කේ.ඩී. දර්ශන
තේ වගාව වැවිලි බෝගයක් විදියට ලංකාවට හඳුන්වා දීල මේ වන විට අවුරුදු 154ක් ගතවෙලා. 1867 ලූල්කඳුර වතුයායෙන් ආර්ථික වගාවක් ලෙස පටන් ගත්තු තේ වගාව එහි පළමු නියැලෙන්නාගේ සිට පරම්පරා තුනක් පමණ පසු කරල තියනවා. 1867 අවුරුද්දෙ ලංකාවෙ තේ වගාව බිම් ප්‍රමාණයෙන් කිව්වොත් හෙක්ටයාර 19යි. 2011 වර්ෂය වෙද්දි ඒ ප්‍රමාණය හෙක්ටයාර 204 619ක් දක්වා වර්ධනය වී තිබෙනවා. මේ බිම් ප්‍රමාණයෙන් වැඩි කොටසක ශ්‍රමය වගුරවන්නෙ වතුකරයේ ජනතාව. ඔවුන්ගේ ශ්‍රමයේ ඵලයක් විදියට තේ අපනයනයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 2%කට ආසන්න දායකත්වයක් ලැබෙනව.
තේ වගාවේ ආර්ථික දායකත්වය ගැන කරුණු පැහැදිලි කරන්න අවශ්‍ය නෑ. තේ ලංකාවේ ප්‍රමුඛත ම අපනයන බෝගයක් කියන එක හැම කෙනෙක් ම දන්නවා. ඒ ප්‍රවේශය එක්ක පසුගිය දින තුනේ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ පැවැත්වුණු ‘තේ කහට’ ප්‍රර්ශනය ගැන කරුණු කීපයක් සටහන් කළ යුතුයි.
මෙය ‘තේ වගාව ආශ්රිත වතු ජනතාවගේ ජීවිතය නිරූපණය කරන ඡායාරූප ප්‍රදර්ශනයක්’ කියල නම් කරන්න පුළුවන් වුණාට, ඡායාරූපාවලියෙ දකින්න තියෙන්නෙ ඒ ජීවිතවල ඛේදනීය රූපරාමුමයි. දෘෂ්ටිවාදය විසින් සාමාන්‍යකරණය කරල තියන වයසක වතුකම්කරුවන්ගේ වයසටත් වඩා වයස ගිය මුහුණු, දෑත් මෙන් ම රූපකාය බොහොමයක් තේ කහට බලන්න එන අයගෙ ඇස ගැටෙනවා. වතුකම්කරුවන් කිව්ව ගමන් සාමාන්‍යයෙන් අපි දකින මානව රූපවල තියෙන ඡායාරූපමය විශේෂත්වය මොකක්ද කියල බැලූ බැල්මට අහන්න හිතෙන තරමට ම දෘෂ්ටිවාදය මේ සමාජ තත්වය සාධාරණීකරණය කරන්න අසීමිත මැදිහත්වීමක් කරල තියනවා. එය වතුජනයාගේ රූපකායේ අනන්‍යතාවයක් ලෙසයි සමාජගතව තියෙන්නෙ. ඔවුන්ගේ ගෙවල්, වැඩ බිමේ සිදුවීම්, ජීවිතයේ විවිධ අවස්ථා මේ හැම එකක් ම පොදු අයිතීන්ගෙන් වියුක්ත කර, වතුකම්කරු අනන්‍යතාවය වෙත පවරා විනිශ්චය කිරීමට පෙළඹවීමට තරම් දෘෂ්ටිවාදය සූක්ෂමයි.
ඒ නිසා මේ ප්‍රදර්ශනය ගැන වචන කිහිපයක් කතා කළ යුතුමයි.
මෙහි ඡායාරූප ශිල්පීන් පිටින් පැමිණ වතු තුළට උපනෙත යොමු කළවුන් නොවේ. ඔවුන් ඒ සමාජයේ ම තරුණ තරුණියන්. වඩාත් වැදගත් වන්නේ ඒ කාරණයයි. ඡායාරූපවල කලාත්මක ගුණය ගැන කතා කිරීම විෂය දන්න අයට පවරලා, මේ කාරණය ඇසුරෙන් යමක් කීමයි මගේ අරමුණ. මීට පෙර ලයනල් වෙන්ඩ්හි පැවති ‘තේ කහට’ බැලූ මහාචාර්ය සසංක පෙරේරා තැබූ සටහනක් උපුටා පළ කරනවා.
“මගේ විශ්වාසය වන්නේ, මේ ප්‍රජාව පිළිබඳව දැනට මා දැක දැක ඇති ප්රබලතම ඡායාරූප එකතුව මෙය බවයි. සැබැවින්ම, වඩාත් නිවරැදිව පවසන්නේ නම්, මේ ප්‍රජාව පිළිබඳ මා දැනට දැක හෝ කියවා ඇති ප්රබලතම කතිකාවන් ගෙන් එකක් මේ බව මා තුළ සැකයක් නැත.” (www.patitha.lk)
සසංක පෙරේරා මෙය කියන්නේ ඡායාරූපවල ඇති කලාත්මක අගය ගැන පමණක් තක්සේරු කර නොවන බව පැහැදිලිය. එක් අතකින් මෙය ඇතුළතින් පිපිරීමකට වුව මූලයක් වනු ඇත. පෙර ප්‍රදර්ශනයේ ඇතැම් ඡායාරූප ඉංග්‍රීසි පුවත්පත්වල පළ වූ විට වතු හිමියන් හා අධිකාරීවරුන් කිසියම් කලබලයකට පත්ව ශිල්පීන් විමසූ සිදුවීම් ගැන එහි සංවිධායකවරයෙක් වන ළහිරු කිතලගම සහෝදරයා අප හා පැවසුවා. මෙය සුළු වුවත් මං හිතන්නෙ වැදගත් ‘පසු සිදුවීමක්’.
ආධාර මුදලක්, රෝහලක් තනා දීමක් හෝ නිවාස පිළිසකර කිරීමක් වැනි හදිසි අවශ්‍යතාවක් ඉටු කර දීමට නොයා තරුණ පිරිස් අතර කැමරාවක් ලබා දීමට මෙහි අනුග්රහයකයන් හා සංවිධායකයන් කටයුතු කළේ ඇයි? ඔවුන්ගේ පැත්තෙන් පිළිතුර කුමක් වුවත් මෙය දිගුකාලීන මානව ආයෝජනයක් බව පැහැදිලියි. සෑම තරුණ-තරුණියකට ම මෙන් ම සිහින දැකීමට ඇති අයිතියෙන් ඔවුන් නිදහස් නෑ. අධ්‍යාපනයේ, සංස්කෘතියේ මෙන්ම සියලු සමාජාර්ථික කරුණු කාරණාවල සීමා කිරීම්වලට යටත්ව වැඩෙන්නට වෙන මෙරට වතු තාරුණ්‍යයේ සිහින දැකීමේ අයිතිය වෙනුවෙනුත් මෙය අපූරු උත්සහායක්. කැමරාවට බොහෝ දේ කළ හැකියි!!!
පසුගිය වසරේ ප්‍රදර්ශනය බලන්න නාමල් රාජපක්ෂ සහ ජීවන් තොණඩමන් ඇවිත් හිටිය. ඔවුන් ප්‍රදර්ශනය බැලුවද කියල නම් කියන්න බෑ. ඒත් මේ උත්සහයෙන් ඔවුන්ට බලපෑමක් කරන්න පුළුවන් වුණා කියල නම් මං හිතන්නෑ. කොහොම වුණත් ඉතිරි වෙලා තියෙන්නෙ ඇතුළතින් පිපිරවීමක්. ඒක තොණ්ඩමන්ට නවත්තන්නත් බෑ, අපිට බලෙන් කරන්නත් බෑ.
