“කිසිම ජාතික වීරයෙක් ගොඩනැගෙන්නෙ නෑ අනෙක් ජාතියක් පාගලා අනිත් ආගමක් පාගලා” (වික්‍රමබාහු කරුණාරත්න)

“කිසිම ජාතික වීරයෙක් ගොඩනැගෙන්නෙ නෑ අනෙක් ජාතියක් පාගලා අනිත් ආගමක් පාගලා” (වික්‍රමබාහු කරුණාරත්න)

කිසිම ජාතික වීරයෙක් ගොඩනැගෙන්නෙ නෑ අනෙක් ජාතියක් පාගලා අනිත් ආගමක් පාගලා. ඒක තමයි සුචරිත ඉතාමත් ප්‍රබලව දැරූ මතය. අපි එකට වැඩ කළා. ඒ නිසා සැබෑ සිංහල වීරයෙක් බලා ගන්නවා නම් බලාගන්න වෙන්නේ දැන්. අභාවයට ගියත් ඒ චරිතය සදාතනිකව ලෝකයට ඉදිරිපත් කරලා තියෙනවා කොහොමද ජාතික වීරයෙක් වෙන්නේ කියලා. වීරයෙක් වෙන්නේ සුළු ජාතීන්ගේ කඩවල් කඩලා සුළු ජාතීන් මරා දාලා, යුද්ධයෙන් නෙමෙයි. සාමයෙන්.

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න විසින් මහාචාර්ය සුචරිත ගම්ලතුන්ගේ අවමංගල්‍ය අවස්ථාවේදී සිදු කළ සම්පූර්ණ කතාව.

ගම්ලත් සහෝදරයාගේ පවුලේ සැමගෙන් අවසරයි. ගරුතර සංඝයා වහන්ස. ගරුතර අන්‍යාගමික පූජකයන් වහන්ස. ප්‍රිය සහෝදර සහෝදරවරුනි. මිත්‍රවරුනි…

මේ කණගාටුදායක අවස්ථාවක් වුණත්, මොකද දේශපාලන ජීවිතයේ ලබාගත් භාග්‍යයක් තමයි මට සුචරිත ගැන වචන ස්වල්පයක් කතා කරන්නට ලැබීම. මගේ දේශපාලන ජීවිතයේ ජයග්‍රහණයක් තමයි මේ අවස්ථාවේ සුචරිත සහෝදරයා ගැන වචන ස්වල්පයක්කතා කරන්න ලැබීම.

සුචරිත ගම්ලත් සහෝදරයා මහාචාර්යවරයෙක්. අපිටත් සහෝදරයෙක්.  අපි මේ රටේ දේශපාලන ලෝකයේ දෘෂ්ටි ලෝකයේ මාක්ස්වාදී දර්ශනය අනුව ලෝකය දිහා බලන්න,  එකට වැඩ කරපු එකට ක්‍රියා කරපු සහෝදරයන් හැටියට තමයි මට හඳුන්වන්න වෙන්නේ. සුචරිත සහෝදරයාගේ තිබුණ විශේෂත්වය තමයි මාක්ස්වාදී ආම්පන්න සියල්ල අරගෙන එතුමා ග්‍රහණය කරගෙන හිටපු සාහිත්‍ය ලෝකයේ සිංහල භාෂා ලෝකයේ ඒවා පාවිච්චි කරලා ඉදිරියට ගිහිල්ලා සිංහල භාෂා ක්ෂේත්‍රයේ තියෙන දෘෂ්ටීන් අඳුන්වල දෙන්න. ඒ සිංහල භාෂාවේ විකසිත තත්ත්වය තුළ ගැඹුරට හදාරන්න පුලුවන් වුණු සදාචාරමය සංකල්ප අඳුන්වලා දෙන්න.  සිංහල භාෂාවේ පදනමෙන් ගොඩනැගුණ සංස්කෘතික ක්‍රියාදාමයක් තුළ තිබුණු වටිනාකම් අපිට හඳුන්වලා දෙන්න. මේක සුචරිත සහෝදරයාගේ විශේෂත්වය වෙනවා.

