ජනවාරි 30 වෙනිදායින් ඇරඹි රාණි (Rani) සිනමාපටය මේ වන විට ප්‍රේක්ෂක අදහස් මැද ඉතා සාර්ථකව සිනමාශාලාවල තිරගත වෙනවා. රාණි චිත්‍රපටයේ චරිත ගැන හඳගමගේ ම සටහන්, තිරගතවීම ආරම්භ වන්නට පෙර පිහාටුව ඔබට කියවන්නට සැලැස්වූවා. මේ එහි දෙවන කොටස…!
රිතිකා කොඩිතුවක්කු
රිචඩ් ට ඕන තරම් පෙම්වතියන් ඉන්න ඇති. ඒ වගේම පෙම්වතුනුත් ඉන්න ඇති. දැන හෝ නොදැන. ඔහු මාධ්‍යකරුවෙක්. ඒ වගේම ප්‍රවෘත්ති නිවේදකයෙක් සහ නළුවෙක්. ඒ නිසා ඔහුට මනසින් පෙම් කරන්නන්, පෙම් කරන්නියන් අනන්තවත් ඉන්න ඇති. එහෙම එක් පෙම්වතියකගේ චරිතය තමයි රිතිකා කොඩිතුවක්කු රඟපාන්නේ. ඊට වැඩිය යමක් මේ වෙලාවේ මං කියන්න යන්නේ නැහැ. සිනමා පටය බලනකොට ඈ ඔබට හමුවෙයි.
ඒ උනාට රිතිකා කියන චරිතාංග නිරූපිකාව ගැන යමක් කියන්න ඕනේ. රිතිකා ඉස්සරලාම මට හම්බවෙන්නේ ‘ඇගේ ඇස අග’ චිත්‍රපටයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවගේ චරිතයට නිළිවරණය කරද්දී. මේ චරිතය සඳහා ලොකු තිරයේ ඇස නොගැටුණු රූපයක් මට වුවමනා කලා. ඒ එහි ප්‍රධාන භූමිකාව වන මහාචාර්යවරයාගේ ෆැන්ටසි ස්ත්‍රිය සඳහා. එය නවක නිළියෙකුට අභියෝගාත්මක චරිතයක්. තමන්ගේ පළවෙනි සිනමා රංගනය, ඉන්දියානු රංගන ශිල්පී ද්රිතිමන් චැටර්ජි සහ මහාචාර්ය බිරිඳ ලෙස රඟපෑ ස්වර්ණා මල්ලවාරච්චි කියන පල පුරුදු නළු නිලි යුවළගේ දෛව ස්ත්‍රියගේ භූමිකාව ලෙස ඇය නොබියව රඟපෑවා. ඒ 2014. ඉන් පසු ‘ඇල්බොරාදා’ චිත්‍රපටියේ පැබ්ලෝ නෙරුදා ගේ මනස කලම්බන සක්කිලි තරුණියගේ භූමිකාවත් ඔබට මතක ඇති. ඇයත් පැබ්ලෝගේ එක්තරා විදිහක ෆැන්ටසියක්. ඇය චරිත තෝරා බේරාගෙන රඟන්නියක්. ඒ වගේම සිනමාව පමණක්ම තම රංගන සීමාව ලෙස තෝරා ගත් තැනැත්තියක්. හැමදාම හැම තැනම දකින්න නැහැ. ඒ නිසාම ඇගේ රූපණය චරිතයට අපූර්ව බවක් එක් කරනවා. රාණි චිත්‍රපටයේ රිචඩ් ගේ නාඳුනන පෙම්වතියක් ලෙස ඇය ඔබට හමුවෙයි.
සෞම්‍ය ලියනගේ
සෞම්‍ය ලියනගේ බොහෝ වෙලාවට මගේ සිනමා ගමනේ මාත් සමගම ගමන් ගත් ගමන් සගයෙක්. ඔහු ‘මේ මගේ සඳයි’ චිත්‍රපටියේ නමක් නැති තරුණ සොල්දාදුවාගේ භූමිකාවට පණ දුන්නා. ඊට පස්සේ ‘අක්ෂරය’ චිත්‍රපටියේ කෞතුකාගාර මුරකරුගේ චරිතය රඟපෑවා. ඉන් අවුරුදු ගානකට පස්සේ එහිම දිගුවක් වූ ‘ඇන්ටික් කඩයක මරණයක්’ වේදිකා නාට්‍යයේ ඒ භූමිකාවේම තරමක් වයසක, ඇන්ටික් කඩයේ හිමිකරු ලෙස පෙනී හිටියා.
මගේ පළමු සිනමා පටයේ පටන්ම ‘ලියනගේ’ පවුල අඩු වැඩි වශයෙන් මගේ නිර්මාණ ජීවිතය හා බැඳී පවතිනවා. ‘චන්ද කින්නරී’ චිත්‍රපටයේ ප්‍රධාන පිරිමි භූමිකාව නිරූපණය කළේ සෞම්‍ය ගේ තාත්තා. හේමසිරි ලියනගේ. එවකට නවකයෙකු මෙන්ම සිනමාවට පිවිසෙන තරුණ සිනමාකරුවෙකු වූ මගේ සිනමා කෘතියකට සම්බන්ධ වීමට ඔහු ගත්ත තීරණයම මට ධෛර්යයක් වුණා. ඉන් පසු ඔහු ‘දිය කැට පහන’, ‘සින්තටික් සිහින’ යන ටෙලි නාට්‍යවලත් සහ ‘මේ මගේ සඳයි’ චිත්‍රපටියේත් රඟපෑවා. කොරෝනා ලොක්ඩවුන් සමයේ zoom තාක්ෂණයෙන් නිර්මාණය කළ ‘Beer Without Alcohol’ කෙටි චිත්‍රපටයට ඉන්ද්‍රචාපා චාපා ලියනගේ රංගනයෙන් සහ සංගීතයෙන් දායක වුණා.
සෞම්‍ය මට මුලින්ම මුණ ගැහෙන්නේ ‘චන්ද කින්නරී’ දර්ශන තලයකදී. ඒ උඩප්පුව වැලි කඳු අතර. ඊට පෙර දර්ශනයක් රූපගත කිරීමක දී හේමසිරිගේ කකුල ආබාධයකට ලක් වීම නිසා ඇවිදින්නට බැරි වූ හේමසිරිව උස්සාගෙන තැනින් තැනට ගෙන යෑමේ වගකීම පැවරුණේ තරුණ සෞම්‍යට. හේමසිරි දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ පුත්‍රයා වූ සෞම්‍ය හේමසිරි ව අතික්‍රමණය කළ කෙනෙක්.
ඔහු රඟපෑ මගේ හැම චිත්‍රපටයක ම ප්‍රධාන භූමිකාවට පණ දුන් සෞම්‍ය, රාණි චිත්‍රපටයට සම්බන්ධ වන්නේ ඉතා කුඩා චරිතයක් රඟපාමින්. චරිතය කෙතරම් පුංචි වුනත් ඔහු ඒ රඟපෑම කළේ ඉතා උනන්දුවෙන් සහ උවමනාවෙන්. මනෝරාණි ගේ අසල්වැසි යුවළකගේ ස්වාමිපුරුෂයාගේ භූමිකාවට තමයි සෞම්‍ය පණ පොවන්නේ.
අනසුයා සුබසිංහ
රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට වඩාත්ම සියුම් ප්‍රකාශන ඉන්ද්‍රිය වන්නේ ඇස් දෙක බව මගේ හැඟීමයි. හිතට ඇතිවන දුකක්, සතුටක්, බියක් දෙනෙතේ පිළිබිඹු වන බව අප හොඳින් දන්නා දෙයක්. ප්‍රකාශනශීලී දෙනෙතක් කියන්නෙ නළුවෙකුට, නිළියකට අගනා සම්පතක්. කතක්, කතකලි, මනිපුරි, භාරත නාට්‍යම් ආදී ඉන්දීය නැටුම් සම්ප්‍රදායන්හි නර්තන ශිල්පීන්ගේ ඇස් නලියන හැටි බලන්න. දෙනෙත් මතුකර දැක්වීම සඳහා ඔවුන් විශේෂ අංග රචනා ශෛලින් ද යොදාගන්නවා. අනසුයා සුබසිංහ ප්‍රකාශනශීලී දෙනෙතක් හිමි රංගන ශිල්පිනියක්. ඇය ප්‍රථම වරට අපිට (මට) දැකගන්න ලැබෙන්නේ ඉන්දික ෆරඩිනන්ඩෝ ගේ ‘හෝ ගාන පොකුණ’ ළමා චිත්‍රපටයේ. දුෂ්කර පාසලකට සංගීත ගුරුවරියක් ලෙස පත්වීමක් ලබා යන නාගරික තරුණියකගේ රංගනය ඔබට මතක ඇති. එය මතක හිටින රංගනයක්. My Sweet Rotten’ Heritance විවෘත වේදිකාවේ කරපු ඇගේ අගනා නාට්‍ය පර්යේෂණයක්. අපේ පැරණි ජන නාට්‍ය සම්ප්‍රදායේ එන නාට්‍යාංග වල සංකලනයක් ඇසුරෙන් කළ නාට්‍ය නිෂ්පාදනයක්. රාණි චිත්‍රපටයේ මනෝරාණි ගේ අසල්වැසි සෞම්‍ය ගේ බිරිඳ ලෙස ඇය රඟපානවා.
සම්පත් ජයවීර
සම්පත් ජයවීර කියන්නේ රූපවාහිනියේ, වේදිකාවේ නිර්මාණවලට නැතිවම බැරි නළුවෙක්. ඒ උනාට සිනමාවේ ඉඳ හිට හම්බවෙන චරිත වලට සාධාරණයක් ඉටුකරන ශිල්පියෙක්. 2004 අවුරුද්දේ අක්ෂරය රූපගත කරද්දී අද තරම් ජනප්‍රිය නැති සම්පත් එහි ඉතා සුළු චරිතයකට සම්බන්ධ වෙනවා. ( විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයාගේ නිවස පර්යේෂා කිරීමට පැමිණෙන පොලිස් නිලධාරියකු ලෙස.) වසර විස්සකට පසු ආයෙත් අප හමුවෙලා! රඟපෑමේදී ‘timing’ කියලා කියන්නේ නාට්‍යමය ආචරණයක් (dramatic effect) ඇතිවන පරිදි කතාවෙ හා චලනයෙහි සිදු කරන සීරු මාරුවටයි. සම්පත් ජයවීර කියන්නේ ජවනිකාවක ඉතා හොඳින් timing පවත්වාගෙන යන්නෙක්. තවත් අසල්වැසි භූමිකාවක් රඟපාමින් සම්පත් ජයවීර රාණි චිත්‍රපටය සඳහා එක් වෙනවා.
ගිහාන් ප්‍රනාන්දු
නිහාල් සිල්වා, ජෝ අබේවික්‍රම වගේ අය සිනමාවේ, වේදිකාවේ හිටපු, කොමඩි රෝල් එකක් හරියට කරපු අය. විකට චරිතයක් හරියට රඟපාන්න බැහැ අති දක්ෂ රංගන ශිල්පියකුට ඇරෙන්න. සමහරු හිතන් ඉන්නවා මිනිස්සු හිනස්සන්න පුළුවන් කියලා තමන් කැපිච්ච පනුවෝ වගේ දඟලුවාම. එහෙම බෑ. මිනිස්සු හිනස්සන්න රඟපානවා කියන්නේ වෙනම කුසලතාවක්. ඒ වගේම එහෙම කෙනෙකුට වෙන ඕනම චරිතයක් වුණත් රඟපාන්න පුළුවන්.
ගිහාන් (Fernando ) ඒ කුසලතාව තියෙන රංගන ශිල්පියෙක්. ග්‍රීක ඛේදාන්ත නාට්‍යයක් වන ‘ඊඩිපස්’ ගේ ඉඳලා ගිහාන් ගේම ‘ලොක්කා ලෙඩ වෙලා’ වෙනකම් විශාල පරාසයක විහිදුණු චරිත රැසක් එකවර රඟපාන එක ලේසි වැඩක් නෙවෙයි. ගිහාන් මට ඉස්සරලාම දැකගන්න හම්බවෙන්නේ රාජිත දිසානායක ගේ ‘සක්වාදාවල’ නාට්‍යයෙන්. ඔහු ගේ මම කැමතිම රඟපෑම් හොඳටම දැකගන්න පුළුවන් රාජිත ගේ නාට්‍යවල. ඒවා සීරියස් නාට්‍ය. සීරියස් චරිත. ගිහාන් මගේ නිර්මාණයකට සම්බන්ධ වූ පළවන අවස්ථාව රාණි..
ප්‍රියන්ත ලලිත්
2023 අවුරුද්දේ යෞවන නාට්‍ය උළෙලේ ජූරි එකේ ඉන්න මට අවස්ථාව ලැබුණා. උළෙලේ වැඩකටයුතු සංවිධානය කරපු පුද්ගලයෙක් දිහා මම උවමනාවෙන් බලාගෙන හිටියා. ඔහු යන එන විලාශය, වැඩ කටයුතු සංවිධානය කරන ආකාරය අවධානයට යොමු වුණා. ඒ රාණි චිත්‍රපටියට නළු නිලියන් තෝරගන්න කාලේ. මං ළඟම ආසනයේ වාඩිවී සිටියේ රාජිත දිසානායක නාට්‍යකරුවා. රාජිත ගෙන් නිකමට මං ඇහුවා අහවලාගේ චරිතයට මොහු ගැලපෙන බව පේන්නේ නැද්ද කියල. ටික වෙලාවක් බලන් ඉඳලා ඔහු කිව්වා ‘ඒ විදිහට බලනකොට නම් ඒ වගේ පේනවා’ කියලා. රාණි චිත්‍රපටයේ හැම චරිතයක්ම තෝරා ගත්තේ ‘ඒ විදිහට බලනකොට ඒ වගේ පෙනිලා’. ‘ඒ විදිහට පෙනෙන අය ඒ විදිහට මේකප් කරන්න කියලා’ කිව්වේ ප්‍රියන්ත දිසානායක කියන අංගරචන ශිල්පියාට. ප්‍රියන්ත වැඩේ හරියටම කළා. ඉතින් මේ ඒ ප්‍රියන්ත. ප්‍රියන්ත ලලිත්. ප්‍රියන්ත අපිට ඉන්න දක්ෂ වේදිකා නළුවෙක්. රැකියාව නිසා රඟපෑම සීමිත වෙලා. මං නම් පුද්ගලිකව ඒකට කැමතියි. ජීවත් වෙන්න වෙන රැකියාවක් කරන ගමන් විනෝදයට රඟපානවාට. ඒත් හැමෝටම එහෙම කරන්න බැහැනේ.
සජිත ඇන්තනි
ජැක්සන් ඇන්තනි මගේ මිත්‍රයෙක්. ඔහු බහු කෞශල්‍යයෙන් පිරි ශිල්පියෙක්. ගීත ගයන්න, වයන්න, නටන්න, රඟන්න එක වගේ දක්ෂයෙක්. ඒ වගේම සිංහල භාෂාව පිළිබඳව, ඉතිහාසය පිළිබඳව ප්‍රාමාණික දැනුමක් ඇත්තෙක්. සිනමා/ නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. පිටපත් රචකයෙක්. ඒත් කවදාවත් මං ජැක්සන් ව චිත්‍රපටයකට හෝ නාට්‍යයකට සම්බන්ධ කරගන්න හිතුවේ නැහැ. මගේ චිත්‍රපටියක්/නාට්‍යයක් මුල් දවස්වලම නරඹා ඒ පිළිබඳව අදහස් බෙදා හදා ගන්න ඔහු පුරුදුවෙලා හිටියා. ඔහුගේ හදිසි අභාවය මට මහත් කම්පනයක් ගෙන ආවේ ඒ නිසයි.
සජිත ඇන්තනි, ජැක්සන් ගේ පුතා දවසක් අපේ ගෙදර ආවා. අසනීප වුණු මාව බලන්න. (එතකොට එයාගේ තාත්තා අසනීප වෙලා ඉස්පිරිතාලෙ). තව යාළුවො කට්ටියකුත් හිටියා. අපි බොහෝ රෑ වෙනකම් කතාබහ කර කර හිටියා. සජිත සභාවක ඉන්නකොට මුළු සභාවේම අවධානය එයා වෙතට ගන්න දක්ෂයි. ඔහුට කියන්න බොහෝ කතා තියෙනවා. ඔහු කතා කියනවා. අපි අහගෙන ඉන්නවා. ජැක්සන් තරුණ කාලේ (ඔහුගේ රංගන දස්කම් දැක ඇති අපට) ඒ හා සමානම රංගන හැකියාවක් ඇති තරුණයෙක් සජිත.
ජැක්සන්ව චිත්‍රපටියකට ගන්න නොහිතපු මම මගේ අදහස වෙනස් කරගත්තා. සජිතට මං ආරාධනා කළා රාණි චිත්‍රපටයේ චරිතයක් කරන්න. ඒක ලොකු චරිතයක් නෙවෙයි උනාට වැදගත් චරිතයක්. ඔහු ඒ ආරාධනාව බොහොම නිහතමානීව පිළිගත්තා රාණි චිත්‍රපටියේ රාණි ඇරුනහම අනිත් හැම චරිතයක්ම අවශේෂ චරිත. එහෙම කළේ,ඒක තමයි මේ චිත්‍රපටියට ගැලපෙන ආඛ්‍යානය කියලා හිතුන හින්දා. (එහෙම නැතුව, ඇතැම් අය කියනවා වගේ චිත්‍රපටියක් කරන්න නිෂ්පාදකයෙක් හම්බුන හින්දා වත්, කල්පනා කරලා බලන්න වෙලා නැති හින්ද වත් නෙවෙයි ). ඒ අවශේෂ චරිත රාණි වටේ pop-up වෙලා නැති වෙලා යනවා. ඒවා චරිත හැටියට වෙන වෙනම වැඩෙන්නේ නැහැ. ඒ වගේ චරිතයක් තමන්ට පැවරෙන පුංචි රංග කාල සීමාව ඇතුළේ ගොඩනගා ගන්න එක නළුවෙකුගේ නිළියකගේ දක්ෂකමක්. එහෙම එක වැදගත් චරිතයක් තමයි සජිත රඟපාන්නේ.
මෙහි පළමු කොටස කියවීම සඳහා මේ සබඳියෙන් පිවිසෙන්න – https://pihatuwa.lk/%e0%b6%bb%e0%b7%8f%e0%b6%ab%e0%b7%92-%e0%b6%91%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%9a%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84%e0%b6%b3%e0%b6%9c%e0%b6%b8-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba/
(අශෝක හඳගම මුහුණු පොතේ තැබූ සටහන් ඇසුරින් උපුටා ගැණිණි. සිනමාපටයේ පෝස්ටර් උපුටා ගැනීම ද ඒ ඇසුරිනි.)