ලාංකික දමිළ ජනයා දමිළ වීම නිසා විඳපු සෑම අපහසුතාවයක් ම ඊට වඩා වැඩි ගුණාකාරයකින් වතු දෙමළ ජනයා ලබනවා. ඔවුන්ගේ දකුණු ඉන්දීය සම්භවය විසින් මෙන් ම කුල ධූරාවලීන්ගෙනුත් දමිළ සමාජය ඇතුළතත් බෙදීම් සලකුණු කරල තියනවා. ඒ කාරණාවලට අමතරව උඩ කියපු දෘෂ්ටිවාදී මැදිහත්වීම, ඒ කියන්නෙ වතු දෙමළ සංකේතය තුළ ඔවුන්ගේ පැවැත්ම සාමාන්‍යකරණය කිරීම බරපතලම ඛේදවාචකයයි. වැටුප් ප්රශ්නය, නිවාස හා දේපළ පිළිබඳ ප්රශ්නය, අධ්‍යාපන මෙන් ම සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්න ජාලාවක් ඔවුන්ගේ ජීවිත මත පතිත වෙලා. මේ සියල්ලම පොදුවේ තේ කෝප්පයක රස සමග අපිට අමතක වෙලා යනවා.
තේ පිළිබඳ මනබඳනා එක වෙළඳ දැන්වීමකින් ඔවුන්ගේ අත්වල ඇති කරගැට හා පැළුම් අමතක කළ හැකියි. සුන්දර හරිතවන් තේ යායක්, එවැනි ම සුන්දර තරුණියක් හා වර්ණවත් තේ කෝපපයක් විසින් රූපවාහිනී ප්රවෘත්ති විකාශය අතරතුර පෙන්වන විනාඩියක වතුකම්කරු වැටුප් ගැටලුව සපුරා අමතක කළ හැකියි. ඉඳ හිට ඡායාරූප තරගයක දිනුම් සඳහා යොමු කර ඇති ඔවුන්ගේ දුක්ඛ රේඛා බහුල මුහුණු හා අත් විශේෂයක් නැතුවම ඊළඟ මොහොත වෙත අපව ගෙන යනවා.
පිටින් ඇවිත් ඒ දුක්ඛ රේඛා ග්‍රහණය කරගත් ඇස් වෙනුවට දැන් ඔවුන්ගේම ඇස්වලින් ඒ රේඛා අපිට පෙන්වනවා. ඒ විතරක් නෙවේ, ඔවුන්ගේ ම අධ්‍යයන මගින් හඳුනාගත් තම සමාජයේ ගැටලු සටහන් කළ රූපාවලියක් ද අපිට පෙන්වනව.
ප්රශ්නය කැමරාවෙන් මේ ප්‍රශ්න විසඳිය හැකිද?
ඇතුළතින් ම පිපිරීම සඳහා අත්‍යව්‍යශ ම වන්නේ හඬයි. ඔවුන්ට හඬක් අවශ්‍යයි. මනුස්සයො විදියට අපි එළියෙන් ඔවුන් වෙනුවෙන් නගන හඬ වගේම ඊටත් වඩා තීව්රතාවයෙන් ඔවුන් තුළින් ම නැගෙන හඬ පෙර නොවූ විරූ සංචලනයක් ඇති කරාවි.
දාහක් ගෙව්වම කර්මාන්තයට මොකද වෙන්නෙ වැනි අදහස් ගොන්නක් එක්ක යන මේ ගමනෙදි ඔවුන් අතට පත් කළ කැමරාව සුවිශේෂී ආයුධයක් ලෙස වැඩ කරනු ඇති බව මගේ විශ්වාසයයි. එය භක්තිමත් විශ්වාසයක් නම් නෙවේ. සමහර විට ඇතුළතින් ම මතුවුණු ඔවුන් කැමරාව අතදරාගෙන ම ඒ සමාජයෙන් පිටමංව යයි(කැලණිපාලමේ සරණපාල වගේ). හැබැයි කවුරු හරි ඉතුරු වෙයි.