අපි අපෝහක භෞතිකවාදය එහෙම නැත්නම් හේතුඵල යථාවාදය විශ්වාස කළා. සුචරිතට පුළුවන් වුණා ඒ දෘෂ්ටිකෝණයෙන් ලෝකය දිහා බලන්න විතරක් නෙමෙයි නිරන්තරයෙන්ම සවිඥානිකව හැමවිටම යමකට මැදිහත් වෙන්න ක්‍රියා කරන්න සහ විවරණය කරන්න. මේක ප්‍රබල තත්වයක්. මේක ලෝකය පුරාම ඥානවන්තයන් අතර ඥානවන්තයෙකුට  ලබාගත හැකි ප්‍රබල තත්වයක් ඒ සහෝදරයා ලබාගෙන තිබුණා.

අද සිංහල ජාතිය ගැන කතා කරන තත්ත්වය තුළ මොකක්ද සිංහල ජාතිය? සිංහල ජාතියේ පදනමක් තමයි භාෂාව. භාෂාවක් නැතුව ජාතියක් තියෙන්න බෑ. සිංහල ජාතියේ භාෂාව විකාශනය කරලා රට තුළ සිංහල ජනතාව අතර ඒ භාෂාව හරියාකාරව යොදා ගන්න ඉගෙන ගන්න ඒ භාෂාව තුළින් වංශකථා තුළ ඇති කරල තිබෙන දර්ශනයන් එළියට ගන්න ධර්මයන් එළියට ගන්න පුළුවන්කම තමයි භාෂාවෙන් ජාතියකට කරන්න පුළුවන්.

” ජාතියේ වීරයෙක් වෙන්න එහෙමයි.  ඒ අනුව සුචරිත ගම්ලත් මට දැනෙන හැටියට, සිංහල ජාතියේ වීරයෙක්, නිර්ධන පන්තියේ ගුරුවරයෙක්, වගේ ම සිංහල ජාතියේ වීරයෙක් හැටියටයි මං හඳුනන්නේ. මගේ වීරයා මැරිලා. නමුත් ඔහු මළේ නෑ. මෙකල යෝධ විශාල ගමනක් ඔහු ගියේ. යෝධ භාවිතාවක ඔහු හිටියෙ. ඒ භාවිතාය ලියාපදිංචි වෙලා තියෙනවා. ඔහු හොයාගත්ත භාෂාවේ රසවිඳීම් පිළිබඳ ප්‍රබන්ධයන් සියල්ලම අපට අනාගතය සඳහා ඉතුරු කරලා ගියා. ඒ භාවිතය යෝදයි යෝධයි. ඒ භාවිතයේ ඉදිරියට ගෙනයාම තමයි අපිට තියෙන්නේ. “

කිසිම ජාතික වීරයෙක් ගොඩනැගෙන්නෙ නෑ අනෙක් ජාතියක් පාගලා අනිත් ආගමක් පාගලා. ඒක තමයි සුචරිත ඉතාමත් ප්‍රබලව දැරූ මතය. අපි එකට වැඩ කළා. ඒ නිසා සැබෑ සිංහල වීරයෙක් බලා ගන්නවා නම් බලාගන්න වෙන්නේ දැන්. අභාවයට ගියත් ඒ චරිතය සදාතනිකව ලෝකයට ඉදිරිපත් කරලා තියෙනවා කොහොමද ජාතික වීරයෙක් වෙන්නේ කියලා. වීරයෙක් වෙන්නේ සුළු ජාතීන්ගේ කඩවල් කඩලා සුළු ජාතීන් මරා දාලා, යුද්ධයෙන් නෙමෙයි. සාමයෙන්.    තමන්ගේ භාෂාව විකාශනය කරන්න අනුන්ගේ භාෂාවෙන් ගන්න පුලුවන්නම්, තමන්ගෙ සෞන්දර්ය පිළිබඳ අදහස් වර්ධනය කරගන්න අනුන්ගෙන් ලබාගන්න පුළුවන්නම්, ඒ තමයි මනුෂ්‍යත්වය කියන්නේ. ඒ පාඩම ඉතාම දැඩි ලෙස නිරවුල් ලෙස ලෝකයාට ඉදිරිපත් කළා.

අර ට්‍රොට්ස්කි වගේ, ලියොන් ට්‍රොට්ස්කිගෙ ඉඳලා මාක්ස්වාදී ගුරුකුලය තුළ සෞන්දර්ය ගැන පණිවිඩය පඬිවරයකුට වඩා ඉතාමත්ම ප්‍රවීණ ලෙස ලෝකයට හඳුන්වල දීල තියෙනවා සෞන්දරේ ඥාන විභාගයන්. ඒ තමා වටිනාකම්.

එතුම කවදාවත් භාවිතයෙන් පාර්ලිමේන්තු දේශපාලනයට ආවේ නෑ. නමුත් මම යුද කාලයේ පළාත් සභාවට තරග කරනකොට මගේ කිසිම  ආරාධනාවක් නැතුව ඇවිල්ල කිව්වා, ” බාහු සහෝදරයා මම ඡන්ද ව්‍යාපාරයට යන්නේ නෑ. නමුත් මම ඔයාගේ ඡන්ද ව්‍යාපාරයේ වේදිකාවේ මූලාසනයට එන්න ලෑස්තියි”, කියල. එහෙම කිව්වේ ඔහු සැබවින්ම විශ්වාස කළා අපි ගෙනගිය දෘෂ්ටිමය අරගලය, මේ රටේ සුළු ජාතීන්ගේ අයිතිය තහවුරු කිරීම උඩ බලය බෙදා මේ රට එක්සත් කරන්න ඕනෙයි කියලා. අපි ගෙන ගිය ඒ ව්‍යාපාරයේ මොහු ශක්තිමත් කරන්න ඉදිරිපත් වුනා. මගේ වේදිකාවේ මූලාසනයේ හිටියා. ඒ තමයි මට මතක විදිහට පළවෙනි සහ අවසාන වතාව.

මෙවැනි සහෝදරත්වයක් අපි අතර තිබුණේ මං එයාව පෞද්ගලිකව හුඟක් දන්න නිසා නෙමෙයි.නමුත් අපි හේතු උත්පාද යථාවාදය තුළින් ලෝකය දිහා බලන්න ඉගෙන ගෙන ඒ පණිවිඩය ජනතාවට දෙන්න අපි සැබවින්ම මහන්සි වෙච්ච අය.

අද එතුමන් අපෙන් වෙන්වෙලා ගියත් අපට කණගාටු වෙන්න දෙයක් නෑ. අවුරුදු අසූවක් එතුමන් ජීවත් වුණා. සුජාත ගමනක් යන මේ යෝධයා නිකම්ම පහළ වුණේ නෑ. නිකම්ම එතුමන්ගේ දෙමව්පියන්ගේ ශක්තියෙන් පමණක්ම පහළ වුනේ නෑ. සුචරිත ගම්ලත් මේ ලෝකෙට ආවේ විශාල කතිකාවක් තුළ. විශාල විවාද රාශියක් තුළ. විශාල අධ්‍යන ගමනක් තුළ. ඒකෙදි විශාල පිරිසක් සම්බන්ධ වුණා. එතුමා ආරම්භ කරපු දේශපාලන පක්ෂය, එතුමා ආශ්‍රය කරපු කලාකරුවන් එතුමා සමග වාද විවාදයට පැටලුණු තමන්ගේ දේශපාලන සතුරන් සියල්ලන්ගේම සම්බන්ධතාවය තුළින්, මෙන්න මේ යෝධ ගමන තුළින් තමයි, මෙන්න මේ විකසිත මනුස්සයා ලෝකයට බිහි වුණේ. ඔහුගේ පැවැත්ම එතනයි තියෙන්නේ. මේ සමාජය ඇති කරපු යුග පුරුෂයෙක්. ඒ යුග පුරුෂයාගේ භාවිතය අපිට ඉතුරු කරල ගිහිල්ලා තියෙනවා.

අද මම නැවතත් හැමෝටම කියන්නේ අපි විශ්වාස කරනවා මේ රටේ බුදුන් වහන්සේ කියපු දේවල් විශ්වාස කරන අය. හැමවිටම කියනවා,

” උප්පාද, ඨිති, භංග ” ඇතිවීම, පැවැත්ම සහ නැතිවීම ගැන. එහෙම මේ අපිට ලෝක ස්වභාවය ඒකයි කියලා අපි වටහා ගත යුතුව තිබෙනවා. යෝධයෝ මැරෙනවා, වීරයෝ මැරෙනවා. අපෙන් වෙන් වෙලා යනවා. අපි කණගාටු විය යුතුද? නෑ ඒක ලෝක ස්වභාවය නම්… අපි කණගාටු විය යුතු නැහැ. ඒ වගේම ජීවිතයට භාවිතයක් තියෙනවා නම්, ඒ භාවිතය අපි දන්නවා නම් අපි කණගාටු විය යුතු නෑ. ඒක අපි සමග සදාතනිකව තියෙනවා. අපි සමග ජීවත් වෙනවා. මේ පවුලේ සැමට මම ස්තුතිවන්ත වෙනවා මේ යෝධ පුරුෂයා අවුරුදු අසූවක් බලා ගැනීම ගැන. අවුරුදු අසූවක් කියන්නේ විශාල කාල පරිච්ඡේදයක් අවුරුදු අසූවක් ජීවත් කරවා ගැනීම සඳහා ඔහුට ආහාර ටික දුන්න, ඔහුට සතුට දුන්න, එකට හිටිය පවුලේ සැම දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. ඔබලා ජීවිතයේ ජයග්‍රහණයක් ලැබූ පුද්ගලයන්. මේ වගේ පුද්ගලයකු අවුරුදු අසූවක් දක්වා අරගෙන ඇවිල්ලා වගේ අසූව තුළ මේ ලෝකය ඉදිරියේ සත් පණිවිඩයක් තබමින් තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ ඔහු බලා ගත්තේ යමෙක් ද ඔහුට අනිවාර්යයෙන් නිවන අත්වෙනවා.

ඒ නිසා සුචරිත ගම්ලත් ගැන කතා කරන්න තියෙන පණිවිඩය එපමණක් නෙමෙයි. විශාල කතන්දරයක් අපිට කියන්න තියෙනවා. එතුමාගේ ජීවිතයෙ අපට ලබා ගන්න තියෙන්නේ එතුමා කියූ දේවල් පමණක් නොවේ. එතුමාගේ චරිතය. එතුමා මට බැනලා තියනවා. ” වික්‍රමබාහු ඔයා දේශපාලනය ගැන කතා කරන්න. ඒවා නිවැරදිව ඔයා කතා කරනවා. නමුත් කලාව ගැන ඇඟිලි ගහන්න එපා.” මට එහෙම කිව්වෙ මං කලාව ගැන යම් අදහසක් දක්වන්න ගිහිල්ලා ඔහු සමග පැටලුනා. ” මං මගේ පැත්ත බලාගන්නම් උඹ උඹේ පැත්ත බලා ගනිං ” ,කිව්වා. එහෙම තමයි ඔහු කතා කළේ.

ඔහු සත්‍ය ප්‍රකාශ කරන්න කිසිවිටකත් පැකිලුනේ නෑ. කවුද ? කුමටද ? මොකටද ?කියලා ඇහුවේ නෑ. විශාල කුරිරු මරණය තමන් ඉදිරියට එද්දිත් සත්‍ය ප්‍රකාශ කරන්න අපි එකට ගමන් කරන්න පුලුවන් වුනා. අපි බේරුණා. ඒක විශාල ජයග්‍රහණයක්.

අපිව විනාශ කරන්න හදපු උදවියට ඉඩ නොදී අපි අපේ ගමන ඇවිල්ලා අපේ ජීවිතේ මේ විදිහට සුචරිත ගම්ලත් කියන යෝධයා විශාලම පණිවිඩයක් සමාජයට ඉදිරිපත් කරලා අපෙන් ඉවත් වෙලා යනවා. ඒ නිසා එතුමන්ගේ ජීවිතය අපි රැකගෙන ඉදිරියට යා යුතුයි. ඒ භාවිතය අපි රැකගෙන ඉදිරියට යා යුතුයි යුතුයි. ඒ මතකය රැකගෙන ඉදිරියට යා යුතුයි. මම සුචරිත ගම්ලත්ට ආයුබෝවන් කියන්නෑ. මොකද මම බැඳිලා ඉන්නවා  එතුමා ඉදිරිපත් කරපු ලෝක දෘෂ්ටිය ඒ සවිඥානය ඒ දැනුම ඒ සියල්ල කර තියාගෙන ඉදිරියට යන්න. ඒ සියල්ල සඳහා එතුමා ඉදිරියේ පොරොන්දු වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

ආචාර්ය වික්‍රමබාහුගේ කතාවේ වීඩියෝව පහත සබැඳිය ඔස්සේ නරඹන්න

කතාව පටිගත කිරීම – කේ. ඩී. දර්ශන
කතාව යතුරුලියනය – සංජය නිල්රුවන් ගුණසේකර
ඡායාරූප – අන්තර්ජාලයෙනි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *