සසංක පෙරේරා
මම කාංචනා ප්‍රියකාන්තගේ ‘මං චිත්‍රපටියක’ කෙටිකතා එකතුව කියෙව්වා. ඒ බොහොම හෙමින්. මේ කතාවල වචන භාවිතය, ව්‍යාකරණ සහ අක්ෂර වින්‍යාස වගේ දේ ගැන ගැන මට කියන්න යම් යමේ දේ තිබ්බත්, පාඨකයෙක් හැටියට මම ඒ ගැන අද කතාකරන්නේ නැහැ. ඒවා විශේෂඥයෝ කරපුදෙන්. නැත්නම් කාංචනා මුණගැහුන වෙලාවක කියන්න පුළුවන්. මට අවශ්‍ය, මම කියවපු දේවලින් අදහසක් දෙකක් විතරක් කියන්නයි, ඒවා අමතක වෙන්න ඉස්සර. ඒ අදහසුත් එක්කම, සමහර තැන්වල විතරක්, මම ලියපු කවි දෙක තුනකුත් එක්කරන්න හිතුවා — යම් දෙයක් අන්තිමට කියන්න.
දැනට මගේ හිත වඩාත් ඇදිලා ගියේ ‘ඔරලෝසු කනුව’ කියන කතාවට. ඒක කියවද්දී තමයි මට මේ කතාවල මූලික ප්‍රවේශය තේරුනේ. ඒක වඩාත් පැහැදිලි වෙනවා පස්සේ එන කතාවලින්. සවිඥානිකව හෝ එසේ නොවී, මේ කතාව වගේම මේ එකතුවේ ඇති අනික් කතා බොහෝමයකින් ‘magic realism’ වගේ ප්‍රවර්ගයකට වැටෙන බවයි මට පෙනුනේ. ඒ ප්‍රවර්ගයට වැටෙන්නේ නැත්තේ, මට තේරුණ විදියට මේ එකතුවට අතුලත් කරලා තියෙන කතා හතෙන් (7) දෙකක් (2) විතරයි. නමුත්, මේ ප්රවර්ගීය වරණය ගැන කිසිම දෙයක් කාංචනා කොහේවත් කියලා නැහැ. එහෙමෙ කියන්න ඕනෙත් නැහැ. ඒවා විසඳගන්න එක පාඨකයින්ගේ වැඩක්. අනෙක, රෝලන්ඩ් බාත් 1967 දී කිව්ව විදියට, මේ වගේ සාහිත්‍යමය අදහස් ගොන්නක් පොතක් හෝ වෙනත් පඨිතයක් හැටියට සමාජයට ආවට පස්සේ, ඒ ගැන ලේඛකයාට තියෙන අයිතිය, සම්බන්ධතා සහ යමක් ලිවීමේදී බලපෑ පෞද්ගලික ජීවිත කරුණු වගේ දේවල් එක්ක තියෙන සම්බන්ධතා නැතිව යනවා. ඒ අයිතිය ඊට පස්සේ ලැබෙන්නේ පාඨකයින්ට. ඒ ඔවුන්ගේ අර්ථකතන හරහා. මේක තමයි ඔහු සරලව, “ලේඛකයාගේ මරණය” කියල කිව්වේ. ඉතින් මෙතනදී කාන්චනා ගේ බලාපොරොත්තු අපිට එච්චර වැදගත් නැහැ. අපේ කියවීම්වලින් ඒ සමහරක් ඇයට සාක්ෂාත් කරගන්න පුළුවන් වෙයි. තවත් ඒවා ඇය හිතුවට වඩා බොහෝ වෙනස්ව අපි තේරුම් අරන් ඇති.
කොහොමටත්, මැජික් යථාර්තවාදී නැතිනම්, ඉන්ද්‍රජාලික යථාර්තවාදී නවකතා හෝ කෙටි කතා සාමාන්‍යය යථා ලෝකය එක්ක බැඳිලා තියෙනවා. නමුත් වෙනස තමයි, මේ ලෝකයේ, නැත්නම් මේ යථාවේ ගුප්තජනක හෝ අධියථාර්තමය දේවල් සාමාන්‍ය දේ හැටියෙට තියෙන එක. මෙතනදී සිද්ධ වෙන්නේ, මේ වගේ කතා යථාර්තය සහ අධිස්වාභාවිකත්වය හෝ අධියථාර්තය එක්ක තියෙන සීමා බොඳ කරන එකයි.
මේ අනුව ‘ඔරලෝසු කනුව’ කෙටිකතාවේ ඔරලෝසු කනුව පිහිටලා තියෙන්නේ අපි දන්නා කියනා ලෝකයේ බව තමයි පෙන්නේ. නමුත් ඒ වටා බැඳිලා තියෙන භාවිත, විශ්වාස, යාතුකර්ම හා දේශපාලනය ක්‍රියාත්මක වෙන්නේ අපි සාමාන්‍යයෙන් දන්නා යථාවට ඔබ්බෙනුයි. නමුත් මෙතන කියන කතා තත්කාලීන දේශපාලනය ගැන කරන සවිඥානික ටීකාවක් බව පැහැදිලියි. මෙතන මූලික වශයෙන් වෙන්නේ, ඇත්තටම බෙහෙවින් සාමාන්‍ය දෙයක් වෙච්ච ඔරලෝසු කනුව කියන සංකේතය අතිශයින් බලවත් හා දේශපාලනික වශයෙන් පූජනීය දෙයක් බවට පත්වීමත්, ඒ තුළ මිනිස්සු වල්මත් වීමත්, සාමාන්‍යයෙන් ඉතාමත් පැහැදිලිව පෙනිය යුතු දේ වෙනුවට, කොහෙත්ම පවතින්නේ නැති දෙයක් යථාවක් හැටියට පෙනීමත් ය. මේ හැම දේටම කතාව තුළ ‘ඔරලෝසු කනුව’ උදාහරණයක්. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ බලයට පත්වෙලා ඒ රටත්, ලෝකයත් ආර්ථික සහ දේශපාලනමය වශයෙන් කණපිට පෙරලුවෙත් ඝෝටාභය රාජපක්ෂ අපේ රටේ බලයට පත්වෙලා රට බංකොලොත් කරන්න පාර කැපුවෙත්, මේ ‘ඔරලෝසු කනුව’ කතාවෙන් කියන විදියටමයි. ඒ කියන්නේ, යථාවේ පවතින්නේ නැති දෙයක් එහි පවතිනවාය යන විශ්වාසය මිනිස්සු මත ආරෝපණය කිරීමෙන් හා එමගින් සමාන්‍ය පරිකල්පනය සහ ව්‍යවහාරික බුද්ධිය මොට කිරීමෙන්. ට්‍රම්ප් සහ රාජපක්ෂ කියන දෙන්නම මේ අර්ථයෙන් ඔරලෝසු කණු.
මේ කතාවට අනුව, සමාජයේ සමස්ථ යථාවම, පරිකල්පනයම, ජීවන රටාවම, ආණ්ඩු ක්රමයම ගෙවෙන්නේ ඔරලෝසු කනුව ට සම්බන්ධ වෙලා, ඒ පිළිබඳ කතිකාවන්ගෙන් යටපත් වෙලා. මේ කතාව කියවද්දී මගේ මතකයට ආවේ මේ තත්ත්වය ගැනම මම ලියූ කවි පේලි කීපයක්:
“අධිරාජයත් නිරුවතින්;
ගෝල බාලයොත් නිරුවතින්;
යටත්වැසි වහලුන්ගෙන් අඩකුත් නිරුවතින්;
ඒත්,
හිතන්නේ මේ හෙලුකුට්ටන් රැල
තමන් බවයි දන්නා විශ්වයේ
ඉස්තරම් ම විල්ලුදෙන්
සැරසී සිටින්නේ…”
‘පිටපත් ලිවීම’ කියන කෙටි කතාවෙත් මේ ලක්ෂණ ම තියෙනවා. නමුත් ඒක කතාවක් හැටියට ‘ඔරලෝසු කනුව’ තරම් උනන්දුසහගත (interesting) සහ සූක්ෂම ලෙස ලියවිලා නැහැ. ඒ කියන්නේ, ඒකේ ව්‍යූහය අනික් කතාවේ තරම් සංකීර්ණ නැහැ. එක අතකින්, ඒ නිසාම මම හිතන්නේ ඒක යථා ලෝකයට වඩාත් සමීපයි. ඒකෙන් කියවෙන්නේ පාසලේදී පිටපත් ලිවීමේ දක්ෂයෙක් වෙච්ච කෙනෙක් යථා ලොවට, නැත්නම් පාසලෙන් බාහිර ලෝකයට පිවිසෙනකොට සිදුවෙච්ච හැලහැප්පීම් ගැන. පාසල් අධ්‍යාපනයෙන් ලැබුන දැනුම ඉන් පිටත ලෝකයේ වැඩකටයුතු කරන්න ප්‍රමාණවත් නැහැ. නමුත් ඒ අසම්පූර්ණ දැනුමට යම් පුද්ගලයෙක්ගේ හෝ බලවේගයක මැදිහත්වීමක් සිදුවුනොත් සහ ඒ සමග අසාමාන්‍ය බලයක් ලැබුනොත්, එමගින් අනෙක් මිනිසුන්ගේ ජීවිතවලට විශාල බලපෑම් එල්ල වෙනවා — සාමාන්‍යයෙන් නිශේධනීය විදියට. මේක හරියට අපේ රටේ දේශපාලන නායකයින් වැඩ බැරි මෝඩ ඥාතීන් සහ හෙන්චයියන් ඒ ගොල්ලන්ගේ නිල ව්‍යාපෘතිවලට අනුයුක්ත කරගෙන, රටටම කරන විනාශය වගේ.
ඒ එක්කම, ‘පිටපත් ලිවීම’ කතාවෙන් මට පේන විදියට කියන අන්තිම කරුණ තමයි ඒ ලැබුන අධ්‍යාපනයෙන් පුළුල් ලොවේ කරක්ගහන ක්රාකයින් හඳුනා ගන්න අවශ්‍ය ප්‍රායෝගික දැනුමවත්, ඒ වගේ උදවිය අතින් සිදුවිය හැකි ලිංගික හෝ අනික් ආකාරයේ අතවර මුලදීම හඳුනාගැනීමටවත්, ඒ සමග ගනුදෙනු කිරීමට අවශ්‍ය දැනුමවත් ලබා නොදෙන බවයි. මං හිතන්නේ මේක අපේ රටේ සහ ලෝකයේ වෙනත් තැන්වල තරුණ කණ්ඩායම්වල දැනුම හා විධිමත් අධ්‍යාපනය සහ එහි ඇති හිදැස් හා අප්‍රායෝගිකත්වය ගැන ලියවුන කතාවක් ය කිව්වට වැරැද්දක් නැහැ. ඒ කියන්නේ, මේකෙන් ‘පොතේ දැනුම’ සහ ‘ව්‍යවහාරික බුද්ධිය’ හා ‘ඥානය’ අතර තියෙන වෙනස ගැනත් කතාවෙනවා කියන එකයි.
‘දහිර වාට්ටුව’ කෙටිකතාව බොහෝ දුරට ‘ඔරලෝසු කනුව’ කතාවේ තිබිච්ච වඩාත් ව්‍යුහාත්මක වශයෙන් සංකීර්ණ ඉන්ද්‍රජාලික යතාර්ථවාදී ලක්ෂණ වෙත ආයෙත් අපිව අරගෙන යනවා. ඒ රෝහල් වාට්ටුව ගැන තියෙන විස්තරයට අනුව, එතන ඉන්න ඔක්කොම මැරිලා. දොස්තර හා හෙදිය ඇරුණම. නමුත් බලාගෙන යනකොට, මෙතැන ඉන්න කව්රුත් මැරිලා නැහැ. ඒත්, මැරිලා වගේ ඉන්න අය. එක තැනක කියන විදියට මේ මැරිලා වගේ ඉන්න අය විස්තර කරන්නේ මේ විදියට:
“වැරැද්ද? වැරැද්ද? ඇස් කන් ඇරගෙනෙම අන්ධයෝ ගොළුවෝ බීරෝ වගේ ඉඳපු එක. අනික දැන් කටහඬ නැතිවුණා කියලා ඕකේ මහා අරුමයක් නැහැ” (2023: 46-47).
තවත් තැනක ඔවුන් ගැන කියන්නේ මේ වගේ දෙයක්:
“අමුතුවෙන් මරන්න දෙයක් නැහැ නර්ස්. මේ අය කවදාවත් ජීවත් වෙලා තිබුනෙත් නැහැනේ” (2023: 48).
මේ තේමාව කතාව පුරා විහිදී තියෙන අතර, මෙතනදී පෙනෙන්නේ මේ සියළු දෙනාම (මැරී-නොමැරී සිටින සියලු දෙනාම සහ දොස්තර ද) කතානායකයාගේ පෞරුශයේම, නැතිනම් සවිඥානයේම විස්තීර්ණ බවයි. මේ තමන්ගේ ලොවේදී අවශ්‍ය වෙලාවට මැදිහත්වීම් නොකළ හා නිශ්ශාබ්ධිකව සිටි ජනගහනයක අවාසානයයි. ඔවුන්ගේ සවිඥානයේ අවසන් හුස්මයි. මට මේ කතාව කියවද්දී මතක් වුනේ මම මේ තේමාව ගැනම ලිව්ව ‘මුසා දිවිය’ ලෙස නම් කළ කවි පේලි කීපයක්:
“අඳ වීමි
ගොලු වීමි
බිහිරි වීමි
සවිඥානිකවම,
දිවි ගෙවන්නට
නොදැනී නොපෙනී
කිසිවක්
අකාරුණික දෙසක.”
ඒ වගේම, ‘හෘදසාක්ශිය’ කියන කවි පෙලෙනුත් මම උත්සාහ කළේ මේ වගේ දෙයක් කියන්න:
“වීසි කලෙමි හෘද සාක්ශිය
මහ සයුරට;
දන් දුන්නෙමි
දෙනයන හා දෙසවන
කපුටු රෑනකට:
දකිනෙමි දැන්
මිහිපිට සුරපුරක්
මනුසත් දෙවිවරු
වැඩවසනා,
මෙතුවක් කල් නොදුටු.”
‘මං චිත්‍රපටියක’ ලෙස නම් කරලා තියෙන කතාව අදහසක් හැටියට මට ඉතාමත් උනන්දුසහගතයි. මේක දිගඇරෙන්නේ තමන්ගේ අම්මට කසාදයක් කරලා දෙන්න උත්සාහයක් අරගෙන, ඒක ව්‍යර්ථ වූ කෙනෙක්, ඒ නිසාම ඇතිවූ සමාජ නෝක්කාඩු මධ්‍යයේ හෙම්බත් වී, චිත්‍රපටියක් බලන්න ගිය පසු දිගහැරෙන කතාවක් හැටියට. චිත්‍රපටියෙන් වරින්වර පෙනෙනේ — යම් ගුප්ත හා අසාමාන්‍යය සංකේත හා සිදුවීම් ද ඇතුළුව – තමන්ගේ මවගේ හා පියාගේ විවාහය, එහි දෙදරා යාම , පියාගේ දෙවන විවාහය හා පියාට කොතෙක් අකමැති වුනත් ප්‍රායෝගික හේතු නිසා යම් මට්ටමක සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට සිදුවෙන පසුබිමය. වඩාත් සරලව කියනවානම්, මේ චිත්‍රපටියෙන් කියාපාන්නේ තම මවගේ විවාහ ජීවිතයේ අසාර්ථක බවත්, විවාහය තුළ ඇය අත්විඳි ප්‍රචන්ඩත්වයත්, අවසනදී, නව විවාහයක් ඇයට කරදීමට කතානායකයා යොමු වූ පසුබිමත්ය. නමුත් මේ අවසන් හා බෙහෙවින් තාර්කික උත්සාහය සමාජය විසින් පිළිගන්නේ නැහැ. චිත්‍රපටිය අතරතුරදී යමෙක් කෙටි පණිවිඩයකින් කතානායකයාට බැනවදින්නේ මේ නිසාය්:
“ලජ්ජා නැද්ද යකෝ උඹ අම්මට මගුල් හොයන්නේ?” (2023: 92).
අතීතය හා වර්තමානය සහ මතකය හා තත්තකාලය අතර දිවෙන මේ කතාවෙන් කාංචනා කියන්න උත්සාහ ගන්නේ, විවාහය යන සමාජ නිමැවුම තුළ තිබෙන අති විශාල ප්රචණ්ඩත්වය සහ පසුගාමීත්වය ගැනයි. අසාර්ථක විවාහයකින් – බොහෝ විට කාන්තාවන් – පිටවීමට පසුබට වෙන්නේ මේ පසුගාමීත්වය නිසායි. මට පෙනෙන විදියට, මේ සමස්ථ හා සංකීර්ණ වපසරියම කාංචනා ඇයගේ කතාවෙන් ආමන්ත්‍රණය කරනවා. මට මේක වඩාත් වැදගත් වෙන්නේ, මේ ගැන අපේ සමාජයේ තාමත් පුළුල් සාකච්චාවක් නැති නිසාත්, සමාජය නම් තිරය පිටුපස මේ වගේ රඟදැක්වෙන අනන්ත ප්රචණ්ඩ පවුල් – නාටක ගැන යම් දැනුමක් මට තියෙන නිසාත්ය. මේ කතාව මගින් ඉදිරිපත්කරන ගැටළුකාරී විවාහය වෙත සමාජය බොහෝ විට දක්වන සාම්ප්‍රදායික හා පටු සදාචාරමය භක්තිය පිළිබඳ විවේචනය මගේ සිතට ගෙන ආවේ මේ සදාචාරමය ගැටළුව පිළිබඳ මා ලියූ කවි පේලි කීපයක් – ඒවා විවාහය සමග ඍජුවම සම්බන්ධ නොවුනත් මේ පුළුල් තේමාවට සම්නධයි කියලා මම හිතනවා:
“සදාචාරය සටන් පාඨයකි
සංකේතයකි
කුහකත්වයේ, මුග්දත්වයේ;
අපිරිසිදු සිතුවිලි
දුරාචාර ගතිපැවතුම්
නිදහස් වූ විට
සදාචාරයේ යදමින්,
වින නොකරයි නම් අනෙකුන්ට,
විවර වූ දොරටුවකි
විසල් ලොවකට.”
‘කප්පිත්තන’ කියන කතාව මේ එකතුවේ තියෙන ඉන්ද්‍රජාලික යතාර්ථවාදී ප්‍රවර්ගයට සමීපවෙන අනෙක් කතා තරම් සංකීර්ණ නොවේ. එය චින්තන හැකියාවක් ඇති කාක බෝ ගහක් ගැන කතාවක්. මගේ විශ්වාසය මේ කතාවේ ආඛ්‍යාන ව්‍යුහය අනෙක් ඒවා තරම් සංකීර්ණ නැති බවයි. නමුත් එමගින් කියන්නේ බෙහෙවින් වැදගත් කරණා කීපයක්. එකක් තමයි, ජීවිත කාලයක් තිස්සේ ගොඩනැගිච්ච යම් සම්බන්ධතා මෑත කාලින සහ මතුපිට සම්බන්ධතාවල බලපෑම මත දෙදරා යන්නට සැලසීම හෝ ‘මුල අමතකවීවම’ යන කාරනයයි. නමුත් මගේ සිත ඇදගත් අනෙක් කරුණ නම්, සමාජවිද්යාත්මකව වඩාත් වැදගත් වෙන, ජනප්‍රිය ආගමේ ‘හාස්කම්’ හෝ ‘ආගමිකත්වය’ පිළිබඳ විශ්වාස හා කතිකා සංවර්ධනය වී, අවසන දී යම් දෙයක යථාව අමතක කර, සමාන්‍ය දෙයක් මත භක්තිය හා ආගමිකත්වය ආරෝපණය කර, එයට නව දිවියක් ලබා දීම යන කාරණයයි. කාගෙන්වත් සැලකිල්ලක් නොලැබුණු කාක බෝ ගස හාස්කම් සහිත බෝ සමිඳුන් බවට පත්වීම ඇරඹෙන්නේ මේ අනුවය. මේක දෛනික ජීවිතයේ බෝහෝ විට මා ඉන්දියාවේ මෙන්ම ලංකාවේ ද සැම තැනකම පාහේ දැක ඇති දෙයකි. මෙමගින් සිදුවන වඩාත් ගැටළුකාරී දෙය නම්, ආගම ආධ්‍යාත්මිකත්වයෙන් හා දර්ශනයෙන් ඈත් වී, වඩාත් පුහු, ප්‍රෝඩාකාරී සහ භයානක භාවිත පෙළක් හා චරිත රැලක් සමග සමපාත වීමය. කාංචනා මෙන්ම නොවුනද, මේ අර්බුදය කලකට පෙර මා දැක්කේ මෙසේයි:
“ඇඟලා සේද චීවර
තවරාගෙන සුවඳ විළවුන් සියොළඟ
ඉරා බණ පොත වීසිකර
අවීචියේ නොනිමෙන ගිනිදැල් අතරට,
වඩිනා තරු පහේ අවන්හල් වෙත ලහිලහියේ
පිරිවරා බෙන්ස් රථ, කහවනු මලු,
ජපකරමින් මුසාවාද සිය දහස් වර
සනසන්නට සිත්සතන්
මිනිසත් බව ලැබූ කුම්භාන්ඩයින්ගේ,
මහණුන් දේවදත්තයින් වූ අප සසුණට
ජේසු පිහිටයි,
දේව මෑණියන්ගේ සරණයි”
‘විශේෂණ’ සහ ‘රඟමඩලක’ කියන කතා දෙක මෙතෙක් කතාකළ ප්‍රවර්ගයට අයිති බවත් පෙනෙන්නේ නැහැ. ඒවා මේ එකතුවට ඇතුලත් කළේ ඇයි කියන දේ මට පැහැදිලිත් නැහැ. කොහොම වුනත්, මේ දෙක ගැන මේ එක්කම කතාකරන එක සාධාරණයි කියලා මම හිතන්නෙත් නැහැ. ඒක කළ යුත්තේ වෙනම සිතුවිලි දාරාවක් ඔස්සේ. සරලව කියනවා නම්, එකට ගියර් මාරුකරන්න වෙනවා.
කොහොම වුනත් මේ මම ලිව්වේ විධිමත් විවරණයක් නෙවේ. ඒක වෙනම වැඩක්. ඒ වෙනුවට, මම මේ ලිව්වේ මේ කතා කියවද්දී මගේ හිතට ආපු මූලික කරුණු ගැන කෙටි හා අවිධිමත් සටහනක්. මේ සරල අදහස් ඉදිරිපත් කිරීමත් එක්ක මගේ කවි කීපයක් මිශ්‍ර කරගැනීම ගැන මම කාන්චනාගෙන් සමාව ඉල්ලා සිටිනවා. ඒ, විශේෂයෙන්ම, ඇය සමාජය විසින් පිළිගත් නිර්මාණ රචනාකාරියක් නිසා සහ මම එසේ පිළිගත් කවියෙක් නොවන නිසාත්. ඒ පිළිගැනීම මට ඇත්තටම අවශ්‍යත් නැහැ. මම කවි ලියන්නේ මගේ ශාස්ත්‍රීය ගද්‍යය ලිහිල් කර ගැනීමට කරන අභ්‍යාසයක් විදියට සහ සහ හුදු විනෝදය සඳහා විතරයි. ඒක වෙනම කතාවක්. නමුත් මෙතැනදී මට කියන්න ඕනේ වුනේ මේකයි: මම මෙතන සඳහන් කරල තියෙන කාංචනා ගේ කෙටිකතා සහ මගේ ආධුනික කවි එකම හෝ බොහෝ දුරට සමාන තේමා යටතේ ලියවුනේ කොහොමද? මම හිතන්නේ මේක වැදගත් ප්‍රශ්නයක්, මෙතනදී විතරක් නෙවේ, සාමාන්‍යයෙන් මේ වගේ කියවීමක් කරන ඕනෑම මොහොතක. ඒකට හේතුව, අපි දෙන්නා සහ තවත් අපි දන්නා සහ නොදන්නා බොහෝ දෙනා දැනට ජීවත් වෙන සහ අපට පුළුවන් විදියට ගනුදෙනු කරන්න හදන යථාව බොහෝ සමාන නිසා. නමුත් අපි මේ යථාවට මුහුණ දෙන්නේ එකිනෙකාට වෙනස් විදියට. මේ වෙනසත් අපි අපේ ජීවන අවකාශ දිහා සරලව බැලුවත් පේන්න තියෙන දෙයක්. අපි අතර ඉන්න සමහර උදවිය ‘දහිර වාට්ටුවේ’ කියන විදියට යථාවෙන් පැනලා යනවා. ඒ යන්නෙත්, තමන්ගේ හෘදසාක්ෂියත් සවිඥානිකවම සහ බලයෙන්ම ගොලුකරලා. මේ අයගෙගෙන් පුළුවන් බොහෝ දෙනා රටත් ඇර දාල විදෙස්වලට ගිහින් අපිට ජාතිකවාදී බණ කියන අවස්ථාත් එමටයි. තවත් අය ඒ යථාව තමන්ට පුළුවන් විදියට විනිවිද ගිහින්, ඒ දිහා විචාරශීලීව බලලා, ඒ එක්ක යම් මට්ටමකින් ගනුදෙනු කරන්න සහ තමන්ට දායක වෙන්න පුළුවන් විදියට සමාජය වෙනස් කරන්නත් උත්සාහ කරනවා. මේ එකතුවේ තියෙන, මම අදහස් ඉදිරිපත් කළ කතා ඔක්කොම මට පෙනෙන්නේ මේ අන්තිමට සන්ධාන කළ ප්‍රවේශයට උදාහරණ විදියට.
මහාචාර්ය සසංක පෙරේරා
දකුණු ආසියානු විශ්වවිද්‍යාලය
නව දිල්ලිය