ආරියවංශ රණවීර කවිමඟ (චින්තා පවිත්‍රානි)

ආරියවංශ රණවීර කවිමඟ (චින්තා පවිත්‍රානි)

කථීකාචාර්ය චින්තා පවිත්‍රානි

ස්වකීය ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය හා සතතාභ්‍යාසය ඇසුරෙන් සිංහල කාව්‍ය ක්‍ෂේත්‍රයෙහි තම අනන්‍යතාව ගොඩනඟා ගත් නූතන කවියකු වශයෙන් ආරියවංශ රණවීර හඳුනා ගත හැකි ය. කවියේ සංක්‍ෂිප්ත බව හා වචනවල රූපකාර්ථවත් ගුණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ඔහු ක්‍ෂුද්‍ර ප්‍රස්තුත පාදක කර ගනිමින් ප්‍රබල ධ්වනිතාර්ථ දනවන ආකාරයේ කවි නිර්මාණය කිරීමේ සාමර්ථ්‍යයක් පෙන්නුම් කරයි. “මගේ කවිකම සංක්‍ෂිප්ත බව යි යනුවෙන් රණවීර පවසයි. කවියකු මෙන් ම කාව්‍ය පරිවර්තකයකු හා විචාරකයකු ලෙස ද සිංහල කවියේ ප්‍රගමනයට ඔහුගේ දායකත්වය ලැබී ඇත.

රණවීර නිර්මාණය කළ කාව්‍ය ග්‍රන්ථ  අතර කවි කිහිපයක්, සම්මිශ්‍රණ, ගේ කුරුල්ලෝ සහ වී කුරුල්ලෝ, සඳ ඇබින්දක්, ඉමක් සහ මලක්, අතු ඉති, ඔය බඩ වවුල්ලු, තිත්, ඉම්පෙදෙස්, කණිකා, එළිමහන් කවි හා ගුහා කවි හා දොළොස් රළ, රළ සමඟ, රළින් රළ, තුන්පෙති හතර පස්පෙති (නන්දන වීරසිංහ සමඟ) හා තවමත් මල් යන කෘති වේ. තත් කාව්‍ය ග්‍රන්ථවලින් උපුටාගත් කවි රැසක් දෝතක් කවි නමින් තනි කෘතියකට සංගෘහිත කෙරිණි. මේ හැරුණු විට විසිරි මිණි (ජපන් කාව්‍ය), ලිලැක් මල් (රුසියන් කාව්‍ය), මිණි පැමිණි (ජපන් කාව්‍ය), මඟ දෙපස මල් (චීන කාව්‍ය) නමැති කාව්‍ය පරිවර්තන ද ඔහුගේ කෘති අතර වේ. රණවීර රචනා කළ විචාර ග්‍රන්ථ අතර ඇමෙරිකානු කවියට පෙරවදනක්, සංස්කෘතිය හා ගොඩ්සිල්ලාකරණය, ටී. එස්. එලියට් නව කවිය, බටහිර විචාර විධි යන කෘති වේ. ඒ අතර ඇමෙරිකානු කවියට පෙරවදනක් යන ග්‍රන්ථය ඇමෙරිකානු කවීන්ගේ නිර්මාණ පිළිබඳ ප්‍රාමාණික විශ්ලේෂණයක් ලෙස හඳුනා ගත හැකි ය. එහි දී ඔහු නූතනවාදී සාහිත්‍ය ශානරය නියෝජනය කරන සුප්‍රකට කවියකු වූ එස්රා පවුන්ඩ් පිළිබඳ හරවත් විග්‍රහයක් ගෙනහැර දක්වයි.

