මරණයට ‘Yes’ කීමක් සාහිත්‍ය තුළ තියනවා -ආචාර්ය නිම්මි නාලිකා මැණිකේ-

මරණයට  ‘Yes’ කීමක් සාහිත්‍ය තුළ තියනවා -ආචාර්ය නිම්මි නාලිකා මැණිකේ-

සංවාද සටහන – අකලංක ගුණතිලක

යථාර්තය සහ අපට වෙච්ච දේ අතර ඇතිවන ගැටීමෙන් ඇතිවන පැල්මෙන් කිසියම් දෙයක් මතුවෙනව. ඒ පැල්ම ජීවිතයේ පැල්ම නම්, ඒ පැල්ම සිතිවිලිවලත් පැල්ම. ඒක භාෂාවේත් පැල්මක්.

2022 වසරේ ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනාගත්, ෂෙහාන් කරුණාතිලක විසින් රචිත ‘THE SEVEN MOONS OF MAALI ALMEIDA’ කෘතිය පදනම් කරගත් විචාරාත්මක සංවාදයක් සඳහා, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යන අංශයේ ආචාර්ය නිම්මි නාලිකා මැණිකේට ඇරයුම් කළෙමු. පහත පළවන්නේ එම සංවාදයේදී සාකච්ඡාවට බඳුන් වූ අදහස්ය.

භයංකර මතකයක් පසුබිම් කරගත් කතාවක්, හාස්‍යාත්මක දෘෂ්ටියකින් රචනා කිරීමේ ප්‍රවණතාව, මාලි අල්මේදා නවකතාව ඇසුරින් ඔබ දකින්නෙ කොහොමද?

මේ වගෙ කතාවක හැමදෙයක්ම හාස්‍යමය වශයෙන් ලියවෙන්නෙත් නෑ. උදාහරණයක් විදිහට මේ කතාව ඇතුළෙ මාලි කියන චරිතය, රාජා උඩුගම්පල, සිරිල් විජේරත්න වගේ අය එක්ක භාෂාත්මකව ගණුදෙනු කරන විදිහ. හැබැයි ඒ බරපතලම දේවල් ටික කවර් වෙනව අර  හාස්‍යජනක භාෂාව ඇතුළෙ. අනිත් අතට රහසක් කියන එක රහසක් විදිහට තියාගන්න පුළුවන් හොඳම විදිහ තමයි ඒක එළියට දාන එක. එළියට දැම්ම පලියට ඒක එළියෙ නෑ. ඒක ලේයර්ස් ගොඩක් ඇතුළෙ හැංගෙනවා. සාමාන්‍ය ජීවිතයේ පැවැත්ම ගැන මේ නවකතාවෙ කියවෙන විදිහත් ඒ වගේ. ඒක තමයි අපි දැක්කෙ, “Marage is not natural, Cutlery is not natural, Religion is not natural, All these are man made shit” කියලා.

මිනීමැරුම්, අතුරුදහන් කිරීම් වගේ භයංකාර දේවල් මිනිස්සුන්ට බරපතලව දැනෙන්නෙ ඒ දේවල් ප්‍රවෘත්ති වෙන කාලයට විතරයි. ඒවගෙ වින්දිතයො වුණ අයට ඇරුනම අනිත් අයට ඒව ටික දවසකින් අමතක වෙලා යනවා. හැබැයි අපිට විවාහය අමතක වෙනවද? හැඳි ගෑරුප්පුවලින් කන යුරෝපියානු විලාසිතාව අමතක වෙනවද? ඉතිං අපි සාමාන්‍ය ජීවිතේ බරපතල කරගෙන තියන දෙයක් උපහාසාත්මකව කියනකොට ‘ඔබ එය පිළිගත යුතුයි’ කියන බලපෑම නෑ. ඒ බලකිරීම නැති නිසාම නවකතාව අවසානයෙදි එනව මෙතන(Here) සහ දැන්(Now) කියන තැනට. මෙතන සහ දැන් ගැන හිතන්න නම් මේ හැමදේටම අපි දෙන බර සැහැල්ලු කරගන්න ඕනෙ. මං හිතන්නෙ ඒ නිසාම තමයි අපිට මේ නවකතාව කියවන්න තියන ආසාව වැඩිවෙන්නෙ.

