්ද කියන එක. ධනපති ක්‍රමය කියන්නෙ යුරෝපයේ හිටපු වෙළෙන්දො රජවරුන්ට ඉහළින් ජයගෙන ඒ ගොල්ලො ඇති කරපු ක්‍රමයකට දාපු නමක්. සමාජ ක්‍රම ගල්ගෙඩි වගේ දිගට පවතින්නේ නැහැ., අපි අහන්න ඕනේ: දැන් ඉහත ක්‍රමවලට පවතින්න පුළුවන් වාතාවරණයත් ඉවරවෙලාද? චීනය හරි ඉන්දියාව හරි හෙජමොනික් වුණොත් ඒ ගොල්ලන්ට ධනපති ක්‍රමය පවත්වාගෙන යන්න පුළුවන්ද? බැරි නම් මොකක් වෙයිද?
අනිත් අතට ලංකාවේ ධනපති ක්‍රමයක් තියෙනවද? මෙහෙ තියෙන්නෙ චෞර ක්‍රමයක් නොවේද? චෞර ක්‍රමවලට ධනපති ක්‍රමය කියන්න බෑ නේද? ඒකට ධනපති ක්‍රමය කිව්වා කියලා ඇහුනොත් කාල් මාක්ස්ට ඉතාම දුක හිතෙයි. මෙහෙ විතරක් නෙවෙයි හුඟක් රටවල ඔය ක්‍රමය තියනව. එතකොට ධනපති ක්‍රමය මේ වෙනකොටත් නැති වෙලාද? එහෙම නැත්නම් වෙනත් ක්‍රමයක් මතුවෙලා හරි මතුවෙමින් පවතිනවද? අපි තාම තේරුම් අරගෙන නැති දේවල්.
තුන්වෙනි එක යුරෝකේන්ද්‍රීයවාදය. ඒ කියන්නෙ යුරෝපීය ධනපති ක්‍රමය විතරක් නෙවේ, හිතන පතන ක්‍රම, ලෝක දැක්ම, ඒව ඔක්කොම ප්‍රශ්න කෙරෙනවනෙ එක්දාස් නවසිය හැට ගණන් අග විතර ඉඳල. යුරෝපයේමත් ප්‍රශ්න කෙරෙනවා. ඇමරිකාවෙත් ප්‍රශ්න කෙරෙනවා. දිගටම ප්‍රශ්න කෙරෙනවා. ලංකාවත් ප්‍රශ්න කරත හැකියි.
අපි සාමාන්‍යයෙන් කැමතියිනෙ රටක් කියන්නෙ එකක් විදියට ගන්න… එහෙම නෙවේ. යම් අදහසක් ගත්තොත්, ඇමරිකාවේ මිනිස්සු භාගයක් පක්ෂයි, භාගයක් ප්‍රශ්න කරනව. මං හිතන්නෙ, ඒ ගොල්ලන්ට සමහර දේවල් ප්‍රශ්න කරන්න ලංකාවේ අයට වඩා ලේසියි. මොකද මෙහෙ අය අර හෙජමොනියට බරපතල විදියට යට වෙලා ඉන්නෙ. හැම වෙල්ම වගේ කතා කරන්නෙ යුරෝපීය න්‍යායකට හෝ දෘෂ්ටියකට යට වෙච්ච එකක්; වෙන එකක් කතා කිරීමේ හැකියාව හරිම අඩුයි.
සංක්‍රාන්තික කාලයට (transitional period) අනුව, යුරෝකේන්ද්‍රීය දැනුම මත පදනම් වෙච්ච ඒ සිස්ටම් එක ඉවරද? ඒක ඉවර නම් මතු වෙමින් පවතින්නෙ මොකක්ද? යමක් මතුවිය යුතුද? සංක්‍රාන්තික කාලයකදී ලොකු අමාරුකම් තියනව. එකක් තමයි අපි බලාපොරොත්තු වෙච්ච ස්ථාවරභාවය නෑ. අපේ තියන රස්සාවල් නැති වෙන්න පුළුවන්, අපි කනබොන දේවල් නැති වෙන්න පුළුවන්, ආර්ථිකය කඩාගෙන වැටෙන්න පුළුවන්. මේ පරම්පරාව ජොබ් එකක් වුණත් පටන් ගත්තොත් ඒ පටන් ගත්ත තැනින් රිටයර් වෙන්නෑ. රිටයර් වෙන්න බැහැ ඇත්තටම. ක්‍රමය ඒ තරමට සංක්‍රාන්තිකයි. තියන ක්‍රමයක් කඩාගෙන වැටෙන්නැතුව අලුත් එකක් හැදෙන්නැතුව ඇති කියල මම කල්පනා කරනවා. බොහෝවිට ලෝක යුද්ධ දෙකක් වෙන්නත් පුළුවන්. මම නම් හිතන්නේ ඒක වේවි කියලා.
නමුත්, අපිට හිතන්න අවස්ථාවක් තියනව. මගේ ජීවිත කාලෙ පළවෙනි වරට අලුත් යමක් හිතන්න අවස්ථාවක් තියනව, මේ ‘ලෝකෙ කෙසේ විය යුතුද’ කියල, කොහොම වුණොත් හොඳද කියල. හුඟක් වෙලාවට මිනිස්සු අර අන්තිම දුප්පත් වුණාම, ඒ මිනිස්සුන්ට කෑමවේල හොයාගන්න වෙනකොට ලෝක විප්ලව ගැන කතා කරන්නෑනෙ. ඒව හිතන්න වෙලාවක් නැතුව ඇති. නමුත් හිතන කට්ටියකට හිතන්න හොඳම අවස්ථාවක් මේක. මොකක් විය යුතුද?
එක විදියකට මම හිතනවා: අධ්‍යාපනය කෙසේ විය යුතුද? ඒක තමයි විශේෂයෙන් මං හිතන්නෙ. එතකොට අපිට ලොකූ කන්ට්‍රිබියුෂන් එකක් කරන්න පුළුවන් කාලයක්. මං හිතනවා ගොඩක් අය කාලය නාස්ති කරනවා අතීතයත් එක්ක සටන් කිරීමට. ඇමරිකාව හොඳද නැද්ද? අයිඑම්එෆ් යා යුතුද නැද්ද? නොයා යුතු තැන් ගැන කතා කරන එක නෙවේ, යා යුත්කේ කොහෙද කියලයි අහන්න ඕනෙ වෙලාවක් මේ. අපිට, තනි පුද්ගලයෙකුට ලෝකයක් හදන්න බැහැ. නමුත් අපිට ඒකෙ කොටසක් වෙන්න පුළුවන්. සංක්‍රමණීය කාලයක් කියන්නේ මාර විභවයක් තියෙන කාලයක්; අනාගතය සකස් කිරීමට දායක වෙන්න පුළුවන් කාලයක්. හෙජමොනියක් ආවට පස්සේ ශතවර්ෂයක් විතර ඒක අමාරුයි. අපි පොඩි තැනක සාර්ථක දෙයක් කිරීමෙන් ඒක පැතිරවෙන විදියට යමක් කරන්න පුළුවන්. නැතුව මේ කාලේ උඩින්, නැත්නම් රජයවල්වලින් ප්‍රශ්න විසඳෙන්නෑ . පුළුවන් ඉඩ පාවිච්චි කරලා තමයි මං හිතන්නේ ප්‍රජාවන් ශක්තිමත් කල යුතුයි (ඔවුනට ශක්තිමත් වීමට උදව් කළ යුතුයි) කියලා. මේ පැත්තට තමයි මගේ අධ්‍යාපනය (pedagogy), රිසර්ච්, සහ ක්‍රියාකාරිබව (activism) යොමු කරලා තියෙන්නේ.
(II වන කොටස බලාපොරොත්තු වන්න! )