ධනංජය කරුණාරත්න
ශ්‍රී ලංකාවට තාමත් දියුණු වෙන්න බැරි වුණු එක ප්‍රධාන හේතුවක් තමයි දියුණු වීම කියලා කියන්නෙ මොකක්ද කියල හරියටම පැහැදිලි නැති වීම. සමහරුන්ට අනුව අපේ ප්‍රධානම දියුණුව නිවන් යාමයි, අපේ ධනයෙන් කාලයෙන් වැඩි හරියක් යට කළ යුත්තේ නිවන් යාමට වන අතර බාර් සහ අමතර පන්ති ආදිය පවා වසා දමා නගර පූජා නගර බවට හරවා ඊට බාධා වෙන කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් නොකළ යුතුයි. ඒ අයට අනූව පුළුවන් තරම් අවුරුදු දහස් ගණන් පැරැණි අපේ අදහස් ආරක්ෂා කරන තරමට අපි දියුණුයි. ජාත්‍යන්තරය පරාජය කිරීමට අතීතය සැමරීම සහ ක්‍රිකට් හොඳටම ප්‍රමාණවත්!
ඒත් එදා වේල හොයා ගැනීමේ ප්රශ්නය උග්‍ර වන කොට පෞරාණික වෙහෙර විහාර සහ නිදන් වල සිට කෞතුකාගාර දක්වා කොල්ලකා වටිනා ගස්කොළන් සහ සතුන් සිවුපාවුන් පවා පරිභෝජනයට ගැනීම දියුණුවයි. (අපි එහෙම කින්නේ මේ අදහස් දරන අය විසින් පත් කළ රජයන් විසින් එවන් හොරු මංකොල්ල කරුවන් අල්ලා දඬුවම් නොකිරීම නිසයි).
ඒ අතර මිනිසුන් ටෙලිවිෂන් එක හරහා රට දිහා බලනකොට සංවර්ධනය විදිහට දැක්කේ හැකිතරම් ගොඩනැඟිලි මංමාවත් ඉදි වීමයි. ගස් කොළන් කපා ගමේ ගොඩනැගිලි ඉදි වෙනකොට මිනිස්සු කිව්වේ ‘දැන් මේ පැත්ත හරි දියුණුයි’ කියලයි. ඊට පස්සේ මොන මගුලක් හරි කරලා ගෙයක් දොරක් හදාගෙන වාහනයක් අරන් ‘දියුණු පවුලක්’ විදිහට මංගල දැන්වීමට ද දාලා ඒ වගේම දේපොළ පෙන්වා ප්‍රේමය හොයන තවත් පවුලක් බැද ගත්තට පසු ‘තැනකට ආපු පවුලක්’ විදියට මිනිසුන් ඔවුන් හරහා දියුණුව හඳුනාගත්තා.
තරඟයට ගොඩනැගිලි හදලා බඩුමුට්ටු අරගෙන පෙන්නන මෙම දියුණුවට නීතිය, අධ්‍යාපනය, ස්වභාව ධර්මය ආරක්ෂා කර ගැනීම, ශාරීරික මානසික නිරෝගී භාවය වැනි කිසිම දෙයක් අදාල වුනේ නෑ. අධ්‍යාපනය විසින් එක දිගට නූල් අල්ලන් වැඳගෙන ඉන්න සහ සල්ලි ගෙවා ගස් ගල් වලට වඳින විට ජීවිතය වෙනස් වෙයි කියලා හිතන මෝඩයො බිහි කරමින් එයින් ද ඉගැන්වූයේ ගොඩනැගිලි සහ බඩු මුට්ටු ගන්නා තරගය දිනන විදිහමයි. මිනිසුන්ගේ සෞඛ්‍යය පිරිහෙමින් අඩු වයසින් මරෙණ ප්‍රමාණය ඉහළ යන්නට පටන් ගත්තා. පාසැල් ළමුන් වාර්තාගත ලෙස සිය දිවි නසා ගන්න පටන් ගත්තා. එදිනෙදා සිවිල් ගැටුම් උග්‍ර වුණා. හැම ඉඩමක් ම නඩුවක් වෙමින් ඉඩම් නඩු තවත් වැඩි වුණා. හොරු මංකොල්ලකාරයෝ ස්ත්‍රී දූෂකයින්ගේ මහ දවල් සරබ ක්‍රියාකාරකම් ඉතා සීඝ්රයෙන් ඉහල ගිය අතර ඡන්දයේදී දේශපාලකයින් පත් කරන ප්‍රධාන බලවේගය උනේ උන් තමයි.උපාසක සීයලා තමන්ගේම සිඟිති දැරිවියන්ගේ ජංගි ඇතුළට තරගයට අත දාන්න පටන් අරන් තිබුණා. කොටින්ම සෙක්ස් සඳහා අහල පහල ඕනෑම මිනිස් ප්‍රාණියෙක්ගේ ඇඟට පැන්නට කමක් නෑ කියා හිතන කියක් හරි හොයා ගන්න ඕනෑම වැඩක් කරන්නත් ලෑස්ති මිනිසා මේ ක්‍රමය විසින් බිහි කළා.තවත් මෙහි ලියන්න බැරි තරම් අසික්ෂිත සිදුවීම්වලින් සමාජයේ පිරි ඉතිරී යනකොට එකම විසඳුම විදිහට තිබුනේ ඒවා ගැන එළිපිට කතා කරන උන් ජාති ද්‍රෝහීන් කර පුළුවන්නම් ඒ ප්රවෘත්ති වාරණය කිරීම පමණයි.
මේ කතාව ඇතුලේ මළත් කමක් නෑ කියලා පෝර්ට් සිටි බලන්න දුවපු උන් කවුද?
මේ කට්ටිය තමයි රට අහල පහල රටවල්වල් ළඟ දණින් වැටී හිඟා කන තෙක් හුදෙක් කොමිස් ගැසීමට හදපු ගොඩනැගිලි පාරවල් හැර වෙනත් කිසිම දෙයක් කරපු නැති දේශපාලකයින්, දියුණුව නමි ඒ ගොඩනැඟිලි හදන හැටි ටෙලිවිෂන් එකෙන් පෙන්නනකොට එය බැලීමට ටෙලිවිෂන් එකක් ගැනීම පවා දියුණුව පෙන්වීමක් ලෙස සලකු අති බහුතරයක් වූ පහළ මැද පන්තික ජනයා. රජය විසින් හැදූ මේ ඊනියා සංවර්ධන ව්‍යාපෘති වල ගොඩනැගිලි නැරඹීම දියුණුව බැලීමට යාමක් ලෙසට දරුපවුල් අරගෙන ගොස් ඒ ගොඩනැගිලි ඉදිරියේ පින්තූර ගැනීම පුළුවන්නං ඒවා උඩ නැගීම ඒවා වැලඳගැනීම ඒවා හදපු උන්ගෙ රූප ඇගේ කොටා ගැනීම දියුණු අවස්ථාවන් විදියට හිතූ අසරණ ජනයා. අර ඉහතින් සදහන් කළ පැටළුණු දියුණුව ඇතුළේ වඩාම නන්නත්තාර වූ ජනයා.
මේ පෝර්ට් සිටිය ද දැක බලා ගත් එවුන් ගෙදර ගිහින් උන්ගේ ගෙවල් පැත්ත ගැන අර කියපු කතාවම කියනු ඇති, ‘රට දැන් හරි දියුණුයි ඕයි’!