මේ කතාවෙ වගේ ම, මීට කලින් ෂෙහාන් ලියපු චයිනමන් නවකතාවෙත් අන්තර්ගත ඇත්තටම මෙහෙම මනුස්සයෙක් ඇත්තෙත් නෑ/ නැත්තෙත් නෑ වගේ හැඟීමක් පාඨකයට දනවන, උමතු සෞන්දර්යාත්මක සාහිත්‍ය ශානරය ඔබ දකින්නෙ කොහොමද?

ඩෙරීඩා එක තැනක කියනව ‘සාහිත්‍ය කියන එක හැමවෙලාවෙම තියෙන්නෙ එජ් එකේ’ කියල. තව ටිකක් සරලව කිව්වොත් ඒක ලෝකය ඇතුළෙ තියන දෙයක් නෙමේ, ලෝකයේ කොණකින් එල්ලෙනව කියන එක. අන්න ඒකම තමයි අර ඇත්තෙත් නෑ/ නැත්තෙත් නෑ කියන හැඟීම උපදින තැන. ඒ වෙනස ඇත්තටම අපේ ජීවිතේ ඇතුළෙ අපි හදාගත්ත දේවල්වලට අවිඥානිකව සිදුවෙන පිපිරීමක් වෙන්න පුළුවන්.

මේ නවකතා ශෛලියම අඩු වැඩි වශයෙන් තියනව ශ්‍යාම් සෙල්වදොරෙයිගෙ Hungry Ghost කියන නවකතාවෙත්. සාහිත්‍ය ඇතුළෙ අපි දකින හැම කතාවකින්ම අපිට පේන දේ තමයි අපේ ජීවිතයේ සාමාන්‍ය යථාර්තයන් විදිහට අපි හදාගත්ත දේවල් තියනවනං, සාහිත්‍ය උපදින්නෙම එහෙම යථාර්යන් විදිහට අපිට බාරගන්න අපහසුවෙන තැන්වල කියන එක. එහෙම අපි හිතපු යථාර්තය සහ අපට වෙච්ච දේ අතර ඇතිවන ගැටීමෙන් ඇතිවන පැල්මෙන් කිසියම් දෙයක් මතුවෙනව. ඒ පැල්ම ජීවිතයේ පැල්ම නම්, ඒ පැල්ම සිතිවිලිවලත් පැල්ම. ඒක භාෂාවේත් පැල්මක්.

මේ කතාවට පසුබිම් වෙන දශක තුනකට වැඩි දේශපාලන ඉතිහාසය තුළ මාලි අල්මේදට මැරෙන්න වෙන්නෙ මිනිස්සුන්ගෙ පෞද්ගලික ලිංගික/ ශාරීරික ආශාවන් ගැන සමාජයේ තියන පසුගාමී ආකල්ප නිසා මිසක්, දේශපාලන හේතු නිසා නෙමේ. අදටත් එවැනි දෑ ගැන අපේ සමාජය ඉන්නෙ දැඩි මතයක. තව දශක කිහිපයක් ගියත් මේ තත්වය වෙනස් වෙයිද?

මේ කතාවෙ ඉන්නෙ එක මනුස්සයෙක් තුළ උපදින විවිධ චරිතනෙ. උදාහරණයක් විදිහට මේකෙ මාලි වෙන්නෙත් ෂෙහාන්. ඩීඩී වෙන්නෙත් ෂෙහාන්. උඩුගම්පල වෙන්නෙත් ෂෙහාන්. ජැකී වෙන්නෙත් ෂෙහාන්. පොත ලියපු එක පැත්තකින් තිබ්බත්, බලන්න එයාගෙ ඇතුළෙ තියන චරිත ගොඩ. ඒක අපි දිහාට හරවගෙන බැලුවොත්! එක තැනක මාලි කියනව ජැකී තමයි මම සමාජයෙන් බේරගන්න එළියෙදි හිටපු ස්කර්ට් එක. මම තමයි ජැකීව සමාජයට පේන්න ජැකී එක්ක හිටපු කලිසම් කකුල් දෙක.

මෙහෙම කෙනෙක් තුළ ඉන්න පුළුවන් විවිධ චරිත ගැන වගේම තමන් තුළ ඉන්න පුළුවන් චරිත ගැන පවා අපේ තේරුම් ගැනීම අඩු මට්ටමක පැවතීම ඔය වගේ දේවල් ඇත්තටම වෙන්න හේතු වෙන්න පුළුවන් සහ එහෙම වෙනවා.

හැබැයි තව දශක තුනකින්වත් වෙනස් වෙයිද කියල හිතුවොත්, ඒකට දෙන්න තියන උත්තරේ තමයි දැනටත් ඒව වෙනස් වෙන්න පටන් අරන් ඉවරයි කියන එක. එක තැනක ඔන්ඩච්චි කියනව එයාගෙ Running in the Family කතාවෙ “අවසානයට නීතිමය වශයෙන් විවාහ කරගත්ත ස්වාමියා හෝ බිරිඳ තමයි අනීතික වෙන්නෙ.” කියලා. මොකද්ද ඒකෙ අදහස? නීතියක් ඇතත් නැතත් මනුශ්‍ය අවශ්‍යතා සක්‍රීයයි. උදාහරණයක් විදිහට සමලිංගික සබඳතා වගේ දෙයක් ගත්තොත් ලංකාවෙ පිරිමි – පිරිමි සබඳතා (gay relationships) වැනි දේ සම්බන්ධයෙන් තවමත් නීතිගත වීමක් නැතත්, එවැනි අවශ්‍යතා තියන අය ඉන්න බව පැහැදිලිව පේන්න තියනකොට ඉබේටම අර සමාජ වෙනස පටන් අරන් ඉවරයි. ඉතින් මනුෂ්‍ය අවශ්‍යතා මත නීති වෙනස් විය යුතුයි. එහෙම නොවුණත් මනුශ්‍ය අවශ්‍යතා මත සමාජය වෙනස්වීම නතර කළ නොහැකියි.

“රටකට වෙන සාපයක් තියනවනං, ඒකෙන් වැඩිම අවස්ථා හම්බවෙන්නෙ ඒ රටේ සාහිත්‍යකාරයන්ට කියනව.” මේ නවකතාවටත් පසුබිම් වෙන්නෙ ඛේදවාචකයක්. ඇතැම් විචාරකයන් මේ කතාවට ගේන්නෙ අවස්ථාවාදය පිළිබඳ විවේචනයක්. තවත් පිරිසකට නිර්මාණාත්මක, නිර්භය ප්‍රකාශනයක්. ඔබේ අදහස?

රටක සිදුවන බොහෝ දේවල් වහන්න පුළුවන් විධි කීපයක් තියනව. එකක් තමයි යමෙක්ගෙ හෝ පිරිසකගෙ කැමැත්තෙන්ම එහෙම කරන එක. එහෙම නැත්නම් බලය යොදවල ඒක වහන එක. හැබැයි සාහිත්‍යයට වැඩි වැදගත්කමක් හිමිවන සන්ධර්භයක තත්වය මීට වඩා වෙනස්. උදාහරණයක් විදිහට,  කිසිම ආයුධයක් හෝ බරපතල පෙනීසිටීමක් නැතුව කෙනෙක් වාක්‍යක් ලියල සමාජයට අතාරිනව. ඊට පස්සෙ ඒ වචන ටික සමාජය ඔස්සේ ගමන් කරනව. ඒක අහුවෙන අහුවෙන අය කියවනව. ඒ අය තම තමන්ගෙ මට්ටමින් ඒ වාක්‍ය අර්ථගන්වගන්නව. මේක එක්තරා අන්දමකින් රචකයෙක් ගන්න අවධානමක්. මරණ දණ්ඩනයට පවා ලක්විය හැකියි. ඒ අවධානම තමයි රෂ්ඩිලා ගත්තෙ.

එතකොට රටවල් තුළ, සමාජයන් තුළ, ආගම්, සංස්කෘතීන් තුළ සිදුවන දේවල් සන්නිවේදනය වෙන විදිහ මොන බලයක් පාවිච්චි කරල නැවැත්තුවත්, නවත්වන්න බැරි එකම දේ තමයි සාහිත්‍යය. එතකොට ඒ අවධානම ගන්න සාහිත්‍යකරුවව කවුරුහරි බඩ වියත රැකගැනීමක් විදිහට විවේචනය කරනවනං ඒක බොහොම ප්‍රාථමික විවේචනයක්.

සමාජය තියන තත්වයෙන්ම පවතින්න නම් සාහිත්‍යයක් අවශ් නෑ. සාහිත්‍යකරුවා කරන්නෙ සමාජ යථාර්තය නමින් හදාගෙන ඉන්න මතවාදය ඇතුළෙම රැඳී නොසිට, එතනින් එහා තිබිය හැකි දේවල් සමාජයට මුදාහැරීම. එතකොට ඒව බාරගන්න එක හෝ නොගන්න එක පුද්ගලානුබද්ධයි. සාහිත්‍යකරුවා ඒකට බලකරන්නෙ නෑ. මෙහිදී අපි තේරුම්ගතයුතු වැදගත්ම දෙයක් තමයි සාහිත්‍යයේ සහ වාර්තාකරණයේ තියන වෙනස හඳුනා ගැනීම.

ඒ වගේම ඔබ යමක් කරන විදිහයි තව කෙනෙක් දෙයක් කරන විදිහයි එකිනෙකට වෙනස් බව වටහා ගතහැකි තරම් දියුණු සමාජ තත්වයක් ඇතිවීමට සාහිත්‍යයෙන් වන බලපෑම ප්‍රබලයි. මෙහිදී සාහිත්‍යකරුවා තමන්ට සුවිශේෂ පිවිසුමකින් නිර්මාණය කරනු ලබන නිර්මාණයන් සමාජය තුළ විවේචනයට ලක්වෙමින් හෝ ඉහත සඳහන් කළ බලපෑම්සහගත බව තීව්‍ර කරනවා. උදාහරණයක් විදිහට ඈන් රණසිංහ එයාගෙ සාහිත්‍ය නිර්මාණ ඇතුළෙ ප්‍රචණ්ඩත්වය ගැනම ලියන්නෙ ඇයි’ කියල එයාට ආව විවේචනයකට උත්තර දෙන්නෙ “ඔයාලට ඒක ඒකාකාරී වෙන්න පුළුවන්, ඒත් මං ලියන්නෙ මං අත්විඳපු ජීවිතේ” කියලා. ඒකම තමයි මාලි අල්මේදා කියන්නෙ “I want this Colombo bubble to see the real Srilanka” කියලා. ඉතිං එවැනි බලයකට යටත් නොවන, සාහිත්‍යකරුවාගේ අව්‍යාජ ප්‍රකාශනය සමාජයක් ඉදිරියට යාමට අවශ්‍යයි.

මේ කතාවෙ එක තැනක තියනව “Why do decluded men crave vergins? Because vergin cannot know how bad in bed you are” කියලා. ඔබ හිතන විදිහට මේක අත්දැකීම් අඩු යුවතියන්ට විය හැකි අගතීන් ගැන ප්‍රකාශනයක්ද? එහෙම නැත්නම් කන්‍යාවන්ගෙ ලිබරල්භාවය හාස්‍යයට ලක් කිරීමක්ද?

අපි දන්නෙ නැහැ ෂෙහාන් ඒක මොන අදහසකින් ලිව්වද කියල. සමහරවිට ඔහුටත් ඒක හොයාගන්න බැරුව ඇති. කෙනෙක්ට කියන්න පුළුවන් තමයි මේක කෙනෙක් කන්‍යාභාවයට දෙන වැදගත්කම හාස්‍යයට ලක්කිරීමක් කියලා. නමුත් ඒකෙම අනිත් පැත්ත, කන්‍යාවකගෙ තියන නොදන්නාකම තව කෙනෙක්ට පාවිච්චි කළ හැකි සම්භාවිතාවය. මොකද ශරීරය කියන්නෙ කෙනෙක්ගෙ ආත්මයට සම්බන්ධ දෙයක්. එතකොට ඒ අතිශය පෞද්ගලික අවකාශයට පිටස්තරයෙක්ට එන්න දෙනව කියන්නෙ අපි දන්නෙ නෑ එයා කොහොම හැසිරෙයිද කියලා. එතකොට කන්‍යාවකගෙ ඒ නොදන්නාකම තව කෙනෙක්ට එයාට වදදෙන තරමට භාවිත වෙන්න පුළුවන්.

කන්‍යාවො විදිහට සමහර කාන්තාවන් විවාහ වෙනව. ඒ විවාහය ඇතුළෙ තමයි සමහරු ආදරවන්තයො හොයාගන්න පෙළඹෙන්නෙ. හැබැයි ඊට පස්සෙ එයාල හිතන්න පුළුවන් මේක තමයි ආදරය කියල. සමහරවිට ඔවුන්ගෙ අහිංසකකමත් එක්ක ඒ විදිහට ආදරය කියල වැරදියට අර්ථ දක්වගන්නෙ වහල්භාවය වෙන්නත් පුළුවන්. ගුටිකන එක ආදරය කියල හිතන්න පෙළඹෙන්නත් පුළුවන්. හැබැයි එයාල ඊට වඩා අත්දැකීම් සහගත වුණා නම් ඒ තත්වය හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙනව සහ කන්‍යාභාවය කියල දෙයක් කවුරුහරි වෙනුවෙන් පූජනීයව තියන් ඉන්නව වගේ දෙයක් වෙනුවට හොඳ අවබෝධයක් සහිත නිදහස මූලික කරගත් සම්බන්ධයක් ගොඩනගාගන්න අවකාශය හැදෙනව.

“එකිනෙකට කැපවූ ජෝඩු” කියන එක අපේ සමාජයේ සුලභ දෙයක් සහ මිනිස් සම්බන්ධතා ඇතුළෙ ඒ කැපවීම කළ යුතුමයි කියන දැඩි මතයක් තියන සමාජයක් මේක. මේ තත්වය ගැන නවකතාවටත් අදාලව ඔබේ අදහස මොකක්ද?


එකිනෙකා වෙනුවෙන් කැපවිය යුතුයි කියල සමාජය කිව්වට සමාජයේ ඉල්ලීමට එහෙම දෙයක් වෙන එක ප්‍රායෝගික නෑ. එහෙම මිනිස්සුන්ව නවත්වන්නවත්, හිරකරන්නවත් බැහැ. මොකද ලිංගිකත්වය කියන්නෙත් බඩගින්න වගේ දෙයක්. LTTE එකෙන් තමන්ගෙ සංවිධානෙ සොල්දාදුවන්ට ප්‍රේම සබඳතා තහනම් කරල තිබුණට ඔවුන් ප්‍රේම කරනව. මිනිස්සුන්ගෙ හැඟීම් එහෙම නීතිවලින් නවත්වන්නෙ කොහොමද?. ඒ නිසා ආදරය කියන එක ලිංගිකත්වයකින් මනින්න බෑ.

මේ නවකතාවෙන්ම තව උදාහරණයක් ගත්තොත්, මාලි ගොඩක් අය එක්ක ලිංගිකව හැසිරෙනව. කොච්චරක්ද කිව්වොත් ආදරය කරන කෙනාගෙන්ම සල්ලි අරන් ගිහින් වෙනකෙනෙක් එක්ක ලිංගික ක්‍රියාවක යෙදෙනව. හැබැයි එයාගෙ ආදරය, අවංකකම තියෙන්නෙ ඩීඩී වෙනුවෙන්. ඒක කොච්චරක්ද කිව්වොත් අවසානයෙදි ඔහු මියයන්නෙත් තමන්ගෙ ප්‍රේමය වෙනුවෙන් පෙනී සිටීමට ගිහින්. සමහරවිට මේ තත්වය ඩීඩී පිළිගන්නෙත් නෑ. හැබැයි ලිංගිකත්වය කියන ශාරීරික අවශ්‍යතාවයයි, ප්‍රේමයයි පටලවගන් නැතුව මාලි ප්‍රේම කරනව. ඒකට තමයි කියන්නෙ If you love, let things be (කෙනෙකුට ආදරෙයිනම් එයාට ඒ විදිහට පවතින්න ඉඩදෙන්න) කියලා. අන්න ඒ විදිහෙ කෙනෙක්ට පවතින්න පුළුවන් තැනක අර කියපු විදියට කෙනෙක් තමන් වෙනුවෙන් ඉන්නව කියන එක ස්වභාවිකවම දැනෙන්න පුළුවන් සහ නීතියකට හෝ සමාජයකට හෝ සංස්කෘතිකට හෝ බලෙන් ඇති කරන්න බැරි ප්‍රේමයට, පවතින්න පුළුවන්.

මෙම සංවාදය 2023 මාර්තු 01 වන දින අරුණ පුවත්පතේ ධාරා සාහිත්‍ය පිටුවේ පළවිණි.

The Seven Moons of Maali Almeida කෘතිය පිළිබඳ සංවාද කතිකාව, 2023 පෙබරවාරි 28 වන දින, කැලණිය විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර පීඨ ශ්‍රවණාගාරයේ දී පැවත්විණි. එහිදී ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය නිම්මි නාලිකා මැණිකේ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයනාංශයේ ආචාර්ය ප්‍රභා මනුරත්න ප්‍රධාන වශයෙන් අදහස් දැක්වූහ. පහත පළවන්නේ එම සංවාද සභාවේ ඡායාරූප කිහිපයකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *