කේ.ඩී. දර්ශන
“තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන් හට තිත්ත කතා කියා බැණ අඬ ගසා යවනු ලබන ලියුම් මේ තැපැල් පෙට්ටියේ තිබුණහොත් ඒවායේ තිත්ත ගතිය මැකී පැණිරස වීමත්, මී පැණි වැනි වදන් මාලාවෙන් ලියනු ලබන පෙම්පත් මේ තැපැල් පෙට්ටියේ තිබුණහොත් ඒවා මීයේ ටීය වත්කළා සේ මධුරෙනුත් මධුර බවට පත්වීම නිරායාසයෙන් ම සිදුවීම ස්වභාවික වුවත්….”
මී පුප් සේ රස මෙ වදන් පෙළ එන්නේ ඩේවිඩ් කරුණාරත්නයන්, දවස සහ රිවිරැස පුවත්පත්වලට ලියූ හෑල්ල තීරු ලිපියක ය. රස බස් පිරි හෑල්ල තීරු ලිපි ගණනාවක් කෘතියක් ලෙසින් සංගෘහිතව කියවන්නට ලැබිණි. එය “දවස, රිවිරැස රස කළ ඩේවිඩ් කරුණාරත්නයන්ගේ හෑල්ල” නමි. ඩේවිඩ් කරුණාරත්න පිළිබඳ සුවිසෙස් පැහැදිලි කිරීම් අනවශ්‍ය ය. රොබට් නොක්ස්ගේ සුප්‍රකට An Historical Relation Of the Island Ceylon කෘතිය ‘එදා හෙළ දිව’ නමින් සිංහලට අනුවර්තනය කිරීම මෙන් ම තවත් එවැනි වටිනා පොත් ගණනාවක ම රචකයා, පරිවර්තකයා, අනුවාදකයා මොහු ය.
භාෂාව, සොබා දහම වෙනුවට සංස්කෘතිය නියෝජනය කරයි. සිංහල භාෂාව නියෝජනය කරන්නේ එදා මෙදා තුර මෙකල වැසියා මහත් ආයාසයෙන් මෙන් ම නිරායාසයෙන් ද වැඩූ සංකේතීය දේවල් ය. ශ්‍රමයේ ඵලාප්තීන් ය. එහෙයින් භාෂාවක් යනු හිතුමතේ පාදඩකරණයේ යෙදීමට අවසර ඇත්තක් නොවේ. භාෂාව කිසිවිටෙකත් අපභ්රංශයක් නොවිය යුතු ය. භාෂාව අපභ්රංශයක් කොට ලියන්නෝ වහා ම ඩේවිඩ් කරුණාරත්නයන්ගේ මේ ලිපි පෙළ කියවිය යුත්තාහ. හෑල්ලෙහි බස කිසි විටෙකත් සරල බව ඉන් අදහස් නොවේ. ලේඛකයාගේ බස ඕජෝ ගුණයෙන් යුතු වන අතර එහි පුහු අරුත් සුන් වාගාලංකාර වෙනුවට අර්ථ බාහුල්‍යයෙන් යුත් පණ ගැහෙන බස් වහරක් දක්නට ලැබෙයි.
තවත් විශේෂත්වයකි. එනම්, මේ සෑම තීරු ලිපියක් ම තනි වැකියකි. පටන් ගන්නා වැකිය නිම වන්නේ තීරු ලිපිය ද නිම වීමෙනි. උපමා, රූපක, පිරුළු, ආප්තෝපදේශ, කවි, ගීත, ශ්ලෝක, ටීකා ආදී නා නා සාහිත්‍යාංග මෙන් ම පාලි, සංස්කෘත, සිංහල හා අව්‍යාජ ගැමි වදන් ද යහමින් භාවිත කිරීමට කරුණාරත්නයන් පසුබට වී නැත. ලිපිය ලියවෙන්නේ සරල කරුණකට විය හැකිය. ඔහු ඒ කරුණට එන්නේ රස ගුලාවක් වපුරවමිනි. විටෙක දේශපාලන උපහාස සපයන්නේ, දවස නිවසේ පුවත් වැකිවලින් ම උපුටා ගත් සත්ව නිදසුන්වලිනි. ‘නරි’ මැයෙන් වන තීරු ලිපිය ලේඛකයා අරඹන්නේ හිවලුන් ගැන පුවත් ගණනාවක් දස දෙසින් සිහි ගන්වමිනි. නරියාගේ හූවේ තරම, පංචතන්ත්‍රයේ එන නිල් දියේ වැටි නරියා, ඒ ගැන සඳහන් සිංහල ජනකවි ආදී සියල්ලෙන් පසු මෙසේ ද ලියයි.
“අපේ සරසවිවලින්- අපේ විශ්වවිද්‍යාලවලින්- පිටවන්නේ ‘නරි’ යැයි අප රටේ උච්චාවචන මහ වචනවලින් උච්චස්වරයෙන් හා වේගස්වරයෙන් ප්‍රකාශ වන සැටි ඇසෙන විට, නූතන ජන සමාජයේ නරියාටත්, නරි හූවටත්, නරිවාදමටත්, ලැබී ඇත්තේ නැතහොත් ලැබී ගෙන යන්නේ හරිම හර තැනක් බව හරියටම කිරි ගහට ඇන්නා වාගේ කියා සිටින්නට බැරිකමක් නැත්තේය.”
අප මේ විමසුමෙන් අවධාරණය කරන්නේ ලේඛකයාගේ අපූර්ව බස් වහර වුව ද තීරු ලිපි අතුරින් මතු වන සමාජ- දේශපාලන විචාර ද ඊට දෙවැනි නොවේ. මේ බස් වහර සමාන වන්නේ කවි සමයට ය. හෑල්ල ලිපි එකතුවට පූර්විකාවක් ලියන පී. ඇම්. සේනාරත්න එය මෙසේ ඔජ වඩවයි.
“රසවත් වැකිය පැදියෙකි යන ප්‍රකට කියමන අනුව නම් හෑල්ල රසවත් වැකියෙන්ම පිරුණු පැදි නදියකි.”
හෑල්ල පුවත්පතක පළවන තීරු ලිපියකි. තීරු ලිපියට මහ ඉඩක් වෙන් වන්නේ නැත. කොටින් ම මේ හෑල්ල යනු එක වැකියකි. එසේ වුව ද එහි වපසරිය දවස පත්තර කාර්යාලයෙන් එළියට පැන, කොළඹින් ද අට වටින් මුහුදුකරයෙන් වට සිරිලකෙන් ද පැන දේශ- දේශාන්තර බලා යයි. විශ්ව සාහිත්‍යය ම විත් හෑල්ල රස කරයි. මේ සියලු හරඹ සංගෘහිත ලිපි නම් වන්නේ උත්ප්රාසය මිශ්‍ර රූපකාර්ථවත් මාතෘකාවන්ගෙනි. ලිපි හැත්තෑ තුනක් අතුරින් කිහිපයක නාම දැක්වීම මේ කරුණ සනාථ කිරීමෙහි ලා වැදගත් ය. ‘මී පැණි‚ ලියුම්’, ‘කෙස්ස කැපීම’, ‘බලු ලේඛන’, ‘කොර හිනා’, ‘වල්ගා නැති හරකුන්’, ‘පවුම් අස්සේ කැවුම්’, ‘ට්‍රාන්සිස්ටර් හදවත්’, ‘ඇත්තු හා පෝසත්තු’, ‘එකොළොස් බලුකම’, ‘කකුල් දෙකේ ගොනා’, ‘ඔරුවලින් ගිය මරු ගමන්’, ‘නවීන උම්මග්ග ජාතකය’, ‘ලෙවකන කලාව’
මේ රස බර හෑල්ල භාෂාව රසමුසුව භාවිත කරන්නට රිස්සෝ කියවිය යුතු බව නැවතත් යෝජනා කළ යුතු නැත. බහුතර වත්මන් පුවත්පත්වල පුහු තීරු ලිපි කියවා හිස් නරක් කර ගන්නවා වෙනුවට හෑල්ල කියවන ලෙස යෝජනා කරන්නේ මේ හෙයිනි. රස බසක් යස දැයක් පෙන්වන අතර ම පෙරළා හිස් දැයක් පුස් බසකින් පෙන්වන්නේ ය. මේ විමසුම නිම කිරීමට ‘හැට හතේ අවසන් හෑල්ල’ නමැති තීරු ලිපියේ එන උපුටනයක් ඉතා යෝග්‍ය වන්නේ ය.
තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා
කටු කැලේ ගාලෙ නොලිහා වදදෙනවා
බඩු මිලේ තරම දුටුවම බඩදනවා
පව් කළ ගොනෝ ඇදපන් හැට අට එනවා