ආරියවංශ රණවීරගේ පෝෂණ අවකාශය ඉතා පුළුල් වූවක් බව හඳුනා ගත හැකි ය. ඔහු නූතනවාදී කාව්‍ය නිර්මාණවලින් ද ආභාසය ලබයි. විශේෂයෙන් එස්රා පවුන්ඩ්ගේ නිර්මාණයන්හි බලපෑම රණවීරගේ කාව්‍ය මත පතිත ව ඇති බව පෙනීයයි. පවුන්ඩ් චීන හා ජපන් කාව්‍ය සම්ප්‍රදායන්හි ආභාසය ලැබූ බව පැහැදිලි කරුණකි. එලියට්ගේ පරිණත ම කාව්‍ය නිර්මාණය වන වේස්ට් ලෑන්ඩ් කෘතිය මුඩුබිම නමින් සිංහලයට පරිවර්තනය කරන එරික් ඉලයප්ආරච්චි සඳහන් කරන්නේ පවුන්ඩ් පැරණි චීන කවි ඉංග්‍රීසියට නැඟූ බවත් අක්ෂර චිත්‍ර බඳු චිත්තරූපවාදී කවිය බිහිකිරීමේ දී ඔහුට චීන කවිය හා ජපන් කවිය මාර්ගෝපදේශක වූ බවත් ය.  සන්සන්දනාත්මක ව විමසා බැලීමේ දී පවුන්ඩ් හා රණවීර යන කවීන් දෙදෙනාගේ ම නිර්මාණයන්හි මූල ධාරණා චීන හා ජපන් කාව්‍ය ඇසුරින් හඳුනා ගත හැකි වන බව පෙනේ. මෙහි දී තවදුරටත් කරුණු පැහැදිලි කරගැනීම සඳහා පවුන්ඩ් පිළිබඳ ව රණවීර පවසන අදහස් කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් ය.

ටී. එස්. එලියට් සහ වේස්ට් ලෑන්ඩ්

 “ඉතා නිරාකූල බස් වහරක්, අනවශ්‍ය විශේෂණ ගුණයෙන් තොර ඍජු රූක්ෂ බවත්, එක් චිත්ත රූපයක් තවත් චිත්ත රූපයක් හා එක්තැන්කොට ඒ පිළිබඳ ව විවරණය කිරීමට නොසිට කවියා ඉවත් වීමත් චීන හා ජපන් කවිවල කාව්‍ය ක්‍රමය බව දුටු පවුන්ඩ් මේ නම් බටහිර කවිය සොයමින් සිටි නව මුහුණුවර නොවේදැයි වටහා ගත්තේ ය.”

සාවධාන ව විමසා බැලීමේ දී පෙනී යන්නේ පවුන්ඩ්ගේ මෙන් ම රණවීරගේ කවි මඟින් ද බොහෝ දුරට ප්‍රදර්ශනය වන්නේ බටහිර කවිය සොයමින් සිටි නව මුහුණුවර ලෙස හඳුනා ගැනුණ යථෝක්ත කාව්‍ය ලක්‍ෂණ වන බව යි. අනවශ්‍ය අලංකාරවලින් දුරස් වූ නිරවුල් බස් වහර, චිත්ත රූප එක්තැන් කිරීමේ අපූර්වත්වය යනාදි ලක්‍ෂණ කෙරහි එහි දී විශේෂ අවධානය යොමු කළ හැකි යපවුන්ඩ්ගේ කාව්‍ය රීතිය විග්‍රහ කරන රණවීර ඔහු විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට කවියක් ද ගෙනහැර දක්වයි.    

In a station of the Metro
The apparition of these faces in the crowd:
petals on a wet, black bough

පොළව යට දුම්රිය පොළක දී
මිනිස් පොදිය මැද මේ ප්‍රාදූර්භූතය
තෙත බරිත කළු රුක් කඳෙක පිපුණු මල්පෙති

කවියා පොළව යට ඇති දුම්රිය පොළක දී මිනිස් පිරිසක් අතර සිටි යුවතියන් කිහිප දෙනකුගේ සෞන්දර්යය ආස්වාදනය කිරීමෙන් ලැබූ වින්දනය ප්‍රතිනිර්මාණය කර ඇත්තේ එපරිද්දෙනි. වර්ණනාත්මක ව ප්‍රස්තුතය විවරණය කිරීමෙන් බැහැර වන අතර ම වදන් කිහිපයක් සංක්‍ෂිප්ත ව ප්‍රබල  චිත්තරූප දනවන අයුරින් සම්බන්ධ කිරීමත් යථෝක්ත කවිය මඟින් හඳුනා ගත හැකිය. ආරියවංශ රණවීරගේ නිර්මාණ අතර ද මෙබඳු කවි දක්නට ලැබේ.

සසර
මලක
මෙළක මත
නිල මැස්සෙක්
මල් ශාලාවක

කවියා රචනා කළ ඉමක් සහ මලක් නමැති කාව්‍ය සංග්‍රහයෙහි ඇතුළත් මෙම කෙටි කවිය මඟින් ජීවිතයේ පණගැහෙන සෞන්දර්යත් අනිත්‍යතාවේ ඛේදනීය බවත් එකවර ම ධ්වනිත කෙරෙන අයුරු පෙනීයයි. අපූර්ව අයුරින් හොඳ ම පිළිවෙළට ගළපන ලද වදන් කිහිපය නිසා ක්‍ෂණික අන්තර් දෘෂ්ටියක් පැනනඟියි. සහෘදයා ලබන වින්දනය තීව්‍ර වෙයි. ආරියවංශ රණවීර, එස්රා පවුන්ඩ් වැනි කවීන්ගේ ආභාසය ලබා එම කවීන් ඉක්මවා යන ආකාරයේ කවි නිර්මාණය කර ඇති බව ලියනගේ අමරකීර්ති පවසන්නේ එහෙයිනි.

රණවීරගේ අතු ඉති කාව්‍ය ග්‍රන්ථයේ පැනෙන සිල් යන මැයෙන් යුතු කවිය මඟින් ද හඳුනාගත හැකි වන්නේ යථෝක්ත කාව්‍ය රීතියට අනුගත ලක්‍ෂණයන් ය.

සිල්
දිරා යන
සරුංගලය
බෝ අත්තක
සිල්
අරගෙන

මෙහිලා මිනිස් දිවියේ ක්‍ෂණික බවත්, අනිත්‍යතාවත් කුළු ගන්වන දිරායන සරුංගලය යන යෙදුම අතරට බොදු බැතිය ඉස්මතු කර බෝ අත්ත, සිල් යනාදි වදන් එකතු කරන කවියා පුළුල් අරුත් සමුදායක් ධ්වනිත කරන බව පෙනේ. මෙබඳු කවි මඟින් ප්‍රතීයමාන වන්නේ බටහිර කවියේ නව මුහුණුවර ලෙස හඳුනා ගත් සංක්‍ෂිප්ත ගුණයෙන් සමූපේත වූ භාෂාව හා ක්‍ෂණික ව චිත්තරූප දැනවීමේ ස්වරූපය පවුන්ඩ්ගේ කාව්‍යයන්හි ආභාසය ලබන රණවීරගේ නිර්මාණ මඟින් ද සංලක්‍ෂණය වන බව යි. සිය කාව්‍ය නිර්මාණයන්හි ගැබ් වන සංක්‍ෂිප්ත බස් වහර පිළිබඳ රණවීරගේ අදහස මෙබඳු ය.

“හොඳ කවියෙක් හැම විට ම සංක්‍ෂිප්ත විය යුතු බව යි මගේ හැඟීම, එනම් කාව්‍ය අනුභූතියට එකඟ වන වචන පමණක් භාවිත විය යුතු යි. අනවශ්‍ය වචන යොදා කවිය විසිතුරු කිරීමෙන් ඒවා අනුභූතිය හා එකඟ නොවුණ හොත් ඒවා බරවා කකුල් වාගේ වෙනවා”

මේ අයුරින් සංක්‍ෂිප්ත ව කාව්‍ය භාෂාව හැඩගස්වා ගැනීමේ දී කවියා ඇතැම් විට ජපන් හයිකු කාව්‍ය සම්ප්‍රදායේ ආභාසය ලබන බව පෙනේ. හයිකු කවි වූ කලී ප්‍රබල අයුරින් භාෂා සංක්‍ෂිප්තාව අවධාරණය කරන ජපන් කාව්‍ය විශේෂයකි. රණවීරගේ කාව්‍ය නිර්මාණ මත ප්‍රබල බලපෑමක් ඇති කළ පවුන්ඩ්ගේ කවි ද හයිකු ආදි ජපන් කාව්‍ය සම්ප්‍රදායවල ආභාසය ස්ඵුට කරයි. රණවීරගේ සෑම කාව්‍ය කෘතියක් ම පාහේ අඩු වැඩි වශයෙන් හයිකු කාව්‍ය හා සබඳතා පෙන්වන අතර එහිලා තුන්පෙති හතර පස්පෙති (නන්දන වීරසිංහ සමඟ) කෘතිය කැපීපෙනේ. හුදු හැඟීම් මාත්‍රයක් පාදයක කර ගනිමින් පෘථුල අදහස් සමුදායක් ධ්වනිත කරන හයිකු ස්වරූපයේ ක්ෂුද්‍ර කවි එහිලා දක්නට ලැබේ. ඇතැම් කවි බහුවිධ අරුත් ප්‍රතිපාදනයට යොමු නොවී ලියා ඇති වචන ස්වල්පයට ම සීමා වී හුදු කාව්‍යමය ප්‍රස්තුතයක් පමණක් වීමේ අවදානම ද නොපවතින්නේ නොවේ. පහත දැක්වෙන්නේ රණවීර ලියූ කවියක් සහ ඔහු විසින් ම පරිවර්තනය කරන ලද ජපන් හයිකු කවියකි.

තුන් පෙති හතර පස් පෙති, ආරියවංශ රණවීර සහ නන්දන වීරරත්න

“අල්ලා බලන්න
මේ ගිලිහුණු පියාපතෙහි
තවමත්
ගමනේ උණුසුම”

“ගිලිහුණු පෙති
යළි සපැමිණ
අතු මතට
නැහැ නැහැ
ඒ සමනල්ලු
-මොරිටාකෝ”

අනිත්‍යතාව මෙන් ම එකී විපර්යස්ත බව හුදු ඛේදයක් ලෙස නොසැලකීමත් වෙනස් වීම අතරතුරේ ම එහි ගැබ් ව පවත්නා සෞන්දර්ය අත්විඳීමත් මෙම කාව්‍ය නිර්මාණයන්හි ගැබ් වන මූල ධාරණාව වේ. හයිකු කවිවල ස්වභාවය වන්නේ හුදු කෙටියෙන් ලිවීම පමණක් නොවේ. මොරිටාකෝ නමැති කවියා විසින් ලියන ලද යථෝක්ත හයිකු කවිය ඒ බව සනාථ කරයි. රණවීර ලියූ යථෝක්ත කවිය පිළිබඳ විමර්ශනයේ දී එහි ගැබ් ව පවත්නා ප්‍රබල ම කාව්‍යෝක්තිය “ගමනේ උණුසුම” යන්න බව හඳුනාගත හැකි වේ. ගමනේ උණුසුම යන යෙදුම කවියෙන් වෙන් කළ කල්හි ප්‍රබල අර්ථයක් නොනඟයි. එහෙත් කවියා එම යෙදුම ස්ථානගත කරන ආකාරය අනුව ගමනේ ජීවමාන ස්වරූපය, ගමන් කළ දුරෙහි අසීමිත බව, නොනැවතුණු ගමන පිළිබඳ අදහස් සමුදායක් ධ්වනිත කරයි. රණවීර මෙසේ හයිකු කවියෙන් ආභාසය ලැබීම හෝ ඔහුගේ හයිකු කාව්‍ය පරිවර්තන ඇසුරින් තත් කාව්‍ය සම්ප්‍රදාය පිළිබඳ  අවදි භාවයක් ඇතිවීම  සිංහල කවිය මත නානාවිධ බලපෑම් ජනිත කිරීමට ද හේතුකාරක වී ඇති බව ප්‍රතීයමාන වේ.  අපරැක්කේ සිරිසුධම්ම හිමි, නන්දන වීරසිංහ, ලක්ශාන්ත අතුකෝරල, මාලන් බණ්ඩාර කපුවත්ත යනාදි කවීහු මෙම කාව්‍ය සම්ප්‍රදාය තවදුරටත් ඉදිරියට ගෙන ගියහ. ඇතැම් අත්හදා බැලීම් හුදු වචන දෙක තුනක් වීමේ අවදානම පවතින්නේ වී නමුදු ක්ෂුද්‍ර කවි මඟින් ක්ෂණික ව දැල්වෙන දීප්තිමත් කාව්‍ය චින්තා සුවිශද කෙරෙන අවස්ථා ද දුලබ නොවේ.

ලාංකික කවීන් නූතනවාදී කාව්‍ය නිර්මාණවලින් ලැබූ දායකත්වය පිළිබඳ සවිඤ්ඤාණික වීමේ දී පෙනී යන්නේ සිරි ගුනසිංහගේ කවි මඟින් වැඩි වශයෙන් එලියට්ගේ නිර්මාණයන්හි ආභාසය ගම්‍යමාන වන අතර ඊට සාපේක්‍ෂ ව ගුණදාස අමරසේකරගේ කාව්‍ය ඩී.එච්. ලෝරන්ස්ගේ කවිවල බලපෑම විශද කරන බව යි. මේ අනුව බැලීමේ දී ආරියවංශ රණවීරගේ කාව්‍ය මඟින් එස්රා පවුන්ඩ්ගේ කවිවල ආභාසය ප්‍රදර්ශනය වන බව සනාථ වේ. කාව්‍යානුභූතියේ බාහිර රූපය නිරූපණය කරන අයුරින් ආකෘතිය ගොඩනැඟීමට රණවීර වෑයම් කළ අවස්ථාවන් ද දක්නට ලැබේ. එබඳු අත්හදා බැලීම් සඳහා එස්රා පවුන්ඩ් මෙන් ම ඊ. ඊ. කමිංස්ගේ නිර්මාණවල ආභාසය ලැබී ඇති බව පෙනීයයි. කමිංස් නිර්මාණාත්මක අයුරින් කාව්‍යෝක්තීන්හි අර්ථ දෘශ්‍ය රූපාත්මක ව සන්නිවේදනය කිරීමට උත්සාහ කළේ ය. නිදසුනක් ලෙස ඔහු Look (බලනවා) යන ක්‍රියා පදය කවිවල යෙදූ ආකාරය විමසා බැලිය හැකිය. කමිංස් එම වදන l(oo)k යනුවෙන් භාවිත කළේ වරහන් අතර වූ ඉංග්‍රීසි ඕ අක්‍ෂර ද්වය බලන ඇස් දෙකක් ලෙස දිස්වන අයුරිනි. කමිංස්ගේ ‘r-p-o-p-h-e-s-s-a-g-r’ (Grass hopper) කවිය ඇතුළු බොහෝ කවි එම රීතිය අනුව රචනා කරන ලද ඒවා ය. ආරියවංශ රණවීර නිර්මාණය කළ ඔය බඩ වවුල්ලු, ඉවුරු හා නිපාත යනාදි කවි මඟින් ද දෘශ්‍යරූපී ආකෘතික ලක්‍ෂණ දෘශ්‍යමාන වේ. ඉවුරු යන මැයෙන් යුතු කවිය ඇරඹෙන්නේ මෙපරිද්දෙනි.

එස්රා පවුන්ඩ් සහ ආරියවංශ රණවීර

හී
න්


ක්
ලෙසින
කුළෙන්
කුළේ
එළඹ
මඳක් රැඳී නැවත
සුදෙන් සිනා නඟන
කුඩා දියති පුතුණු
උරෙහි හොවා රකිති
දෙපස තුරුණු ඉවුරු”

යථෝක්ත අයුරින් කුඩා දියති කුළෙන් කුළට එළඹ ගලා ගොස් ඉවුරු අසල රැඳෙන අයුරු සූචනය කරන පරිදි ආකෘතිය ගොඩනැඟීමට කවියා ප්‍රයත්න දරන අයුරු හඳුනා ගත හැකි ය. එහෙත් මෙබඳු ඇතැම් අත්හදාබැලීම් සහෘදයන්ට ප්‍රබල වින්දනයක් ලබා දීමට සමත් වූ බවක් නොපෙනේ. අලංකරණයෙන් තොර නිරවුල් තියුණු හා රූපකාත්මක බස්වහර, අන්තර්ගතය අවධාරණය කෙරෙන ආකෘතික පරිසමාප්තිය, චිත්තරූප දැනවීමේ සූක්ෂ්මතාව රණවීරගේ කාව්‍ය නිර්මාණයන්හි ප්‍රබල ව ගැබ් ව පවත්නා සාධක වේ. සාපේක්ෂ ව බලන කල්හි ඔහු චිරන්තන සිංහල කවිය, ජන කාව්‍ය සම්ප්‍රදාය යනාදියෙන් ඔහු උකහා ගන්නා යම් යම් සංකල්ප දැකිය හැකි වෙතත් අනවරත පෝෂණ අවකාශය වී ඇත්තේ චීන, ජපන් හා බටහිර කාව්‍ය නිර්මාණයන් ය. සිංහල පද්‍ය සාහිත්‍යයට සකු කවිය ප්‍රමුඛ පෙරදිග කාව්‍ය සම්ප්‍රදායන්හි බලපෑම අතීතයේ පටන් ම නොමඳ ව ලැබුණු අතර බොහෝවිට බටහිර කවිය සමඟ අපහට වූයේ දුරස්ථ ගනුදෙනුවකි. පේරාදෙණි ගුරුකුලයට අදාළ කවීන් මෙම දුරස්ථතාවේ රික්තය පිරවීමට තරමක් දුරට වෑයම් කළ ද සිංහල රසිකයාට එය ග්‍රහණය වූයේ කාලාත්තරයක් මුළුල්ලේ විකාසනය වූ ස්වකීය සම්ප්‍රදායට අන්‍යතර වූවක් වශයෙනි. එහෙයින් බොහෝදෙනාහට සිරි ගුණසිංහගේ කවි නුහුරු නුපුරුදු ආගන්තුකතාවක් විශද කරද්දී අමරසේකරගේ නිර්මාණයන්හි ගැබ් වූ වික්ටෝරියානු සදාචාර විරෝධය යළි යළිත් ප්‍රතික්ෂේපයෙන් දුරස් කළ යුත්තක් ලෙස පෙනිණ. නූතන කවියෝ බටහිර කවියෙන් ආභාසය ලබනු වෙනුවට පෙරදිග කවියේ සුලබ ව හමුවන අලංකරණ, අනුප්‍රාසය, එළිසමය නව ආකාරයෙන් ප්‍රතිනිර්මාණයෙහිලා වැඩි නැඹුරුවක් දක්වන්නෝ බවට පත්වූහ. එබඳු පසුබිමක රණවීර විචාර කෘති මෙන් ම ස්වකීය කාව්‍යමය අත්හදා බැලීම් මඟින් බටහිර කවිය කෙරෙහි දක්වන නැඹුරුව සිංහල කවියේ විවිධත්වය පෘථුල කිරීමට ඉවහල් වන බව සුවිශද කරුණකි.

එමෙන් ම එක් මුඛ්‍ය රූපයක් මත පදනම් ව අපූර්වාකාරයෙන් මුළු පද්‍යයක් ම නිර්මාණය කිරීම රණවීරගේ කාව්‍ය නිර්මාණයන්හි බහුල ව දක්නට ලැබෙන්නකි. දොළොස් රළ කෘතියෙහි පැනෙන මල් ලද සමය යන කාව්‍ය නිර්මාණය නිදර්ශන කර ගනිමින් ඒ පිළිබඳ තව දුරටත් විමර්ශනය කළ හැකි වේ.

මල් ලද සමය
ඔබ
ඉන්න
බලාගෙන
බලාගෙන
පාරබඩට වී
අතු කිනිති
කිනිති ගානේ
මල්
වළලු
වළලු
ලාගෙන
මල් ලද සමය මෙය

ඉන්න
මම අසා බලන්නම්
සුළඟින්
පුළුවන්ද
කියා පමා වී
හමන්න”

මෙහිලා පැවසෙන “මල් ලද සමය” ස්වභාව ධර්මය සුපුෂ්පිත කරවන වසන්තය පමණක් නොවේ. මල් වළලු යන රූපකය මේ වනාහි හුදු මල් ගසක් පමණක් නොව මල්වර (මල්බර)  වූ යුවතියක බව ද ඉඟි කරයි. ඔබ යන පුද්ගලාරෝපණ ආමන්ත්‍රණය එය තිව්‍ර කරන්නකි. මල්බර ගසක හෝ තුරුණු යුවතියකගේ සුන්දරත්වයේ අනිත්‍යතාව හා විපර්යස්තතාව තව මොහොතකට හෝ පමා වේවා යන ප්‍රාර්ථනය කාව්‍ය නිර්මාණය අවසානයේ ගැබ් වේ. මේ හා සාම්‍යත්වයක් ප්‍රකට කරන නිර්මාණයක් එස්රා පවුන්ඩ් ද රචනා කොට ඇති බව සිහිපත් කළ මනා ය. එය සිංහලයට පරිවර්තනය කරන ලද්දේ ආරියවංශ රණවීර විසින් බව නොතකා හැරිය නොහේ. A Girl (යුවතියක්) යන මැයෙන් යුතු එම කවිය ද එපරිද්දෙන් ම මූලික රූපකයක් වටා නිර්මාණය වී ඇති බව පෙනේ. සහෘදයින් අපූර්ව වින්දන පථයක් ඔස්සේ කැඳවා යන පවුන්ඩ්ගේ කාව්‍ය සංකල්පනාවට අනුව  සිත්ගත් යුවතිය ගසකි!

A Girl
The tree has entered my hands,
The Sap has ascended my arms,
The tree has grown in my breast
Downward
The branches grow out of me, like arms

Tree you are
Moss you are
You are violets with wind above them
A child- so high – you are
and all this is folly to the world

යුවතියක්
ගස මා තුළට එළඹ ඇත
ගසෙහි සාරය ද මා දෑතට ඇතුළුව ඇත
ගස මගේ හදවතින් මතුව පහළට වැඩී ඇත
ගසේ අතුපතර මගේ දෑත් තුළින් පහළට වැඩී ඇත
ගස නුඹ වේ
පෙඳ පාසි ද නුඹ වේ. උඩින් සුළඟ රඟදෙන වයලට් මල් නුඹ වේ
ඉහළින් ඉහළින් ඉඳින දරුවෙකි නුඹ
ඒ වුණාට ලෝකයාට මේ හැමදේම මෝඩකම්

තරුණිය ආත්මීය වශයෙන් මුළුමනින් ම කථකයා අත්පත් කරගත් ආකාරය ප්‍රබල අයුරින් ධ්වනිත කිරීමට මෙහි දී පවුන්ඩ් උපස්තම්භක කරගන්නා සංකල්ප රූප දනවන රූපකාර්ථවත් බස්වහර මනා පිටුබලයක් ව ඇත. එසේ ම එලියට් රචනා කළ ජේ. ඇල්ෆ්‍රඩ් ප්රූෆ්‍රොක්ගේ ප්‍රේමගීතය (The Love Song of J.Alfred Prufrock) නම් වූ කාව්‍යයෙහි ද මෙසේ රූපක වටා ගොඩනැඟෙන කාව්‍යෝක්ති බහුලව දක්නට ලැබේ. රණවීරගේ මල් ලද සමය කාව්‍ය නිර්මාණය හා සන්සන්දනාත්මක ව බලන කල්හි සංකල්පනාව හා කාව්‍යෝක්ති කෙරෙන් ප්‍රදර්ශනය කරන සාම්‍යත්වය මනා ව නිරීක්ෂණය කළ හැකි වේ. සමස්තයක් වශයෙන් ගත් කල මොහුගේ කාව්‍ය නිර්මාණ නැවත නැවතත් කියවා රස විඳිය හැකි ආකාරයේ කලාත්මක සූක්‍ෂමතාවක් ප්‍රදර්ශනය කරයි. මේ හේතුවෙන් එම කවි මඟින් අපේක්‍ෂා කරන්නේ සියුම් වින්දන ශක්‍යතාවෙන් සුසැදි සහෘදයෙකි. මෙනිසා ඔහුගේ කවි බහු පාඨක පිරිසකට හා සුලබ වෙළඳපොළ ඉලක්කයන්ට නොගැළපීමේ අවදානමට ද මුහුණ දෙන බව පෙනේ. ඒ පිළිබඳ ව රණවීරගේ අදහස පහත දැක්වේ.

“ ටී.එස්. එලියට් කවියේ සමාජ කාර්යය කියන රචනාවේ කියා තිබෙනවා හැමදාමත් කවියා ඉන්නෙ පවත්නා සමාජයේ පරම්පරා දෙකකට ඉදිරියෙන් කියලා. හොඳ කවිය පැවතීමට නම් ඔහුට කිසියම් සීමිත පාඨක පිරිසක් සිටිය යුතුයි කියලා”

ජී.බී. සේනානායක සහ සිරි ගුණසිංහ

මේ අනුව නූතනවාදී සාහිත්‍යකරුවන් කලාව වෙළඳ භාණ්ඩයක් වීම නොඉවසමින් මනා රසඥතාවකින් හෙබි සුළු පිරිසකට හෝ ඇමතීමට දරන උත්සාහය ලාංකේය සාහිත්‍ය ක්‍ෂේත්‍රය තුළ ආරියවංශ රණවීර මෙන් ම ජී. බී සේනානායක, සිරි ගුනසිංහ හා අජිත් තිලකසේන හා එරික් ඉලයප්ආරච්චි වැනි සාහිත්‍යකරුවන්ගේ නිර්මාණ මඟින් ද යම් තරමකට හෝ අවධාරණය වන බව කිව හැකි ය. රණවීරගේ කවි මත යම් පමණකට හෝ බලපෑම් කළ සිංහල කවියා ලෙස ජී. බී. සේනානායක පෙන්වා දිය හැකි බව ද අවධාරණය කළ යුත්තකි. ජී. බී. සේනානායක ද කාව්‍ය රචනයේ දී මෙන් ම කෙටිකතාකරණයේ දී ද ඇමරිකානු සාහිත්‍යය කෙරෙහි නැඹුරුවක් දැක්වූවෙකි. ඇමරිකා එක්සත් ජනපදයේ අසම සම කවියා ලෙස වෝල්ට් විට්මන් හැඳින්වෙන බව පවසන සේනානායක ඔහු පිළිබඳ ස්වකීය අවධානය හෙළිකරන අවස්ථා දක්නට ලැබේ.  රණවීර ද ඇමරිකානු කවිය පිළිබඳ අවධානයක් ඇත්තෙකි. සංක්ෂිප්තතාව, චිත්තරූප ජනනය, රිද්මය කෙරෙහි අවධානය යනාදි ලක්ෂණ සේනානායකගේ මෙන් ම රණවීරගේ කාව්‍ය නිර්මාණයන්හි ද දක්නට ලැබෙන්නකි. එහෙත් සාපේක්ෂ ව බලන කල රිද්මයානුකූල ව, සූක්ෂ්ම ලෙස දාර්ශනික අරුත් ප්‍රතිනිෂ්පාදනය කෙරෙන අයුරින් වදන් සුසංයෝගය කෙරෙහි සේනානායක දක්වන සියුම් අවධානය වඩාත් ප්‍රබල ය.

අජිත් තිලකසේන, එරික් ඉලයප්ආරච්චි

මග
නොදැනෙයි සිහිල
ඉද්ද ගස් උණ පඳුරුවල
සුවඳත් පොකුණු ළඟ
මහ මී ගස්වල

නොපෙනෙයි
ගුරු මඩ මා පාවල
නොඇසෙයි
කොකුන් හඬ
කදුරු අතුවල
මගය මේ
ඒ ගෙට

මේ හා සමාන්තර ව  කියවිය හැකි කවියක් රණවීර විසින් ද ලියන ලදී.

මං සන්දිය
ආදරෙයි මා ඒ මංසන්දියට
එක් හුදෙකලා කුඩා නිවසක්
කරා විහිදෙන

පරණ කඩ ලෑලි බාගෙට වසා ඇති
මිටි මිටි කඩ කිහිපයක්
පමණක් පාළුවට පාළුවේ ඉන්නා
බලු කුකුරුවන්
හොඹු ඔබාගෙන
තැන තැන නිදන
කිසි වෙනසක් විසේසයක්
කියන්ට බැරි
මං සන්දියකි
එය

ඒ උනත්
ආදරෙයි
මා
ඒ මංසන්දියට
එක්
හුදෙකලා
කුඩා
නිවසක්
කරා විහිදෙන

යථෝක්ත කාව්‍ය නිර්මාණ ද්වයෙහි ම අවධාරණය කෙරෙන්නේ යම් නිවසකට යන මඟක පවත්නා විශේෂතාවයි. මඟෙහි අනන්‍යතාව එයට ම සීමා නොවී මඟ වැටෙන නිවසෙහි වෙසෙන සුවිශේෂී අයෙකු, සිදුවීමක් හෝ ස්මෘතියක් ධ්වනිත කරන්නකි. සේනානායක දක්වන පරිදි ඒ ගෙට පිවිසෙන මඟ වනාහි පංචේන්ද්‍රියන් මොහොතකට අකර්මන්‍ය කරමින් හාත්පස දැනෙන, පෙනෙන, ඇසෙන සියල්ල නොදැනෙන්නට හරින තැනකි. ඊට වෙනස් අයුරින් රණවීර ප්‍රතිනිර්මාණය කරන මඟ විශේෂතාවකින් තොර වීම ම සුවිශේෂත්වය බවට රූපාන්තරණය වන්නේ අපූර්ව ආකාරයකිනි.  රණවීර “ආදරෙයි මා ඒ මංසන්දියට” යැයි සෘජු ව පවසන කල්හි සේනානායක ඒ මඟෙහි ගැබ් ව පවත්නා නිහඬ තිගැස්ම හා ගල්ගස්වනසුලු බව පරිසරය ආශ්‍රයෙන් ප්‍රතිනිර්මාණය කරයි. මේ අයුරින් කරුණු විමර්ශනයේ දී කවියකු වශයෙන් ආරියවංශ රණවීරගේ පෝෂණ අවකාශය මෙන් ම කාව්‍යකරණයෙහිලා විශද කරන අනන්‍යතාව ද සුවිශද වේ. එමෙන් ම ඔහුගේ කාව්‍යමය අත්හදා බැලීම් සිංහල කාව්‍ය සම්ප්‍රදායේ විවිධත්වයට හා විචිත්‍රත්වයට ඉවහල් වූ බවත් අවධාරණය කළ හැකි ය. 

(කථිකාචාර්ය චින්තා පවිත්‍රානි, කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ සේවය කරයි)
සියලු ඡායාරූප අන්තර්ජාලයෙනි උපුටා ගැනිණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *