ආචාර්ය දර්ශන අශෝක කුමාර
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයනාංශයේ හිටපු අංශාධිපති සහ හිටපු මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි මහතාගේ 78 වැනි උපන්දිනය ජූනි මස 18 වැනි දිනට යෙදී තිබූ අතර ඔහු විසින් සම්ප්රදානය කරන ලද මහා ශාස්ත්‍රීය ඥානය වෙනුවෙන් සිදු කරනු ලබන ප්රණාමයක් වශයෙන් මෙම ලිපිය රචනා කෙරේ.
නුගේගොඩ ශාන්ත ජෝන්, කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය යන විද්‍යාලවලින් පාසල් අධ්‍යාපනය ලැබූ මහාචාර්ය මල්ලිකාරච්චි 1960 දශකයේ මැදභාගය වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකු බවට පත් වන්නටත් අගභාගය වන විට දර්ශන දෙපාර්මේන්තුවේ ආචාර්යවරයෙකු වීමටත් වරම් ලැබීය. මහාචාර්ය කේ. එන්. ජයතිලක, මහාචාර්ය ඩේවිඩ් කළුපහණ, මහාචාර්ය ගණනාත් ඔබේසේකර, මහාචාර්ය ස්ටැන්ලි තම්බයියා, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය සෙනරත් පරණවිතාන, මහාචාර්ය නිකලස් ආටිගල ආදී අප්‍රමාණ විද්වතුන්ගෙන් ගැවසි ගත් යුගයකයි මහාචාර්ය මල්ලිකාරච්චි සිය ශාස්ත්‍රීය දිවිය පේරදෙණියෙන් අරඹන්නේ.
University College London වෙතින් සිය ආචාර්ය උපාධිය දිනාගත් ඔහු දර්ශනය විෂයය කෙරෙහි සුවිශේෂී සම්ප්රදානයක් සිදු කරන්නේ මූලික වශයෙන් මාක්ස්වාදී දර්ශනය පදනම් කර ගනිමිනි. ඒ හැරෙන්නට ඔහු ප්‍රංශ දර්ශනය, ජර්මානු දර්ශනය, විශ්ලේෂී දර්ශනය සම්බන්ධයෙන් මතු නොව ඉන්දීය දර්ශනය, චීන දර්ශනය, තර්ක ශාස්ත්‍රය, මනෝ විද්‍යාව, මනෝ විශ්ලේෂණය, සිනමා අධ්‍යයනය, මානව විද්‍යාව, සමාජ විද්‍යාව, විද්‍යාවේ දර්ශනය, අධ්යාපනවේදය සහ අධ්‍යාපන දර්ශනය ආදී ක්ෂේත්‍ර විශාල සංඛ්‍යාවක එකසේ විදග්ධභාවයක් අත් කර ගත්තෙකි.
මාක්ස්වාදී භෞතිකවාදය ඔස්සේ ස්වීකරණය කර ගත් භෞතිකවාදී දර්ශනයක් මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි වෙත පැවති අතර ඔහුගේ එම දාර්ශනික අදහස් හා අර්ථ විවරණ තුළින් මාක්ස්වාදය ද වඩාත් නිවැරදි වූ අතර ඒවා අතිශයින් ම ස්වීය හා ස්වාධීන විය. මහාචාර්ය මල්ලිකාරච්චි පිළිබඳ කථා කිරීමට බොහෝ ඉසව් පැවතිය ද මෙම ලිපිය පාදක කර ගන්නේ ඔහුගේ භෞතිකවාදය විමර්ශනය කිරීමටත් ඔහු ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් පහළ වූ විශිෂ්ටතම භෞතිකවාදී දාර්ශනිකයා වන්නේ කෙසේද යන්න තර්ක කිරීමටත් ය.
අප දර්ශනය යනු කුමක්දැයි විග්රහ කර ගන්නා උත්සාහයක දී අපට මූලික ප්‍රශ්න ගණනාවක් ඉස්මතු වෙයි. දැනුමේ සැබෑ ස්වරූපය කුමක්ද, යථාර්ථය යනු කුමක්ද? අපගේ පැවැත්ම යනු කුමක්ද? ආදී වශයෙන් දාර්ශනික ප්‍රශ්න අප වෙත පැමිණෙයි. ලෝක ඉතිහාසය ගත් විට මෙම දාර්ශනික ප්‍රශ්න සඳහා ප්‍රවේශ දෙකක් ඔස්සේ උත්තර සොයා ඇත. එකක් නම් විඥානවාදී ප්රවේශයයි අනෙක නම් භෞතිකවාදී ප්රවේශයයි.
සරල ව ප්‍රකාශ කරන්නේ නම් විඥානවාදීන්ගේ පැහැදිලි කිරීම වන්නේ යථාර්ථය යනු අපගේ මනසේ නිර්මාණයක් විනා අනෙකක් නොවන බවයි. විඥානවාදීහු මිනිස් සවිඥානය වෙත සියලු අවධාරණය ලබා දෙති. භෞතිකවාදයේ දී ද්‍රව්‍යය කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දෙන අතර ද්‍රව්‍යයට මිනිසාගේ සවිඥානය ද ඔහුගේ ලෝකය ද යථාර්ථය ද සකස් කිරීමේ හැකියාවක් ඇති බව භෞතිකවාදීහු පිළිගනිති. භෞතිකවාදයේ විවිධ ප්රවණතා සහ ශාඛා දාර්ශනික ඉතිහාසය තුළ දී හමු වන නමුත් මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි මාක්ස්වාදය ඔස්සේ ව්‍යුත්පන්න කර ගන්නා සහ ස්වීකරණය කර ගන්නා භෞතිකවාදය කෙරෙහි අවධානය යොමු කිරීම මෙහි දී අපගේ ඉලක්කයයි.
මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි අපට පෙනෙන ලෝකයෙන් (world of appearances) එපිටට කිසියම් අංශු මාත්‍ර හෝ යථාර්ථයක් පවතී යැයි පිළිගත්තේ නැත. සියලු ආගමික දර්ශනයන් වෙතින් ස්ථාපිත කර තිබුණේ සැබෑ යථාර්ථය යනු අපට හසු වන ලෝකයෙන් එපිට ඇති පරමෝත්කෘෂ්ට අභීෂ්ටයක් ලෙසිනි. මෙය අභියෝගයට ලක් කරන ශ්‍රී ලංකාව තුළ සිටි සහ සිටින වඩාත් විද්‍යාත්මක එකම දාර්ශනිකයා ලෙසින් මා හඳුනා ගන්නේ මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි ය. ඔහු මනස යනු ද්විතියික දෙයක් වශයෙන් සැලකීය. මනස යනු ද්‍රව්‍යයේ පරාවර්තනයක් විනා ද්‍රව්‍යයෙන් බැහැර ව මනසක් පැවතිය නොහැකි බව ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි දර්ශනයේ මූලික පිළිගැනීමයි. මෙයින් අදහස් කෙරුණේ ඔහුගේ දර්ශනය තුළින් ආධ්‍යාත්මක/විඥානවාදී යමක් පැවතීමට නොහැකි යැයි ප්‍රතික්ෂේප කිරීමක් නොවේ. මිනිසාගේ ආධ්‍යාත්මක ජීවිතය සෑම විට ම ද්විතියික දෙයක් වශයෙන් ගැනීම එහි මූලික අරමුණයි.
මෙම දර්ශනය ඒංගල්ස්ගේ අදහස් පද්ධතිය සමගින් හොඳින් ගැළපෙන අතර ඒංගල්ස් පැවසුවේ මිනිසා විසින් දේශපාලනය, විද්‍යාව, ආගම සහ කලාව පිළිබඳ සිතීමට පෙර කා බී නිවස්නයක් සහ ඇඳුම් සහිත ව සිටිය යුතු බවයි. ආධ්‍යාත්මක හෝ අදහස්මය ජීවිතය දෙවැනි වන බවත් භෞතික ලෝකය මුඛ්‍ය වන බවත් මෙම දර්ශනයේ මූලික අදහසයි. The Materialist Theory of Consciousness නම් දාර්ශනික ලිපියේ දී මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි පැහැදිලි ලෙසින් තර්ක කරන්නේ කාල් වොග්ට් වැන්නන්ගේ දෘඪ භෞතිකවාදය (crude materialism) තමන් පිළිනොගන්නා බවයි. විඥානය හුදෙක් භෞතිකය වෙත ඌනනය කිරීම දෘඪ භෞතිකවාදීන් අතින් සිදු විය. නමුත් විඥානය තුළ සිදු වන්නේ භෞතික ලෝකය ඒ මත පතිත වීමත් සිතිවිලි බවට පරිවර්තනය වීමත් ය. ඒ අර්ථයෙන් විඥානය භෞතික වන බව මහාචාර්ය මල්ලිකාරච්චි උක්ත ලිපියේ දී අවධාරණය කරයි.
Addendum to Materialist Theory of Consciousness නම් ලිපියේ දී මහාචාර්ය මල්ලිකාරච්චි පවසන්නේ සවිඥානික ප්රපංචයන්ට ස්වයං පැවැත්මක් ඇතැයි (autonomous status to the conscious phenomena) පිළිගැනීම අතිශයින් සාවද්‍ය වූවක් බවයි. මහාචාර්ය මල්ලිකාරච්චි එහි දී සියලු ආදානග්රාහීත්වයන්ගෙන් (dogmatism) ඉවත් වෙයි. භෞතිකවාදීන් වශයෙන් අතීතයේ දී පිළිගත් සම්ප්රදායයන් සැබෑ භෞතිකවාදයන් නොවවන ආකාරය ද මහාචාර්ය මල්ලිකාරච්චි පෙන්වා දෙයි. පකුධ කච්චායනගේ සාස්වතවාදය හෝ පූර්ණ කස්සපගේ අකිරියවාදය භෞතිකවාද වශයෙන් යමෙකුට සැලකීමේ ඉඩක් තිබුණ ද මහාචාර්ය මල්ලිකාරච්චිගේ තර්කය වන්නේ භෞතික ලෝකය නිර්මාණය විය හැක්කේ මිනිස් සහභාගීත්වයක් (material world is a creation with human mediation) ඔස්සේ පමණක් බවයි. මෙහි දී නිෂ්පාදන මාදිලිය ( mode of production) ඉතා කේන්ද්‍රීය භූමිකාවක් හිමි කර ගනී.
මිනිසුන් අතර සාමූහික සම්බන්ධයක් ඔස්සේ විනා අන් කවර ආකාරයකින් හෝ විමුක්තියක් උදා කර ගැනීමේ හැකියාවක් නොමැති බව මහාචාර්ය මල්ලිකාරච්චි සිය සෑම දේශනයක දී ම පාහේ අවධාරණය කරන්නකි. එබැවින් ඔහු ධනාත්මකවාදියෙකු (constructivist) ලෙසින් හැඳින්වීමට මම කැමැත්තෙමි. මිනිසා තවත් යන්ත්‍රයක් නොවී සැබෑ මිනිසෙකු කිරීමට, එසේත් නොමැති මිනිසාගේ මනුෂ්‍යත්වය ආපසු ලබා දීමට නම් ඔහු පරාරෝපණය කරන සියලු භෞතික සහ මානසික යදම් බිඳ දැමිය යුතුය. මෙය මෙලොව දී ම විසඳා ගත යුතු ගැටලුවක් විනා පරලොවක දී විසදා ගැනීමට ඇති දෙයක් නොවන බව මහාචාර්ය මල්ලිකාරච්චි දුටු අතර කිසිදු පුද්ගලයෙකු තමන් ජීවත් වන පද්ධතියෙන් බහිෂ්කරණය නොවන ලෝකයක් පිළිබද මහා ප්‍රාර්ථනාවක් ඔහු සතු විය.
එරමිණියා ගොතා භාවනා කරමින් සෙවීමට විමුක්තියක් ඔහුට නොවීය. විමුක්තිය පිළිබද ඇති සියලු ගූඪවාදයන් යනු සුරාකෑම සහ පන්ති සමාජය පවත්වා ගෙන යෑම සදහා වන මෙවලම් වන අතර සූරා කෑමට ලක් වන මිනිසා තාවකාලික සුවයක් වෙනුවෙන් මෙම ගූඪවාදයන්ගේ සරණ පතයි. ආගමික මිථ්‍යාවන්ගේ සහ ගූඪවාදයන්ගේ ඇති අගතීන් හුදෙක් තර්කයෙන් (argumentation) හෝ භාෂාවෙන් පමණක් විසදිය හැකියැයි මහාචාර්ය මල්ලිකාරච්චි නොසිතන අතර මෙම අගතීන්ගෙන් මිනිසා මුදවා ගැනීමට නම් භෞතික තත්ත්වයන් (material conditions) වෙනස් කළ යුතු බව සිතයි.
මහාචාර්ය මල්ලිකාරච්චිගේ අග්රකෘතිය වශයෙන් සැලකීමට හැකි බුදුන් වහන්සේ සහ කාල්මාක්ස් කෘතියේ 169 වැනි පිටුවේ දී සඳහන් කරන්නේ ඉහළ ම අපේක්ෂාව හෙවත් පරමාදර්ශය සාධනය කර ගැනීම සඳහා මාක්ස් යෝජනා කරන මාර්ගය සමාජ- ආර්ථික මාර්ගයක් වන අතර එය බුදුන් ඉදිරිපත් කළ පෞද්ගලික වූත් සදාචාරාත්මක වූත් විමුක්තිය මෙන් නොව සමාජ-දේශපාලන විමුක්තියක් වන බවයි. එනම්, මහාචාර්ය මල්ලිකාරච්චිගේ දර්ශනය ද පදනම් වන්නේ සමාජ-දේශපාලන විමුක්තියක් පදනම් කර ගනිමින් බව පෙනී යයි.
මහාචාර්ය මල්ලිකාරච්චි යනු ආගම් අදාළ ෙනාවූවකු (irreligious) ලෙසින් හැඳින්වීමට මම කැමැත්තෙමි. මහාචාර්ය මල්ලිකාරච්චි වෙත දෙවියෙකු ඇත්තේ නැත්තේ ද? වැනි සද්භාවී ප්‍රශ්න නොපැවතියේය. ලෝකයේ යථාර්ථය සහ සද්භවය සම්බන්ධයෙන් ඔහුගේ සම්පූර්ණ දර්ශනය පාදක වූයේ මිනිස් පර්යාලෝකයක් සමඟිනි. මිනිසා තව දුරටත් දෙවියන් හෝ වෙනත් කිසියම් සුපිරි අස්ථිත්වයකට යටත් කළ නොහැක්කෙකු බව මහාචාර්ය මල්ලිකාරච්චි සිය දිවියේ භාවිතයෙන් ම ඔප්පු කර ඇත. ඔහු කිසිදා බාර හාර, පුද පූජා නොකළේය. කිසිදු අදෘශ්‍යමාන බලවේගයකින් හෝ ශක්තියකින් පිහිට නොපැතූ අතර තමාගේ පිහිට තමාම කර ගත්තේය. ඒ අනුව සාම්ප්‍රදායික දාර්ශනිකයන්ට පැමිණි පාරභෞතික ප්‍රශ්න ඔහුට නොපැමිණියේය. භෞතිකවාදියෙකු වශයෙන් මහාචාර්ය මල්ලිකාරච්චි ලෝකය නිර්වචනය කළ ආකාරයටත් අර්ථ විවරණය කළ ආකාරයටත් අභියෝග කිරීමට ශ්‍රී ලංකාව තළ කිසිවෙකුත් මෙතෙක් සමත් ව නැති බව මගේ අදහසයි. යමෙකුට එවැනි සමත්භාවයක් ඇතැයි කියා සිතෙන්නේ නම් එවැන්නක් උත්සාහ කර බැලිය හැකිය. එවිට සිය දිවියේ 80 දශකයට ආසන්න වෙමින් සිටින ඔහු 20 දශකයේ තරුණයෙකු මෙන් ඉතා ජව සම්පන්න ව තමන්ගේ බුද්ධිමය ප්‍රතිවාදියා සමග පොර බදනු ඇත.