ඩිල්ශානි චතුරිකා දාබරේ
ජීවිතයේ කරදරකාරී අසීරු අවස්ථාවලදි, බලාපොරොත්තු නැත්තටම නැති වුණු කාලවලදි පවා අදුරු උමංවල යන අපිට උමං කෙළවරෙන් එක මොහොතකදි යම් ආලෝකයක් පේන්න ගන්නවා. අපි හිතනවා, ඒ තමයි අපේ ගැළවීමේ ලක්ශය කියලා. ඒක හරියට, අර කී කරදර කාලේ ඒතරමටම නරක නැහැ, බලාපොරොත්තු තියාගන්න පුලුවන්ය කියල පෙන්වල හිත හදන දෙයක් වගේ.
නමුත්, දාර්ශනිකයකු වන ස්ලාවෝජ් ජිජැක් තර්ක කරන්නේ, ඒ උමං කටින් එනව පෙනෙන ඒ එළිය, බොහෝදුරට ඒ පැත්තෙන එන කෝච්චියක හෙඩ්ලයිට් එළියක් වෙන්නත් පුලුවන් බවයි. අපි හිතන එළිය නොවෙන්නත් පුලුවන් කියලායි.
කොහොම වුණත්, බලාපොරොත්තු විරහිත සුන්බවින් අපව මුවාගැනීමේ හැකියාව මේ අනපේක්ෂිත සිදුවීමේ තියෙන්න පුලුවන්. අපේ ජීවිතවලට වුවමනා වුණ, අපිව වෙනස්කරන කුණාටුව මේ එළියේ තියෙන්න පුලුවන්. “හැම කුණාටුවක් ම එන්නෙ ඔබව විනාශ කරන්න නෙමේ, ඔබ යන මාර්ගය පැහැදිලි කරල පෙන්වන්නත් එක්කයි” කතුවර පාවුලෝ කොයියෝ මෙහෙම කියන්නෙ ඒක ගැන වෙන්නත් පුලුවන්.
The Courage of Hopelessness නම් කෘතියෙදි ජිජැක් මේ දුම්රිය එළිය ගැන වැඩිදුරටත් කියන්නේ, අර අපිව ගලවගන්න තියෙනවා කියල අපි හිතන, උමං කෙළවර එළිය, කෝච්චි එළියක්ය කියල පිළිගන්න එකයි හැබෑම ධෛර්යය කියලා.
මේ උමං කෙළවර ආලෝකයේ කතාවට ශාරීරිකව මුහුණදෙන්න, එක්තරා විදියකින් හැබෑවටම බෙයර් ග්‍රිල්ස් නම් රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන, ලෝක ප්‍රකට පුද්ගලයාට හැකිවෙනවා. ඒ, ඩිස්කවරි වැඩසටහනක් වන, Man Vs Wild හිදී. මේ වැඩසටහනට අනුව, ග්රිල්ස්ට ජනශූන්‍ය කැලෑවල, ලෝකේ විවිධ කාන්තාර, හිමබිම් අතර දවස් ගණන් ජීවත්වෙමින් ස්වෝත්සාහයෙන් ජනයා සිටින ඉසව් වෙත එන්න සිදුවෙනවා. මෙහෙම එන එක්තරා දවසක ඔහුට මිනිසුන් හමුවෙන්න කලින්, රේල්පාරක් සමග දිග උමගක් හමුවෙනවා. ඔහු සිය කැමරා කණ්ඩායමත් සමග, මේ උමග දිගේ ඇතුලට යද්දි ඈතින් උමං කෙළවර ආලෝකයක් පේනවා. එය ඉලක්කය ලෙස තබාගෙන ඔවුන් ඉදිරියට යනවා. දැං ඔවුන් උමගේ බාගයක් දුර ඇවිත්. නැවත හැරෙන්න විදියක් නෑ. මේ වෙලාවේ අර උමං කෙළවරින් දුම්රියක් මතුවෙනවා. ග්‍රිල්ස් සහ ඒ පිරිස හැකි වේගෙන් ආපිට හැරිල දුවගෙන යන්නෙ දුම්රිය වේගෙන් එන නිසා. අන්තිම මොහොතෙ ඔවුන් උමං දොරින් එලියට පැනගෙන ජීවිත බේරගන්නවා.
මේ වෙලාවෙදි, බෙයාර් ග්‍රිල්ස් නොහිතන දෙයක් කරනවා. තමා වෙතට ආව, ජීවිතේ අනූනමයෙන් බේරගත්ත කෝච්චිය තමන් පසුකර වේගෙන් ඇදෙද්දි, ඔහු පුලුවන් වෙර දමල දුවන් ගිහින් අර දුම්රියේ එල්ලෙනවා. මොකද, ඔහුට එතකොට පුලුවන් හැකි ඉක්මනින් මිනිස්සු සමග මුහුවෙන්න, නැතිනම් අර කී කැලෑ ගමනින් මිදිලා, වැඩසටහන අපේක්ෂා කළ අවසානයට යන්න.
මේ සියල්ල කීමේ පසුබිම් කතාව සහ සමෝධානය දැං :
අශෝක හදගම කළ ‘ඇන්ටික් කඩේක මරණයක්’ වේදිකා නාට්‍යයේ එකතරා අවස්ථාවකදි ඇන්ටික් කඩේ අයිතිකාරයා, වේදිකාවෙන් බැහැල ප්‍රේක්ෂකාගරය හා සම පසුබිමක හිදිමින්, නාට්‍ය බලමින් සිටින හැමෝගේම මුහුණු මතට ටෝච් එළියක් පතිත කරනවා. මේ ටෝච් එළිය එන්නෙ ඇන්ටික් කඩේක ඉදලා අතීතයෙන්, වර්තමානයට. ප්‍රේක්ෂකාගාරයට මේ එළිය අල්ලන වෙලාවේ, හැමෝම ඒ එළියෙන් බේරෙන්න එහෙ මෙහෙ ඇඹරෙන්න හෝ මුවාවෙන්න ශාරීරිකව නැතිනම් මානසිකව හරි උත්සාහයක් ගන්නවා. වේදිකා නාට්‍ය එක්වරකට වඩා වාර ගාණක් බැලූ අයෙකුට වුණත් ඒ මොහොතෙදි දැනෙන තැතිගැන්මෙන් මිදෙන්න බැහැ. එක්තරා සැනසීමකට තියෙන්නෙ, අපිට විතරක් නැතුව තවත් අයටත් මේ එළිය එල්ලවෙනවානෙ කියල හිතෙන්න ගන්න නිසා.
උමං කෙළවර ආලෝකයට අපි කැමති වුණත් ඒ ආලෝකය අපේ මුහුණට එනවට අපි බයයි. ආශිර්වාදයක් විදියට, පිහිටක් විදියට එන එළිය, අපේ මුහුණට කේවලව එල්ල වෙලා අපිව අන්දුන් කුන්දුන් කරලා, අපේ ජීවිතවලට අභියෝගයක් වෙනවට අපි කැමති නැහැ. එය නොසෙල්වී ඒ විදියටම තියේවී කියල විශ්වාස කරනවා. ඈත ඉතිහාසේ ඉදන් වර්තමානෙට ටෝච් එළියක් ආවම, අපි බයවෙනවා, මේ එළියෙන් නිරාවරණය වෙන්නෙ මගෙ මොන ඇතුළාන්තය ද කියල. ඒ එළියෙන් අපි ආයෙ ආයෙ ඉපදෙනවා. ඒ අපිවම හොයමින්.
කොයියෝ කියපු කුණාටුවට මුහුණදෙන්න අපි බයයි. කුණාටුව ඛේදයක් නිසා. ඒත් ඒ උමං කෙළවර එළියට අපි කැමතියි. ආලෝකය සුබවාදී නිසා. ඒත් මේ එළියේ වෙසින් එන්නෙත් අර කුණාටුවම වෙන්නත් පුලුවන්. පරිස්සමින්!
“ඉතිහාසයේ අදුර ඉරන් ටෝච් ගහන් ඔබ යනකොට, හැංගි හොරා තව දහසක් මුහුණු අතර, ඔබට ඔබම හමුවනු ඇත!”